අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය ආක්‍රමණය කෙරෙමින් තිබුණු අර්බුදයක බිහිසුණු අවසාන අදියරක් පිළිවඳව ය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එවැනි අර්බුදයක් බිහිකොට ඇත්තේම, ආයතනයක් වශයෙන් පොදුවේ ජනාධිපති ක්‍රමයේත්, පුද්ගලයෙකු වශයෙන් විශේෂයෙන් ජනාධිපතිවරයාගේත් පුද්ගල බල ව්‍යාපෘතියේ ඕනෑඑපාකම් මත බව වටහා ගත් විට, නීතිමය පරාසය පරයා දේශපාලනය ඉස්මත්තට පැමිණ ඇති සැටි ඕනෑම කෙනෙකුට පැහැදිළි විය යුතුය. විරුද්ධ පක්ෂයේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ පුරවැසි සහභාගීත්වය තුළ අද දක්නට ලැබෙන ඇල්මැරුණු හැසිරීම ඉදිරියේ එක දිගටම මේ දෝෂාභියෝගී හබය ඇදුණොත්, ජනාධිපතිවරයාගේ අතකොලූවක් බවට නීතිපති දෙපාර්තමේන්තුව පත්ව ඇති ගානට මේ රටේ අධිකරණයත් පත්වෙන දවස වැඩි ඈතක නොවෙනු ඇති බව දැන් තියාම කිව හැකිය.
එයින් ව්‍යුත්පන්න කෙරෙන ඊළඟ කාරණය වන්නේ, මේ අර්බුදයේ නීතිමය පාර්ශ්වය කෙරෙහි සාධනීය ආකාරයකින් මැදිහත් වීමට නීති ප්‍රජාව වෙත පැවරෙන වෘත්තීයමය යුතුකමක් සහ වගකීමක් ඇති තරමටම, අර්බුදයේ දේශපාලනික පරාසය ආවරණය කිරීමේ පෘථුල යුතුකම සහ වගකීම පැවරෙන්නේ විරුද්ධ පක්ෂ දේශපාලනයට බව නොපමාව වටහා ගැනීමයි.
දෝෂාභියෝගය මහජනයාට ප්‍රදර්ශනය කැරැවීම එහි මුල් පියවර විය යුතුය. එයින් අදහස් වන්නේ, නොපමාව එය මහජනතාව අතරට ගෙනයා යුතු බවයි. මේ පරීක්ෂණය තුළ වැසැංගිය යුතු කිසි රහසක් පාලකයන්ට හෝ මහජන නියෝජිතයන්ට තිබිය යුතු නැත. චෝදකයන් කියන පරිදි මේ දෝෂාභියෝගය රටේ අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තැබෙන දෙයක් නොවේ යැයි මොහොතකට පිළිගත්තත්, අඩු වශයෙන් අගවිනිසුරුවරියගේ ‘අක්‍රමිකතාවකට’ එරෙහිව දියත් කෙරෙන මේ ‘අධිකරණ’ ක්රියාපරිපාටිය ක්‍රියාත්මක වන්නේ, ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසක් විසින් නිසාම, ජනතාවට එය දැන ගැනීමේ අයිතියක් ඇත්තේය. තවත් විදිහකින් කිවහොත්, ජනතාවට හොරෙන් අභ්‍යාස කෙරෙන ජනතා පරමාධිපත්‍යයක් තිබිය නොහැකි බව ය.
එම කාර්ය, වෙනත් අර්ථයකින්, දෝෂාභියෝගය තුළ මේ අවස්ථාවේ දී රජය පැත්තෙන් ඒකපාර්ශ්වීයව ඉටුවෙමින් පවතී. විවිධ ඇමතිවරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අදහස් උදහස් සහ පසු ගිය සිකුරාදා පැවති දෝෂාභියෝගයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සැසිවාරයෙන් පසු හදිසියේ කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවක් හරහා රජයේ මැතිඇමතිවරු ප්‍රකාශයට පත්කළ අදහස් උදහස් හරහාත් පැහැදිළි වුණේ එම කාරණයයි. ඊට අමතරව, රජයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා ගෙන යන වෛරී ප්‍රචාරණයෙන් පෙන්නුම් කරන්නේ ද ඔවුන්ට එය, හැම අරුතකින්ම, දේශපාලනික ඔට්ටුවක් වන බවයි. එසේ තිබිය දී, අනිත් පාර්ශ්වය පමණක්, එනම් විරුද්ධ පක්ෂය පමණක් එම මාර්ගයෙන් බැහැරව, මෙය පාර්ලිමේන්තු කාරක සභාවේ ඊනියා උත්තරීතර භාවයක් තුළම පමණක් විසඳාගත යුතු ප්‍රශ්නයක් වශයෙන් ලඝු කර ගැනීම පසු පස ඇති දේශපාලනය කුමක් දැ යි මෙහි දී ප්‍රශ්න කළ යුතුව පවතී.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන්ට මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම සහ ජනතාව ඉදිරියේ කරුණු දැක්වීම විපක්ෂ නායකවරයා විසින් තහනම් කරනු ලැබ තිබීම අප තේරුම්ගත යුත්තේ එම සන්දර්භය තුළය. එක පැත්තකින්, තමාට සහ තම පක්ෂයට විරුද්ධව මේ අගවිනිසුරුවරිය විසින් යම් අසාධාරණ තීන්දු දී ඇති බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ කියා සිටින බව අපට පෙනේ. ඒ නිසා, ඇය වෙනුවෙන් ඉදිරිපත් වීම එක්තරා ආකාරයක කකුල පස්සට තබාගෙන කළ යුත්තක් සේ ඔහු සිතන සෙයකි. යම් අධිකරණ තීන්දුවක් පක්ෂග්රාහී වූ පමණින්, ඊට එරෙහිව අප ඇති කරගන්නා සාධාරණ විවේචනය පවා, සමස්ත අධිකරණයේ ගෙල සිදීම සඳහා දියත් කෙරෙන පාලකයාගේ කූට වැඩපිළිවෙලක අනියම් පාර්ශ්වකරුවන් වීමට හේතුවක් කරගත යුතු ද? මෙහි දී, දේශපාලඥයෙකු නොවන සරත් ෆොන්සේකාගේ ස්ථාවරය, දේශපාලඥයෙකු යැයි කියන රනිල් වික්‍රමසිංහට පාඩමකි. තමාට එරෙහිව මේ අධිකරණය අසාධාරණ තීන්දු දී ඇති බව පිළිගන්නා සරත් ෆොන්සේකා, දෝෂාභියෝගයට සෘජුව හෝ වක්‍ර ආකාරයකින් මේ අවස්ථාව් පක්ෂපාතී වීමට එය හේතුවක් නොවන බව පැහැදිළිව කියා සිටී.
සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් ලූහුඩුවෙන් පටන්ගෙන අද වන විට කුණු කන්දක් උසට ගොඩනැගී ඇති වර්තමාන පාලන මාදිලිය තුළ කුළුගැන්වෙන්නේ, ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ ආයතනික රටාව තනි පාලකයෙකුගේ හෝ පාලක කල්ලියක පටු අවශ්‍යතා වෙනුවෙන් සේවයේ යෙදැවීමයි. මේ වන විට එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, ආයතන සියල්ල නැතිභංගස්ථාන වී පාලකයා සහ පාලක කල්ලි පමණක් ඉතිරි වීමයි. උදාහරණයක් විදිහට, කැබිනට් මණ්ඩලය කියා ආයතනයක් අපට අද නැත. ඇත්තේ, ජනාධිපතිවරයාගේ පුද්ගල අභිලාෂයන් සඳහා පේවූ පුද්ගල රංචුවකි. පාර්ලිමේන්තුව කියා සැබෑ මහජන සභාවක් අද අපට නැත. ඇත්තේ, නැවතත්, අර ජනාධිපතිවරයාගේ අභිලාෂ (උදා: 18 වැනි සංශෝධනය) මුදුන්පත් කරන වඩාත් පුළුල් ගැලරියකි. මෙය, ඕනෑම අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවකට ආදේශ කරන්න. ඔබට ලැබෙන්නේ එකම පිළිතුරකි.
එසේ තිබිය දී විරුද්ධ පක්ෂය ශීලයක් සමාදන් විය යුත්තේ ඇයි? එක ඒකාධිපතියෙකු පලවා හැරීමට මීට කලකට පෙර ඊජිප්තුවේ තහීර් චතුරශ්‍රයට පැමිණි මහා ජන ගංගාව, එම ඒකාධිපතියා වෙනුවට තමන් විසින්ම බලයට පත්කර ගත් නව නායකයා විසින් අධිකරණයේ ස්වාධීනත්වයට අතපොවන්නට වූ විට, මේ මොහොත වන විට නැවතත් එම චතුරශ්‍රයට පැමිණ සිටිති. මාක්ස්වාදී භාෂාවෙන් මෙය හැඳින්වුණේ වීදි සටන් වශයෙනි. රනිල් වික්‍රමසිංහගෙන් වීදි සටන් අපේක්ෂා කළ නොහැකි වීමට පිළිවන. එහෙත්, පාර්ලිමේන්තු දේශපාලනය යනු, දියවන්නාවේ ගොඩනැගිල්ලක් තුළ කෙරෙන ප්‍රභූ කතිකාවක් පමණක් නොවන බව වටහා ගැනීමට තරම්, විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු ප්රබුද්ධ විය යුතුය.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය මුහුණදෙන ප්‍රධාන පරස්පරය අතිශය විසකුරු වන්නේ, එවැනි ප්රබුද්ධතාවක් මේ විෂය අරභයා ඔහුගෙන් පෙන්නුම් නොකෙරෙන නිසාය. එක පැත්තකින්, ආයතනය (අධිකරණය) ආරක්ෂා කිරීමට මිස පුද්ගලයන් (ශිරානී බණ්ඩාරනායක) ආරක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය නැතැ යි ඔහු කියයි. ඒ ආස්ථානය, ප්‍රතිපත්තිමය වශයෙන්, නිවැරදි ය. එහෙත් මේ අවස්ථාවේ දී පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිට, ආයතනයේ ආරක්ෂාව සහතික කරගන්නේ කෙසේ ද යන්නට කෙනෙකුට පිළිතුරක් තිබිය යුතුය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක්‍රමය කෙරෙහි විශ්වාසය තැබීම රනිල් වික්‍රමසිංහගේ උත්තරය සේ පෙනෙයි. මන්ද යත්, එම ක්‍රියාවලිය තුළ සිල්වත්ව හැසිරෙන ලෙස ඔහු සිය පක්ෂයට නියෝග කොට ඇති බැවිනි.
මෙය, ඉතා සරළව කිවහොත්, දෙකොණ ගිනිගන්නා ආස්ථානයකි. දෝෂාභියෝගයෙන් පුද්ගලයා බිලිවීම, ආයතනයේ (අධිකරණයේ) ස්වාධීනත්වය පිළිබඳ ප්රශ්නය ඉදිරියේ ද්විතීයික හෝ නොවැදගත් යැයි සිතන ඔහු, පාර්ලිමේන්තු කාරක සභාව නැමැති ආයතනික ක්‍රියාවලිය තුළ පෙරලා ඔසවා තැබෙන්නේ, ඊනියා මහජන ස්වෛරීත්වයක් නොව, තවත් පුද්ගලයෙකුගේ ඒකාධිපති අභිලාෂයක් පමණක් බව අමතක කරයි. ඒ පුද්ගල අභිලාෂය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ අර කියන ආයතනයේ (අධිකරණයේ) මළගම නම්, ඒ සඳහා උපයෝගී කරගන්නා පහුරු (පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) ධාතු කරඩුවක් සේ කරේ තියාගෙන යැමට පෙළඹීම යනු, වික්‍රමසිංහ විරෝධීන් පෙන්වා දෙන පරිදි, දැනුවත් කුමන්ත්රණකාරී ගනුදෙනුවක රෝග ලක්ෂණයක් නොවේ නම්, අඩුම වශයෙන්, මුග්ධ අදේශපාලනයක්ම වන්නේය.
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]