සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and Conflict, Peace and reconciliation, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු : මුලතිව්, කේප්පාපිලවු ජනයා යළි අනාථ කරයි.


පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ අවතැන් කඳවුරක් බවයි. අවතැන් කඳවුර ඉවත් කරන විට මැණික් ෆාම් හි ඉතිරිව සිටි පවුල් 361කට අයත් 1160 දෙනෙක් දීර්ඝ කාලීන සහ වෙහෙසකාරී කඳවුරු ජීවිතයකින් අනතුරුව නැවතත් තමන්ගේ ගම්බිම් වලට යාමේ බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් සිදුවූයේ මෙම ඉතිරි ජනයාව නැවත වතාවක් වෙනත් කඳවුරුවල සහ කැලෑවල රඳවා තැබීමයි. මුලතිව්, කේප්පාපිලවු ගම්මානයට අයත් පවුල් 212ක් සීනියාමෝට්ෙටෙ සහ සූරිපුරම් ප‍්‍රදේශ ආශ‍්‍රිතව තිබෙන කැලෑවේ, කිසිදු අභ්‍යන්තර පහසුකම් නොමැතිව එම පිරිස මේ වන විට අතහැර දමා ඇත. එම ගම්මාන වලට ඇතුළුවන මාර්ග වල හමුදා මුරපොළවල් ඉදිකොට ගම්මානයට පිටස්තර අය ඇතුළු වීම වලක්වා ඇත. දෙමළ ජාතික ජනතා පෙරමුණේ, මහ ලේකම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාවගේ ආධාර ඇතිව මෙම ගම්මානයට ඇතුළු වී තිබෙන අතර ඔහුගේ අත්දැකීම් ‘විකල්ප’ සමග පැවසුවේ මෙසේය.

කේප්පාපිලවු ජනතාවගේ තත්ත්වය කොහොමද?

කේප්පාපිලවු ප‍්‍රදේශයට අයත් පවුල් 212 ඒ අයට හිමි ප‍්‍රදේශයේ තවමත් පදිංචි කරලා නැහැ. ඒ අය තවම සීනියාමෝට්ෙටෙ සහ සුරිපුරම් ප‍්‍රදේශ වල තමයි ඉන්නෙ. කේප්පාපිලවු ප‍්‍රදේශයේ ජනතාව එක් අයෙකුට අක්කර 5ට වැඩි භූමි ප‍්‍රමාණයක් සහ සැලකිය යුතු පශු සම්පත් ප‍්‍රමාණයක් සහිතව ඉතා සාර්ථක ජීවිතයක් අතීතයේ ගත කළා.
මෙම ජනතාව දැනට සිටින ප‍්‍රදේශය සකසා ඇත්තේ ඩෝසර් මගින් කැලෑව එළි පෙහෙලි කිරීමෙන්. නමුත් ඒ මේ අත වැටී ඇති ගස් කඳන්, මුල් තවමත් ඉවත් කරලා නැහැ. ඒ නිසා මෙම ජනතාවට අඩුම තරමේ කූඩාරමක් වත් ඉදිකර ගන්න ඉඩක් මෙම භූමියේ නැහැ.

මැණික් ෆාම් කඳවුරේ සිට එන විට සෙවිලි තහඩු, කූඩාරම් මෙම ප‍්‍රදේශයට රැගෙන එන්න ජනතාව කටයුතු කරලා තියෙනවා. ජනතාවට ගෙවල් හදා ගන්න කියලා හමුදාව විසින් බල කරලා තියෙනවා. එහෙම ගෙවල් හදන තෙක් කිසිම පිටස්තර පුද්ගලයෙකුට මෙම ප‍්‍රදේශයට ඇතුළු වෙන්න හමුදාව විසින් ඉඩ දීලා නැහැ. ගෙවල් අහිමිව, කැලෑවේ අතරමං වෙලා ඉන්න ජනතාවව ජාත්‍යන්තරයෙන් දකියි කියන බයට තමයි මේ වගේ වැඩ කරලා තියෙන්නෙ. ඒ ජනතාව අතර වයසක අය, අත දරුවන්, යුද්ධයෙන් තුවාල වුණු අය හිටපු නිසාත් ඒ අය එලිමහනේ, අව්වට සහ වැස්සට හසුවෙමින් තබා ගැනීමට නොහැකි නිසාත් මෙම ජනතාව විසින් වාසස්ථාන හදා ගන්න උත්සාහ කරලා තියෙනවා. මම මෙම ප‍්‍රදේශයට ඇතුල් වුණේ මගේ අනන්‍යතාවය තහවුරු නොකර. බැරි වෙලාවත් හමුදාව විසින් මම කවුද කියලා දැනගත්ත නම් මට මේ ප‍්‍රදේශයට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ.

කේප්පාපිලවු ප‍්‍රදේශයේ මේ ජනතාවට හිමි ප‍්‍රදේශයේ ඔවුන්ව පදිංචි නොකිරීමට හේතුව මොකක්ද?

කේප්පාපිලවු ප‍්‍රදේශයේ හමුදා කඳවුරු සහ හමුදා නිල නිවාස රජය විසින් ඉදිකර තිබෙනවා. ඒ නිසා මෙම ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නම් කරලා තියෙනවා. එවැනි ප‍්‍රදේශයක ජනතාව පදිංචි කරවන්න බැහැ කියලා ආරක්ෂක අංශ කියනවා.

ජනතාවට රජය විසින් සහන සලසලා තිබෙනවද?

මැණික් ෆාම් සිට පිටවෙන කොට රජය විසින් එක් පවුලකට හාල් කිලෝ 10 බැගින් දීලා තියෙනවා. ඉන්පසුව මේ වන තෙක් කිසිදු සහනයක් රජය විසින් මෙම ජනතාවට ලබා දීලා නැහැ. සැලකිය යුතු ඉඩම් ප‍්‍රමාණයක් තම අයිතිය යටතේ තිබුණත් ජනතාව අද කුලී වැඩ කරමින් ජීවත් වෙන තත්තවයකට පත් වෙලා.

අභ්‍යන්තර පහසුකම් ලබා දීලා තියෙනවද?

හමුදාව විසින් දිනපතා සවසට ජලය ගෙනැත් දෙනවා. මෙම ජලය පානය කරන්න නොසුදුසු තත්ත්වයේ තිබුණත් අකමැත්තෙන් හෝ අපිරිසිදු ජලය පානය කරන්න ජනතාවට සිදු වෙලා තියෙනවා. නාන්න ජලය සොයාගෙන හුඟක් දුර යන්න ඕනෙ නිසා බොහෝ අය සතිගණන් නාන්නෙ නැතිව ඉන්නවා.

ඒ අය දැනට පදිංචි වෙලා සිටින ප‍්‍රදේශයට ඈතින් කැලැවේ වැසිකිළි හදලා තියෙනවා කියලා ඊයේ(04) මට එම ප‍්‍රදේශයේ කාන්තාවක් දැනුම් දුන්නා. එම කැලෑබද ප‍්‍රදේශය වටා හමුදාව සිටින නිසා විශේෂයෙන්ම කාන්තාවන් වැසිකිළි කටයුතු සඳහා එම ප‍්‍රදේශයට යාමට අකමැතියි. ඒ නිසා බොහෝ කාන්තාවන් රාත‍්‍රියේ ඒ අයගෙ ගෙවල් අසල වැසිකිළි කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා.

ළමයින්ට පාසැල් යන්න සිදුවෙලා තියෙන්නෙ කිලෝමීටර් තුනකටත් වඩා දුර ගෙවාගෙන. මෙම ජනතාවට කේප්පාපිලවු ප‍්‍රදේශයේ තිබෙන පාසැලකට හෝ කෝවිලකට යාමටවත් හමුදාව විසින් තහනම් කරලා තිබෙනවා. මෙහෙ තිබෙන තත්ත්වය පිටස්තර අයට කියන්න එපා කියලා ජනතාවට හමුදාව විසින් තර්ජනය කරනවා.

මෙම ජනතාව ඒ අයට හිමි ප‍්‍රදේශවල නැවත පදිංචි කරයි කියලා ඔබ හිතනවද?

ජනතාව දැනට ඉන්න මේ කැලෑබද ප‍්‍රදේශයේ හමුදාව විසින් ස්ථීර ළිං හාරමින් සිටිනවා. කේප්පාපිලවු ප‍්‍රදේශයේ පාසැලක් තිබුණත් මේ ප‍්‍රදේශයේත් පාසැලක් හදන්න සැලසුම් කරනවා කියලා ආරංචියි. පේන විදිහට රජය උත්සාහ කරන්නේ මෙම ජනතාව මේ කැලෑබද ප‍්‍රදේශයේම ස්ථීරව පදිංචි කරන්න. නමුත් තමන්ට අයිතිව තිබූ ප‍්‍රදේශ වල තමන්ව නැවත පදිංචි කරන්න කියලා ජනතාව ඉල්ලා සිටිනවා.