සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation

ථෙරපුත්තාභය සංකීර්ණය


පසුගිය වසරේ වස් කාලයෙහි අපේ පන්සලේ වැඩ වසන්නට ඇමෙරිකාවේ සිට එක් උගත් වයෝවෘද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් වැඩියහ. මේ හාමුදුරුවන් වඩාත් ප‍්‍රකටව සිටියේ විචිත‍්‍ර ධර්මකථිකයෙකු ලෙසය. ඒ දිනවල මගේ අසල්වාසී සිංහල මිතුරෙකුගේ ගෙදර බණකට උන්වහන්සේට ආරාධනා කර තිබූ අතර, එය අසන්නට යන්නට භාග්‍යය ලදිමි.

මේ බණෙ හිදී උන්වහන්සේ වෙන කිසිදා මව්සින් අසා නොතිබූ බණක් වදාළහ. ‘බුදුන් වහන්සේ වදාළ ධර්මයට සංස්කෘතියක් නැහැ. උන්වහන්සේ කළේ සංස්කෘතීන් බිඳ දැමීමයි. අපේ ලංකාවේ පාසල්වල තවමත් බෞද්ධ සංස්කෘතිය කියලා විෂයක් උගන්වනවා. සංස්කෘතීන් බිඳ දැමූ බුදු දහම කොහොමද සංස්කෘතියක් හා සම්බන්ධ වෙන්නෙ කියන එකම ගැටලූවක්.’ මේ බණ අසන්නට පැමිණ සිටි මගේ ශ‍්‍රී ලාංකික මිතුරන්ගෙන් වැඩි දෙනා නිරන්තරයෙන් අපේ බෞද්ධ සංස්කෘතිය ගැන උදම් අනන පුද්ගලයින් බව මම දනිමි. ඔවුන් අතරින් කිසියම් අයෙකු මේ බණ පැහැදිලි කරගන්නා අදහසින් උන්වහන්සේගෙන් ප‍්‍රශ්නයක් අසනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. එහෙත් ඔවුන් සියලූ දෙනා එකක් පස්ව හිඳිමින් ‘එහෙයි ස්වාමිනී’ කියන්නා සේ දොහොත් මුදුනෙහි තබා ඒ බණ අසන්නට යෙදුනා මිස එය ප‍්‍රශ්න කළේ නැත.

අපි වෙනදාටත් වඩා අද අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරමු. අද වන විට ඒ සංස්කෘතියට උරුමකම් කියමින් එය අත්පත් කරන්නට විලිලන පොල්මඃකාරයින්ගෙන් ද අපේ රටට අඩුවක් නැත. ශී‍්‍ර ලංකාවේ අද පවතින තත්ත්වයන් ගැන සාකච්ඡා කරන වත් පොත් කණ්ඩායම්වල දී මේ ගැන කතාකරන බොහෝ තරුණ හා යොවුන් වියේ ගැටව් මට මුණ ගැසෙති. ඔවුන් හා සංවාදයන්ට එක් වෙමින් ඔවුන් හඳුනාගන්නට උත්සාහ දරමින් සිටිමි. විටෙක මොවුන් ගැන බොහෝ ආඩම්බර හිතෙන තරමට ඔවුන්ගේ බුද්ධ ධර්මය පිළිබඳ දැනුම, අපේ කාලයේ තරුණයින්ට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතී. ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබඳ දැනුම ද එසේමය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඕනෑම විටෙක ලංකා ඉතිහාසයෙන් උදාහරණයක් ගෙන හැර පෑමේ හැකියාව තිබේ. තවත් විටෙක ඔවුන් කටපාඩමින් ගිරවුන් සේ වදාරණ බණ ඇසෙන විට මගේ සිහියට නැෙඟන්නේ, එකල අපේ ගමේ පන්සලේ සිල් ගන්නට පැමිණ ශ‍්‍රද්ධාවෙන් මත්ව සිටි වයෝවෘද්ධ උපාසිකාවන්ය. තරුණ වියේ වූවෙකුට මේ තත්ත්වයට පත්විය හැකිදැයි මා විස්මිත කරන තරමට විටෙක ඔවුහු ශ‍්‍රද්ධාවෙහි අන්ධ වී සිටිති. මේ කණ්ඩායමේ මා දකින සුවිශේෂ ලක්ෂණයක් වනුයේ බුදු දහම පරම සත්‍යය බවත්, ඊට සාපේක්ෂව අන් සියල්ලම අසත්‍ය හෝ අඩුගණනේ අසත්‍යයැයි ඔප්පු කළ නොහැකි තැන, ඒවා සම්මුති සත්‍යයන් පමණකැයි විශ්වාස කිරීමයි. මේ විශ්වාසයත්, ඒ විශ්වාසය වෙනුවෙන් ඇති කැපවීමත් නිසා ඔවුහු ලෝකය පුරා ප‍්‍රචලිත බොහෝ ආගම්, ශාස්ත‍්‍ර, ප‍්‍රවාදයන් සහ විද්‍යාවන් අසත්‍යයැයි ඔප්පු කරන්නට බොහෝ කරදර වෙති. එලෙසම බුදු දහම පරම සත්‍යයැයි හුවා දක්වන්නට බොහෝ වැර වෑයම් කරති.

මිනිසුන් විසින් ගොඩනඟන ලද ඕනෑම සංස්කෘතියක සාධනීය ලක්ෂණ මෙන්ම නිශේධනාත්මක ලක්ෂණත් දකින්නට ලැබේ. ඉහත දැක්වූ කණ්ඩායම, සංස්කෘතියේ සාධනීය ලක්ෂණ දුටු තැන එය සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි වර්ණනා කරන අතර, කිසියම් නිශේධනාත්මක ලක්ෂණයකදී එය වෙන කොහෙන් හෝ කවුරුන් විසින් හෝ ගෙනැවිත් දමන ලද්දක් මිස අපේ සංස්කෘතියේ කොටසක් නොවේයැයි පෙන්වන්නට වළි කති. මේ සියල්ලටම වඩා ප‍්‍රකටවම දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ මේ ඇදහිල්ලට ලක්වන සංස්කෘතියට එරෙහිව කුඩා කෙනිත්තීමක් හෝ කළහොත් ‘නප්පියට තද වී’ දණ්ඩෙන් පහර ලත් නයෙකු සේ සපා කන්නට පැන ඒමයි. සමහර අවස්ථාවලදී සියලූ ධාර්මික සංවාද අමතක කොට අමු තිත්ත කතාවෙන් බැණ වැදීමට පෙළැඹෙන උන් ද ඔවුන් අතර දැකිය හැකිය.

මේ ලක්ෂණය මට මතක් කර දෙන්නේ ශී‍්‍ර ලංකාවේ දේශීය චින්තනයේ පියා වූත්, අද සිංහල බෞද්ධ සංස්කෘතියේ පුරෝගාමී චින්තකයා වූත් නලින් ද සිල්වා මහැදුරුතුමාය. මෙයට අවුරුදු විසිපහක් තිහකට පමණ පෙර ලෝකයේ ඇති එකම දැනුම් පද්ධතිය විද්‍යාව පමණක් නොවේ යැයිද තවත් විවිධාකාර වූ දැනුම් පද්ධතීන් තිබෙන බව ද අපට ඉගැන්වූ එතුමා, අද තමන් පිළිගන්නා දැනුම් පද්ධතිය හැර අන් සියල්ලම කසිකබල් මිථ්‍යාවන් ලෙස හෙළා දකියි. එහි දී කිසියම් අයෙක් එයට අභියෝගයක් වන මතයක් එල්ල කළ වහාම ඉතාම අසීමිත ලෙස කෝපයට පත් වී බැණ අඬ ගසන්නට පටන් ගනී.

එතුමාගේ තිබූ ප‍්‍රධානතම දුර්වලතාව ලෙස අප එදා දැක තිබූ මේ ලක්ෂණයට එකල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විවිධ නම් පට බැන්දේය. අපට එය දුර්වලකමක් සේ පෙනුනත්, අනෙකුත් සිංහල බෞද්ධ චින්තකයින්ට මෙන්ම එතුමාටත් එවැනි දුර්වලතා ඇතිවන්නට හේතුවක් නැත. ඒ නිසා කාලයාගේ ඇවෑමෙන් එතුමා අපට එය ඓතිහාසික උදාහරණ සහිතව ඔප්පු කර පෙන්වයි. මේ සඳහා ඔහු උදාහරණයට ගන්නේ දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයින් අතර සිටි ථෙරපුත්තාභය චරිතයයි. වරෙක සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක වන මෙතුමා සිය ජාතිය හා ආගම වෙනුවෙන් වරෙක ඉතා ප‍්‍රචණ්ඩ රණශූරයෙකු බවට පත්ව අනුකම්පා විරහිතව යුද වැදී මිනිසුන් මරයි.

නැවතත් ශීලවන්ත භික්ෂූ ජීවිතයට ඇතුළු වේ. මේ ආකාරයට නලින් ද සිල්වා මහැදුරුතුමාව, කොල්ලන් විවිධ නම්වලින් හැදින් වූ මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් වන ‘ථෙරපුත්තාභය සංකීර්ණය’ බව තමා විසින්ම නීර්ණය කර පෙන්වයි. අද කිපෙන සුළු බව අභීත සිංහල බෞද්ධයෙකුගේ සාධනීය ලක්ෂණයක් බවට පත් වන්නේ මේ ලෙසයි.

පසුගිය දිනෙක මුහුණු පොතෙහි සංවාදයක දී තමා මහැදුරු නලින් ද සිල්වා මහතාගේ ගෝලයෙකුයැයි තමා විසින්ම කියා ගන්නා තරුණයෙකු සංවාදයේ උච්ච අවස්ථාවකදී ‘හෙට මම සිල් ගන්නවා. ඒ නිසා දැන් මේ වාදයට පැටලෙන්න බැහැ. සිල් පවාරණය කරලා එන්නම්’ කියා කියූ විටෙක, මා ඔච්චමට මෙන් ‘අද මම සිල්. එ් නිසා හෙට ඇවිත් දෙන්නම් ඇට්ටි හැලෙන්න’ කියා මගේ අදහස පළ කළෙමි.

මේ තරුණයා ඒ වහාම මට පිළිතුරු ලෙස අන්තර් ජාලයට ඇතුළුවෙන කොක්කක් අමුණා එවා තිබුණි. මා එය ක්ලික් කළ විට දකින්නට ලැබුණේ ථෙරපුත්තාභය යෝධයාගේ කතාවයි. බලාගෙන යන විට මහැදුරුතුමා මේ ‘ථෙරපුත්තාභය සංකීර්ණය’ තමන්ගේ ගෝලයින්ට ද බෝකර හමාරය. මේ ගැන වහා කිපෙන සුළු අපේ සිංහල බෞද්ධ ගැටව්ගෙන් විමසා සිටිය හොත්, ඔවුහු තමා ථෙරපුත්තාභය යෝධයා ගිය මඟ යන අභීත සිංහල බෞද්ධයෙකු බව ඉතා ආඩම්බරයෙන් පවසමින් තමන්ට ද මේ ‘ථෙරපුත්තාභය සංකීර්ණය’ තිබෙන බව පිළිගන්නවා නොඅනුමානය.

සචින් අරුණෝද් ජයනෙත්ති

@VIKALPA