සිදුවිම් දෙකක් පදනම් කර ගනිමින් මේ දිනවල පොලිසිය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. එසේම අඟුලාන පොලිසියට එරෙහිව දහස් ගණනක පිරිසක් ප්‍රචණ්ඩ ආකාරයේ විරෝධතාවයක්ද දැක්වූහ.
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි නිපුන රාමනායක සිසුවා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධනගේ මෙහෙයවිමෙන් පැහැරගෙන ගොස් දරුණු ලෙස පහරදිම හා පසුගිය 12 දා රාත්‍රියේ අඟුලාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක උදයංග අපෝන්සු (22) හා දිනේෂ් තරංග (26) යන තරුණයින් දෙදෙනා ඝාතනය කිරිම උක්ත විරෝධයට හා විවේචනයට හේතු වු සිදුවිම් දෙකයි.
මෙම සිදුවීම් දෙක විමසා බලන විට පෙනි යන පොදු කරුණ වන්නේ පොලීසිය තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකිය යන උපකල්පනයේ සිටින බවයි. එනම් තමන් නිතියට ඉහළින් සිටින බවයි. ඒ අනුව තමන්ගේ පුද්ගලික තරහකාරයන් හෝ පවුලේ ඥාතියෙකුගේ තරහකාරයින්ට එරෙහිව මරා දැමිම දක්වා වු ඕනැම ආකාරයක පළිගැනීමක් කර දඩුවම් නොලබා සිටින්නට හැකි පසුබිමක් මේ රට තුළ ඇතැයි ඔවුන් කල්පනා කරන බව පෙනියයි.
ශ්‍රි ලංකාවේ පොලිසියේ සාමූහික මනස තුළ මේ ආකාරයේ විඥාණයක් පහළ වුයේ කෙසේද? අපරාධ වලට සමබන්ධ පොලිස් නිළධාරින් ආරක්ෂා කිරිමට දේශපාලන අධිකාරියේ මැදිහත්විම ඇතුළුව හේතු සාධක කිහිපයක් ඒ සඳහා බලපෑ බව අවිවාදිතය. මෙම ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ ඉන් එක් කරුණක් පිළිබඳවය. එනම් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්, අපරාධකරුවන් ලෙස හුවා දක්වමින් අධිකරණයේ සාධාරණ නඩු විභාගයකට මුහුණදිමට ඉඩකඩ නොතබා ඔවුන් ඝාතනය කිරිමේ සංස්කෘතිය පිළිබඳවයි.
පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවේදි විවිධ හාස්‍යජනක හේතු දක්වමින් සැකකරුවන් සියයක් පමණ ඝාතනය කරන ලදි. මේ පිරිස ඇත්ත වශයෙන්ම අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් විය හැකිය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ මූලික අයිතිවාසිකම් පිලිබඳ වගන්ති වලට අනුව ඕනැම සැකකරුවෙකුට විධිමත් අධිකරණයක සාධාරණ නඩු විභාගයකට මුහුණදිමට අයිතියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
එහෙත් ශිෂ්ට හා බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බව කියන අපගේ සමාජය එම ඝාතනයන් ඉදිරියේ අත්පොලසන් දෙමින් ප්‍රීතිය පළකළා මිස ශිෂ්ට හා නිතිගරුක සමාජයක් ලෙස අපරාධ සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවා විධිමත් අධිකරණ ක්‍රියාවලියකට අනුව ඔවුනට දඬුවම් කළ යුතු බව කියන්නට ඉදිරිපත් වුයේ නැත.
එසේම ශ්‍රි ලංකාවේ සියළුම මුද්‍රත හා විද්‍යුත් ජනමාධ්‍ය (රාවය වැනි පුවත්පත් හැර) මහත් අභිරුචියකින් යුතුව පොලිසියේ හාස්‍යජනක, ව්‍යාජ හේතූන් ප්‍රතිරාවය කරමින් එම අපරාධ සැකකරුවන්ගේ ඝාතන වාර්ථා කළහ. ඒවාට ආශිර්වාද කලහ. වගකිවයුතු ජනමාධ්‍ය සමාජයක පැවතිය යුතු සමාජ වගකිම, ආචාරධර්ම පිළිබඳ අබමල් රේණුවක තැකිමක් එම වාර්ථාකරණයේදි ඔවුන් තුළ දිස්වුයේ නැත.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මෙම ඝාතනයන් පිළිබඳ පොලිසියේ කරුණු දැක්විම් කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගනු ලැබුවා පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම සැකකරුවන්ට හිමිවිය යුතු මූලික අයිතිය වන සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය පිළිබඳව ඔවුන් තුළද කිසිදු හැකීමක් නොමැති බව පෙන්නුම් කරන ලදි. ආයුධ පෙන්වීමට ගොස් සොයාගනු ලැබූ එම අයුධ පොලීසියට එරෙහිව භාවිත කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සැකකරුට වෙඩි තැබූ බව සියවැනි වරටත් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරන විට එවැනි සිදුවීම් දෙක තුනකින් පාඩම් ඉගෙන නොගත්තේ මන්දැයි අධිකරණය කිසි දිනෙක පොලීසියෙන් විමසු වගක් පෙනෙන්නට නොවීය.
නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීම හා අඟුලාන තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරාදැමිම අපගේ විමසුමට ලක්විය යුත්තේ ඉහත පසුබිම පිළිබඳව විවේචනාත්මක ඇඟයීමකින් යුතුවය.
අඟුලාන තරුණයන් දෙදෙනාගේ ඝාතනයෙන් ප්‍රකෝප වු දහස් ගණනක ජනයාද, මෙම අපරාධ පොල්ගෙඩි අකුරෙන් වාර්තා කළ පත්තරද, මෙම සිදුවිම් ඔළුපලාගෙන වාර්තා කළ රූපවාහිනි මාධ්‍යවේදීන්ද මීට පෙර පොලිසිය විසින් සිදුකල සැකකරුවන් ඝාතන උත්කර්ෂයට පත්කරද්දී ශ්‍රි ලාංකික සමාජයට මෙවැනි ඉරණමකට මුහුණදීමට සිදුවේයැයි කල්පනා කළේ නැත. පොලිසිය විසින් නීති විරෝධී ආකාරයට සැකකරුවන් ඝාතනය කරද්දී එය නිහඬව ඉවසූ සමාජයද පොලිසියේ සිමා මායිම් මෙලෙස ව්‍යප්ත වන බව කල්පනා කළේ නැත.
එබැවින් අද පොලිසියේ අපරාධ පිළිබද පොල්ගෙඩි අකුරෙන් සිරස්තල පළකරන පත්තරද, ඔළු පළාගෙන ඒවායේ රූප රචනය කරන රූපවාහිනි මාධ්‍යවේදින්ද අද පොලිසියට ගල්මුල් වලින් පහර දෙන මහජනයාද තමන් එරෙහි වන්නේ තමන්ගේද ආශිර්වාදයෙන් ඇතිදැඩි වු, මිනීමස් කන්නට පුරුදු වු සුනඛයාට බව වටහගත යුතුය. තමන් මේ අත්විඳින්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහති කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිසියට අත්පොලසන්දීමේ හා හුරේ දැමීමේ ප්‍රතිඵල වලටම බව ලැජ්ජාවෙන් යුතුව පිලිගත යුතුව තිබේ.
සුනිල් කහගල්ල