විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද විය. මේ නිසා, එම ඉල්ලීම ජයග්‍රහණය නොකොට ආපසු වැඩට යාම, වර්ජනයේ අසාර්ථකත්වය මනින මූලික මිණුම් දණ්ඩ බවට අද පත්ව ඇති බවක් පෙනේ.
සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ආකාරයෙන් මේ වෘත්තීය සමිති අරගලය සමග අනන්‍ය විණි නම්, ඒ මේ කියන ඉල්ලීම නිසා බව සැබවි. එහෙත්, වැඩ වැරූ මාස තුනේ පඩිය පමණක් අතට ගෙන, අවශේෂ ඉල්ලීම් පිළිබඳ නොපැහැදිලි ප්රකාශනයකින් සෑහීමකට පත්ව සියයට 6 පස්සට තැබීම පරාජයක් නම්, එම පරාජයේ වගකීම දැරිය යුත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම ද යන්න විමසා බැලීම මෙහි අරමුණයි.
මුලින්ම, සියයට හයේ ඉල්ලීම තනි වැඩ වර්ජනයක් හරහා අත්පත් කරගත හැකි දෙයකැ යි සිතීම මුළාවකි. මෙම සටන උත්තම තලයට ඔසවා තැබූ එම ඉල්ලීම අප වටහාගත යුත්තේ දීර්ඝ ක්‍රියාවලියක පුළුල් දිසානතිය විවර කිරීමක් වශයෙනි. එබැවින්, මෙම ඉල්ලීම ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කර ගැනීම සඳහා සැරසිල්ලක් වශයෙන් පාවිච්චි කෙළේ යැයි අර්ථගැන්වීම හෝ එය අත්පත් කරගන්නේ නැතිව සේවයට යෑම සටන පාවාදීමක් වශයෙන් ගෙනහැර දැක්වීම සහෝදරාත්මක නෝක්කාඩුවකට ගැළපෙතත්, වෘත්තීය අරගල ගතිකත්වයන්ට මායිම් වන්නක් නොවේ.
මෙම අරගලයට විවිධ සමාජ කොටස් විවිධ ආකාරයෙන් දායක විය. විශ්ව විද්‍යාලයෙන් පරිබාහිර වෘත්තිය සමිති ව්‍යාපාර ඇතුලූ සිවිල් සංවිධාන සහ කලාකරුවන් ඒ අතරින් ප්‍රධාන යි. ස්පර්ශ කළ හැකි සාර්ථකත්වයකින් තොරව හිටිහැටියේම සටන අවසන් වීම, මෙයින් බොහෝ දෙනාව විමතියට පත්කෙළේය.
ඊට අමතරව, මේ සටන ආරම්භයේ සිට එහි අසාර්ථකත්වය අපේක්ෂා කළ ඇතැම් කොටස් ද විය. ආණ්ඩුව සහ එහි ඇමති ඝනයා හැරුණු කොට, ආණ්ඩුවේ දේශපාලනයට පොදුවේ එරෙහි වෙතත් මෙම සටනටත් පක්ෂ නොවු කොටස්, අද මෙම ‘අසාර්ථකත්වයෙන්’ වඩාත් තෘප්ත වන්නෝ වෙත්. ‘‘අපි කිව්වේ ඕක තමයි’’ යන්න ඔවුන්ගේ උදාන වාක්‍යයි. නිර්මාල් රංජිත් දේවසිරි වැන්නන්, බැසිල් රාජපක්ෂ වැනි දේශපාලඥයෙකු කෙරෙහි තමන් විශ්වාසය තබන්නේ යැයි කීම, මෙම චෝදනාව තවත් ශක්තිමත් කෙළේය.
වටපිටාව එසේ තිබිය දී, වැඩ වර්ජනයේ සැබෑ ගතිකත්වයන් ගැන සිතා බැලීම අවශ්‍ය කෙරේ. වැඩ වර්ජන තුළින් ඉල්ලීම් දිනාගැනීමේ ‘ක්‍රය ශක්තිය’ පසු ගිය දශක කිහිපය තුළ විශාල පසුබෑමකට ලක්ව තිබෙන බව ඒ සම්බන්ධයෙන් කළ හැකි ප්‍රථම නිරීක්ෂණය යි. එහි සමාරම්භය වුණේ, 1980 ජුලි වැඩ වර්ජනය යි. මෙයින් පසු ලංකාවේ හරිහමන් මහ වැඩ වර්ජනයක් ඇති වී නැත. අද වන විට, වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම, තම තමන්ට හැකි පමණින්, තනි තනියෙන් උරදිය යුතු, ඒ නිසාම බොහෝ විට අසාර්ථකත්වයකින් කෙළවර වන, ආයාසයන් බවට පත්ව ඇත. ඒ අවාසනාවන්ත තත්ත්වයට සෘජුව ගොදුරු නොවන වෘත්තීය ක්ෂේත්‍ර නැතිවා නොවේ. වෛද්‍ය, බැංකු, විදුලිය, ඛනිජ තෙල්, ගුවන් සේවා, රේගුව සහ වරාය වැනි අංශවලට පාලක පංතිය සමග මාස ගණන් ඔට්ටු වීමට සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.
මේ කේවල් කිරීමේ ජවය වර්තමාන නව ලිබරල් ක්‍රමය තුළ අඩුවෙන්ම අත්පත් කරගත් අංශය වන්නේ අධ්‍යාපනය යි. එහි අදහස, අධ්‍යාපනය යනු නාස්ති කළ හැකි සහ අරපිරිමැස්මක් අවශ්‍ය නොකරන බාල භාණ්ඩයක තත්ත්වයට, අපේ සමාජය තුළ පිරිහී ඇති බවයි. අවුරුද්දක් විශ්ව විද්‍යාල වසා දැම්මත් රටට සිදුවන කිසි පාඩුවක් නැතැ යි, සිය ජීවිත කාලයම විශ්ව විද්‍යාලයෙන් යැපුණු නලින් ද සිල්වා වැන්නන් කියා තිබීමෙන් එය වඩාත් පැහැදිළි කෙරේ.
මේ නිසා පාසල් වේවා, විශ්ව විද්‍යාල වේවා, ඕනෑම ගුරුවරයෙකු වැඩ වර්ජනයකට යන්නේම, ආරම්භක අවාසියක් කරපින්නාගෙන බව අමතක නොකළ යුතුය. පටන් ගත් සටනක් අතරමග අතහැර දැමීමට එය හේතුවක් නොවෙතත්, (මන්ද යත්, කල් තියා එය දැනගත යුතුව තිබුණු නිසා) අර කී මූලික අවාසියට අමතරව, මේ අතහැර දැමීමට බලපෑ වෙනත් හේතු කවරේ දැ යි සාවධානව සහ මධ්‍යස්ථව සළකා බැලීමේ වගකීමක් ද කෙනෙකුට තිබේ.
වර්තමාන තත්ත්වයන් යටතේ වැටුප් රහිතව දරාගෙන සිටිය යුතු යැයි, දේශපාලඥයන් හැරුණු කොට, වෙනත් ඕනෑම වෘත්තිකයෙකුගෙන් සාධාරණ මට්ටමකින් අපේක්ෂා කළ හැකි කාලය, මගේ කල්පනාවේ හැටියට, මාසයක් ඉක්මවිය නොහැකිය. එය අප නොදැන සිටියාට හෝ නොදන්නා බවක් පෙන්නුවාට, එස්. බී. දිසානායක ඇතුලූ ආණ්ඩුව හොඳින් දැන සිටියේය. යම් අරගලයක් මේ කියන කාලය ඉක්මවන්නේ නම්, ඔවුන්ව චින්තනමය වශයෙන් මෙන්ම භෞතික මට්ටමෙන් ද නඩත්තු කිරීමේ තාවකාලික යාන්ත්රනයක්වත් සමාජයකට තිබිය යුතුය. එය, හාල් ගෝනියක් හෝ එළවලූ කූඩයක් සංකේතාත්මකව පිරිනැමීමෙන් කළ හැක්කක් නොවේ. එසේ නම් කළ යුත්තේ කුමක් ද? මේ කියන ආරම්භක කාලයේ දී අදාළ වැඩ වර්ජනය වෙත බාහිර සමාජයෙන් සැපයුණු දායකත්වය, එම කාලය ඉකුත් වීමෙන් අනතුරුව, හැකි ඉක්මණින් වෙනත් තලයකට ගුණාත්මකව මාරු විය යුතුව තිබුණු බවයි.
උදාහරණයක් වශයෙන්, පළමු මාසයේ දී අරගලයට සහයෝගය පතා ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම සාධනීය දායකත්වයක් වෙතත්, කල් යත්ම සටන ප්‍රායෝගික මට්ටමකින් ඉදිරියට නඩත්තු කිරීමට එවැන්නකින් ලැබෙන දායකත්වය අල්ප ය. ඊට පසු, ප්‍රධාන නගරවල මහා රැස්වීම් පැවැත්විය හැකිය. රූපවාහිනියේ සංවාද කළ හැකිය. දීර්ඝ පාගමන් යා හැකිය. එහෙත් ඒ සටන් ක්‍රමවලටත් ‘ආයු කාලයක්’ තිබේ. එක පාගමනක් ගිය පසු තවත් පාගමනක් යන්නට පුළුවන් කමක් නැත. මේ නිසා, අදාළ මතය සමාජගත කිරීමේ එම වෑයමෙන් පසු, ඊට වඩා ඉහළ තලයකට එම අදහස ඔසවා තැබීමේ ඉරියව්වකට සටන මාරු විය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන්, පාසල් ගුරුවරුන්ව, අඩුම වශයෙන් එක දවසක සංකේත වැඩවර්ජනයකට කැඳවීමේ හැකියාවක්වත් තිබිය යුතුය. පාලකයා වෙත මුදාහැරෙන පීඩනට අමතරව, එය අර කියන අරගලකරුවන්ව භෞතිකව නඩත්තු කිරීමේ නොහැකියාවට සරිලන කාලීන හිලව්වක් ද වන්නේය.
කෙසේ වෙතත්, තවත් සතියක් හෝ දෙකක් යන විට එය පවා ප්‍රමාණවත් වන්නේ නැත. එවිට, වෙනත් ක්ෂේත්රවල, උදාහරණයක් වශයෙන්, බැංකු ක්ෂේත්රය හෝ විදුලිබල ක්ෂේත්රය වැනි, රජයට සහ ආර්ථිකයට සෘජුව දැනෙන අංශයක් හෝ දෙකක්, අකුරට වැඩ කිරීමේ මාවතකට තල්ලූ කරගත හැකි විය යුතුව තිබුණි. මෙයින් අවධාරණය කෙරෙන්නේ, වැඩ වර්ජිත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව මාස තුනක් තිස්සේ භෞතිකව නඩත්තු කිරීමට සමාජයකට ඇති නොහැකියාව පියවාගත හැකිව තිබුණේ, ඔවුන්ගේ ප්‍රශ්නයට නෑසූ කන් ඇතිව සිටි පාලකයා වෙත, එම පාලකයාට දැනෙන භාෂාවකින් පීඩනය උග්‍ර කිරීමෙන් පමණක්ම වන බවයි. මෙය විශ්ව විද්‍යාල ආචාර්යවරයා සම්බන්ධයෙන් පමණක් නොව, නූතන ආර්ථිකය තුළට ක්ෂණික ආදායම් පොම්ප නොකරන වෙනත් ඕනෑම සේවක ක්ෂේත්රයක වර්ජන අරගලයක් සම්බන්ධයෙන් ලංකාව වැනි රටක අනාගතයේ දීත් අදාළ වන්නකි.
කරුණු එසේ තිබිය දී, මාස තුනක් ඇවෑමෙන් තවත් මාස තුනක් පඩි නැතිව හිටපල්ලා යන විධානය කිරීමට අපට ඇති සදාචාරමය අයිතිය මට ගැටළුකාරී ය. මේ සටන් ක්‍රමය 1980 දී අත්හදාබැලූණි. ප්‍රතිඵලය වුණේ විනාශයකින් සියල්ල කෙළවර වීමයි. අවසාන ලේ බිංදුව දක්වා සටන් කිරීම තුළ වීරත්වයක් තිබිය හැකි බව ඇත්ත. එහෙත්, එයින් අවසානයේ ලබාදෙන්නේ අපේක්ෂිත ප්‍රතිඵලය නොවේ නම්, ඊටත් වඩා, අපේක්ෂිත ප්‍රතිඵලයේ ප්රතිපක්ෂය නම්, කළ යුතුව ඇත්තේ පියවරක් පස්සට ගැනීමයි. එය පාවාදීමක් විය හැක්කේ, එසේ පස්සට ගන්නා එක පියවරක් අනාගතයේ ඉදිරියට තැබෙන පියවර දෙකක සංයුක්ත අඩිතාලමක් නොවන්නේ නම් ය.
ඒ ගැන විනිශ්චයකට පැමිණිය යුත්තේ අද නොව, හෙට ය.
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]