[Photo Credit – Pasan Ranaweera]
රුවන්ති චිකේරාගේ ‘මම රගන මව’ පසුගිය මැයි මාසයේ එක දිනෙක ලයනල් වෙන්ටඩ් රගහලේදී නැරඹීමි. එය තවත් එක නාට්‍යක් නොව,වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක් බව වැටහී ගියේ නාට්‍යය ආරම්භ වී මද වෙලාවක් ගිය පසුය. දීර්ඝ කාලයක් තිස්සේ කාන්තාවන් සමුහිකයක් විසින් තනි තනිව රචනා කළ අත්දැකීම් රාශියක් එකම වේදිකාවක් තුල නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙය යම් ආකාරයක පිටපතක් කියවීමක් ලෙස හඳුන්වා දුන් අතර, මා දන්නා පරිදි එබඳු ආකාරයේ කියවීමක් මින් පෙර ලාංකේය වේදිකාව තුල සිදු වී නොමැත.
සමස්ත නිර්මාණය තුළම ඉදිරිපත් කළ මුඛ්‍ය තේමාව වුයේ මවක් වීම නිසා කාන්තාවට අහිමි වන ජීවිතය පිලිබඳවය. පවතින ක්‍රමය තුළ, විශේෂයෙන්ම ආසියානු සංස්කෘතිය තුළ අටවාගත් සමාජ, සංස්කෘතික නියමයන් තුළින් කාන්තාව විවිධාකාර වූ පීඩනයකට ලක්වීම පවතින සමාජ යථාර්තයයි. විශේෂයෙන්ම ආසියානු සංස්කෘතිය තුළ මවගේ කාර්යය අතිශය උත්කර්ෂයට නංවමින් සිදුකරන්නේ ඇයව පවුල නමැති ආයතනයට බැඳ තබා ගැනීමයි. එදා ‘මම රගන මව’ තුලින් පුපුරා ගියේ එම බැඳ තබා ගැනීමේ පීඩනයයි. මෙම සමාජ යථාර්තය පිලිබඳ බොහෝ සාකච්ඡා මීට ඉහතදී සිදු වූ අතර, එයින් බොහොමයකදී සාකච්ඡාවට බඳුන් කෙරුනේ පහල පාන්තික කාන්තාවගේ ජීවිතය පිලිබඳවය. විශේෂයෙන්ම ගෘහස්ත ප්රචන්ඩත්වය නැවැත්වීම වැනි සාකච්ඡා තුලින් වඩාත් අවධාරණය කෙරුනේ පහළ පාන්තික කාන්තාවගේ ජීවිතය පිලිබඳවය.( මෙම සාකච්ඡාවන් බොහෝ විට වින්දිතයන් නොවන තෙවන පාර්ශවයක මැදිහත් වීම් ලෙස සැලකිය යුතුය.) නමුත් ‘මම රගන මව’ තුළ විශේෂත්වය නම් මධ්‍යම පන්තික කාන්තාවගේ පීඩනයට වැඩි අවධානයක් ලබා දීමය.
මෙම ඉදිරිපත් කිරීම තුළ මාගේ විවේචනය පදනම් වනුයේ එහි නිර්මාණශීලීභාවය පිලිබඳවය. තරමක රළු ස්වභාවයෙන් යුතු, බොහෝ කරණා ප්‍රේක්ෂකයා මතට සෘජුවම අත හැරීමට ගත් උත්සහයක් ලෙස මා මෙම ඉදිරිපත් කිරීම දුටුවෙමි. සමහර අවස්ථා, එම අවස්ථා ඉදිරිපත් කල කාන්තාවන් පිළිබඳව නොසතුටක් පලවන ආකාරයට පවා සැකසී තිබීම කණගාටුදායක විය. ‘මම රගන මව’ තුළ මවක් වීම නිසා ජීවිතය අහිමි වීම නිරුපනය කරන්නට උත්සාහ ගත්තේ වුවත්, ඇත්තටම මවක් වීම නිසා ඔවුන්ගේ නිර්මානශීලීත්වයත් අහිමි වී ඇති බව එම ඉදිරිපත් කිරීම් දැකීමෙන් පැහැදිලි විය. අසම්පුර්ණ රංගනයන්, හුදෙක් කෝපය පමණක් මුසු වූ දෙබස් කන්ඩ,අවස්ථානුකූල නොවන උපහාසයන්, තේමාව බලෙන් මතු කිරීමට ගත් උත්සාහයන්, නිර්මාණශීලීත්වයෙන් තොර හුදු වාර්තාමය ඉදිරිපත් කිරීම් නිසා මෙසේ මා සිතන්නට පෙළඹිණ.
මෙවැනි සිතා ගැනීම් සමුහයක් අප අතර තබා එදා ‘මම රගන මව’ වේදිකාවෙන් පිටව ගියේ නැවත සැප්තැම්බර් මස එහි දිගුවත් සමග වේදිකා ගතවන බව ප්‍රකාශ කරමිනි. පැවසූ ලෙසම සැප්තැම්බර් මස දිනෙක ‘කලුමාලි’ ලෙසින් නැවතත් රුවන්ති ඇතුළු පිරිස වේදිකාවට පැමිණියේය. රුවන්ති වඩා සුක්ෂමව මෙවර වැඩ අරඹා ඇති බව නාට්‍යය මද වේලාවක් නරඹන විට පැහැදිලි විය. ‘මම රගන මව’ තුල තිබූ කතා අතුරින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතා බහට ලක් වූ කතාවක් වූ ‘කලුමාලි’ කතාව මෙවර රුවන්ති ප්‍රධාන කතාව ලෙස තෝරාගෙන තිබිණ. ඒ තුලින් නැවතත් මධ්‍යම පන්තික පවුලක් තුල මවක් වීම නිසා විඳින පීඩාව සුක්ෂම ලෙස ඉදිරිපත් කිරීමට රුවන්ති සමත්ව තිබිණ. එමෙන්ම සෘජු පහර දීම් වලට සාපේක්ෂව මෙවර වේදිකාව තුල දක්නට ලැබුනේ, ප්‍රේක්ෂක පරිකල්පනයට වැඩි ඉඩ කඩක් වෙන් කල නාට්‍යකි. ඒ තුලින් රුවන්ති කිසිවක් කියන්නට උත්සාහ නොගත් අතර සිදුවීම් වෙන්නට ඉඩ හැරියේය. එබැවින් පෙර ඉදිරිපත් කිරීමට හාත්පසින්ම වෙනස් වූ නිර්මාණශීලී අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට දැක බල ගැනීමට ඉඩ සැලසින.
පුරැෂාධිපත්‍යයට එරෙහි කතිකාවත අද වන විට සියවසකටත් වඩා පැරණි වුවද, තවමත් එම අදහස පහල පන්තියට සන්නිවේදනය වී නොමැත. තවමත් මෙම කතිකාවත පවතින්නේ මධ්‍යම පන්තිය වටා පමණි. උදාහරණයක් ලෙස පහල පන්තික ස්ත්‍රී හිංසනය අප දකින්නේ, මධ්‍යම පන්තික ඇසින් පමණක් වන අතර, සමහරවිට එය කොයිතරම් මර්දනකාරී වුවත්, පහල පාන්තික කාන්තාවට එය හිංසනයක් ලෙස සන්නිවේදනය වී නොමැත. අනෙක් අතට මධ්‍යම පන්තිය තුල ක්‍රියාත්මක වන හිංසනය බොහෝ විට මතවාදීමය ස්වභාවයක් උසුලන අතර, මධ්‍යම පන්තික උගත් කාන්තාවට එය වඩාත් දැනෙයි. කලුමාලි නාට්‍ය තුල ප්‍රධාන චරිතය මුහුණ පාන අර්බුදය එයයි. ඇය වෘත්තියෙන් ජනමාධ්‍යවේදිනියක් වන අතර, ඇගේ කාර්යය වන්නේ සමාජය ප්‍රශ්න කිරීමයි. ඇයට වෘත්තියෙන් හිමිවෙන විවේචනාත්මක දෘෂ්ටිය, ඇයගේ පවුල තුළට නොගෙන සිටීමට නොහැක. අවසානයේ සිදුවන්නේ ඇයගේ විවේචනශීලිත්වය විසින් ඇයව තව දුරටත් පීඩාවට පත් කිරීමයි.කලිසම් අඳින, කාර් එකේ යන කාන්තාව විඳින්නේ මාර නිදහසක් ලෙස සමහරෙකුට සිතන්නට පිළිවන. නමුත් ගැටලුව ඇත්තේ ඇයට හිමිවන සම්පත් වල නොවේ. ඇයගේ පන්තිය විසින් ඇයට උරුම කර දුන් සමාජීය දනුවත්භාවය තුලය. එම දැනුවත්භාවය විසින් ඇයව පීඩාවට පත් කරයි. කලුමාලී තුල මතු කරන්නේ පන්තිය විසින් උරුම කරදුන් සමාජීය දැනුවත්භාවයත්, පන්තිය විසින්ම උරුම කරදුන් නිහඬ හිංසනයත් එකිනෙක අභිමුඛ වීමයි. මෙම අභිමුඛ වීම තුල ඇය ඉබ්සේන්ගේ නෝරා මෙන් නිවසින් පිටවෙයි. නමුත් නෝරා යන්නේ නැවත නොඑන්නටය. මැය යන්නේ නැවත එන්නටය. නෝරා ජයගනියි. මැය නැවතත් පවුල තුල හිර වෙයි. එය කුමන පන්තියක හෝ වේවා ආසියාතික කාන්තාව ලබන පරාජයයි. ඇයට කොපමණ ගැටළු පැමිණියද පවුලෙන් ගැලවීමට නොහැක. සිදුවන්නේ ඇය තවදුරටත් පවුලටම බද්දවීමය.
චමිල ප්‍රියංක[Chamila Priyanka]