සිංහල, Democracy, Governance, Human Rights, Matale, Politics and Governance, Youth

මාතලේ ඇට සැකිළි ඉතිහාසීය සරදමකි.

mathale05-lankatruth
ඉතිහාසය විටෙක ඉතිහාසයටම සරදම් කරයි. අද මාතලයේ රෝහල අසළ බිමෙන් සොයා ගැනෙමින් පවතින අවසානයක් නැති මළ සිරුරු විසින් උදා කර ඇත්තේ එවැනි දුර්ලභ ඉතිහාසීය මොහොතකි.

ඊට හේතුව නම් මෙම ඇටසැකිළි 1988 – 1989 සමයේ අත් අඩංඟුවට ගෙන වධහිංසා පමුණුවා මරා දමන ලද ජනතා විමුක්ති පෙරමුණට අයත් බවට සැක කරනු ලැබූ තරුණ තරුණියන්ගේ බව බොහෝ දුරටම පෙනී යාමත් එසමයෙහි එළෙස අත් අඩංගූවට ගෙන මරා දැමුණු දහස් ගණනාවක් තරුණ තරුණියන්ගේ ජීවිතයට අයිතිය වෙනුවෙන් පෙනී සිටි එක් මුල්පෙළ දේශපාලනඥයකු අද රටෙහි ජනාධිපතිවරයා වන නිසාත් ය. එමෙන්ම එම දේශපාලනඥයාම යටතේ අද ශ‍්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන යුද්ධයේ අවසන් අදියරෙහි දී දස දහස් ගණනාවක් දෙමළ ජනයා ඝාතනය වූ බවට චෝදනා නැගෙන එවැනි තවත් කාලවකවනුවක් හරහා වන නිසාත් ය.

එදා රජයේ හමුදා විසින් අතුරුදහන් කරවන ලද දහස් ගණනාවක් සිංහල තරුණ තරුණියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ ය. ඊට ප‍්‍රති විරුද්ධව අද ඝාතනය වූ දස දහස් ගණනාවක් දෙමළ ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිනු ලැබෙන්නේද එම මහින්ද රාජපක්ෂගෙනි. ඉතිහාසය තමන්ට ම සරදම් කර ගන්නේ එසේ ය. එනයින් මාතලයෙන් මතුවන ඇට සැකිළි එදා රජපක්ෂ සහ අද රාජපක්ෂ අතර විකාරරුපී අවතාරයක් මෙන් නැගී සිටී.

දැන් මේ මාතලයේ ඇට සැකිළි පුරාවෘත්තගත මිත්‍යා කතාවන්හි මෙන් ජීවය ලබා දිගු අඩි තබා කොලොම්පුරට ළඟාවී ලිප්ටන් වට රවුමේ පිකට් බෝඞ් අල්ලා ගෙන අවතාරකාරී උද්ඝෝෂනයක යෙදුන හොත් ඔවුන්ගේ සටන් පාඨ සහ පසුගිය සදුදාට යෙදුන මානව හිමිකම් දිනය වෙනුවෙන් මන්නාරමේ දී සහ කිලිනොච්චියේ දී මුළුදුන් දෙමළ ජනයාගේ සටන්පාඨ අතර වෙනසක් තිබෙනු ඇත්ද?

එකළ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව මහින්ද රාජපක්ෂ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසම හමුවට පැමිණ රජය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද දහස් ගණනාවක නම් ලැයිස්තු ඉදිරිපත් කළේ ය. වැදූ මව්වරුන්ගෙන් පැහැර ගන්නා ලද නමුත් මහී මතාව විසින් රැකබලා ගන්නා ලදුව මේ නිශ්චිත මොහොතෙහි ශ‍්‍රී ලාංකික සමාජයට දායාද කැරෙමින් පවත්නා මෙම මාතලයේ ඇට සැකිළි අයත් තරුණ තරුණියන්ගේ නම් එම ලැයිස්තුවෙහි ඇත්දැයි සොයා බලන්නට ශ‍්‍රී ලාංකික ජනයාට අවස්ථාවක් ලැබෙනු ඇත් ද?

වත්මන් ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින ඉතිහාසීය සන්ධිස්ථානයක් නම් දෙමළ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර පැවති අවසාන යුද සටනෙහි දී සිදු කරන ලද බවට චෝදනා නැගෙන මිනිස්කමට එරෙහි අපරාධ චෝදනා පිළිබඳ සත්‍ය-අසත්‍ය තෝරා බේරා ගැනීමේ ක‍්‍රියාවළිය යි. එමෙන්ම එවැනි තෝරා බේරා ගැනීමක් මත පදනම්ව මිනිස් ජීවිතයෙහි නිසි අගය පිළි ගැනෙන දේශපාලන සමාජ සහ නීතිමය ප‍්‍රතිසංස්කරණයන් කරා ගමන් කිරීම යි.

මේ වනාහී කාලය හෝ පුරාජේරු හෝ යුද බලය මගින් යටපත්කළ නොහැකි සමාජ ඉතිහාසීය ප‍්‍රවේගයකි. ගත වූ වසර ශතවර්ශ දෙකෙහි දී විවිධ දේශයන්හි විවිධ කාල වකවනුන්හිදී මානව වර්ගයාගේ ඉතිහාසය යළි යළිත් එම සමාජීය ප‍්‍රවේගය විසින් යහ මගට ගෙනෙවිත් තිබේ. ශ‍්‍රී ලංකාව ඉන් මිදී ව්‍යතිරේකයක් වනු ඇතැයි සිතන්නට හේතුවක් නැත. මාතලයේ සමූහ මිනී වළ අපට කියා පාන්නේ ද එම වළ දැමිය නොහැකි අතීතය යි.

වළ නොදැමිය හැකි ඉතිහාසයක් වළ දැමීමේ ක‍්‍රියාදාමය හරහා ශ‍්‍රී ලංකාව මෙම අවස්ථාවේ ගෙන යමින් සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. ඔහු යුද්ධයෙහි අවසන් සමය පිළිබඳ නිසි ඇගයීමකට සහ ඉන් දෙමළ ජනයාට ඇතිවූ විපත් ගැන පසු තැවීමකට සූදානමක් නොපෙන්වයි. එසේ නමුත් වධ හිංසාවන්ට පමුණුවා මරා දමන ලද දැන් මාතලයෙන් මතුවෙමින් පවත්නා සිංහල තරුණ තරුණියන්ගේ සාක්ෂි කළකට පෙර මහින්ද රාජපක්ෂ විසින් ද මූලිකත්වය ගත් යුද බිමෙහි ඝාතන පිළිබද සිංහලයින්ගේ කෝණයෙන් කැරෙන සාකව්ජාවකට අවස්ථාව සළසයි.

දෙමළ ජනයාට යුද්ධයෙන් වූ විපත් ගැන සාකච්ජාව විමුක්ති කොටි සංවිධානයේ ප‍්‍රචන්ඩ අන්තවාදය සාධාරණ නොකරන පරිද්දෙන්ම දකුණේ දී ඝාතනය වූ දහ දහස් ගණනාවක් සිංහලයින් පිළිබඳ සාකච්ජාව විසින් ජවිපෙ විසින් නායකත්වය දුන් දේශප්‍රෙමී ජනතා පෙරමුණේ ප‍්‍රචණ්ඩ අන්තවාදය සාධාරණ කරන්නේ නැත.

ශ‍්‍රී ලාකික සමාජය ප‍්‍රජාතන්ත‍්‍රීයකරනයට අත්වැළක් සැපයනු ඇති එවැනි සාකච්ජාවක් ගොඩ නැගීමට අවශ්‍ය මූලිකම පදනම නම් මාතලයේ සමූහමිනීවල පිළිබඳ ඇත්ත යටපත් වී යෑමට ඉඩක් නොතැබීම ය. කණගාටුවකට මේ තාක් දුරට මෙම සාකජචාව බොහෝ දුරටම අන්තර් ජාල ජනමාධ්‍යන්නට සහ විකල්ප මුද්‍රිත මාධ්‍යයන්ට පමණක් සීමා වී තිබේ. එම සාකච්ජා අතරින් 89 – 90 සමයෙහි මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ඝාතනය වූ තරුණ තරුණියන්ට යුක්තිය ඉල්ලා සිටි අනෙක් දේශපාලනඥයා වූ මංගල සමරවීර මූලිකත්වය ගෙන පවත්වා ගෙන යන එක්ස්නිව්ස් වෙබ් අඩවිය මෙම සමූහ මිනීවල පිළිබඳ දීර්ඝ වාර්තාවක් පළ කර තිබේ. එහි එන යම් යම් කොටස් උපුටා දැක්වීම වටී.

‘‘මෙම සමූහ මිනිවලෙහි මිහිදන් කරනු ලැබ ඇත්තේ එවකට මාතලේ තනායමේ හා මාතලේ විජය විද්‍යාලයෙහි පවත්වාගෙන ගිය යුධ හමුදා වදකාගාර දෙකකදී මරාදැමුණු රැදවියන්ගේ මළ සිරුරුය. එවකට මෙම වධකාගාර බාරව සිටියේ මේ වන විට ආරක්ෂක අංශයක ඉහළ නිලයක් දරන නිලධරියෙකු බව එම වධකාගාරවල වදයට ලක් වී නමුත් දිවිගලවා ගැනීමට සමත් වූ රැදවියන් කිහිපදෙනෙකු අප වෙත පැවැසීය.’’

‘‘දිවි ගලවාගත් රැදෙවියන් පවසන ආකාරයට … රැදවියන්ගේ හිසට කළු ගල් වලින් පහර දීමෙන් හා අත්-පා ගැට ගසා වතුර ටැංකි වල ගිල්වීමෙන් ද රැදවියන් මරා දමා තිබේ. මෙලෙස මරා දැමු රැදවියන්ගේ මළ සිරුරු මාතලේ පැරණි මැක්ඩොනල් බලකොටුවට අයත් භූමියේ සමූහ වශයෙන් වල දමා තිබේ. පසු කාලීනව මෙම ඓතිහාසික බලකොටුව සහිත ඉඩම මාතලේ දිස්ත‍්‍රික් මහරෝහලට පවරාදී ඇත.’’

නිසි විද්‍යාත්මක පරීක්ෂණයන් මෙම ඇට සැකිළි අයත්වන්නේ කුමන වර්ෂයකට දැයි ආසන්න වශයෙන් නිශ්චය කර ගැනීම දැනට පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවට බාර දී ඇතැයි කියැවෙන අතර මෙයට දින කිහිපයකට පෙර අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානයේ තවදුරටත් කැනීම් කිරීම නතර කොට ඇතැයි ද වාර්තා වේ.

එපමණක් අප‍්‍රමාණවත් ය. මෙවැනි පරීක්ෂනයකට සමාජ විද්‍යාත්මක කරුණූ සැසදීමක් ද අවශ්‍ය ය. විද්‍යාත්මක පරීක්ෂනයන්හි නිගමන සනාථ කර ගැනීම පිණිස අවශේෂ සමාජීය සාක්ෂි මහත් පිටුවහළක් සපයයි. එනම් මෙම වධකාගාරයන්හි රඳවා සිට දිවි ගලවා ගෙන තවමත් ජිවත්වන පිරිස්, මෙම වධකාගාරයන්හිදී අතුරුදහන්වූ දරුවන්ගේ දෙමාපියන් සහ මෙම වධකාගාරයන්හි සේවය කර අද ඒ ගැන පසුතැවීමක් ඇති ආරක්ෂක හමුදා පිරිස් යනාදීන් විසින් සැපයිය හැකි සාක්ෂි ය. 88 -89 අවධියෙහි සිදුවූ පැහැර ගෙන යෑම් සහ අතුරුදහන් කිරීම් සොයා බැලීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තාවන්හි මාතලය ප‍්‍රදේශය සම්බන්ධයෙන් ද වැදගත් සාක්ෂි සටහන්ව තිබේ.

සමහර ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව මේ වනවිට පුද්ලයින් 50 දෙනෙකුට පමණ අයත් ඇට සැකිළි කොටස් මාතලයේ රෝහල අසල මිහිතුලින් හමුව තිබේ. තවද මෙම සමූහ මිනීවළ අහම්බෙන් ඉතිහාසය මතු පිටට පැමිණ දැන් මසක් ඉක්මවා ඇත. එනමුත් එය විසින් ඇති කරන ලද සමාජීය තිගැස්මක් හෝ ගවේශනාත්මක සොයා බැලීමක් හෝ නැති තරම් ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකදී නම් මෙම ඝාතනයන්ට අදාළ කඳවුරුවලදී මරා දැමුණු දරුවන්ගේ මාපිය ඥාතීන් ඞීඑන්ඒ පරීක්ෂන මගින් සසඳා එම සිරුරු කොටස් නිසි මිහිදන් කිරිම පිණිස බාර දෙන්නට පියවර ගැනෙනු ඇත. එමෙන්ම ඝාතකයින් පිළිබඳ පරීක්ෂණ ද අලූතින් ඇරඹෙනවා ඇත. අප ඉන්නේ ඊට කොතරම් පිටු පසින් ද?

නළගන සහ නයා පිළිබඳ පුවතට ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ලබාදුන් ආශ්වාද ජනක ප‍්‍රසිද්ධියත් අත් අඩංඟුවේ දී දසවධ දී මරා දැමුණූ බවට සැකකැරෙන තරුණ තරුණියන් 50 දෙනෙකුගේ පමණ සිරුරු කොටස් හමුවීමට ලබාදුන් ඇල් මැරුණු ආවරණයත් විසින් පෙන්වන්නේ අප සමාජය අද කොතරම් හිරිවැටී ඇත්ද යන්න නොවේ ද?

මෙම සමූහ ඝාතන මිනීවළ අද ජනාධිපති රාජපක්ෂ විපක්ෂයේ සිටියදී මතුවිනි නම් ඔහු කුමක් කරන්නට තිබුණි ද? සමහර විට ඔහු එතැන කූඩාරමක් ගසා ගෙන අතුරු දහන්වූවන්ගේ මාපියන් කැඳවා ගෙන මේ ඇට සැකිළි අයත් කුමන දරුවාටදැයි සොයා බලමින් ඉන්නට ඉඩ තිබුණි. නමුත් අද ඔහුට එය කල නොහැක්කේ අන් කිසිවක් නිසා නොව එවැනි පිළිවෙතක් විසින් වන්නියේ මියෑදුන දස දහස් ගණනාවකට යුක්තිය ලබා දීම ද සාධාරණ සහ අත්‍යවශය කරන නිසා ය. අයිතීන් වෙනුවට මර්දනය සහ ඝාතනය පූජ්‍යත්වයට පත් කරනු ලැබ ඇති පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවෙහි යථාර්තය එය යි. දෙමළාට නැති නිදහස සිංහලයාට ද නැත.

අතීතයෙහි සිදු වූ මානව විරෝධී ක‍්‍රියා පිටු දැක අනාගතයෙහි දී එවැනි නොමිනිස්කම් ඉටු නොවන බවට වගබලා ගැනීම මිනිස් ජීවිතයට නිසි සැළකීමක් ඇති සහ මානව අයිතීන් විසින් ආරක්ෂා කරනු ලබන සමාජයක පරමාදර්ශයක් වන මුත් පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ පරමාදර්ශය වන්නේ බිය ගැන්වීමේ සහ ඝාතනයේ සංස්කෘතිය යි. එවැනි වාතාවරණයක් තුළ මාතලයේ වළ දැමුණූ තරුණ ජනයාට යුක්තියක් ඉටුවනු ඇතැයි සිතිය හැක්කේ කෙසේ ද?

Sunandaසුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshpriya]

[Photo Credit:www.lankatrouth.com]