සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි)

විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ

මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ

රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ

දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ

කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද

(මෙම කවියට පාදක වූයේ ශ්‍රී ලංකාවේ උතුරේ,කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදා ගත් මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් ප‍්‍රජාත‍්‍රන්තවාදී ලංකාණ්ඩුව සිර කොට තබා ඇති කඳවුරක සිටින දරුවකු, ගංවතුර රැඳී ඇති සිය කූඩාරම අසල තනිවම ශෝකයෙන් රැඳී සිටිනාකාරය දුටු ඡයාරූපයක් දැකීමෙනි)

සුනිල් ගෝවින්නගේ

පසු සටහනක්
මෙසේ ලංකාණ්ඩුව, සිර ගත කොට ඇති දරුවන් සහ සෙස්සන්නට අදාළ මෙම කවිය කියවන ඇතැම් සිංහල බෞද්ධයන් උරණවන්නේ නම් නැතහොත් මා ද කොටි ත‍්‍රස්තයන්ට සහයෝගය දෙන, කොටි ආධාර ලබන්නෙකු යැයි වචන සහ ගල් මුගුරු ගසන්නට සිතක් උපදී නමි එවැන්නන්ට මෙත් පැතීම හැරුණු කොට වෙන කරන්නට දෙයක් නැත.

එහෙත් එසේ උරණවන්නන්ට කිව හැකි තවත් දෙයක් ඇත. එනමි දැනට මහා සිංහල ලේඛකයා ලෙස නමි කොට ඇති ,මා සිතන අන්දමට සිංහලය බෞද්ධයන් තුළ ජාතිවාදී හැඟීමි මතුකරන්නට සමත් වෙන, වහසි බස් පුවත්පත්වලින් ද බෙදා හරින, ගුණදාස අමරසේකර කවියා වසර ගණනාවකට පෙර මා ලියා තබන මෙම කවියට සමාන මානව ප‍්‍රතිචාරයක් දක්වා තිබීම ය. එනමි, 1971 කාලයේ දී ,ඔහු ලංන්ඩනයේ විසූ සමයේ, ජ. වි. පෙ. කැරැල්ලේ දී මිය ගිය තරුණයකු සිය මවට එවා තිබූ, ඔහු සතු අන්තිම වස්තුව වූ, මුද්ද, ඔරලෝසුව, පෑන සහ ඇදුම් පොදියක් තුරුලු කරගෙන පොලීසියක් ඉදිරිපිට වැලපෙන මවකගේ රූපයක් ලංන්ඩන් නුවර පුවත් පතක දැක කමිපා වී ලියූ කවියකි.

මගේ මතකයට අනුව අමරසේකර කවියා දින පොතේ ලියූ නමින් ලියූ එම කවිය අවසාන කරන්නේ මෙසේ ය:

“මම කවියෙකි
හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එ දුක ලෙවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම”