[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
[Photo credit | Dushiyanthini Kanagasabapthipillai]
‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක් ජනමාධ්‍ය පිරිසකට කී කතාව
කන්දක් විලිළා මී පැටියකු වැදුවාටටත් වඩා අන්ත ය. එක්තරා විදිහක හත් පළේ ගා ගැනීමකි. රාජපක්ෂ ආණ්ඩුවේ අපරාධකාරි අධි විශ්වාසය එනම් තමන්ට ඕනෑම වරදක් කර ගැලවිය හැකිය යන භයංකාර අහංකාරය යළි රඟ දැක්වීමක් ද විය.
එනමුත් මේ වතාවේ වැරදුණි. අධි විශ්වාසය පාරා වළල්ලක් බවට පත් විය. කොටා තිබෙන්නේ කෙසෙල් ගසකට ය. හොටය යළි ඇඳ ගැනීම අමාරුය. වන්නියෙහි මහ කැළයක් මැද දැන් අන්ත අසරණ යන එන මඟක් නැති දුගී ගැහැණූ පිරිසක් අද්විතීය යැයි සැළකෙන රාජපක්ෂ පාලනයට ගොඩ ආ නොහැකි අභියෝගයක් එල්ල කරති. ඒ තමන්ගේ මනුෂ්‍ය අයිතිය බාල්දු කිරීමට එරෙහිව ය.
ඒ ගැහැණූ, මිනිස්සු සහ දරු මල්ලෝ යළි පදිංචි කර වීමට යැයි කියා කඳවුරෙන් ගෙන ගොස් දැමූයේ මහ කැළයට ය. සන්නාහ සන්නද්ධ හමුදා බලකා විසින් බියකරු මුරකාවල් ලූ පාලූ බිමකට ය. මුළු මහත් ප්රජාවක්ම බිය ගැන්වීමට යොදා ඇති දැවැනත යුද්ධ යන්ත්‍රයක දැති සහ රෝද ඔවුන් වටා ද බ්‍රමණය කෙරෙන පසුබිමකට ය.
කන්දක් විළිරුජා ලෑවේ යුද්ධාවසානයෙන් පසු 300,000ක් දෙමළ ජනයා රඳවා තැබුණූ මැණික් ෆාම් නම් මහා කඳවුර අවසාන වශයෙන්ම වසා දමන බව ලොවට කීමට ය. ඉන් කියැවුණේ අවසාන සරණාගතයාත් යළි පදිංචි කර අවසන් බවයි. මසක් ගිය තැන ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙහි පැවැත්වෙන ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව වාරික විමර්ශණය (UPR) ට පෙර අන්තිම සරණාගතයාත් පදිංචි කර අවසන් යැයි උරුලැන් බෑමට ය. අහෝ ! මේ අසරණ ජනයා බිලි බවට පත් වූහ.
එහෙත් බොරුව පරයා ඇත්ත ලොවට කීමට ඒ අසරණයින් අතර සිටි බිය නැති ගැහැණූ ඉදිරිපත් වූහ. තමන් හමුවට ආ ක්රියාදරයනට සහ ජනමාධ්‍යවේදීනට ‘ඔන්න අපේ පින්තූරත් ගන්න’ යැයි නිර්භයව කී ඒ ගැහැණූ මෙසේ ඇසූහ:
‘‘ අපේ ඉඩම් අල්ල ගෙන අපි කැලේට දාන්නේ නැතිව ඇයි හමුදාවට බැරි කැලේට යන්න?’’
‘‘ අපේ ඉඩම් වල අපට ආයෙම වගා කරන්න දෙන්නේ කවදද?’’
‘‘අපි ධිවර කර්මාන්කෙට මුහුදු ගිය ඒ මුහුදට අයෙ කවදද අපට යන්න දෙන්නෙ? අපට යන්න කියන කොට අපි තියල ගියපු බෝට්ටුයි දැල් පන්නයි ආයෙ කවදද අප දෙන්නේ?’’
‘‘ ඇයි මේ අපි ඉන්න හරියට මුර පොළකින් වහල තියෙන්නේ?’’
‘‘ඇයි මේ අපි වටේට හමුදාවයි රහස් ඔත්තුකාරයොයි කර කැවෙන්නේ? රටේ අනෙක් මිනිස්සුන්ට තියෙන නිදහස අපට තවම නැත්ද?’’
‘‘ඇයි පිටස්තර අයට ඇවිලිල අපට කතා කරන්නයි පින්තූර ගන්නයි දෙන්නේ නැත්තේ?’’
‘‘ ඇයි අපි මෙහෙම වෙනින් කඳවුරකට ගෙනැත් දැම්මේ? මොක්කද මෙතනයි මැණික් ෆාම් එකෙයි තියෙන වෙනස’’
‘‘ ඇයි පාලකයින්ට අපි මෙහෙම ගෙනත් දාන්න ඉස්සෙල්ල කැලෑව සුද්ද කරන්නවත් බැරි?’’
‘‘ අපට කවදද ආයෙ කෝවිලකුයි පල්ලියකුයි හම්බ වෙන්නේ?’’
දැන් ලෝකයම මේ කතාව දනී. ජනීවා නුවර බොහෝ තානාපති කාර්යාලද මේ වින්නැහිය හොදින්ම දන්නා බව කියැවේ.
මේ වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් පුරාම මුලතිව් දිසාවෙහි පුදිකුඩිඉරිප්පු සහ මරිත්තුමෙපත්තු කලාපයන්හි ජීවත්වූ ජනයා මැණික් ෆාම් කඳවුරේ සිට ගෙන ගොස් මඟ දෙපස අත හරින ලදී. ඔවුන්ට වහළ ලෙස තිබුණේ වන පියස සහ අහස පමණි. එමෙන් ම ඔවුන්ගේ ගේ-දොර විනාශ කොට ඒවායේ දොර ජනෙල් ද ගලවාගෙන ගොස් තිබුණි. මේ බොහෝ තැන්හිදී මේ ජනයාගේ ගේ-දොර ඉඩ-කඩම් ශ්‍රී ලංකා සමාජවාදී ප්රජාතන්ත්රවාදී ජන රජයේ ආරක්ෂක හමුදාවන් විසින් සිය භුක්තියට ගෙන තිබුණි. ඒ සිය බලය නීතිය බවට පත් කර ගනිමිනි.
මතක තබා ගන්න, මෙළෙස අසාධාරණ විශම සැළකීමකට ලක් කැරෙන්නේ සිය සරුසාර ඉඩම්හි ගොවිතැන් බත් කරගෙන නිවහල් ජීවිතයක් ගත කල ජන පිරිසකට බව. ඔවුන්ගේ ඉඩම් සංවර්ධන කොට තිබුණේ කෘෂි කර්ම ලිං ද ඇතිව ය. මේ එක් නිදසුනකි. මැණික් පාම් කඳවුරෙන් අන්තිමට ඉවත් කරන ලද ජනයා ජිවත් වූයේ කෙප්පිල්ලාවු ග්‍රාමයේ ජනයා ජීවත් වූ අක්කර 528ක් ද කාෂිකාර්මික ඉඩම් අක්කර අක්කර 684 ද විය. දැන් ඒ සියල්ල ජනයාගෙන් උදුරාගෙන හමුදා සන්තකයට ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි.
තෙවසරක් පුරා කඳවුරු ගතකර සිටි මේ ජනයාට ඒ සා කාලයක් ගත වීත් ජිවත්විය හැකි පරිසරයක් ඔවුන්ගේ ගම් බිම්හි නිර්මාණය කිරීමට රාජපක්ෂ රජය පියවර නොගත්තේ මන් ද? හදිසියේම වන සිව්පාවුන් සේ සළකා මේ ජනයා මහ වනයට අත හැරියේ මන්ද?
දිය හැකි පිළිතුර එකම එකකි. ඒ මේ වනාහී යුද්ධ කලාපයේ ජිවත් වූ දෙමළ ජනයා වීම නිසා ය. එම දෙමළ ජනයාට සමාන අයිතීන් සහ මානව ගරුත්වයක් ඇතැයි රාජ්‍යය නොසිතන නිසා නොවේ ද?
මේ අසරණ අහිංසක ජනයා වටා යුද හමුදා මුර කපොළු පිහිටවූයේ කුමන හේතුවක් නිසා ද? මේ ජනයා හමු වී ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමට ගිය ජනමාධ්‍යවේදීන් වලක්වන ලද්දේ කුමක් නිසා ද? තමුන්ගේ වැඩක් බලා ගෙන නිකං ඉන්නැයි ජනමාධ්‍යවේදිනියක් බිය ගන්වන ලද්දේ මක් නිසා ද? මේ ජනයාට තෙවසරකට පසුත් සිය නිදහස භුක්ති විදීමට රාජපක්ෂ රජය ඉඩ නොදෙන්නේ මක් නිසා ද?
ඇත්තේ එකම පිළිතුරකි. එනම් දෙමළ ජනයා විශ්වාශ කිරීමට සිංහළ බහුතර රාජ්‍යයෙහි ඇති නොකමැත්ත සහ නොහැකියාව නිසා බව ය. යුද්ධාවසානයෙන් තෙරවරකට පසුත් දෙමළ ජනයා විශ්වාස කිරීමට නොහැකි ඊට සූදානම් නැති රාජ්‍යයකට කවර නම් ප්‍රති සංධානයක් ඇති කළ හැකි ද? එවැනි රාජ්‍යකට හැක්කේ යුද හමුදා මත රදා පවතිමින් තමන් විසින් අවිශ්වාස කරන මේ ජනයා යටපත් කරීම පමණය. මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ සතුරා දෙමළ ජනයා ලෙස වත්මන් ආණ්ඩුව කල්පනා කරන බව ය. නැත්නම් මෙවැනි හමුදා මුරකාවල් කුමට ද?
දෙමළ ජනයා කෙරෙහි දැක්වෙන මේ අසංවේදී රාජ්‍ය හැසිරීම නිවෙස් සෑදීමට අරමුදල නැතිකම හෝ ඒ කාරිය ඉටු කිරිමට කාර්්යක්ෂමතාවය නැතිකම පිළිබඳ හෝ ප්‍රශ්ණයක් නොවේ. නිකමට බලන්න, පසුගිය තෙවසර තුළ හම්බන්තොට නම් සාපේක්ෂ වශයෙන් ජන ශුන්‍ය කලාපයෙහි කරන ලද මහා ඉදි කිරීම් කන්දරාව. ඒ හැකියාව මේ සරණාගතයින් වෙනුවෙන් ක්‍රියාවට නොදැමෙන්නේ සිංහල බහුතර රාජ්‍යයෙහි නිදන්ගත දෙමළ විරෝධය නිසා නොවේ ද? මේ ක්ෂණික ඉදිකිරිමේ හැකියා පෙන්වා ඇත්තේ හම්බන්තොට දී පමණක් ම නොවේ. මේ දෙමළ ජනයා ජිවත් වන පසුගිය යුද්ධ කලාපයෙහි ම මහා යුද කඳවුරු සහ යුද හමුදා සෙබළුන්ගේ නිවෙස්න ගොඩ නැගීම අතින් ද සීග්‍ර ප්‍රගතියක් රාජ්‍යය පෙන්වා තිබේ. ඒ කාර්්යක්ෂම බව මේ ජනයා සම්බන්ධයෙන් කෝ?
දෙමළ ජනයාට දක්වන විශම සැළකීම පෙන්වන සිත් කා වදින උදාහරණයක් ජායාරුප සමගින් පසුගිය දාක වෙබ් ජනමාධ්‍යක පළ වී තිබුණි. ලියා තිබුණේ රුකී විසිනි. ඒ මුලතිව්හි යුද හමුදාව විසින් කළක් අල්ලා ගෙන සිටි මන්තුවිල් ගමෙහි ජනයාට සැළකූ හැටි ය. මෙ ගමෙහි පවුල් හයක් සතු වටිනා ඉඩම් පසුගිය තෙවසර පුරාම හමුදාවේ ප්‍රයෝජනයට යොදා ගෙන තිබුණි. හමුදා ප්‍රයෝජනයට එහි ගොඩනැගිලි ගණනාවක් ද වැසිකිලි යනාදිය ද නිමවා තිබුණි. යලි ඉඩම් තමන්ට බාර දීමේදී එකී ගොඩ නැගිළි විනාශ නොකරන ලෙසත් ඒවා සිය ප්‍රයෝජනය පිණිස ඉතිරි කරන ලෙසත් එම ජනයා ඉල්ලා සිටියහ. එනමුත් හමුදා ප්‍රධානීන් නියෝග කළේ සියළු ගොඩනැගිළි ගලවා ගඩොල් ආපසු රැගෙන එන ලෙස ය. අවසානයේ දී යුද හුමදා පිරිස් වැසිකිළි පවා ගලවාගෙන ගියෝ ය. ඒ මේ ජනයාට සැළකූ හැටි ය. එය පැහැදිළි විශම සැළකීමකි. එනමුත් තෙවසරක් භුක්ති විඳි එම ඉඩම් වෙනුවෙන් එක් සතයක හෝ වන්දියක් හෝ බද්දක් මේ ජනයාට යුද හමුදාව හෝ රජය හෝ ගෙවූයේ නැත. මේ සිදුවීම පෙන්නුම් කරන්නේ දෙමළ ජනයා දිනා ගැනීමට නොව ඔවුන්ගෙන් පළි ගැනීමට තවමත් රාජපක්ෂ පාලනය දක්වන අභිලාශය යි. ඒ මතු කී පරිදි දෙමළ ජනයා කෙරෙහි ඇති අවිශ්වාශය ද නිසා ය.
වනයට අත හරින ලද ජනයා හමුවට ගිය සමාජ ක්‍රියාකාරිකයකු කියන්නේ තමන් ආපසු පිටත් වන විට බෞද්ධ ආගමික බණ සහ ගාථා විකාශනය වීමට පටන් ගත් බවයි. මෙම පෙදෙසෙහි හින්දූන් සහ කිතුනුවන් හැර කිසිදු බෞද්ධයකු නැත. එනමුත් යුද හමුදාව විසින් අලූතින් ගොඩ නගන ලද විහාරයක් තිබේ. පුදුමයක් සේ පෙනෙන මුත් මේ බලහත්කාර බණ දේශනා විකාශනය කැරෙන්නේ එයිනි.
මෙමගින් බෞද්ධ ආගම ද ශ්‍රී ලංකා මිලිටරි යන්ත්‍රයේ කොටසක් බව මෙසේ පළි ගැනීමට ලක් වූ ජනයාට අමතක නොවන සේ මතක් කර දෙකු ලැබේ. එගමෙහි සම්ප්‍රදායිකව ජිවත් වූ ජනයා කැලෑවට පන්නා ඉඩම් යුද හමුදාව අල්ලා ගෙන තිබේ. ඔවුන්ට සිය ආගම ඇදහීමට කෝවිලක් හෝ දේවස්ථානයක් හෝ නැත. ඒ වෙනුවට යුද හමුදා ආරක්ෂාව ඇතිව බණ අවට වාතය සිසාරා යයි.
ඔබට එවැනි පරිසරයක ජිවත්වීමට සිදු වුවහොත් ඔබ කුමක් කරනු ඇත් ද? ඔබ පවුලේ යෞවනයින් මොනවා සිතනු ඇත් ද? එවැනි පරිසරයක හැදෙන වැඩෙන ඔබේ දරුවන් කෙළෙසක ප්‍රතිචාර දක්වනු ඇත් ද?
බිය ගැන්වීම රාජපක්ෂ පාලනයේ මුර පදය යි. රටෙහි සියළු අනෙක් අදහස් අනෙක් ඉල්ලීම් අනෙක් උද්ඝෝෂන සම්බන්ධයෙන් බිය ගැන්වීම හැර වෙන රාජපක්ෂ ආණ්ඩුව දන්නා වෙනත් ප්‍රතිචාරයක් නැත. එසේ නමුත් දැන් මේ වන්නියේ ගැහැණූ ඒ මුර පදය සොරා ගෙන බිය අහෝසි කොට ගෙන තිබේ. තමන් මත බලයෙන් ඇති කරන ලද ඉරණමට එරෙහිව ඔව්හු ලොවට කතා කළහ. මේ සටහනෙහි බොහෝ කරුණු ඒ ගැහැණුන් ලොවට කී කතාවලින් උපුටා ගත් ඒවා ය.
දැන් තිත්තයාගේ වාරය යි. ඒ ගැහැණුන්ට ජයවේවා.
සුන්නද දේශපි‍්‍රය[Sunanda Deshpriya]