[Photo Credit:www.nation.lk]
දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සංයුතිය සහ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පමණක් නොව, එවැනි මහජන නියෝජන සභාවක් විසින් ව්‍යවස්ථාමය කටයුත්තක් නොවන අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්නත් සැළකිල්ලට ගත් විට, මේ සමස්ත ක්‍රියාවලිය, එක පැත්තකින් ස්වාභාවික යුක්ති ධර්මයට පටහැණි බවටත්, අනිත් පැත්තෙන් ව්‍යවස්ථා විරෝධී බවටත් වන පොදු පිළිගැනීමක් මේ වන විට රට පුරා ඇති වෙමින් තිබේ. රටේ සර්ව ආගමික ප්‍රජාව ඇතුළු නීති සහ අධිකරණ ප්‍රජාව මෙන්ම මාධ්‍ය සහ සිවිල් සමාජය කෙරෙන් පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ද මතුවෙන විවිධ මැදිහත්වීම් හරහා පෙන්නුම් කරන්නේ එම කාරණයයි.
ඊට සපුරා ප්රතිපක්ෂ මතයක සිටින්නේ, විය යුතු පරිද්දෙන්ම, ආණ්ඩුවත් ඊට සෘජුව යාවූ පක්ෂ/පවුල් දේශපාලනයත් ය. වර්තමාන දේශපාලන සංස්කෘතිය විසින් ඇති කරනු ලැබ තිබෙන මජර ක්‍රමය තුළ, එක පැත්තකින් පිරිනැමෙන වරදාන කෙරෙහි ලෝලයත්, අනිත් පැත්තෙන් පැනවෙන දණ්ඩන කෙරෙහි වන අනියත බියත් හේතුකොටගෙන, එකී පක්ෂ/පවුල් දේශපාලනය සඳහා ඕනෑම විෂයයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පාරට බැස්සවිය හැකි සමාජ කොටස් සිටිති. නීතිය සහ ශිෂ්ඨත්වය ගැන අධිකරණයට ‘පාඩමක්’ කියා දීමට, ත්‍රීරෝද රථ රියැදුරන් පසුගිය සතියේ පාරට බැස තිබුණේ ඒ අනුව යි. ‘පාර්ලිමේන්තුව උත්තරීතර බව’ ඔවුන්ගේ බැනර්වලින් අපි උගත්තෙමු. ව්‍යවස්ථාවේ කොතැනකවත් ලියැවී නැති එම බොරුව ඒ ආකාරයෙන්ම, ඊට සතියකට පෙර අපට කියා දුන්නේ, ජනාධිපතිවරයා නොව, විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ ගැන කතානායකවරයාගේ විශේෂ ස්තුතියකින් ද ඔහු පිදුම් ලැබීය.
මේ ‘ජනතා බලවේග’ හඳුනා ගැනීම කපුටෙකු හඳුනා ගැනීම තරම්වත් අසීරු නැත. එහෙත්, ‘දැනුම් තේරුම් ඇති’ විරුද්ධ පක්ෂ දේශපාලනය පවා ඒ කියන ත්‍රීවීලර් දේශපාලනයට ඌනනය කෙරෙන සාධක හඳුනා ගැනීම එතරම් පහසු නැත. බත් පාර්සලයකට හෝ නොමිලේ කොළඹට එන සංචාරයකට දායක වන ආණ්ඩු පාක්ෂිකයා මෙවර කොළඹ ආවේ රනිල් වික්‍රමසිංහගේ ද ආරාධනයෙනැ යි සිතෙන තරමට එය ව්‍යාකූල ය. ත්‍රීරෝද රථ රියැදුරන්ගේ මුලික සටන් පාඨය වුණේ, ‘‘පාර්ලිමේන්තුවට අත නොතබනු/’’ යන්නයි. එම කියමන, මහින්ද රාජපක්ෂගේ නොව, රනිල් වික්‍රමසිංහගේ ය.
කෙසේ වෙතත් මේ ලිපියෙන් ප්‍රශ්න කෙරෙන්නේ, දිගින් දිගටම මහ දවල් පාර වරද්දා ගන්නා එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව ගැන නොව, මේ තේරීම් කාරක සභාවට සහභාගී වන ඉතිරි විරුද්ධ පක්ෂවල ‘අහිංසක’ භූමිකාව ගැන ය.
ජාතික ප්රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ආරාධනා කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී වීම තවමත් ප්‍රතික්ෂේප කරයි. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන හේතු, දළ වශයෙන් මෙසේ ය: 1. ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් තමන් (දෙමළ ජාතික සන්ධානය) දරණ මුලික ආස්ථාන කිහිපයක් තිබේ. 2. එම ආස්ථාන පිළිබඳව ආණ්ඩුව සමග ඕනෑවටත් වඩා මේ වන විට සාකච්ඡුා කොට තිබේ. 3. එහි දී ඇති කරගත් මූලික වූත්, හදිසි වූත් නිගමන, මේ කියන පාර්ලිමේන්තු කාරක සභාවට තමන් සහභාගි වීමට පෙර ක්රියාවේ යෙදැවිය යුතුව ඇත. 3. එසේ නොවන තාක්, මෙම කාරක සභාවත් අතීතයේ කළාක් මෙන් කල්මැරීමේ උපාමාරුවකට වැඩි දෙයක් නොවේ.
දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන මේ හේතුපාඨ, අපක්ෂපාතී පුරවැසියෙකුගේ තර්ක බුද්ධියට ගෝචර වෙයි. දෙමළා සම්බන්ධයෙන් පමණක් නොව, සිංහලයා සම්බන්ධයෙන් ද, එය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය තරම් නිදසුන් අතීතයෙන් සොයාගැනීම අසීරු නැත.
දැන් දෙමළ ජාතික සන්ධානයෙන්, ඔවුන්ගේම ඉහත කී පූර්වාදර්ශය හරහා අප ඇසිය යුතු ප්රශ්නය මෙයයි: දෝෂාභියෝගය සඳහා පත්කොට ඇති තේරීම් කාරක සභා ක්‍රියාවලිය, ජාතික ප්රශ්නය විමර්ශනය කිරීම සඳහා ආණ්ඩුවෙන් යෝජිතව ඇති තේරීම් කාරක සභාවට වඩා විශ්වාසය තැබිය හැකි, අවංක යාන්ත්‍රණයක් ද? එසේ නොවේ නම්, (ජාතික ප්රශ්නය වෙනුවෙන්) යෝජනා සහ නිර්දේශ පමණක් ඉදිරිපත් කෙරෙන තේරීම් කාරක සභාවකට වඩා, හුදු පළිගැනීම ඉලක්ක කරගත් (දෝෂාභියෝග) අධිකරණමය තේරීම් කාරක සභා ක්‍රියාවලියක් වඩාත් බිහිසුණු නොවන්නේ ද?
ඊළඟට, මාක්ස්වාදී පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය තුළ පාර්ලිමේන්තුව සැළකිය යුතුව ඇත්තේ, සමාජවාදී මාවත වෙත කෙරෙන ගමනේ දී, අවශ්‍ය තන්හි පාවිච්චියට ගත යුතු, අතරමැද වේදිකාවක් වශයෙනි. එහි අදහස වන්නේ, පාර්ලිමේන්තුව යනු මාර්ගයක් විනා, ගමනාන්තයක් නොවිය යුතු බවයි. සමාජවාදය යනුවෙන් සරළව අදහස් කෙරෙන්නේ සමාජ සාධාරණත්වය නම්, ඒ සමාජ සාධාරණත්වයට පටහැනි යමක් වේ ද, ඒ සියල්ලට එරෙහිව ඉහත කී වේදිකාව පාවිච්චි කරනවා විනා, එම වේදිකාවේ මොනම සැරසිල්ලක් වෙනුවෙන්වත් සමාජ සාධාරණත්වය බිළි දීමක්, මාක්ස්වාදි පක්ෂයකින් අපේක්ෂා නොකෙරේ.
මේ දෝෂාභියෝගය පසුපස ඇති බිහිසුණු දේශපාලනය, දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් යම් තාක් අවබෝධ කරගෙන ඇති බවක් ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශවලින් පෙනෙන්නට තිබේ. එහෙත් ඔවුන්, මේ තේරීම් කාරක සභාවේ අතීරක පාර්ශ්වකරුවන් වී තිබේ. හොඳයි, වේදිකාව පාවිච්චි කිරීම පිළිබඳ සාදෘෂ්යයට අපි නැවත යමු. එනම්, වර්ජනය කිරීම වෙනුවට, පාවිච්චි කිරීම..
තේරීම් කාරක සභාවේ අවසාන තීන්දුව පදනම් වන්නේ, නීතියක්, යුක්තියක් හෝ සදාචාරයක් මත නොව, ගණන් හිලව් මත බව අපි දනිමු. එනම්, 7 ට 4 ක් වශයෙනි. ඔව්, එතකොට පාර්ලිමේන්තුව ඊට වෙනස් දැ යි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබේ. එකක් වන්නේ, පාර්ලිමේන්තුව තුළ නැති රහස්‍ය භාවයක් මෙතන තිබීමයි. කිසිවක් පිටතට හෙළි කිරීම තහනම් ය. රහස්‍ය භාවය ඇති තැන වේදිකාවක් තිබිය නොහැකිය. වේදිකාව යනුවෙන් ලෙනින් අදහස් කෙළේ ජනතාව පෙළගස්වන තැනක් මිස ජනතාවට හොරෙන් සතරකන් මන්ත්‍රණ පවත්වන තැනක් නොවේ. දෙවැන්න වන්නේ, පාර්ලිමේන්තුවක් තුළ නොකෙරෙන, උසාවියක් තුළ පමණක් කළ යුතුව ඇති අධිකරණ ක්‍රියාවලියක් මේ කියන තේරීම් කාරක සභාව තුළ ක්‍රියාත්මක වීමයි. එහි දී ලංසුවට තැබෙන්නේ, අගවිනිසුරුවරියකගේ රක්ෂාවක් නොව, වේදිකාවක් වශයෙන් (ලෙනින්ගේ හෝ වෙනත් අර්ථයකින්) පාර්ලිමේන්තුවේ අදාළත්වය පවා ව්‍යවස්ථානුකූලව අර්ථකථනය කරන සමස්ත අධිකරණයක ස්වාධීනත්වය ය.
තේරීම් කාරක සභාව මුල සිටම වර්ජනය කළ යුතුව තිබීම කොතරම් දුරට දේශපාලනික වී ද යන්න විවාදාත්මක බව ඇත්ත. එහෙත්, ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන තෙක් කාරක සභාව කල් දමන්නැ යි අධිකරණය විසින් කළ සුහද ඉල්ලීමෙන් පසුව පවා, ඊනියා ‘පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයක්’ කරේ තියාගෙන යාමක් යුක්ති සහගත වන්නේ කෙසේ ද?
රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කෙරෙන මහා අපරාධයක් සිදුවෙමින් ඇති බව ඇස්පනාපිට පෙනෙන්ට තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රභූත්වය සහ ගරුත්වය පවා මේ මොහොතේ ආරක්ෂා කරගත හැක්කේ මෙකී ‘නඩුව’ ජනතාව අතරට ගෙනයාමෙනි. ඒ සඳහා වන, මාවතේ දේශපාලනයකට උරදීමෙනි.
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]