ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සෘජූ මැදිහත් වීමකින් තොරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ගෙන ගිය GDP 6% වෘත්තීය සමිති අරගලය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි අවධානයට ලක්වූවක් විය. සිංහල, දමිළ, පක්ෂ භේදයකින් තොරව ඊට සහාය පලවිය. නමුත් අවසානයේ දේශපාලන පොරොන්දු නැමති කඩතුරාව හමුවේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගෙනගිය මහපාරේ අරගලය අවසන් ව තිබේ. මේ මොහොතේ එවැනි අරගල ලංකා සමාජයට අවශ්‍ය වූවද විශ්ව විද්‍යාල ආචාරයවරුන් ඇතුළු අප සියළු දෙනාම තෙරුම් ගතයුතු කාරනය වන්නේ බලය පිළිබඳ ඒකාධිකාරය තව දුරටත් එක් තැනකට කේන්ද්‍ර වෙමින් තිබෙන මොහොතක, නීතියේ බලය බිදවැටී ඇති මොහාතක, සමාජ සාධාරනත්වය පිළබඳව අපේක්ෂාව පළුදු වී ඇති මොහොතක, ප‍්‍රජාතන්ත‍්‍රවාදි තීන්දු තීරණ ගැනිමේ අවකාශයක් නොමැති මොහොතක, පැවති හා පවතින ගැටුම් නිරාකරනය කර ගැනීමේ සංස්කෘතියක් හා හැකියාවක් නොමැති සමාජයක, දළ දේශීය නීශ්පාදිතයෙන් අධ්‍යාපනයට 6% වෙන් කිරිමෙන් හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමෙන් හෝ ශ‍්‍රී ලංකා සමාජය මුහුණ දි තිබෙන සමස්ථ ගැටළුවට පිලිතුරක් නොලැබෙන බවයි.
අධ්‍යාපනයට 6% වෙන් කිරිමෙන් අධ්‍යාපනික අවස්ථා වැඩි කිරීම මගින් කෙටිකාලිනව ශිෂ්‍යයන්ගේ බුද්ධිමය හැකියාවන්ගේ වෙනසක් අපේක්ෂා කල හැකි වුවද එය සමාජ වෙනසක් ඇති කිරීම දක්වා පරිවර්තනය විමට තව බොහෝ කලක් ගතවනු ඇත. එනිසාවෙන් ඉහතින් සඳහන් කළ සමස්ථ ගැටළු සඳහා පිළිතුරක් නොසොයා අධ්‍යාපනයේ එසේත් නැතිනම් මැතිවරණ පවත්වන ක‍්‍රමයේ වෙනසක් වැනි කුඩා කුඩා වෙනස්කම් වලින් පමණක් ශ‍්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින ගැටළු විසඳා ගැනීමේ හැකියාවක් නැත.
මේ ලිපිය ලියන මොහොත වන විට අධ්‍යාපන කේෂත‍්‍රයේ ගුරු-විදුහල්පති වරුන්ද සටනට බැස තිබෙන නමුදු විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ වෘත්තීය අරගලය මෙන් මෙම අරගලයද අවසන් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මෙයින් කියවෙන්නේ මෙවැනි අරගල සමාජයට වැඩක් නොමැති අරගල කියා නොව මෙම අරගල වලින් අප අපේක්ෂා කරන ඉලක්ක කරා යා නොහැකි බවයි.
මෑත කාලීනව ජනතාවගේ දැවැන්ත කැපවීම් මත ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූ ජන අරගල බොහෝ පාඩම් උගන්වා ඇත. ශ‍්‍රී ලංකා සමාජයට ද එය කදිම නිදසුනකි. ඒකාධිපති පාලනයන්ට එරෙහිව එකී රටවල ජනතාව මහපාරට පැමිණ ඒකාධිපති පාලකයන් පරාජය කරනු ලැබීය. එසේ නමුත් අරගලය ජය ගැනීමෙන් පසු ඇති වන තත්වයන් පිළිබඳ ඔවුන්ට ප‍්‍රමාණවත් අවබෝධයක් තිබු බවක් නොපෙනේ. ඒ නිසාම අද විවිධ වු ස්වරූපයන්ගෙන් ගැටුම් මතුව තිබේ. ආගමික අන්තවාදයන් අතර ගැටුම් ඒ අතර ප‍්‍රදානය. එමගින් කියවෙන්නේ එකී ජන අරගලයන්ගේ අපේක්ෂාව ඔවුන් වෙත ලගා වී නොමැත යන්න ය. මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාවට ද යථාර්තයකි. මොන තරම් ඒකාබද්ධ විපක්ෂයන් ගොඩනගා අරගල කරත් අරගලයෙන් පසු ඉදිරි සැලැස්මක් අරගලය ආරම්භයේ සිටම ඔවුන් සතු නොවුව හොත් බලය සඳහා ඔවුන් අතර අරගලයක් නිර්මානය වනු ඇත. එවැනි බල අරගලයක පෙරනිමති දැනටමත් පහල වී තිබේ. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක් ඒකාබද්ධ විපක්ෂයක් සහ සරත් ෆොන්සේකා තවත් ඒකාබද්ධ විපක්ෂයකුත් ගොඩනැගිමට උත්සහ දැරිමෙන් එය පැහැදිලි වේ. මීට අමතරව ජවිපෙ සහ පෙරටුගාමීන් තවත් මතවල එල්බ සිටී.
එනිසා ශ‍්‍රී ලංකාවේ දේශපාලන කණ්ඩායම් හා සමස්ථ විපක්ෂය කළ යුත්තේ ඒකාධිපති පාලනය පරාජය කළ පසු ඉදිරි සැලැස්ම දැන්මම සාකච්ඡාවට භාජනය කිරීමයි. එකී සාකච්ඡාව තුළ විපක්ෂයේ ඒකාබද්ධතාවය වඩාත් තහවුරු වනු ඇත. දැන් ඒකාබද්ධ විපක්ෂයට ඇත්තේ මහින්ද පරාජය කිරීමේ අරමුණ පමණි. ඉන් එහා ගැන අරමුණක් ඔවුන් සතු බවක් පෙනෙන්නට නැත. එසේ වූවහොත් සිදුවිය හැක්කේ ලිබියාවේ හා ඊජිප්තුවේ ඇති වී තිබෙන තත්ත්වය හා සමාන තත්ත්වයකි.
ඒකාධිපති පාලනය පරාජය කිරීමෙන් පසු ඉදිරි සැලැස්මක් පිළිබඳ සාකච්ඡාවට ගැනීමේදී අප අභිමුඛව පවතින්නේ ආර්ථික හා සමාජ අරමුණු වඩාත් සාර්ථක කර ගත හැකි ආකාරයේ ෆෙඩරල් වාදී විසදුමක් කරා යාමයි.
ෆෙඩරල් විසදුමක් කරා යාමේ අවශ්‍යතාවය මතුවන්නේ මහින්ද රාජපක්ෂ විසින් ක‍්‍රමානුකූලව ගොඩනගමින් තිබෙන ඒකාධිපති ස්වරූපයට විකල්පයක් ලෙසය. ඔහු විසින් ඒකීය රාජ්‍ය ක‍්‍රමයද අහෝසි කර ඒකාධිපති පවුල් පාලනයක් දක්වා ආණ්ඩුක‍්‍රමය හකුළුවෙමින් තිබේ. ඒ නිසා ඒකීය ආණ්ඩුක‍්‍රමයක ලක්ෂණ ලංකාවේ මේ වන විට පෙනෙන්නට නැත. ඇත්තේ ඒකාධිපති පාලනයක ලක්ෂණ පමණි. ඒ නිසා ඔහු අධිකරණය තමන් යටතේ පවත්වාගෙන යාමට උත්සහ කරයි, ලංකාවේ උගතුන් බිහිවීමෙන් තමන්ට ඵලක් නොවන නිසා අධ්‍යාපනයට වෙන්කරන මුදල් තවදුරටත් කපා හැර එම මුදල් තමන්ගේ ප‍්‍රතිපාදන සඳහා යොදාගනී, ඒකාධිපති පාලනයක් ගෙනයාමට චන්ඩින් අවශ්‍ය නිසා මර්වින්, මාලක, දුමින්ද සිල්වලා වැනි චන්ඩින් පෝෂණය කරයි. ඒකාධිපතිත්වයට එරෙහිව නැගෙන විරෝධතා මැඩපැවැත්වීම සඳහා තම මලයා වන ආරක්ෂක ලේකම් ලවා රබර් උන්ඩ සහ කදුළු ගෑස් තොග වශයෙන් ආනයනය කරයි. ඒකාධිපතිත්වයක් සඳහා බලූ පොලසියක් අවශ්‍ය නිසා අපරාධ නඩු විධාන පනත් කෙටුම්පත (අත්අඩංගුවට ගැනීම් හා රඳවාතබා ගැනීමේ නීති ක‍්‍රියාපටිපාටිය) වෙනස් කිරීමට මහන්සි වේ. තම අනෙත් මලයා ලවා දි‘වි නැගුම‘ වැනි පනත් ගෙන එමින් ජනතාවගේ මුදල් තමන්ට රිසිසේ පරිහිරණය කිරීමට අර අදී. එවැනි තවත් බොහෝ දේ සිදුවෙමින් තිබෙන අතර ඒවා ඒකාධිපති පාලනයක මූලික ලක්ෂනයි.
උතුරු නැගෙණහිර ගැටුමට විසදුමක් ලෙස ගෙන ආ 13 වැනි ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථා සංශෝධනය ද මේ වන විට අහෝසි කිරීමේ මෙහෙයුම ද මහින්ද විසින් දියත් කර තිබේ. දිවිනැගුම පනතට පළාත් සභාවේ අනුමැතිය අවශ්‍යයැයි අධිකරණය තීන්දු කළ පසු පළාත් සභාව අහෝසි කර හෝ දිවිනැගුම ක‍්‍රියාත්මක කිරිමටත් අධිකරණය සහ අග‍්‍රවිනිශ්චකාර වරිය මෙල්ල තිරීමටත් ගන්නා උත්සහයෙන් පෙනී යන්නේ ඒකාධිපතිත්වයේ අත පෙවීම ඉතා ඉහල අගයක් ගන්නා බවයි.
මෙකී තත්ත්වයන් උඩ ඒකාධිපතිත්වය හැකිතාක් ඉක්මනින් පරාජය කළ යුතුය. ඒ සමගම ඒකාධිපතිත්වය පරාජය කිරීමෙන් පසු සමාජයට ලබා දෙන විසදුම පිළිබඳ අවබෝධයක් සහිතව එය කළ යුතුය. ඒකාධිපතිත්වයට විකල්ප ලෙස අපට දැන් ඉතිරිව පවතින්නේ ආර්ථික හා සමජ උවමනාවන් වඩා හොදින් සපිරෙන ආකාරයේ ෆෙඩරල්වාදී විසදුමකට යාම පමණි. ෆෙඩරල් යන වචනය අසූ පමණින් ශ‍්‍රී ලංකාවේ සිංහල සමාජය කලබලයට පත්වේ. ඔවුන්ට එම වචනය වහ කදුරු බවට පත්කර තිබේ. ෆෙඩරල් කියූ පමණින් ජවිපෙට නහුතෙට තදවේ. පෙරටුගාමීන් කියන්නේ සමජාවාදී විසදුමකි. සමාජවාදයක් ඇතිවීමට පෙර අප ඒකාධිපතිත්වයෙන් හා සමාජීය වැඩවසම් ගති ලක්ෂණයන්ගෙන් මිදිය යුතුවේ. පලමුව සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී තින්දු තීරණ ගන්නා වටපිටාවක ජීවත්වීමට අවස්ථාව සලසා දිය යුතු වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදි තින්දු තිරන ගැණීමට අවස්ථාව තිබේ නම් ජනතාව විසින් ආණ්ඩුක‍්‍රම අවශ්‍ය මොහොතකදි වෙනස් කර ගනු ඇත. මෙ මොහොතේ ෆෙඩරල් ක‍්‍රමය අපට ඇති විසදුමයි. එනිසා ෆෙඩරල් පාලන ක‍්‍රමයේ අර්ථය විදින්නට ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුවේ. දැන් ඔවුන් ඊට විරුද්ධ වන්නේ ඒ පිළිබඳව අදහසක්ද නැතුවය. ප‍්‍රභාකරන්ගේ බිල්ලා පෙන්වමින් ෆෙඩරල් ක‍්‍රමයෙන් රට බෙදනු ඇති බවට ඔවුන් බියවද්දා ඇත.
පසුගිය 50 වසර පුරා ඒකීය ව්‍යවස්ථාවෙන් ද, වර්ථමානයේ ඒකාධිපතිත්වයෙන් ද, පිඩාවට පත්ව සිටන ජනතාවට තින්දු තීරණ ගනිමට අවස්ථාව සලසා දුන හොත් හා ඊට නිසි මගපෙන්විම් කළ හොත් ඔවුන් නිසි තීන්දුව ගනු ඇත.
උදාහරණයක් ලෙස
• සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය හා තේ කුරුදු ඇතුළු ආර්ථික භෝග හා පළාතට අදාල අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳ තීන්දු කිරීමේ අයිතිය ඔබ පළාතේ පාලන ඒකකයකට ලබා දුන හොත් ඔබ ඊට එකඟ වන්නේද?
• ඉහතින් සඳහන් කළ කර්මාන්ත හරහා ලැබෙන ආදායමත්, තම පළාතේ බදු ආදායමත් තම පළාතේම සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට ඔබ එකඟ වන්නේද?
• ඔබ පළාතේ පාලන බලය මධ්‍යම ආණ්ඩුවට ඕනෑ ඕනෑ විදිහට ඇගිලි ගැසීමට ඉඩ නොදුන හොත් ඔබ ඊට එකඟ වන්නේද?
• තම පළාතේ පරිපාලන කටයුතු සිදු කරන බහුතරයක් දෙනා තම පළාතේ නිලධාරීන් වන්නේ නම් ඔබ ඊට එකඟ වන්නේද?
යනාදී ප‍්‍රශ්න දකුණු පළාතේ ජීවත්වන ජනතාවගෙන් ඉතා සරලව විමසුව හොත් එහි ජීවත්වන ශ‍්‍රීලංකා කාරයත්, යූඇන්පී කාරයත්, ජේවීපී කාරයත්, පෙරටුගාමී සාමාජිකයත් තම අත් උස්සා ඊට එකඟ වනු ඇත. මන්ද පවතින ක‍්‍රමය තුළ ඔවුන්ට මෙම තීන්දු වලට මැදිහත් වීමේ හැකියාවක් නැත. ඔවුන්ට සිදුවී තිබෙන්නේ තීන්දු ගන්නා තෙක් බලා සිටීමටය. ඇතැම් විට තීන්දු ගන්නේත් ඒ පිළිබඳ කිසිම අත්දැකීමක්වත් නොමැතිව ධනය නිසා හෝ බලය නිසා හෝ රජ පවුලට හිතවත් නිසා හෝ චන්ඩිකම නිසා හෝ බලයට පැමිණිය වුන්ය.
තව දුරටත් එය පැහැදිලි කළ හොත් තම ධීවර කර්මාන්තයට අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයා ගොඩනැගීම වෙනුවෙන්, තම සංචාරක කර්මාන්තයට අවශ්‍ය අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයා ගොඩනැගීම වෙනුවෙන්, තම ආර්ථික භෝග ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු වලට අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයා ගොඩනැගීම වෙනුවෙන්, තම පළාතේ අධ්‍යාපනය සඳහා පළාතේ සමස්ථ ආදායමෙන් 6%වෙන් කිරීම සම්බන්ධයෙන් තීන්දු කිරීමේ හැකියාවක් හා ස්වාධීනත්වයක් තම පළාතේ පාලන ඒකකය සතු නම් අධ්‍යාපනයට 6% වෙන්කරනු කියා උද්ඝෝෂණ වල යෙදෙන්නට අවශ්‍ය නැත. විශ්ව විද්‍යාල වසා තැබීමට අවශ්‍ය නොවනු ඇත. විභාග උත්තර පත්තර බැලීම පමා නොවනු ඇත. පළාතට අවශ්‍ය නම් ඊට එහා යමින් අනෙකුත් පළාත් වලට අවශ්‍ය තරගකාරී ශ‍්‍රමිකයින් සැපයීම සඳහා 6% කටත් වඩා තම පළාතේ අධ්‍යාපනයට වෙන් කරමින් තරඟකාරී ගමනක් ඔවුන්ට යා හැකිය.
උතුරු මැදට යන විට මෙම ප‍්‍රශ්නය කෘෂිකාර්මික සංවර්ධනය හා ඊට අදාල කර්මාන්ත සංවර්ධනය දක්වා වෙනස් වේ. තම නිශ්පාදනයන්ට මිල නියම කිරීමේ අයිතිය තම පලාත තුළ සිදු කිරීමේ හැකියාවක් ඔවුනට ලැබෙනු ඇත. මැරුණ ගොයම අතගා තමන් රැවටුව යයි දොස් කිය කියා සිටීමට ඔවුනට සිදු නොවනු ඇත. තම කෂි නිශ්පාදන අලවියෙන් ලැබෙන ආදායම සහ තම පළාතේ බදු ආදායම් කෘෂි-කර්මාන්තයක් දක්වා පූළුල් කිරීමේ තීන්දු තීරණ ගැනීමේ බලය ඔවුනට ලැබෙනු ඇත. මේ ආදී වශයෙන් වයඹ පලාතට එන විට පොල් ඇතුළු ආර්ථික බෝග හා සේවා ආර්ථිකයක් වර්ධනට කිරීම සඳහා ද, මධ්‍යම හා ඌවට යන විට තේ ඇතුළු ආර්ථික භෝග සංවර්ධනයේත්, බස්නාහිරට එනවිට කර්මාන්ත ඇතුළු සේවා ආර්ථිකයේත් සංවර්ධනය සඳහා තරගකාරීව කටයුතු කිරීමෙන් තම පළාත්වලට අදාල විශාල ආර්ථික සංවර්ධනයක් කරා ඔවුන්ට යා හැකිය.
මේ ආදී වශයෙන් සිංහල ජනයා බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශවල බලය බෙදා හදා ගැනීමේ උවමනාව ආර්ථික මූලයක් ගන්නා අතර එය උතුරු හා නැගෙනහිරට යන විට මදක් වෙනස් වේ. උතුරු හා නැගෙණහිර ප‍්‍රදේශවල දැන් තිබෙන උවමනාව වන්නේ තම ප‍්‍රදේශ තුළ තම භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාව ඇතුළු දෙමළ භාෂාව කථා කරන බහුතරයක් දෙනා ජීවත් වන ප‍්‍රදේශ ලෙස තම අනන්‍යතාවන් ගොඩනගා ගැනීමේ උවමනාවයි. එකී තත්ත්වයන් පිළිබඳ තින්දු තිරණ ගැනීමේ අයිතිය එම ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ලබා දිය යුතුය. මුල් වටයේදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ වූවමනාවකින් පෙළුන ද දෙවන වටයේදී ඔවුන් විශාල ආර්ථික වාසියක් ශ‍්‍රී ලංකා සමාජයට දායක කරනු ඇත. මන්ද යත් විශාල කෘෂි නිශ්පාදන හැකියාවක් හා විශාල විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් ඔවුන් සතුය.
පළාත්සභා ක‍්‍රමය තුළින්ද මෙවැනි තත්වයකට යා හැකි බව කෙනෙකුට ත්ර්ක කළ හැකි වූවද එය එසේ නොවේ. පළාත් සභා ක‍්‍රමය තුළ කර ඇත්තේ මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලනමය බලය විමධ්‍යගත කිරීමක් පමණි. පළාත් සභාවේ ආණ්ඩුකාරයා මධ්‍යම ආණ්ඩුවේය. එසේත් නැතිනම් සෘජුවම විධායකය නියෝජනය කරයි. ඔහු කරන්නේ විධායකය කියනදේයි. දැනට ශ්‍රෙෂ්ඨාධිකරණයේ විභාග වන දිවි නැගුම මීට කදිම උදාහරණයයි. එකී පනත සඳහා දැනට ක‍්‍රියාත්මක නොවන උතුරු පළාත් සභාවේ අනුමැතිය වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තැබීම සෑහේ යන මතය ආණ්ඩු පාර්ශවයෙන් ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ එයයි. එහෙයින් අද පළාත් සභා ක‍්‍රමය විධායකයේ රූකඩයකි. පළාත් සභාවට තීන්දු තීරණ ගැනීමේ ස්වාධිනත්වයක් අද නැත. සියළුම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හරහා සිදුවේ. ඊට හේතුව එම ව්‍යාපාති වල ඇති කොමිස් මුදල්ය. එකි සංවර්ධන ව්‍යාපෘති හරහා විශාල මුදල් වංචාවන් සිදු වන බව පාර්ලිමේන්තු කෝප් වාර්තාවෙන් පවා පිළිගනී. ඊට ඇමතිවරු ඇතුළු බොහෝ දෙනා හවුල් බව මුළු රටම දනි.
මෙකී තත්වයන් මත පළාත්සභාවට සමාන බල බෙදීමකින් අපට ඉහත ඉලක්ක කරා යා නොහැක. එවැනි තත්ත්වයකට යාමට නම් නියම ආකාරයෙන් බලය බෙදුනු, පළාත්වලට තම පළාතේ සංවර්ධනය පිළිබඳ ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති ෆෙඩරල් විසදුමක් කරා යා යුතුය. තවද පාළාත් වල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ෆෙඩරල් පාර්ලිමේන්තුවක් සහ ෆෙඩරල් ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කරන්නා වූ ස්වාධීන ෆෙඩරල් අධිකරණයක් ගොඩනැගීම ද අවශ්‍ය වේ. පළාත් ඒකක වල බලයන් සහ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ බලයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බැවින් සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට ඇති ඉඩ කඩ ඉතා අවමය.
මෙවැනි තත්වයක් උදාකර ගැනීමට අප සමත් වේනම් මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ බලය පිළිබඳ ඒකාධිකාරය තව දුරටත් එක් තැනකට කේන්ද්‍ර වීමේ ගැටළුවටත්, නීතියේ බලය බිදවැටීමේ ගැටළුවටත්, සමාජ සාධාරණත්වය පිළබඳව අපේක්ෂාව පළුදු වීමේ ගැටළුවටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදි තීන්දු තීරණ ගැනිමේ අවකාශයක් නොමැති වීමේ ගැටළුවටත්, ගැටුම් නිරාකරනය කර ගැනීමේ හැකියාවක් සහිත සමාජයක්, ලෙසත් ඉදිරියට යාමේ හැකියාවක් අප සමාජයට ලැබේ.
එම තත්ත්වය කරා යාමේදී නිරාකරණය කරගතයුතු ප‍්‍රධාන ගැටළු ගණනාවක් අපට තිබේ.
• විපක්ෂයේ ගැටළුව – විපක්ෂය මේ වන විට ඒකාධිපතිත්වයට විරුද්ධව කිසිදු පියවරක් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නොමැත. ඔවුන් අතර බෙදීම් තමන්ගේ විරුද්ධවාදීන්ට වඩා විශාලය. ඔවුන් සියළු දෙනාම එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් පෙළේ. නමුත් ඔවුන් සියළුදෙනා මහින්ද පැරදවීමට එකගය. නමුත් මහින්ද පැරදවීමෙන් පසු යන්නේ කොහාටද? කරන්නේ කුමක්ද? කියා සංවාදයක් ඔවුන් අතර නැත. මෙයත් හරියට ශ‍්‍රී ලංකාවේ සාම ව්‍යාපාරය වැනිය. ශ‍්‍රී ලංකාවේ සාම ව්‍යාපාරය ගොඩනැගී තිබුනේ ප‍්‍රභාකරන් මතය. ප‍්‍රභාකරන් විනාශ වූ පසු සාම ව්‍යාපාරයක්ද නැත. එසේනම් මහින්ද විනාශ වූ පසු ඉතිරි වන්නේ කුමක්ද? එනිසා විපක්ෂය විසින් ඒකාධිපතිත්වය පරාජය කිරීමෙන් පසු තත්වය හා විසදුම පිලිබඳ සංවාදය හැකි ඉක්මනින් ආරම්භ කළ යුතුය. එය විසින් අරගල කරුවන් සහ අරගලයේ දිශානතිය තින්දු කරනු ඇත.
• ජනතාවගේ ගැටළුව – ඇත්තෙන්ම කියතොත් ලංකාවේ ජනතාව ගැන විශ්වාසයකින් කටයුතු කළ නොහැක. මන්ද ඔවුන් එක එක මතයන් සමග දෝලනය වන විදිහ හිතා ගැනීමට අමාරුය. ඇතැම් විට සිතෙන්නේ දේශපාලන ගැටළු ජනතාවට නොමැති බවයි. පසුගිය පළාත්සභා මැතිවරණය ගතහොත්, උතුරුමැද පළාතේ වී ගොවීන්ගේ ප‍්‍රශ්නය පැහැදිලිව තිබුණු ප‍්‍රශ්නයකි. ඒ සඳහා පවතින ආණ්ඩුව සමඟ ඔවුන් කේවල් කිරීමට යෙදුන නමුත් අවසානයේ මහින්ද ඡන්දයෙන් දිනා ඇත. ගොවීන් මහින්දට ඡන්දය දී තිබේ. තවද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් යැයි කියන සැනින් ජනතාව කුපිතවේ. පාලකයන් අමු අමුවේ හොරකන් කරන බව ජනතාව දන්නා නමුත් ඔවුන් හොරකන් කරාට කමක් නෑ මෙන් ජනතාව නිහඩව සිටි. තත්ත්වය මෙය නම් ජනතාවගෙන් සමාජයට ඇති වගකීම වටහා ගන්නා ක‍්‍රියාමාර්ගයක් සමාජයට අවශ්‍යය. එසේ නොවුනහොත් ෆෙඩරල් ක‍්‍රමයක් තුළද මාලක සිල්වලා, මුතුහෙට්ටිගමලා, විරවංශලා, වැන්නවුන් බලයට ගෙනෙනු ඇත.
විශේෂයෙන් පවතින තත්ත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිංහල සමාජය සතු වගකීම හා එය ඉටු කළ හැකි මග පිළිබඳවද මා විසින් මීට පෙරද අවධාරණය කර තිබේ.
[මෙම ලිපිය සංවාදය සඳහා විවෘතය]
සේනක වත්තේගෙදර[Senaka Wattegedara]
[email protected]
[Photo Credit: www.jdslanka.org]