මෙත්සිරි වඩුගේ
2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති කිරීමට සමත් වූ එවැනි වෙනත් එක් පියවරක් නැත.
දැන් ඒ සාමයේ මාවත වසා දමා වසරක් අවසන් ය. ඒ 9 පාර වසා දැමුනේ 2006 අගෝස්තුවේ දී ය.
දැන් ආරක්ෂ මුර කපොලු වල ඇති දැඩි සීමාකාරී බව නිසා ම ඒ 9 ඔස්සේ වන්නියට යාම අති දූෂ්කර ක්‍රියාවකි. මේ මුර කපොලු හිටි හැටියේ ම වසා දැමෙන්නේ කිසිදු ක්‍රමයක් හෝ දැනුම් දීමක් හෝ නැතිව ය. මහජනයාට, නිලධාරීන්ට සහ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයන්ට මේ තාක් මේ මුර කපොලු හරහා යා හැකිව තිබුනේ සතියේ දින තුනක දී පමණි. ඒ සදුදා, බදාදා සහ සිකුරාදා ය.
ආරක්ෂ අමාත්‍යාංශයේ අවසර ඇතිව වන්නියට යාමට ඉඩ ඇත්තේ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන 21 කට පමණි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධාන ද ඇතුළත්ව ය. දේශිය රාජ්‍ය නොවන සංවිධාන සියයට 99 කට ම වන්නියට යාම අද තහනම් ය.
අසාධ්‍ය රෝගීන්ට පවා වන්නියෙන් මෙපිටට පැමිනිය හැකිව තිබුණේ ලිඛිතව අවසර ලබාගෙන මුර කපොලු ඇරෙන ඉහත lදින තුනෙන් එකක දි පමණි. හදිසි ම රෝගියකුට වුව විශේෂ සහනයක් ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.
වන්නියට සිමෙන්ති, යකඩ කම්බි සහ බැටරි ගෙනයාම සීමා කොට තිබේ. වන්නියට ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල් ගෙන යාම සඳහා ආරක්ෂ අමාත්‍යාංශයේ විශේෂ අවසර අවශ්‍ය ය. වන්නියේ ආර්ථික තත්ත්වය උග්‍ර වී ඇත්තේ යුද උණුසුම සහ ආර්ථික තහංචි යන මේ හේතූන් දෙකම නිසා ය.
කිලිනොච්චියේ බත්, එක එළවලුවක් සහ දැල්ලන් මාලු සහිත දවල් කෑම වේලක මිල දැන් රුපියල් 200කි. එක් පැටිරල් ලීටරයක් රුපියල් 850 කි. ඇත්ත වශයෙන්ම නම් එහි ඇත්තේ පැට්රල් ලීටර් කාලක් සහ භූමිතෙල් තුන් කාලකි.
බස් සේවය ඉතා දුර්වල ය. බොහෝ දෙනෙකු ගමන් බිමන් යන්නේ පා පැදියෙනි. යතුරු පැදි දුවන්නේ සියයට 90 ක්ම තරම් භූමිතෙල් වලිනි. පොදු දුරකථන පහසුකම් බිද වැටී ඇත. දුරකථන ඇමතුමක් ගැනීමට පැය 8-10ත් අතර පෝලිමේ සිටින්නට සිදුවීම සාමාන්‍ය දෙයකි.
ආරක්ෂ වලල්ල අසළ ජීවත්වූ බොහෝ දෙනා සිය වාසස්ථාන අතහැර දමා බැහැර ගොසිනි. මිග් සහ කපීර් යාකා මගින් හෙළනු ලබන බෝම්බ මෙන්ම මුහුදේ සිට යුද බෝට්ටු මගින් කැරෙන ප්‍රහාරයන් ද නිසා සිවිල් ජනයා මිය යාම ද දැන් සාමාන්‍ය දෙයක් තරම් ය.
සෑම නිවසකම සහ පොදු ස්ථානයකම වාගේ බංකරයක් සකස් කරගෙන තිබේ. ගුවන් යානා එන ශබ්දය ඇසෙන විට ජනයා මේ බංකරවලට දුව යති. පාසැල්වලට එන ළමයින් ගේ ප්‍රමාණය සැළකිය යුතු පරිදි අඩු වී තිබේ. පොදු ස්ථාන ද බස් පොල ද ජනශූන්‍ය වි ගොස් ය. යුද තත්ත්වය නිසාම ජනයා දුර බැහැර ගමන් යන්නේ නැත. රාත්‍රියෙහි දී බොහෝ ජනයා නිවෙස්වලින් බැහැරව බංකර් වලට හෝ පොදු ස්ථාන වලට යති.
ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලලීමෙන් ජිවිකාව කරගෙන ගිය ධිවරයින්ට දැන් රස්සාවක් නැත. ගැඹුරු මුහුදේ මසුන් අල්ලීම, තහනම නිසා ද ආරක්ෂ හමුදාවන් සිටීම නිසා ද නැවැතී ඇත. ධිවර කර්මාන්තය කැරෙන්නේ නොගැඹුරු මුහුදේ සහ කලපුව වල පමණ ය.
කිලිනොච්චියටත් වඩා ජීවිතය දුෂ්කර වූ මුලතිව් හි ගොඩ නැගිලි ද්‍රව්‍ය නැති තරම් ය. මාස කිහිපයකට පෙර රුපියල් 1500-2220 අතර වූ සිමෙන්ති කොට්ටයක මිල දැන් රු.5000- 5200 අතර ය. සුනාමි නිවාස ප්‍රතිසංස්කරණ මේ නිසා බොහෝ දුරටම අඩාල වී ඇත.
මේ අතර ප්‍රදේශයේ සෑම පවුලකින්ම එක් අයකු ආරක්ෂක කටයුතු සඳහා අනීවාර්යයෙන්ම යැවිය යුතු ය. ඒ අනුව වැඩකළ හැකි අයකු සෑම පවුලකම ශ්‍රම බලකායෙන් අඩුවෙයි.
වන්නියෙහි ජීවත්වන ජනයා යම් හෝ අස්වැසිල්ලක් ලැබූ කාලය සටන් විරාම ගිවිසුම තිබූ කාලය බව කටක් හැර කතා කරන හැම කෙනෙක්ම කියති. නමුත් කටක් හැර කතා කරන්නට අවසරයක් නැති තරම් බැවින් එහි ජනයා සිතන පතන දේ දැන ගැනීම එහි ජීවිතයටත් වඩා දුෂ්කර ය.
කාලතුවක්කු වෙඩි හඩ ද අහසින් හෙලෙන බෝම්බ පුපුරා යන හඩ ද සාමන්‍ය දෙයක් වැන්න. රාත්‍රියෙහි එල්ටීටීඊ ගුවන් යානා අහසට නංවන හඩ ද පුහුණු වීම් කරන හඩ ද ඒ තරමට ම පුරුදු ය.
දැන් ඉතිං යුද්ධය වන්නියට යැයි කොළඹ සිට කැරෙන ඝෝෂා ඒ ජනයාට ගණනක් නැත. වෙන දෙයක් වුනාවේ, එතකොට ඒ ගැන බලා ගනිමු වැනි පණිවඩයක් හැර ඔව්න්ගේ දෑස් කියන වෙනත් කතාවක් නැත.
එකම දෙයක් නම් පැහැදිලි ය. එනම් මේ ජනයාට කොළඹ ආණ්ඩුව ගැන නම් කිසිදු විශ්වාසයක් නැති බව යි. එල්ටීටීඊ ය ගැන ඔහුන්ගේ අදහස ඊට වඩා සංකීර්ණ ය. එය එක්තරා විදියක ආදරය සහ වෛරය මුසු වූ එකක් වැන්න. ස්වකීය අනාගතය ගැන නිශ්චිත අදහසක් නැතිවාක් මෙන්ම ඔවුනට එල්ටීටටීඊ ය ගැනද නිශ්චිත අදහසක් නැත ඇත්ත වශයෙන්ම නමි මේ අදහස් දෙක එකිනෙක ඌණ පූරනය කරන එකම කාසියේ දෙපැත්ත වැන්න.