ක්‍රීඩාගාරයට බට මහා ජන ගංඟාවේ කොක්සන් මැද බෝල කෙලිය ආරම්භ විය. මෙවන් වූ ජන ගංගාවක් ක්‍රීඩා පිටියට රොක් වූයේ අනෙකක් නිසා නොව මහා රජාණන්ගේ පුත් කුමරුවන් තිදෙනා ද මෙම බෝල කෙලියේ කෙලින නිසාවෙනි. එම කුමරුවන් අතර අනාගත රජ කම උරුම වූ පිංවත් නාමල් කුමරාද සිටියේය. තරඟය එන්න එන්නම තියුණු විය. ‘අනාගත රජතුමාට ජයවේවා, අප මහ රජාණන්ට දීර්ඝායු වේවා.’ කුමරුවන්ගේ පිළ දිනන ලකුණක් පාසා ජනතාව ජය ඝෝෂා නැගීය. තමන් කුමරුවන් හට පරාජය වන බව දැන ගත් අශ්ලීල අසුරයන්ගෙන් සමන්විත වූ අනෙක් කණ්ඩායම කුමරුවන්ට නොයෙක් අතවරයන් කරන්නට පෙළඹින. බුදුන් වැද පිටියට පිවිසි කුමරුවන් මුලින් මුලින් මේ අශ්ලීල අසුරයන්ගේ බාධා ඉවසීය. නමුත් අසුරයන්ගේ කෙනහිලිකම් අවසාන නොවීය. විටෙක මොවුහු කුමරුවන්ට කකුල් මාට්ටු දමන්නට පටන් ගත්තේය. තවත් විටෙක ගල් මුල් වලින් දමා ගසන්නට පිටියෙන් එලියේ සිටි තවත් අසුරයන් කණ්ඩායමක්ව පොළඹවන්නට විය. මෙම අතවරයන් මාධ්‍යයේ කුමරුවන්ගේ මනසේ ඒකාග්‍රතාවය බිඳී ගියෝය. අවසානයේ අසුරයන් විසින් කුමරුවන් පරදා බෝල කෙලිය ජය ගත්තෝය. ජනතාව සෝ සුසුම් හෙලන්නට විය. තමන්ගේ ජය බලාපොරොත්තු වූ ජනතාවගේ සෝ සුසුම් වලින් කම්පිත වූ පිංවත් නාමල් කුමරා අසුරයන් හට වැඩක් දෙමියි පවසා තම සහෝදර කුමරුවන් එක් රැස් කර ගත්තේය. නාමල් කුමරා අසුරයන්ට හට පහර පිට පහර එල්ල කළේය. අනෙකුත් කුමාරවරු ද සටනට එක් විය. අවසානයේ රාජපුරුෂයෝ, ජනතාව සියල්ලෝම අසාධාරණ ලෙස බෝල කෙලිය ජයගත් අසුරයන් හට පහර පිට පහර දී ක්‍රීඩා පිටියෙන් එලවා දැමුවෝය. අසුරයෝ පසු නොබලා පැන ගියෝය.
දිනක් එක්වරම භාරත නැමැති සිටුවරයා අභිරහස් ලෙස මිය ගියේය. එදිනම දුමින්ද නැමැති සිටුවරයා අවසිහිය ලැබුවේය. ඉතින් භාරත සිටුවරයා මිය ගියේ කෙසේද යන්නවත්, දුමින්ද සිටුවරයා අවසිහිය ලැබුවේ කෙසේද යන්නවත් කා හටවත් සිතා ගැනීමට නොහැකි විය. භාරත නැමැති සිටුවරයාට හිරුනිකා නමින් සුරූපි දියණියක් සිටියේය. මෙතෙක් කල් රහසේ ජීවත් වූ මේ කුමරිය සිය පියාගේ මරණයෙන් කම්පිතව ජනතාව අතරට පැමිණියාය. සිය පියාගේ මරණයට වගකිව යුත්තන්ගේ පලිය ගන්නට කුමරිය තීරණය කළාය. ඇය දේවාල වල පොල් ගසමින් සිය පියාගේ මරණයට වග කිව යුත්තන් සෙව්වාය. නමුත් ඇයට කිසිදු හෝඩුවාවක් නොලැබුණි. සිය පියා මිය ගිය දිනම අවසිහිය ලද දුමින්ද සිටුවරයා තම පියාගේ මරණයට වගකිව යුතු බවට මුලින් මුලින් කුමරිය සැක කළාය. නමුත් දුමින්ද සිටුවරයාට සියළු දේ අමතක බව දැනගත් විගස ඇයට ලං වූ අනෙක් සිටුවරයන් පැවසුවේ ඒ අහිංසක සිටුවරයාව සැක කර වැඩ වරද්දා ගන්නට එපා කියාය. වැඩිමහල් සිටුවරුන්ගේ ඔවදන් මැද ඇය සිය පියාගේ මරණය පිළිබඳව සෙවීමේ කාර්යය අවසන් කළාය. තමන්ගේ පියාගේ මරණයට වගකිව යුත්තන් සෙවීමට නම් මහ රජුගේ දෑත් ශක්තිමත් කළ යුතු බව ඇය තේරුම් ගත් අතර, ජනතාව අතරට යමින් රජුගේ දෑත් ශක්තිමත් කරන ලෙස ජනතාවට ආයාචනා කළේය. මෙවන් අහිංසක කුමරියකගේ ඉල්ලීම කෙරෙහි කම්පිත වූ මහජනයා තව තවත් රජුගේ දෑත් ශක්තිමත් කිරීමට පෙළ ගැසුණෝය. භාරත සිටුවරයාගේ මරණය අහම්බයෙන් සිදු වූ අත්වැරැද්දක් බවට පසුව අනාවරණය විය.
සුදෝ සුදු ඇඳුමින් සැරසුණු තරුණයෙක් ජයික් හිල්ටන් වෙත බිම බලාගෙන ගොඩ වූයේය. ඔහු නමින් මාලක කුමරුය. අනාගත දුටුගැමුණු අභිශේකයෙන් පිදුම් ලැබීමට වාසනා ගුණය ඇත්තා වූ මේ කුමරාගේ පියා වත්මන් ලක්දීපයේ සුචරිතවත් චරිතයකට හිමි කම් ඇත්තා වූ කැළණියේ දුටුගැමුණු නමින් විරුධාවලිය ලත් සිටුවරයෙකි. ඉතින් පින් ඇති මාලක කුමරු තෙමෝ හිල්ටන් හෝටලයට පිය මැන්නේ අන් කිසිවකට නොව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල බැලීමටය. තමන් සතු සියළු ධනය ජනතා සේවයටම කැප කළ නිසාවෙන් තම පුත් කුමරාට ටී.වී එකක්වත් ලබා ගැනීමට පියතුමාට වත්කමත් නොමැති නිසා මෙසේ මෙම කුමරා ඡුන්දය නැරඹීමට ජයික් හිල්ටන් වෙත යන්නට ඇත. නමුත් ජයික් හිල්ටන් තුළ සිටි එක් අශ්ලීල රාජපුරුෂයෙක් මාලක කුමරාගේ තරම නොදැන එතුමාණෝට උසුළු විසුළු පාන්නට පටන් ගත්තේය. එක් වරක මේ අශ්ලීලයා කුමරාට දිව පෙන්වා ඇද කළේය. තවත් විටක කුමරාව කෙනිත්තුවේය. කපිල වස්තු සර්වඥ ධාතු වැඳ පුදා පිරිසිදු වූ කුමරු, මෙම අතවරයන් ඉදිරියේ මහා ගල් කුලක් මෙන් ඉවසා වදාරා සිටියේය. අවසානයේ නැවතත් මාළිගයට යාමට තීරණය කළ කුමරාණෝ තම අස්රියට ගොඩ විය. නමුත් පෙර කී අශ්ලීලයා එකෙනෙහිම තම අත තිබූ කඩුවෙන් කුමරාට ඇන්නේය. මෙතෙක් දිවි හිමියෙන් ආරක්ෂා කළ කුමරාගේ සැදැහැවත හිරු දුටු කදෝ පැණි මෙන් දිය වී යන්නේ මෙවිටය. වහා සිය සුපර්මෑන් ඇඳුම ඇඟලා ගත් කුමරාණෝ බීමත් අශ්ලීලයා වෙත පහර පිට පහර දෙන්නට විය. අශ්ලීලයා පොළේ ගැසූ ගෙම්බෙක් මෙන් බිම පතිත වෙද්දී කුමරාණෝ සිය අස්රියට නැග ශාන්තව මාළිගයට පිය මැන්නේය.
කාලයක් ගත වු පසු පිංවත් නාමල් කුමරු රාජාභිශේක ලැබුවේය. සැදැහැවත් මාලක කුමරු නව රජුට අර්ථයෙන්, ධර්මයෙන් රාජ්‍ය පාලනය පිළිබඳව උපදෙස් දුන් අතර, අවසිහියෙන් පීඩිත වූ දුමින්ද සිටුවරයා ආශ්චර්යයෙන් සිහිය ලද්දෙන් සේනාපති තනතුර හිමි විය. හිරුනිකා කුමරිය පිළිබඳව ඉන්පසු කිසිවක් සඳහන් වී නොමැත.
මේ දැනට ලියැවෙමින් තිබෙන මහාවංශයේ ‘දෙවන මහින්දාගමනය’ පරිච්ඡෙදයේ සඳහන් වන අතුරු කතාවකි.