සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, නුඹලා මේ පාවාදෙන්නෙ නුඹලාගේම ආත්මයයි


පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම වෘත්තීය සමිති ක‍්‍රීයාමාර්ග සඳහා යොමුවන්නේ අද ඊයෙක නොව වසර කීපයකට පෙර සිටය. තම වෘත්තීය ගැටළු සඳහා සාධාරන විසඳුම් සොයනු පිනිස ආරම්භ කල මෙම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයන් වසර ගනනාවක් කිසිදු සාධනීය ප‍්‍රගතියකින් තොරව සාකච්ජා මේස වලට හිරවී තිබුනි. මුලින්ම සමහර වෘත්තීය සමිති නායකයින්ගේ දියාරු ප‍්‍රතිපත්ති නිසා ඇදීගිය මෙම අරගලයට යම් ජවයක් එක්වන්නේ දැනට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේද නිලයක් හොබවන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙකුගේ නායකත්වය යටතට විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පත්වීමත් සමගය. මේ කාලයේදි ඉතා සංවිධිතව විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ ඉල්ලීම් පිලිබඳව රජය සමග සංවාදයක් ඇතිවු අතර අවසනදී වෘත්තීය සමිති ක‍්‍රීයා මාර්ගයක් දක්වා එය දිග්ගැස්සිනි. නමුත් නොසිතු පරිදි එය ඉතා අසාර්ථක වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයක් බවට පෙරලූනේ එහිම සමහර නායකනයකාදීන්ගේ පාවාදීම් මත ක‍්‍රියාත්මක වූ අදෘෂ්‍යමාන හස්තයක මැදිහත්වීමක් මගින් විය යුතුය.

ඉන් අනතුරුව වත්මන් වෘත්තීය සමිති නායකයින් විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් සංගමයේ බලය සියතට ගැනීමත් සමග මෙම යටගිය අරගලයට නව මුහුණුවරක් ලැබින. එම නායකත්වය යටතේ වඩා සක‍්‍රීයව වෘත්තීය සමිති නියොජිතයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙලගැසුනු අතර ඒ වෙනුනේ මහපාරට බැසීමටද ඔවුන් පසුබට නොවීය. බොහෝමයක් ආචාර්්‍යවරුන් තමන් දැරූ පරිපාලන නිලතලවලින් ඉවත්වී මෙම සටනට එක්විය. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් සමග වෙනත් වෘත්තීයවේදීන්ද, සිසුදරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද අත්වැල් බැඳගත්හ. මෙම ජනතා පෙලගැස්ම මැඩලීමට රජය තම සුපුරුදු උපක‍්‍රම පසෙකලා විවිධ විකල්පයන් අත්හදා බලන්නට උත්සහ ගත්හ. එහි එක් අපකීර්තිමත් උත්සහයක් වූයේ විශ්වවිද්‍යාලවල සිසුන් ලවාම තම ආචාර්්‍යවරුන්ට පරිබව කිරීමත් අවසනදි ඔවුන් ලවා ආචාර්්‍යවරුන්ට විරුද්ධව උසාවියේ නඩු පැවරීමත්ය. නමුත් ඒ සියල්ල රජයට හිමිකරදුන්නේ පරාජයකි. එමනිසා අවසානයේදි දේශපාලනයේ සුපුරුදු ක‍්‍රියාවන්ට අවතීරණ වීමට රජය පෙලඹිනි. ඒ සාකච්ජා කිරීම සහ පොරොන්දු දීම මත වෘත්තීය සමිති අරගලය නැවතීමයි. ඉතා සද්බාවයෙන් සහ අනෝන්‍ය විශ්වාසය මත පදනම්ව ඉදිරියට ගිය දෙපාර්ශවයේ සාකච්ඡාවන් සැලකිය යුතු ප‍්‍රගතියක් ලැබුහෙයින් සියලූ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග නැවතීමට ආචාර්්‍යවරුන් තීරණය කලහ. එක් පාර්ෂවයක් රජයේ පොරෝන්දු විශ්වාස කරමින් නැවත සුපුරුදු පරිදි තනතුරු භාරගෙන වැඩකිරීමට එකඟවු අතර තවත් පිරිසකගේ මතය වූයේ රජයේ පොරොන්දු පිලිබඳ නැවත සිතිය යුතු බවය. කෙසේ හෝ විශාල මත ගැටීම්වලට යටත්ව සියල්ල තම වෘත්තීය සමිති ක‍්‍රියාමර්ග අතහැරිය අතර සුබවාදි බලාපොරොත්තු ඇතිව නැවත සේවයට වාර්ථා කෙරින. නමුත් කාලයක් යත්ම රජය විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ට ලබා දී ඇත්තේ සුපුරුදු දේශපාලන පොරොන්දුවක් පමණක්ම බව ඔවුනට පසක් වුයේ තමන්ට පොරොන්දු වු කිසිවක් නොලැබෙන බව වැටහෙන විටය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අදවෙන විට වඩා ශක්තිමත්ව නැවත තම අරගල වෙනුවෙන් හඩ නගන්නට විශ්වවිද්්‍යාල ආචාර්්‍යවරුන්ගේ සමිති සම්මේලනය විදී බැස ඇත.

අද වෙන විට මෙරට රාජ්‍ය විශ්වවිද්්‍යාල පද්ධතියම මාස තුනකට වැඩි කාලයක් අකර්මන්‍යව ඇනහිට ඇත. මෙරට උසස් අධ්‍යාපන කේෂත‍්‍රය තුල විශ්වවිද්‍යාල පද්ධතිය මෙතරම් කඩාවැටීමක් කිසිදු අවධියක සිදුවී නැති බව මගේ විශ්වාසයයි. 1988- 89 තරුණ අරගලය හේතුවෙන් උසස් අධ්‍යාපනය ඇතුලූ සමස්ථයම කඩා වැටීම හැරුන කොට සාමාන්‍ය සාමකාමී වාතාවරණයක විෂය භාර ඇමතිවරයා විසින් එකවර විශ්වවිද්‍යාල පද්ධතියම වසා දැමු ප‍්‍රථම අවස්ථාව මෙය විය හැකිය. මෙයට මාස හතරකට පමන පෙර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්්‍ය මණ්ඩලය තම ඉල්ලීම් ගණනාක් ඉදිරිපත් කරමින් රජය සමග කල සාකචඡා කල අතර ඒවා අසාර්ථක වුතැන වෘත්තීය සමිති අරගලයකට ප‍්‍රවිෂ්ඨ විය. එය මාසයක් පමන ඇදී ගිය අතර ඒ කාලය තුල සියලූම විශ්වවිද්‍යාල අඩපන විය. අවසානයේදි විෂයබාර ඇමතිවරයාගේ කියම්කෙරුම් මායිම් නොකර ඉහල දේශපාලනික මැදිහත් වීමත් මගින් තම ගැටලූව තාවකාලීකව විසඳා ගැනීමට ඔවුන් සමත් විය. ඒත සමගම ආචාර්්‍යවරුන්ගේ සමිති සම්මේලනයද තමන්ට පොරොන්දු වු ඉල්ලීම් උදෙසා රජය සමග නැවත සාකච්ඡා කිරීම ඇරඹු අතර එය අසාර්ථක වු තැන වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයනට එලැඹී ඇත. ඔවුන්ගේ අරගලයට මාස තුනක් පමන ගතවුවද ඒ සඳහා කිසිදු සාධනීය විසඳුමක් දැකිය නොහැක.

මෙවරද රජය විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙනු වෙනුවට විවිධ ක‍්‍රමෝපායන් මගින් එම අරගලය කඩාකප්පල් කිරීමට වෙර දරමින් සිටී. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ ඉල්ලීම් වලට බොරු අර්ථකතන ලබාදීමත්, ඔවුන්ගේ කීර්තිනාමයට හානිකිරීමත් යන ප‍්‍රාථමික උපක‍්‍රම මගින් මෙම අරගලය අඩාල කිරීමට ඇමතිවරයා සහ තම ගෝලබාලයින් නොගන්නා උත්සහයක් නැත. රජයේ සහ රජයට කොන්දේසි විරහිතව ආවඩන මාධ්‍ය මෙයට ඉහල ප‍්‍රචාරයක් දෙමින් සිටී. ඇමතිවරයාට අනුව මෙම අරගලය පිටුපස ඉන්නේ පෙරටුගාමීන්, ජවිපෙ කාඩරයින් සහ යුඑන්පී කාරයින්ය. ඔවුන් කාලකන්නි හොර තක්කඩයින්ය. ඇමෙරිකානු කුමන්ත‍්‍රන වල කොටස් කරුවන්ය. එම නිසා ඇමතිවරයා සහ ඔහුගේ සගයින් මෙම විදේශ බලවේගි කුමන්ත‍්‍රණකරුවන් සමග සාකච්ඡා කරන්නේ නැත. ඒ වගකීම අද ඇත්තේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අතය. උසස් අධ්‍යාපනය සඳහාම වෙන්වු ඇමතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් සිටියදි ආර්ථික සංවර්ධන ඇමතිවරයෙකු උසස් අධ්‍යාපන ගැටලූව තම උරහිසට ගත ලෝකයේ ප‍්‍රථම රාජ්‍ය ශ‍්‍රී ලංකාව විය යුතුය. කෙසේ හෝ මෙම කාරණයත් සමගම විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් අතර නව බලාපොරොත්තු ඇතිවු බව ඔවුන්ගේ ප‍්‍රකාශවලින් තහවුරු විය. නමුත් විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ප‍්‍රකාශකරන පරිදි පවතින ගැටළු විසඳීමට අද ඇති ලොකුම බාධාව විෂයභාර ඇමතිවරයා සහ ඔහුගේ ලඟ යැපෙන අපේම ආචාර්යවරු කීපදෙනෙකුගේ අත්තනෝමතික ක‍්‍රියාවන්ය. එය යථාර්තයක් බව පසක් වුයේ පසුගිය අඟහරුවාදා (17 වැනිදා) කරලියට පැමිණි දේශපේ‍්‍රමි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නිසාය.

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ සංගමයේ රූකඩ සංදර්ශනයත්
සමගම ඇමතිවරයාගේ අලූත් න්‍යාය පත‍්‍රය කරලියට පැමිනීය. ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට රජමගුල් කියන්නාක් සේ රජය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති අතර ඇති අර්බුදය අස්සේ තම පෞද්ගලික වාසි තකා තම ඇඳිවත උනාදැමීමට මේ උදවියට හැකිවිය. තමන්ගේ වෘත්තීය සමිතියේ නමවත් හරියට කියාගන්න බැරි මේ පුද්ගලයින් තම සගයින්ගේ අයිතිවාසිකම් පාවාදෙමින් කරන මෙම නරිනාඩගම දෙස අපි උපේක්ෂාවෙන් බලා සිටිමු. කොරහ තුලත් කිඹුල්ලෝ දකින මෙම පුද්ගලයින් කියන්නේ මෙම වෘත්තීය සමිති ක‍්‍රීයාවලිය පසුපස ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයකි. එය එසේ මෙසේ කුමන්ත‍්‍රණයක් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ කුමන්ත‍්‍රණයකි. 2005 දී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කරන්න තම දහඩියහෙලූ, උගුර ලේ රස වෙනකම් වේදිකාවල කෑගැසු, පත්තර පිටු පිරෙන්න අත්සන්කල ආචාර්්‍යවරු දහස් ගණනක් මෙම වෘත්තීය සමිති අරගලයත් සමග සිටින බව එම උදවියට අමතක වී ඇත. 2005 ජනාධිපතිවරණයේදී මේ කෑ ගසන සමහර උදවිය පමනක් නොව වර්ථමාන උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයාද සිටියේ මහින්ද රාජපක්ෂට විරුද්ධව රනිල් වික‍්‍රමසිංහගේ වේදිකාවේය. එමනිසා මෙම පැරෂූට්වාදී දේශපේ‍්‍රමීන්ගෙන් මට ඉල්ලන්න ඇත්තේ එකදෙයකි, ඔබට ඔබගේ ඇඳුම් උනාදමන්න අවශ්‍යනම් කාටවත් නොපෙනෙන සේ එය කරන ලෙසය. එසේ නොමැතිව රූපවාහිනි සාකච්ඡාවලට පැමින අනාගෙන ඇමතිවරයාද අපහසුතාවයකට පත්කිරීම මගින් සිදුවන්නේ නුඹලා නුඹලාගේම ආත්මය පාවාදීමකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙම අරගලය මෙරටේ නිදහස් අධ්‍යාපනය සුරැකීමටයි. ඔවුන්ගේ ඉල්ලීම් අතර ප‍්‍රධානතම ඉල්ලීම වන්නේද අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ඉහල දමන ලෙසයි. වර්ථමානයේ සමස්ථ වියදමෙන් 1.86% ක් පමන වන එම වෙන් කිරීම සියයට 6% ක් දක්වා ක‍්‍රමිකව ඉහල නැංවීමට රජය එකඟවිය යුතු බව ඔවුන් දැඩි මතයක සිටී. නමුත් රජය, විශේෂයෙන්ම විෂයභාර ඇමතිවරයා සහ ඔහුගේ පරිපාලන නිලධාරීන් මෙහිදි දැඩි හිතුවක්කාරී මතවාදයක එල්බ දිනෙන් දිනම මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටී. දැනට මෙරට විශ්වවිද්‍යාල 15තුල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 74,000 කගේ පමන ජීවිතත්, මේ වසරේදි නවකයින් ලෙස විශ්වවිද්‍යාල වලට ඇතලූවීමට පෙරුම් පුරන 25,000ක පමන සිසු සිසුවියන්ගේ අනාගතයත් සමග ඔවුන් සෙල්ලම් කරමින් සිටී. මෙම යථාර්ය මෙම දේශපේ‍්‍රමීන්ට නොතේරෙන්නේ මන්ද?

අවසන් වශයෙන් මෙයද ඔබලාට පැවසිය යුතුය. මේ ලිපිය ලියන මම මෙම විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවෙමි. ඔබ වැනි ලේබල් දේශපේ‍්‍රමියෙකුද නොවෙමි. නමුත් දුප්පත් දෙමව්පියන්ට දාව මෙරටේ ඉපැදි නිදහස් අධ්‍යාපනයට පින්සිදු වෙන්න ඉගෙනගත් විශ්වවිද්‍යාල ආචාර්්‍යවරයෙකි. ඒ නිසා නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මම ඔබලාට විරුද්ධ වෙමි.

අමින්ද මෙත්සිල පෙරේරා
ජ්‍යෙෂඨ කථිකාචාර්ය, කළමනාකරණ සහ මූල්‍යපීඨය,
වයඹ විශ්වවිද්‍යාලය
##
[Image – FUTA Protest | 23August 2012 | Colombo – www.vikalpa.org]