Featured Articles, Features, Ratnapura

පරිසර ඇමතිගේ අනුමැතියෙන් මාකන්දාව රක්ෂිතය දෙබෑ කරමින් පාරක්


වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් කිතුල්ගල, මාකන්දාව වන රක්ෂිතය හරහා වනාන්තරය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීමට සැලැසුම් සකස් කර අවසන් කර තිබේ. පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ගේ උපදෙස් මත මාර්ගය ඉදිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද ලබා දී තිබේ.

2010 වසරේ දී ප‍්‍රදේශයේ දේශපාලඥයන් කිහිප දෙනෙකු ගේ උවමනාව මත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වන රක්ෂිතයට හානි සිදු කිරීමේ චෝදනාව මත ගම්වාසීන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු පවරන ලදි. නමුත් මාර්ගය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මේ නඩුව ඉල්ලා අස්කර ගැනීමට 2012.09.19 වන දින දරන (මාගේ අංක – පී.එම්./06/02/01/63/2009) ලිපිය මඟින් වන සංරක්ෂණ ජනරාල් එච්.එම්.පී. හිටිසේකර මහතා විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට 2012.09.07 වන දින (මාගේ අංක – MPH/HWY/ADM/07/19/03/1892) ලිපියක් යොමු කරමින් වරාය හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සෝමසිරි මහතා සඳහන් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ මාර්ගය ඉදි කිරීමට සැලැසුම් කරනොමැති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ මාර්ගය ඉදි කිරීමට සැලැසුම් කරමින් සිටින බවය.

මේ අනුව පෙනී යන්නේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ම වන රක්ෂිතයක් වනසමින් නීති විරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීමට පරිසර අමාත්‍යතුමන් ගේ උපදෙස් මත සැලැසුම් සකස් කරන බව ය.

කිතුල්ගල, කැළණිවැලි රක්ෂිතයට අයත් මාකන්දාව රක්ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්වා ඉදිකිරීමට සූදානම් වන මේ මාර්ගයේ දිග කිලෝමීටර දෙකකි. එය වන රක්ෂිතය තුළ දියපහරවල් හරහා පාලම් හා බෝක්කු 4 කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්ෂ 169 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. මේ මාර්ගය සැකසීම පිළිබඳ ව මූලික සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පති, පල්ලෙබාගේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ ලේකම්, ජී. ජී. ධර්මසිංහ මහතා විසිනි. එය ක‍්‍රියාත්මක කිරීම සඳහා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ එච්. ආර්. මිත‍්‍රපාල මහතා හා ඔහු ගේ පුත් සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා විසින් සියලූ සැලැසුම් සකස් කරමින් සිටී. ඒ සඳහා සහයෝගය ලබා දීමට පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා විසින් පසුගිය අපේ‍්‍රල් මස 24 වන දින පල්ලෙබාගේ උතුර, වත්තේහන්දියේ දී පැවැති රැස්වීමේ දී ප‍්‍රදේශවාසීන් අමතා කියා සිටියේ මේ මාර්ගය රක්ෂිතය හරහා ඉදිකිරීමට පොරොන්දු වන බව ය. වන සංරක්ෂණ ආඥා පනත තුට්ටුවකට මායිම් නොකරමින් අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ම උත්තරීතර පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීති උල්ලංඝනය කිරීමට ජනතාවට පොරොන්දු වීම පිළිබඳ ව නීතියට ගරු කරන අය වශයෙන් අප කණගාටු වෙමු.

මීට ප‍්‍රථම මේ ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දැරණියගල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති, අනිල් චම්පික වීරසිංහ මහතා විසින් පල්ලෙබාගෙ ග‍්‍රාමයේ හා ඒ ආශි‍්‍රත රක්ෂිත වනාන්තරවල දැවමය ශාක මහ පරිමාණයෙන් කපා ඉවත් කරමින් පල්ලෙබාගෙ හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශ පානීය ජල හිඟයේ ගොදුරක් බවට පත් කළේ ය. අද වන විට කෙටි නියං කාලයක දී පවා එම ප‍්‍රදේශයේ දියපහරවල් සියල්ල සිඳී යයි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කිරීමටත් දැව ජාවාරම තවදුරටත් වර්ධනය කිරීමටත් මේ මාර්ගය හේතු විය හැකි ය. ඒ සඳහා පරිසර අමාත්‍යතුමන් විසින් නීති උල්ලංඝනය කරමින් සහයෝගය ලබා දීම කණගාටුවට කරුණකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ලෙස මාර්ගය තැනීමට අවශ්‍ය වනාන්තර ඉඩම් නිදහස් කිරීමට හා ශාක කපා ඉවත් කිරීමට, වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දීමට සිදුව ඇත්තේ පරිසර අමාත්‍යතුමන් ගේ බලපෑම මත ය.

ලංකාවේ පැරැණිත ම වන රක්ෂිත අතරින් එකක් වන මාකන්දාව රක්ෂිතය 1903 සැප්තැම්බර් 11 වන දින අංක 5911 දරන ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 192 ක් පමණ වන වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. කැළණිවැලි රක්ෂිතය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්තව ඇති මාකන්දාව රක්ෂිතය ජෛව විද්‍යාත්මක ව ඉතාම වටිනා ඉතාම දුර්ලභ ජීවී විශේෂ බොහොමයකට රැකවරණය සලසන කැළණ ග‍ෙඟ් ජල පෝෂක වනාන්තරයකි. පහතරට තෙත් නිවර්තන ද්විතියික වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශය හොර ශාක ප‍්‍රමුඛ ශාක ප‍්‍රජාවන් ගෙන් සමන්විතය.

මේ වන රක්ෂිතයේ ජෛව විද්‍යාත්මක වටිනාකම මෙතෙකැයි ලඝු කොට දැක්විය නොහැකි තරම් විශාල වටිනාකමකින් යුක්තය. මුළු ලොවින් ම මේ ප‍්‍රදේශයේ පමණක් වාර්තා වන හොර ශාක කුලයට(Dipterocarpaceae) අයත් Balanocarpus kitulgallensis ශාක කිහිපයක් පමණක් ඉතිරි ව ඇත්තේ මේ වන රක්ෂිතයේ පමණි. මේ ශාකය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස වද වීමේ තර්ජනයට ලක් වූ(Critically Endangered) ශාකයක් ලෙස නම් කර ඇත. මෙය මේ වනාන්තරයේ ඇති වැදගත්කම කියාපාන ප‍්‍රධාන එක් සාධකයක් පමණි. Orchidaceae කුලයට අයත් ලංකාවට ආවේණික දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropidia bambusifolia උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන දැනට හදුනාගත් එක ම වාසස්ථානය මේ වනාන්තරය යි. මීට අමතර ව ඉතාම දුර්ලභ ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂ වන Bromheadia srilankensis හා Dendrobium microbulbon ශාක මේ වනාන්තරයෙන් වාර්තා වේ. ලංකාවේ ඉතා ම දුර්ලභ හා එක ම ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වනාන්තරයේ දියපහරවල්වල ඉතා ම සුලූ වශයෙන් වාර්තා වේ.

Loranthaceae කුලයට අයත් පිළිල ශාකයක් වන Tolypanthus gardneri ශාකය මේ වනාන්තරයේ වාර්තා වන ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ ශාකයකි. Balsaminaceae කුලයට අයත් ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ පසු ව නැවත කිතුල්ගල ඇතුළු ව වනාන්තර කිහිපයකින් පමණක් සොයාගත් ලංකාවට ආවේණික කූඩළු විශේෂයක් වන ගල්දෙමට(Impatiens repens) මේ වනාන්තරයේ ඊට ම විශේෂිත වාසස්ථානවල පමණක් වාර්තා වේ. මේ ශාකය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ශාකයක් ලෙස නම් කර තිබේ. හොඳින් දිය සීරාව සහිත හා හොඳින් හිරුඑළිය ලැබෙන ස්ථානවල ගල්පර ආශ‍්‍රිත ව පමණක් මේ ශාකය දැක ගත හැකි ය. එම පාරිසරික තත්ත්වයන් වෙනස් වන අවස්ථාවල දී මේ ශාකය ඒ ප‍්‍රදේශවලින් විනාශ වී යයි.

බෝවිටියා කුලයට(Melastomataceae) අයත් අපිශාකයක් ලෙස වර්ධනය වන ඉතා ම දුර්ලභ ශාකයක් වන Medinilla cuneata ශාකය මේ වනාන්තරයේ වාර්තා වන ආවේණික, දුර්ලභ සපුෂ්ප ශාක අතරින් ඉතා ම වැදගත් ශාකයකි. මීට අමතර ව වැලක් ලෙස වැඩෙන Hoya pinipolia ශාකය ද ඉතා දුර්ලභ, ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි.

මේ වනාන්තරයේ කැළණි ගගේ ජල පෝෂක දිය දහරාවන් ආශ‍්‍රිත ගල්පර මත වැඩෙන Podostemaceae කුලයට අයත් ලංකාවට ආවේණික ඉතාම දුර්ලභ හා වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ජලජ ශාක වන Polypleurum eleomgatum, Farmaria metzgerioides හා Dalzillea zeylanicaශාක දැකගත හැකි ය. මීට අමතරව Araceae කුලයට අයත් දියරවල වාර්තා වන අතිඋඩයන් හා කෙටල ශාක විශේෂ වන ලංකාවට ආවේණික ඉතාම දුර්ලභ Cryptocoryne thwaitesii හා Legenandra thwaitesii විශේෂ වාර්තා වෙයි.

මේ මාර්ග ඉදිකිරීම සඳහා ශාක ඉවත් කිරීම, පස් කපා ඉවත් කිරීම හා දියපහරවල් හරහා පාලම් හා බෝක්කු ඉදිකිරීම හේතුවෙන් මේ දුර්ලභ ශාක දැඩි බලපෑමට ලක් විය හැකි අතර එම දුර්ලභ ශාක විශේෂවල වාසස්ථාන වෙනස් වීමෙන් ඉතා කෙටි කාල සීමාවක් තුළ විනාශ වී යා හැකි ය.

මේ වනාන්තරයේ අද්විතීය ශාක විවිධත්වයට නොදෙවෙනි සත්ත්ව විවිධත්වයක් ද දැකගත හැකි ය. මත්ස්‍ය, උභයජීවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායින් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 411 ක් පමණ මේ වනාන්තරයේ වාර්තා වේ. ඉන් විශේෂ 119 ක් ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප‍්‍රතිශතය 29% ක් තරම් ඉහළ අගයක් ගනී.

ඉහත කාණ්ඩ හයට අයත් ලංකාවේ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 40% ක් හා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 38% ක් මේ වනාන්තරයෙන් වාර්තා වීමෙන් මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම මනාව පැහැදිලි වේ.

කිතුල්ගල වනාන්තරයෙන් වාර්තාවන සත්ත්ව විවිධත්වය

ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර වඳවීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණපා ඇති ලංකාවට ආවේණික ඉතාම දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන අසෝක පෙතියා(Systomus asoka) කැළණි ගගේ අතුගංගාවන් වල මේ රක්ෂිත වනාන්තරයේ හා ඒ ආශ‍්‍රිත දියදහරාවන් පමණක් නිවහන කර ගෙන ජීවත් වේ. මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර තිබේ. මේ විශේෂයට අමතර ව ජොන්ක්ලාස්ගේ පුල්ලි අහිරාවා(Lepidocephalichthys jonklaasi) විශේෂය ද මේ වනාන්තරයේ කුඩා දියපහරවල වාර්තා වන ලංකාවේ ඉතාම සීමිත ව්‍යාප්තියක් ඇති දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මීට අමතර ව ලේ තිත්තයා(Puntius titteya), තල්කොස්සා(Belontia signata), හල්මල් දන්ඩියා(Rasboroides vaterifloris), කොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), ගල්වැලිගොව්වා (Sicyopteres halei), ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus) යන විශේෂ මේ වන රක්ෂිතයේ දියපහරවල වාර්තා වන දුර්ලභ මත්ස්‍ය විශේෂ වෙති. මාර්ග ඉදිකිරීම් සඳහා ශාක ඉවත් කිරීම, පස් කපා ඉවත් කිරීම හා ඇල මාර්ග වෙනස් කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමිවීමෙන් හා මාර්ග සැකසීමේ දී කපා ඉවත් කරණ පස් සේදී ගොස් දියපහරවල තැම්පත් වීමෙන් මේ මත්ස්‍ය විශේෂවල වාසස්ථාන වෙනස් වී මේ සතුන්ගේ පැවැත්මට දැඩි තර්ජන එල්ල විය හැකි ය.

ලංකාවේ පක්ෂි විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඉතාම වැදගත් වනාන්තරයක් වන මෙහි ලංකාවට ආවේණික ඉහළ කඳුකරයේ වාර්තා වන විශේෂ හැර සියලූ ම ආවේණික විශේෂ වාර්තා වේ. එම නිසා මෙය පහතරට තෙත් වනාන්තර ආශි‍්‍රත ආවේණික පක්ෂි විශේෂ සියල්ලම දැක ගත හැකි එකම වනාන්තරය ලෙස හැදින් වේ.

2004 වසරේ දී විද්‍යා ලොවට හඳුන්වාදුන් පඩුවන් බස්සා(Serendib Scops Owl) පළමු ව නිරීක්ෂණය කිරීමට ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම විශේෂය වාර්තා වන කුඩා ම වනාන්තරය ද මෙය වේ. ඊට අමතර ව මේ විශේෂයේ බෝ වීම පිළිබඳ ව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ අවදානමට ලක් වූ (Endangered) විශේෂයක් ලෙස නම් කර තිබේ. මේ පක්ෂි විශේෂය නැරඹීමට පමණක් බොහෝ විදේශීය පක්ෂි නිරීක්ෂකයන් මේ වනාන්තරයට පැමිණේ. මේ නිසා මේ වනාන්තරය ලොව පක්ෂි නිරීක්ෂකයන් අතර මහත් ප‍්‍රසිද්ධියට පත් වී ඇත. එවැනි වනාන්තරයක් දෙකඩ කරමින් මාර්ගයක් ඉදිකිරීම හේතුවෙන් සිදු වන වනාන්තර කුට්ටිකරණය මේ සතුන් ගේ පැවැත්මට ඉතා ම අහිතකර ලෙස බලපෑ හැකි අතර ඒ මත පදනම් වූ සංචාරක කර්මාන්තයට එය අහිතකර ලෙස බලපෑ හැකි ය.

මීට අමතර ව ලංකාවේ ඉතා ම දුර්ලභ ආවේණික පක්ෂි විශේෂ වන හිස සුදු මයිනා (White – faced
Starling), බට ඇටිකුකුළා(Green – billed Coucal), හිස අළු දෙමලිච්චා (Ashy – headed Laughingthrush) හා ලෙග්ගේ පිලිලගෙඩි සූටික්කා(Legge’s Flowerpecker) මෙහි වාර්තා වේ. මීට අමතර ව දුර්ලභ නේවාසික පක්ෂියකු වන දුම්කවුලූවා(Dollarbird) මේ වනාන්තරයෙන් වාර්තාවන තවත් සුවිශේෂී පක්ෂියෙකි.

උභයජීවීන් ගෙන් ඉතාම පොහොසත් වනාන්තරයක් වන මෙහි වාර්තාවන විශේෂ අතුරින් 75% ක් ලංකාවට ආවේණික වේ. කොටගමගේ කුරු ගෙම්බා(Duttaphrynus kotagamai), දික්හොඹු ගස් මැඬියා(Taruga longinasus) වැනි ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහොමයකට මේ වනාන්තරය නිවහන සලසයි. ලංකාවේ ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂ වන මූකලන් තෙලිස්සා(Hypnale zara), කෙටිවල් මැඩිල්ලා (Aspidura drummondhayi), රළු අග කටුස්සා (Ceratophora aspera) ඇතුළු ඉතා ම දුර්ලභ උරග විශේෂ රාශියකට රැකවරණය සලසන වනාන්තරයක් ලෙස ද මේ වන රක්ෂිතය හැඳින්විය හැකි ය.

මේ වනාන්තරය ඈත අතීතයේ රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම හොඳින් තහවුරු වන්නේ අද වන විට එහි සිදු කර ඇති ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයනවල දත්ත සම්පිණ්ඩනය කළ විට ය. මේ වනාන්තරයේ ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධවීමත් සමඟ ම සිදු වියයුතු වන්නේ එහි ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීම සඳහා සැලැසුම් සකස් කිරීම මිස එය වැනසීම සඳහා සැලැසුම් සකස් කිරීම නො වේ. නමුත් අද වන විට සිදුව ඇත්තේ මේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා නොව එය වැනසීම සඳහා වන රක්ෂිතය දෙකඩ කරමින් මාර්ග ඉදි කිරීමට ය. අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් හානිකර තීරණ ගැනීමට ප‍්‍රථමයෙන් පවතින නීති රීති පිළිබඳ ව හා එම පරිසර පද්ධතිවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම් පිළිබඳ ව විශ්ලේෂණාත්මක ව විමසා බලන
ලෙස ය.

2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරින් ඇතුළු වීම, රැදී සිටීම, ගස් කැපීම, දැව ඉවත් කිරීම, පස් කැපීම, වනාන්තර එළි කිරීම, පාරක් තැනීම, දැනට තිබෙන පාරක් වෙනස් කිරීම තහනම් ක‍්‍රියාවන්ය. මේ තහනම් ක‍්‍රියාවක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයකු අවුරුදු 5 ක් නොයික්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දස දහසකට නොඅඩු හා ලක්ෂයකට නොවැඩි දඩයක් සඳහා හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. තව ද එම සිදු කළ හානියට වන්දියක් ලෙස අධිකරණය මඟින් නියම කරන දඩමුදල ද ගෙවිය යුතු ය. තව ද මේ වරදක් සඳහා අධාර හෝ අනුබල දෙන හෝ එබදු වරදක් කිරීමට ඉඩ සලස්වන යම් තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර ඔහු ද ඉහත දඩුවම්වලට යටත් විය යුතු ය.

එවන් නීතිමය තත්ත්වයක් පවතිද්දී පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් හා පරිසර අමාත්‍යතුමන් මේ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදි කිරීමට අධාර අනුබලදීම යනු නීති විරෝධී ක‍්‍රියාවකි. මේ හේතුවෙන් මාකන්දාව වන රක්ෂිතය දෙකඩකරමින් හානිකර හා නීති විරෝධී ලෙස ඉදිකිරීමට සූදානම් වන මාර්ගය වහාම ක‍්‍රියාත්මක වන පරදි නතර කිරීමට කටයුතු කරන මෙන් වගකිවයුත්තන්ගෙන් අවධාරනයෙන් යුතු ව ඉල්ලා සිටිමි.

සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය