Colombo, end of the War, Featured Articles, Features

යුද්ධය බොරැල්ලට පැමිණීම නොහොත් නීමොලාර් ජිවමානවීම

[Photo Credit:www.upge.wn.com]

භයංකාරත්වයෙන් රටම බියගැන්වීමට සමත් රජයකට එරෙහිව මැෂින් තුවක්කු දෙක තුනක් ඇතිව චන්ඩින් සේ අභියෝග කරන වැලිකඩ බන්ධනාගාර වහළ මත නැගුනු රුදවියන් සහ සිරකරුවන්ගේ ජායාරූප අපට කියන්නේ කුමක් ද? එම අභියෝගයට ප‍්‍රතිචාරයක් වශයෙන් කරන ලද මනුෂ්‍ය සමූල ඝාතනයේ පුවත අපට කියන්නේ කුමක් ද?

එම ජායාරූප සහ සමූළ ඝාතන පුවත එකම කාසියක දෙපැත්ත වැන්න. එමෙන්ම එය වත්මන් ශ‍්‍රී ලංකාවේ ඇත්ත ස්වරුපයේ කැඩපතකි. එනම් මනුෂ්‍යත්වය වෙනුවට බිය ගැන්වීම, ප‍්‍රචණ්ඩත්වය සහ ඝාතනය ජයගෙන තිබීම යි.

ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි නීතියක් නැත. අද මුලූ රටෙහිම නීතියේ පාලනයක් නැත. පසුගිය සතියෙහි වැලිකඩ බන්ධනාගාරයෙහි දී රජයේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද බිහිසුනු මනුෂ්‍ය ඝාතනය මෙම නීතියක් නැති බන්ධනාගාරයේ පාලනය සහ නීතියක් නැති රටෙහි පාලනය එකට කැලැතී සිදු වූ ප‍්‍රචන්ඩත්වයේ සංකේතාත්මක අපරාධයකි. දේශපාලන සහ මුල්‍ය බලය මෙන්ම බිය ගැන්වීම විසින් පාලනය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ අධිපති ජනමාධ්‍ය විසින් වාර්තා නොකරනු ඇති නමුත් මෙම සිරකරුවන්ගෙන් කිහිප දෙනෙකුම ඝාතනය කරන ලද්දේ මාංචු දමා සිටිය දී බවටත් මෙම සෝදිසි මෙහෙයුම ඝාතන මෙහෙයුමක් වු බවටත් වාර්තා පළව තිබේ. පාතාල මර්දනයේ රාජ්‍ය පිළිවෙත ලෙස ප‍්‍රසිද්ධියේම පිළිගැනුනු පැහැරගෙන යාමේ සහ ඝාතනයේ කූටෝපාය මෙම වැලිකඩ සමූළඝාතනය තුලද හොල්මන් කරයි.

1971 කැරැල්ල වෙනුවෙන් අප සිරගතවූ කාලයේ වැලිකඩ සිරගෙදර සිටි බන්ධනාගාර අධිකාරීවරයා කවර හෝ හේතුවක් උඩ අපේ සගයින්ට දරුණු ලෙස පහර දුන් සැම අවස්ථාවකදීම කියන්නට පුරුදුව සිටි කියමනක් තිබුණි: ‘‘මට තියෙන්නේ තවත් මළ මිනියක් කියල බෝඞ් එකේ දාන එක විතරයි. උඹල මැරුනත් මට මොකද? ’’

රුදවියන්ට හෝ සිරකරුවන්ට පහරදුන් බන්ධනාගාර නියාමකයින් කිසිදු තෙත් බවක් පෙන්වූයේ නැත. ඊටත් වඩා භයානක කරුණ වුයේ එකළ සිටි බන්ධානාගාර වෛද්‍යවරුන් එවැනි අමානුෂික ප‍්‍රහාරයන්ගෙන් ලබන තුවාල පිලිබඳ කිසිදු වාර්තාවක් හෝ පැමිණිල්ලක් හෝ නොකිරීම ය. ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර අධික තදබදයෙන් පිරී තිබෙන අතර ඇත්ත වශයෙන්ම නම් ඒවා අපරාධ බෝ කරන සහ පැටව් ගස්සන මධ්‍යස්ථානයන් ය. සිර ගතවන ප‍්‍රධාන පෙලේ දාමරික පිරිස් බන්ධනාගාරයන්හි නොනිළ පාලකයින් බවට පත් වෙති. සාමාන්‍යයෙන් බන්ධනාගාර නීතිය වන්නේ කිසිදු මානව හිමිකමක් නොසැළකීම යි. එය වෙනස් වන්නේ දේශපාලන සහ ධනවත් බල පුලූවන්කාර පිරිස් වලට සහ දාමරිකයිනට පමණි.

එළෙස මැෂින් තුවක්කු රැගෙන වහළ මත නැගී සිටින බොහෝ දෙනෙකු 2009 මැයි මාසයේ දී යුද්ධ ජයග‍්‍රහණය වෙනුවෙන් මහමඟ කිරිබත් දන්සැල් සංවිධානය කළ සහ සිංහ කොඩි රැගෙන ජය නද නැංවූ පිරිස් බවට සැකයක් නැත. නැතහොත් එම ධාරාවේ නියෝජිතයින් ය. එම කිරිබත් ජය පානෝත්සවයන්හිදී ඊට සතියකට පෙර යුද්ධ භූමියේ දී මියගිය දහස් ගණනාවක් වන අසරණ දෙමළ ජනයා ගැන කිසිදු අනුකම්පාවක් පෙනෙන්නට තිබුණේ නැත.

එපමණක් නොවේ. 1983 පූලි මාසයේ දී මෙම වැලිකඩ සිරගෙදරදී ම නිරායුද දෙමළ රුදවියන් 52දෙනෛකු ඝාතනය කරන ලද්දේ ද රජයේ පිරිස් විසින් උසිගන්වන ලද එවකට සිර ගතව සිටි මෙවැනි මෙවැනි දාමරික පිරිස් විසිනි. එම සමුළඝාතනය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකරන ලද අතර එම අපරාධය වෙනුවෙන් කිසිවකුට කිසිදු දඩුවමක් නියම කැරුනේ ද නැත.

වව්නියාව බන්ධනාගාරයෙහි රුදවියන් විසින් මෙයට මාස කිහිපයකට පෙර පවත්වන ලද විරෝධතාවයක් මර්ධනය කිරීමට කැදවන ලද්දේ ද මෙවර සමුළ ඝාතනයට කැදවන ලද විශේෂ කාර්්‍ය බලකායම ය. එම අවස්ථාවෙහි දී සහ ඉන් පසුව කරන ලද අමානුෂික ප‍්‍රහාරයන්ගෙන් දෙමළ ජාතික රුදවියන් දෙදෙනෙකුට මරණය උරුම විය. එම ඝාතනයන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂනයක් නොපවත්වන ලද අතර කිසිදු ඝාතයකුට දඩුවමක් පැනවූයේ ද නැත.

දැන් ඒ කිරිබත් වීරයින්ද ගොදුරු බවට පත් වෙති. උන් කොටි ඉතිං මැරුවහම මොකදැයි ඇසූ හඩින්ම උන් පාතාලයෝ මැරුවහම මොකදැයි අසති.

ඔවුන් ගැන කතා කිරීමට සිටින්නේ ද සියළුම ජනයා සමානයින් ලෙස සළකන එබැවින්ම දෙමළ ජනයාගේ ජීවිත අයිතිය වෙනුවෙන් පෙනී සිටි පිරිස්ම ය.

අනෙකාගේ ජීවිතය සුරුකිය යුතු බවට හඩ නොනැගෙන සමාජයෙහි මෙම වැලිකඩ සමූලඝාතනය දැනටමත් අමතක වී හමාර වී තිබෙන්නට පුළුවන. උන් මැරුණා දැන් මොනවා කරන්දැයි ඔව්හු අසනු ඇත. අප කියා සිටිය යුත්තේ උන් මැරුවා තමයි, ඝාතකයා තවත් ගොදුරු සොයමින් ඉව අල්ලන බවයි. ඒ ගොදුර කව්දැයි දන්නේ කව්ද? සරසවි ආචාර්්‍යවරයකු විය නොහැකි ද? උද්ඝෝෂණ බිමෙහි සිටින සිසුවකු සිසුවියක විය නොහැකි ද? පිකට් බිමෙහි සිටින හෙදියක විය නොහැකි ද? කම්කරු‍වෙකු විය නොහැකි ද? ඝාතනය යනු මරණයම නොවේ. බිය ගැන්වීම සහ තර්ජනය මගින් නොමරා මැරීම ද ඝාතනයකි.

පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ කැපී පෙනෙන අවගුණය නම් රජයේ අනුමැතිය ඇති අපරාධයන්ට කිසිදු දඩුවමක් නොපැමිනවෙන දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය යි. මෙම වැලිකඩ සමූළ ඝාතනය සම්බන්ධයෙන් ද කිසිදු ස්වාධීන පරික්ෂනයක් නොපැවැත්වෙනු ඇති බවත් කිසිම ඝාතකයකුට දඩුවමක් නොපැමිණවෙනු ඇති බවත් කියා සිටීම අනවශ්‍ය තරමට අපි සියල්ලන්ම ඒ බව දනිමු.

මෙම සිරකැවන් සහ රුඳවියන් අත ආයුධ තිබූ පමණින් 27 දෙනෙකු ඝාතනය කිරීම සාධාරණ කළ හැකි පදනමක් නැත. රුඳවියන් ආයුධ දරා සිටිය ද ඔවුන් සිටියේ සිර ගෙදර ඇතුළත ය. ජීවිත සුරුකීම මූලික අරමුණ කරගත් කවර හෝ මෙහෙයුමක් විසින් කළ යුතුව තිබුණේ ජනප‍්‍රවාද ගත වළං කඩයට වැදුණූ ගොනකු සේ වෙඩි වරුසා වැස්සවීම නොව එම පිරිස් දමනය කළ හැකි අනෙක් ක‍්‍රම පළමුවෙන් භාවිත කිරීම ය.

එසේ නමුත් දෙමළ සිවිල් ජනයා දහස් ගණනින් ඝාතනයවීම නොසළකා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම වීරත්වයක් සේ සහ ආදර්ශයක් සේ සළකන ශ‍්‍රී ලංකාවේ වත්මන් භාවිතය එය නොවේ. පළමුව ඝාතනය සහ දෙවනුව එය සාධාරණ කිරීම ය. පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලාංකික රාජ්‍යයේ සංකේතය මෙන්ම පිළිවෙත ද වන්නේ කුමන පාර්ශවයකින් කවර හේතුවක් නිසා පැමිනිය ද විරුද්ධත්වය සහමුළින්ම ඝාතනය කිරීම යි. දහස් ගණනාවක් දෙමළ ජනයා ඝාතනය වූ මුල්ලේවයික්කාල් යුද්ධය වීරත්වයට සහ පූජ්‍යත්වයට නංවා ඇති සිංහල සමාජයට රාජ්‍යයෙන් මීට වැඩි වෙනස් ප‍්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකි ය.

කටුනායක නිදහස් වෙළද කළාප උද්ඝෝෂනයේ දී සිය ගනන් සේවකයින්ට වෙඩි පහර සහ බැටන් පහර එල්ල කිරීමේදී ද සහ රොෂාන් චානක ඝාතනය කිරීමේ දී ද හලාවත ධිවර උද්ඝෝෂනයට වෙඩි තබා ඇන්ටනි පුනාන්දු ඝාතනය කිරීමේ දී ද ක‍්‍රියාවට නැගුනේ දෙමළ සිවිල් ජනයා ඝාතනයවීම නොසළකා ක‍්‍රියාවට දමන ලද යුද්ධ පිලිවෙතම ය.

සිය සාධාරණ ඉල්ලීම් සඳහා වැඩවර්ජන මඟට පිළිපන් විශ්ව විද්‍යාල ආචාර්්‍යවරුනට දේශ ද්‍රෝහී ලේබල් අපවමින් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ගෙන ගිය අසික්තිත ප‍්‍රහාරය ද එම යුද්ධ පිළිවෙතෙහිම පිලිඹුවක් විය. අද තමන් විසින්ම පත් කරන ලද අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් ද පෙන්නුම් කරන්නේ කිසිදු විසංවාදයක්, ස්වාධීනත්වයක් ඉසිලීමට සුදානම් නැති යුද්ධ පිළිවෙතම ය.

යුද්ධාවසානයෙන් පසු ශ‍්‍රී ලංකාව දිගටම ගමන් කරන්නේ චන්ඩාශෝක මාවතෙහි ය. ඊට අටුවා ටීකා ලිවීම අවශ්‍ය නැත. චන්ඩ රාජකීයත්වය නීතියට අවනත නැත. මන්ද යත් නීතිය යනු චන්ඩ රාජකීයත්වය වන නිසා ය. රජුට, රජ දරුවන්ට, රජ ඥාතින්ට පමණක් නොව රජ පා දෝවනය කරන්නන්ට පවා ඕනෑම දෙයක් කෙළෙසිය හැකි ය. මැඩලිය හැකි ය. අපේ ඉතිහාසය දැන් ලියැවෙන්නේ අනාගතය කරා ආපස්සට යෑම මගිනි.

ඝාතනය වනු ඇත්තේ අනෙකා පමනකැයි සිතන සියල්ලන් වෙත නාසි ඝාතක කඳවුරක සිට දේවගැති මාටින් නිලමෝර් ලියු ‘ඔවුන් මා සොයා එන විට මා වෙනුවෙන් කිසිවකු නොසිටියහ’ යන ඒ වචන යළි යළිත් ආදේශ වන දේශයක් සමහර විට ශ‍්‍රී ලංකාව තරම් නැතිවා විය හැකි ය.

උන්.. පාතාලයින්, මැරැවහම මොකදැයි නොසිතන්න. මන්ද යත් පාතාලයින් වුවත් ඔවුන් ද මනුෂයින් වන නිසා ය. අනෙකාගේ ජිවිත අයිතිය වෙනුවෙන් අවධි නොවන හඩ, දිනෙක ස්වකීය මරණයේ ද නිහඩ සාක්ෂිය විය හැකි නිසා ය.

සුනන්ද දේශපි‍්‍රය[Sunanda Deshapriya]