පළාත් සභා ජන්ද, මුන්නේෂ්වරම් බිලිපූජා, සර්වඥ ධාතු වැඩමවීම් සමග කොටස් වෙළඳපොළ තුළ සිදුවන සදාචාර විරෝධි ගනුදෙනු පිළිබඳ කතබහ ද කරළියට ආවේය. ඒ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමත් සමගය. ඒ සමගම දිලිත් ජයවීරලාගේ බළලාද මල්ලෙන් එළියට පැන්නේය.
දැන් මරුය. මරේ මරුය. ඡන්ද උණුසුම්, සත්ව අවිහිංසාවාදයන්, නිවන් මාර්ගයන් සමගින් දැන් අපිට සොයාබැලීමට ආර්ථික විද්‍යාව හා සම්බන්ධ මාතෘකාවක්ද ඇත. අනෙකුත් මාතෘකාවන් මෙන් නොව, ආර්ථික විද්‍ය මාතෘකාව තරමක් සංකීර්ණය. විෂය හා පවතින ඝෘජු අනුගතවීම් නිසා අතේ රෝල් සහ හිතළු සඳහා පවතින අවකාශය පටුය. ඒ නිසා තේරෙන ප‍්‍රමාණයට වඩා නොතේරෙන ප‍්‍රමාණය වැඩිය. දන්නා ප‍්‍රමාණයට වඩා නොදන්නා ප‍්‍රමාණය වැඩිය.
නමුත් අප කළබල විය යුතු නැත. මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට දිවුරුම් දී සිටින අමාත්‍ය වරයාද, මෙරට ආර්ථිකයට බලපෑමක් සිදුකරන මෙම ක‍්‍රියාවලිය පිළිබඳ දන්නේ නැත. උනන්දු වන්නේ නැත. ඒ බව කියන්නේ ඔහුමය. පහතින් ඇත්තේ 2012-09-2 දින රාවය පුවත්පතට ඔහු දුන් සම්මුඛ සාකච්ඡාවක කොටසකි.
අපි සාකච්ඡා කළ අර්බුධයට නිදසුනක් ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම ගනිමු. ඔහු එහිදී ප‍්‍රධාන කරුණු 3ක් අවධාරණය කළා. හොර කල්ලියක් කොටස් වෙළඳපොළ වැනසීම, මහ බැංකුවත් මේ අවුලට වගකිවයුතු පාර්ශවයක් සහ ජනාධිපතිවරයා මෙම තත්ත්වයට විසඳුමක් දෙනවා වෙනුවට තමන්ට ඉල්ලා අස්වන්න යෝජනා කිරීම. මේක බරපතළ තතත්වයක්. මේ ගැන රජයේ පාර්ශවයේ අදහස මොකක්ද?
අවංකවම කිව්වොත් මම මේ ප‍්‍රශ්නය ගැන මැදිහත්මක් හෝ දැනුවත් වීමක් නැහැ. දැනුවත් වීමක් නැහැ කියන්නේ ඇත්තටම මට කොටස් වෙළඳපොළේ එක කොටසක්වත් නැහැ. එකම අවස්ථාවක මම එහි උත්සවයකට සහභාගී වුණා. පෙර සිටී සභාපතිනිය ඉන්ද්‍රනි සුගතදාස මහත්මියගේ ආරාධනයක් පරිදි. මට එතනදි කොටස් වෙළඳපොළ ගැන කතාවක් කළ යුතුව තිබුණු නිසා ඒ විෂය පිළිබඳ තරමක් දැනුවත් වුණා. ඊට පස්සේ මම බරපතළ විදිහට මෙම විෂය පිළිබඳ උනන්දු වුනේ නැහැ. අපේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති මාලාව තුළ වුණත් කොටස් වෙළෙඳපොළ ආර්ථිකය ගැන ප‍්‍රබල ලෙස සඳහනක් කරලා නැහැ. සමහර දියුණු රටවල් තියනවා කොටස් වෙළෙඳපොළ ගැන එහෙම ලොකු අවධානයක් යොමු කරන්නෙ නැහැ. මමත් බොහෝ වෙලාවට කොටස් වෙළෙඳපොළ ගැන උනන්දුවක් නැහැ. ඒ නිසා මේ ගැන මට අදහසක් කියන්න අමාරුයි.
කොටස් වෙළෙඳපොළ කියන්නේ ආර්ථිකයේ ප‍්‍රධාන ස්ථානයක්. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි නේද?
එහෙමත් නැහැ ඉතිං. හුඟක් රටවල්වල කොටස් වෙළෙඳපොළ ප‍්‍රමුඛ නැහැ. අපේ ආර්ථික වැඩපිළිවෙළේදීත් ඒක ඉහළටම දමාගත යුතු නැහැ. කොහොමටත් මම පෞද්ගලිකවම ඔය ප‍්‍රශ්නයෙන් ඈත්වෙලා ඉන්නෙ.
ජනමාධ්‍යයට මේ ගැන විමසන්න කෙනෙක් නැහැ. ජනාධිපතිවරයාට මෙහායින් ඉන්නේ ඔබ පමණයි. ඊළඟට තිලක් කරුණාරත්න කරන චෝදනා ප‍්‍රබලයි. ජනාධිපතිවරයාටත් ඔහු චෝදනා කරනවා. ඒවාට පිළිතුරු දීම ආණ්ඩුවේ වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ?
ඔහු ජනාධිපතිතුමාට එහෙම ලොකු චෝදනාවක් කළයි කියල කිව නොහැකියි. ජනාධිපතිතුමා සමහර වෙලාවට මටත් කියනවා සමහර දේවල්වලින් ඈත්වී කටයුතු කරන්න කියලා. එහෙම කියන්නෙ මං හොඳ නැති නිසා නෙවෙයි. ආදරේටත් උපදෙස් දෙනවනෙ. ඒ උපදෙස් බොහෝ වෙලාවට හරි ගිහිල්ලත් තියනවා. මම ඒ සමහර දේවල්වලින් තනතුරුවලින් ඉවත් නොවුණා නම් පෞද්ගලිකවත් යම් යම් හානි සිදුවන්න තිබුණා. මේක ඒ වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. වැරැද්දක් හෝ වෛරයකින් එතුමා මෙහෙම දෙයක් කියන්නෙ නැහැ. කාගේ නමුත් සුබ සිද්ධියටයි එතුමා එහෙම කියන්න ඇත්තෙ. ඇත්තටම එහෙම කිව්වද නැද්ද කියලවත් මම හරියටම දන්නෙ නැහැ. තිලක් කරුණාරත්න ඒ ගැන යමක් කිව්වද කියලත් මම හරියටම දන්නෙ නැහැ.(උපුටා ගැනීම අවසන්)
ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පවසන පරිදි කොටස් වෙළඳපොළේ ආර්ථික වැදගත්කමක් නැත. සමහර දියුණු රටවල පවා එහෙමය. (දියුණු රටවල් කියා ඔහු පවසන්නේ ස්වාසිලන්තය ගැන විය යුතුය.) ජනාධිපතිතුමා හොඳය. උපදෙස් දෙන්නේ ආදරේටය. ඉතිං ගොඨාභය රාජපක්ෂ සහ දිලිත් ජයවීරලාගේ වැඩ ගැන කියන කතා පිළිබඳ ඔහු දන්නේ නැත. එ් ගැන ඔහු උනන්දු වන්නේද නැත.
ජනමාධ්‍ය ඔස්සේ මේවැනි බබා පාට්, සහ මනස්ගාත පැවසීම ලංකාවේ ආර්ථිකය හා බැඳුණූ හැටියක් විය යුතුය. ඒ හැටිය තේරුම් ගැනීමට පහත ජේදය කියවන්න.
මහාචාර්ය තිලක් රත්නකාර 1979 අග දිනක විද්‍යෝදය විශ්ව විද්‍යාලයට දේශනයක් සඳහා පැමිනුණි. මගේ මිතුරෙකු මුණගැසීමට මම එදා අහම්බෙන් විශ්ව විද්‍යාලයට ගොස් සිටියෙමි. මගේ මිතුරා සමග මමත් රත්නකාර මහාචාර්යවරයාගේ දේශනයට සවන්දීමට ගියෙමි. මීට දින ගණනකට උඩදී රුපියලේ අගය 20% කින් අඩු කළ අතර මහාචාර්යවරයා ගුවන්විදුලි හෝ රූපවාහිනී සාකච්ඡාවක් තුළින් රුපියලේ අගය අඩු කළාට දැනටත් එදා මෙන්ම රුපියලට ශත 100ක් බවත් ශත 80ක් නොවන බවත් පවසා තිබුණි. මේ ගැන ආර්ථික විද්‍යා අංශ සිසුවෙකු ප‍්‍රශ්න කරමින් එසේ කීවේ ඇයි දැයි විමසීය. එවර මහාචාර්යවරයා පිළිතුරු දෙමින් පැවසුවේ මම එසේ කීවේ මේ උගත් සිසුන්ට නෙමෙයි මේ රටේ නූගත් ජනතාවටටයි පැවසීය. එවිට අර සිසුවා ”මහාචාර්යතුමා හිතන්නේ මේ රටේ ජනතාව තණකොළ කණ හරක් කියලද?” කියා විමසීය. (උපුටා ගැනීම රංජිත් හේනායකආරච්චිගේ නව නිදහස්වාදය තුළ ජගත්කරණය කෘතියෙනි)
කිසිඳු සැකයක් නැත. 1979 දී මහාචාර්ය තිලක් රත්නකාර මෙන්ම 2012 දී කැබිනට් එකේ මහාම මහා ඇමති බැසිල් හිතන්නේද මෙරට ජනතාව තණ කොළ කණ හරකුන් කියාය. තිලක් කරුණාරත්නගෙන් හිස්වු සභාපති අසුන මත නාලක ගොඩහේවාට හිමිවන්නේ ද බැසිල්ලා තුළ පවතින ඒ පූර්ව අවබෝධය නිසාමය. ආශ්චර්යය ගොඩනැගෙන්නේ ඒ අවබෝධය මතය.
ළහිරු සමරසිංහ[Lahiru Samarasinghe]