[Photo Credit:http://www.shafaqna.com]
අධිකරණය තරම් ස්වාධීන විය යුතු යැයි විශ්වාස කෙරෙන වෙන කිසි ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නැත. ඒ නිසාම, සියළු ආකාරයේ බලපෑම්වලින් නිදහස්ව කටයුතු කිරීමේ වාතාවරණයක් අධිකරණය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට හැම පියවරක්ම ගනු ලැබේ.
විනිසුරුවරයෙකු/වරියක සේවයෙන් පහකිරීම පහසු කටයුත්තක් නොවිය යුත්තේ එබැවිනි. එහෙත්, වර්තමාන අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා පාලකයන් අනුගමනය කරන ව්‍යවස්ථාමය මාදිලිය දෙස බලන විට, ඊටත් වඩා පහසුවෙන් සහ කාර්යක්ෂමව, පාර අතුගාන කම්කරුවෙකු පවා අස්කළ හැකි වේ දැ යි සැක සහිත ය. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට තමන්ට එරෙහිව චෝදනාවකට උත්තර බැඳීම සඳහා සති 6 ක තරම් කාලයක් ලැබේ. මිනීමැරුමක චූදිතයෙකුට පවා මාසයකටත් වැඩි කාලයක් තම නිදහස වෙනුවෙන් උත්තර බැඳීමට ලැබේ. මේ කියන පාර්ලිමේන්තුවේ ඊනියා තේරීම්කාරක සභා ක‍්‍රමවේදය තුළ අගවිනිසුරුවරියට ලැබී ඇත්තේ, සතියක කාලයක් පමණි.
ඊට එකහෙලා විරෝධය පෑමේ ජනතා ක‍්‍රියාකාරීත්වයන් වෙත යොමුවීම පසෙකලා, එම අගතිගාමී ක‍්‍රියාමාර්ගයට විවිධාකාරයෙන් සහ වක‍්‍රකාරයෙන් සුදුහුනු ගාන්නෝ, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ විරුද්ධ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වැන්නෝය. සරත් නන්ද සිල්වාට අනුව, අස් කිරීමට පෙර, අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුය. එහි අරුත වන්නේ, බලයේ සිටින පක්ෂයේ ඕනෑම මන්ත‍්‍රීවරු 75 දෙනෙකුට ඕනෑම අවස්ථාවක, තමන්ගේ අත්සන් යෙදීමෙන් ඕනෑම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඉල්ලා අස්වන තැනට වගබලාගත හැකි බවයි. එවිට, දෝෂාභියෝගයක අවශ්‍යතාවක් ද මතුනොවෙයි. (පාලකයා විසින් අස්කරනු ලැබීමට මත්තෙන් ස්වේච්ඡාවෙන් අස්වීමේ සදාචාරය තමන් අනුගමනය නොකෙළේ මන්දැ යි ප‍්‍රශ්නයක් ඇතොත් කරුණාකර එය ඔහුගෙන් විමසන්න).
රනිල් වික‍්‍රමසිංහට අනුව, ඇයව අස්කිරීමේ ක‍්‍රියාවලිය(පාර්ලිමේන්තු කාරක සභාව) එක්තරා විදිහක නොනගතයකි. කිසි කෙනෙකු මේ ගැන කිසිවක් පිටට කතා කළ යුතු නැත. එසේ කතා කිරීමෙන් සිදුවන්නේ, තේරීම් කාරක සභාවේ පූජණීයත්වය කෙලෙස් මලින් පිරීමයි. මේ දේශපාලඥඥයාට වැදගත් වන්නේ ගිලටීනයට එරෙහි වීම නොව, ගිලටීනය වෙත යන මාරි අන්තුවෙනත් බිසවගේ මුහුණට මිනිසුන් කෙළ නොගසන බවට වගබලා ගැනීමයි.
රනිල් වික‍්‍රමසිංහගේ මේ කියන ‘මහත්මා’ දේශපාලනයේ පුස්ස ගැන වෙනම ලිපියක් ලියැවෙන බැවින්, මෙහි දී සාකච්ඡා කෙරෙන්නේ සරත් නන්ද සිල්වාගේ භූමිකාව ගැන පමණි.
අක්ෂරය චිත‍්‍රපටිය සම්බන්ධයෙන් පැවරී තිබුණු නඩු විභාගයේ එක දවසක් මම ද එය නැරඹීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියෙමි. එදා විභාගයට ගත් වෙනත් නඩු දෙකක් පිළිබඳ මගේ මතකය මෙසේය:
එක නඩුවක් තිබුණේ ෂෙල් කොම්පැනිය සහ ලාෆ් ගෑස් කොම්පැනිය අතර උද්ගතව තිබූ මිල නියම කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් සම්බන්ධයෙනි. සමහර විට ඊට පෙර කිහිප වරක් ඒ නඩුව කැඳවා තිබෙන්නට ඇත. කෙසේ වෙතත්, නඩුව අවසානයේ දී නිරාකරණය කෙරුණේ අගවිනිසුරුවරයා දෙපාර්ශ්වය අමතා උපදේශයක් දීමෙනි. ඒ උපදේශය දළ වශයෙන් මෙසේ ය: ‘‘ලාෆ් කියන්නේ අපේ දේශීය සමාගමක්. එහෙම ව්‍යාපාරයකට අතහිත දෙන එක කාගේත් යුතුකමක්. ඔන්න ඕක දෙපැත්ත කතා කරගෙන එකඟත්වයකට එන්න.’’ යම් ව්‍යපාරයක් දේශීය වීම විශේෂ වරප‍්‍රසාද පැවරෙන භූමිපුත‍්‍ර වගකීමක් සේ සළකන ව්‍යපාරයෙකුට මෙය දේවභාෂිතයක් විය හැකි වෙතත්, පිළිගත් නීතියක් ඉදිරියේ දේශීයත්වය ඔසවා තැබීම තර්කයක් වන්නේ කෙසේද යන ප‍්‍රශ්නය එවේලේ මගේ හිතට නැගුණි.
ඊළඟට කැඳවු නඩුව, දකුණු පළාතේ සුනාමියෙන් ව්‍යසනයට පත් ගම්වැසියන් පිරිසකට වන්දි ගෙවීම බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව පවරා තිබු පෙත්සමකි. බලධාරීන්ගේ තර්කය වුණේ, මේ කියන ගම් වැසියන්ගේ දේපළ ඇත්ත වශයෙන්ම සුනාමියෙන් ව්‍යවසනයට පත්ව නැති බවයි. එම නඩුව අගවිනිසුරුවරයා විසඳුවේ මෙසේ ය: ‘‘එහෙම විනාශ වෙලා නැත්නම්, මේ විදිහට කාලය නාස්ති කරගෙන, වියදම් කරගෙන තකහනියක් ඔච්චර දුරක් ගෙවාගෙන උසාවි ගානේ රස්තියාදු ගහයි ද? ඔන්න ඔය මිනිස්සුන්ට මොකක් හරි සහනයක් සලස්සන්න.’’ මෙවැනි තීන්දු, නීතිය පැත්තෙන් කෙසේ වෙතත්, මානවවාදීව බලන විට ආදර්ශමත් යැයි කෙනෙකුට සිතෙන්ට පිළිවන. අප වැටෙන ලොකුම බොරු වළ එයයි. පෞද්ගලික සිතැඟියාවන් මත ‘මානවවාදීව’ නීතිය විභාග කරන ඕනෑම කෙනෙකු එම සිතැඟියාවන් මතම මොන තරම් මානව විරෝධී විය හැකි දැ යි වැඩියත්ම ඔප්පු කර ඇත්තේ ද ඔහුම බැවිනි.
වර්තමාන අධිකරණයේ අර්බුදය සම්බන්ධයෙන් ඔහුගේ ‘උපදේශය’ ගැන පසු ගිය සතියේ රාවයට අදහස් පළකොට තිබූ නීති විශාරදයන් අතර තිබුණේ ඒකමතිකත්වයකි. එනම්, මේ අර්බුදයට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එසේ වැඩබලන අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ බලයක් මොන විදිහකින්වත් ජනාධිපතිවරයාට නැති බවයි. මේ නීති විශාරදයන්, වෙනත් බොහෝ කරුණු සම්බන්ධයෙන් සමාන අදහස් දරන්නන් නොවේ. මේ නිසා, රාවයට අවශ්‍ය කළ යම් අදහසක් ජනගත කිරීම සඳහා ඊට ගැළපෙන පිරිසක් පමණක් තෝරාගත්තේ ද යන චෝදනාවක් ද මතු නොවේ.
ඔවුන් සියල්ලන් පෙන්වා දුන්, අප වැනි පෘථග්ජනයන්ට පවා පහසුවෙන් වැටහෙන, එක කාරණයක් තිබුණි. අපේ ව්‍යවස්ථාවේ 109 වැනි වගන්තියට අනුව, වැඩබලන අගවිනිසුරුවරයෙකු/වරියක පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ, සිටින අගවිනිසුරුවරයා/වරිය රෝගාතුර වීම හෝ විදේශගත වීම හෝ වෙන යම් කරුණක් නිසා ය. ජනාධිපතිවරයා කෙරෙහි පිළිබඳ සිතක් නැවත ඇති වීමේ හේතුවෙන් සපයන ඉහත සඳහන් උපදේශය සරත් එන්. සිල්වා පදනම් කරන්නේ, මේ කියන ‘වෙන යම් කරුණ’ මත යි. දෝෂාභියෝගයත්, ඔහුට අනුව, එවැනි ‘වෙන යම් කරුණකි.’ කලින් සඳහන් කළ උගත් නීති විශාරදයන් පෙන්වා දී තිබූ පරිදි, ‘වෙන යම් කරුණක්’ යනු, ඊට කලින් සඳහන් රෝගාතුර වීම හෝ විදේශගත වීම වැනි තත්ත්වයකට අදාළ හෝ සමාන වෙන යම් කරුණක් මිස ‘ ඕනෑම’ වෙන යම් කරුණක් නොවන බව සක්සුදක් සේ පැහැදිළි කරගත හැක්කේ කෙසේ ද? ‘වෙන යම් කරුණක්’ යන්නෙන් ‘ ඕනෑම’ කරුණක් යන්න අදහස් කෙරේ නම්, රෝගාතුර වීම හෝ විදේශගත වීම යන අවස්ථා විශේෂයෙන් පෙන්වා දීමට අවශ්‍යතාවක් නැති බැවිනි. කොටින්ම, භෞතිකව රාජකාරියේ යෙදිය නොහැකි තත්ත්වයකට පත්වීම නිසාම පමණක් වැඩබලන කෙනෙකු පත්කළ යුතු බව එහි පැහැදිළි, සරළ අරුත යි. එයින්ම ගම්‍ය වන ඊළඟ කරුණ වන්නේ, එවැනි තත්ත්වයක් යටතේ, තමා වෙනුවට වැඩබලන වෙනත් කෙනෙකු පත්කිරීම කෙරෙහි විරෝධයක් පෑමට කිසි උවමනාවක් ඒ කියන ඕනෑම අවස්ථාවක අදාළ අගවිනිසුරුවරියට/වරයාට තිබිය නොහැකි බවයි. එහෙත් අද යෝජනා වන්නේ, ඇගේ කැමැත්තට පටහැනිව හෝ වැඩබලන කෙනෙකු පත්කිරීමේ හැකියාවක් ඇති බවකි.
නීති විශාරදයන් තවත් පැත්තකට අපේ අවධානය යොමු කරවා තිබුණි. දෝෂාභියෝගයක් පවතින අවස්ථාවකත් අගවිනිසුරුවරියක් ඉවත්කොට වැඩබලන කෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලයක් තිබේ නම්, දෝෂාභියෝගය ගැනම ලියැවී ඇති, ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ එවැන්නක් සඳහන් නොවීමට හේතුවක් නැත.
මෙතරම් සරළ කාරණා ඉදිරියේ පවා සරත් නන්ද සිල්වා වැන්නන් වෙනස් ආකාරයකින් සිතන්නේ ඇයි?
අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය මූර්තිමත් කරන දෙවඟනගේ දෑස් වසා තිබේ. ඒ, නීතිය සහ යුක්ති ධර්මයම මිස වෙන කිසිවක් දෙස (පුද්ගල තරාතිරම් සහ බලපුලූවන්කාරකම් වැනි) නොබැලිය යුතු නිසා ය. එහෙත් මේ කියන සරත් නන්ද සිල්වා වැඩ සිටි අධිකරණයේ දෙවඟනගේ දෑස් වසා තිබුණේ නැත. බලය ගනුදෙනු වන ආකාරය අනුව සහ අදාළ පුද්ගලයන් කෙරෙහි තමන්ට ඇති සම්බන්ධය මත ‘ඇස් ඇරගෙන’ නඩු විසඳීම ඔහුගේ ‘නීතිය’ වූ බැවිනි. දැන් ඔහු විශ‍්‍රාමික යි. එහෙත් කැලේ මාරු කළ පමණින් කෙසේ නම් පුල්ලි වෙනස් වන්නද?
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]