Colombo, Featured Articles, Features

නැවත විමර්ශනය කළ යුත්තේ තීන්දුව නොව, සමස්ත ක‍්‍රියාදාමයයි.

IMG_0805
මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති නිර්වචනය කරමින් සිටී. ඒ අනුව, එක අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කෙළේය. ආණ්ඩුව ඊට හිස නැමුවේ නැත. තව අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශයක් ඉදිරිපත් කෙළේය. ආණ්ඩුව එය පිළිපැද්දේ නැත. ඊළඟට, පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 12 දෙනෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැ යි සිතාසි නිකුත් කෙළේය. ඒ සිතාසි බාර ගැනීමට තමන් බැඳී නැති බව කතානායකවරයා කියා සිටියේය.

රටේ ව්‍යවස්ථාව සහ නීතිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඒ කිසි මැදිහත් වීමක් ගණන් නොගත් ආණ්ඩුව, දැන්, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ රටේ නීතියේ නැති, ‘සත්ගුණවත්’ කාර්යයකට අතගසා තිබේ. එනම්, දෝෂාභියෝගයේ තීන්දුව නැවත සළකා බැලීම සඳහා වෙනම ස්වාධීන මණ්ඩලයක් පත්කිරීමට තීන්දු කිරීමයි. ඒ කුමක් සඳහා ද? ‘තමාගේ හෘද සාක්ෂිය පිරිසිදුව තබා ගැනීමට’ යැයි ජනාධිපතිවරයා කියයි.

අගවිනිසුරුවරියගේ සැමියාට එරෙහිවත්, අනතුරුව අගවිනිසුරුවරියට එරෙහිවත් දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව මුලින්ම කීවේ විරුද්ධ පක්ෂය බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ. විරුද්ධ පක්ෂය එසේ බලපෑම් කළ අවස්ථාවේ තමා ඊට කන් නොදුන් බව කියන ඔහු, විරුද්ධ පක්ෂය විසින් එදා කරන ලද ඉල්ලීම ප‍්‍රකාරව අද තමා දෝෂාභියෝගය ක‍්‍රියාවට නංවද්දී විරුද්ධ පක්ෂය එරෙහි වන්නේ මන්දැ යි විමසයි.

අගවිනිසුරුවරියගේ සැමියා සම්බන්ධ කාරණයේ දී, මේ රටේ බලපුලූවන්කාරයන්ගේ සහ පාලක පංතියේ දූෂණයට සහ සම්පත් නාස්තියට එරෙහිව දැනුවත් පුරවැසියෝ සහ මාධ්‍යවේදියෝ හඩ නැගූහ. එය විරුද්ධ පක්ෂයට සීමා වූ විරෝධයක් නොවේ. යුක්තිය සහ සාධාරණත්වය අගයන මේ රටේ කවුරුත් එම දූෂණය සහ සම්පත් නාස්තියට, ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ අදටත් විරුද්ධ වන්නේ, අගවිනිසුරුවරියගේ සැමියා සම්බන්ධ සිද්ධිය ගැන පමණක් නොව, මහබැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු සකල බලධාරීන්ගේ අයථා ක‍්‍රියාකලාපයන්ටත් එරෙහිව බව මතක තබාගත යුතුය. ඒ අනුව, වර්තමාන විරෝධය මතුවන්නේ වෙන හේතුවක් නිසා නොව, මේ දෝෂාභියෝගය වෙනත් හේතුන් මත පන්නරය ලැබ, පළිගැනීමේ පරම අභිලාෂයෙන්, නීතියේ ආධිපත්‍යය සහ ස්වාභාවික යුක්ති ධර්මයට පයින් ගසමින් පැවැත්වෙන විමර්ශන මාදිලියක් වීම නිසා ය.
අනිත් අතට, එදා ජනාධිපතිවරයා ඒ විරෝධයට කන් නොදුන්නේ ඇයි? ඔහුගේම වචනවලින් උත්තරය මෙසේය: ‘‘මේ සභාපති (අගවිනිසුරුවරියගේ සැමියා) අපි පත්කරපු කෙනෙක්. මේ අගවිනිසුරුවරිය අපි පත්කරපු කෙනෙක්. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප‍්‍රශ්නේ එනකොට, මං ඔක්කෝටම කතා කරලා ඒ ගනුදෙනුව නතර කළා. සල්ලි ආපහු දුන්නා. අපි ඒක හෙමිහිට ෂේප් කරගත්තා. එහෙමයි වැඩ කරන්න ඕනේ. මිනිහා අපේ මිනිහෙක් නේ.’’ (ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමය ඉදිරියේ ජනාධිපතිවරයා කළ කතාව).

එසේ නම්, අද එය ප‍්‍රශ්නයක් වුණේ කෙසේ ද? ඉහත සඳහන් ප‍්‍රකාශය තුළම ඊට පිළිතුර ඇත. දෝෂාභියෝගය එන්නේ, එදා විරුද්ධ පක්ෂය මතු කළ පදනමෙන් නොව, ඉන් පසු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් උද්ගත වූ වෙනත් හේතූන් නිසා බැවිනි. ඕනෑම වරදක්, එලිපිට හෙලිදරව් වූ අවස්ථාවේ විභාග නොකොට, කාලයාගේ ඇවෑමෙන් වෙනත් අවස්ථාවක හිතුමතේ විභාගයට ගැනීම තුළ ඇත්තේ, අදාළ වරදට පිටස්තර කෝන්තරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය, නීතියේ ආධිපත්‍යයක් නොව, නීතිය වල් වැදීමකි.

දැන්, තේරීම් කාරක සභාවේ දී යම් වරදක් සිදුව ඇත් දැ යි යන කුකුසක් ඔහු තුළ තිබේ ලූ. එසේම, ඔහුගේ දැනුවත් භාවයෙන් තොරව ඇතැම් දේවල් සිදුව ඇති බවක් ඔහු අඟවයි. සැබෑව වන්නේ, සමස්ත දෝෂාභියෝග ක‍්‍රියාවලිය එහි තිඹිරිගෙයි පටන් අවසාන තීන්දුව දක්වාම මෙහෙයවන ලද්දේ ජනාධිපතිවරයා විසින්ම වීමයි. ඒ ක‍්‍රියාවලිය තුළ සුලැඟිල්ලක් ගැසීමටවත් ඉඩක් වෙන කිසිවෙකුට නොතිබුණි.

දැනුවත් පුරවැසියා මේ සෙල්ලම හොඳින් දනී. ඒ නිසා, නීතියේ හෝ ව්‍යවස්ථාවේ නැති ‘මානුෂික මෙහෙයුමක්’ රටේ නායකයාගෙන් එම පුරවැසියා ඉල්ලා සිටින්නේ නැත. එම නායකයා දැන් ‘ස්වාධීන’ කමිටුවක් පත්කිරීමට යන්නේ, තවත් එවැනිම ‘ස්වාධීන’ කමිටුවකින්(තේරීම් කාරක සභාව) නිගමනය කළ තීන්දුවක් පුනරීක්ෂණය කිරීමට ය. එහෙත් මූලික ප‍්‍රශ්නය වන්නේ එම තීන්දුව නොව, එම තීන්දුවට පැමිණි සමස්ත ක‍්‍රියාවලියයි. මේ නිසා ජනතා මතයට කන් දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු නම් කළ යුතුව ඇත්තේ, සමස්ත දෝෂාභියෝගී ක‍්‍රියාවලියම නීතියේ ආධිපත්‍යයට සහ ස්වභාවික යුක්ති ධර්මයට යටත් යාන්ත‍්‍රණයකට මුල සිටම භාර දීමයි.

ආරම්භයේ පටන් මේ නාඩගම රඟදැක්වුණු ස්වභාවය එහි නිමාවෙන් ද දැන් සනිටුහන් කර ඇත. දෝෂාභියෝගයේ තීන්දුව අනුව චෝදනා 3 කට අගවිනිසුරුවරිය වැරදිකාරිය කර තිබේ. විභාගයට ලක්ව ඇත්තේ චෝදනා 5 ක් පමණි. එහෙත් ඈට එරෙහිව තිබූ චෝදනා ගණන 14 කි. මේ චෝදනා 14 පිළිබඳවම අවසාන තීන්දුවකට තේරීම් කාරක සභාව පැමිණිය යුතුව තිබුණි. චෝදනා 14 න් 3 කට වැරදිකාරිය වීම ප‍්‍රමාණවත් යැයි සිතා ඉතිරි චෝදනා විභාග කිරීමෙන් වැළැකී සිටින ‘අධිකරණයක’ කතාන්තරය, මේ සමස්ත දඩයමේ සැබෑ ස්වරූපය හෙළිදරව් කරන්නකි.

ඉතිරි චෝදනා විභාග නොකිරීම සඳහා තේරීම් කාරක සභාව කියන හේතුව වන්නේ, චෝදනා 3 කින් වැරදිකාරිය වී තිබීම තමන්ට ප‍්‍රමාණවත් වන බවයි. ‘තමන්ට ප‍්‍රමාණවත්’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? එනම්, අවශ්‍ය කරන දඩයම සඳහා එකී ඔප්පුව ප‍්‍රමාණවත් බවයි. මේ සමස්ත ක‍්‍රියාවලියේ එල්ලය වුණේ, ඇත්ත නැත්ත සොයා බැලීම හෝ යුක්තිය පසිඳලීම නොව, ගොදුර දඩයම් කිරීම පමණක් ය යන්න එහි අරුතයි. අවශ්‍ය කළ ඒ දඩයම සඳහා, එක චෝදනාවකින් ‘වැරදිකාරිය’ වුවත් ‘හොඳටම ප‍්‍රමාණවත්’ වන්නේය/වරද ස්ථාපනය කිරීම සඳහා ඉහත කී චෝදනා 14 ම ඔප්පු කිරීමක්, පවතින නීතිය අනුව අවශ්‍ය නොකරන බව කෙනෙකු කිව හැකිය. හැබැයි එසේ චෝදනා 14 ම ඔප්පු කිරීමක් හෝ විභාග කිරීමක් අවශ්‍ය නොකරන්නේ, දඩයම යන කාරණයට අදාළව පමණි. එහෙත්, නඩු විභාගයක එල්ලය විය යුත්තේ දඩයම ද, යුක්තිය පසිඳලීම ද?

මීට වසර කිහිපයකට පෙර, එක් ප‍්‍රංශ පුරවැසියෙක් උසාවිය ඉදිරියට ගියේය. ඒ, ඊට වසර පනහකට පෙර ඔහුගේ පියා සම්බන්ධයෙන් අධිකරණය දුන් යම් තීන්දුවක් ප‍්‍රශ්න කරමිනි. එම නඩුවෙන් ඔහුගේ පියා වැරදිකරු වී ජීවිත කාලයම හිරගෙයක ගත කර තිබුණි. ඔහු මරණයට පත්වුණේ ද හිරගෙදර දීමයි. එසේ තිබිය දී, පියා වෙනුවෙන් මේ පුතා පියාගේ මරණයෙන් පසුවත් නඩු කීවේය. අවසානයේ දී, එම නඩුවෙන් පුතා ජයගත්තේය. දැන් මේ පුතා නඩු කීවේ ඒ වන විටමත් සම්පූර්ණ දඩුවම ගෙවා අහවර කොට, මියගොස් සිටි මිනිසෙකු වෙනුවෙන් වන තත්ත්වයක් තුළ, එසේ නඩු කීමෙන් ඔහු බලාපොරොත්තු වුණේ කුමක් ද යන ප‍්‍රශ්නය පැනනගී. ‘‘මට ඕනේ කළේ එකම දෙයයි. මගේ පියාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න.’’

රහසේ විභාග කළ යුතු යැයි කියැවුනු චෝදනා 14 ම ආණ්ඩුව විසින් මේ වන විට සමාජගත කොට ඇත. ඒවා ආශ‍්‍රයෙන් එක ගැහැනියක් ගර්හිත කොට ඇත. විභාගයට නොගැනීමට තීරණය කොට ඇති චෝදනා, සමාජ විඥානය තුළ ස්ථානගත වන්නේ අපවාද සහ නින්දා වශයෙනි. දැන්, ‘ඔප්පු කළ’ චෝදනා 3 ක් වෙනුවෙන් ආයතනික දඩුවම් පමුණුවන යාන්ත‍්‍රණයක් තුළ, විභාගයටවත් නොගත් චෝදනා 9 ක් හරහා ඇති කළ සමාජ අපවාදය, එම ගැහැනියට අතපෙවිය නොහැකි, ප‍්‍රශ්න කළ නොහැකි ඉසව්වකට වීසි කොට තිබේ. එනම්, එම චෝදනා 9 සඳහා ඇය සදහටම ‘වැරදිකාරිය’ වන්නේය. මන්ද යත්, මේ නඩු විභාගය ආරම්භයේ සිටම පදනම් වුණේ, විත්තිකාරිය වැරදිකාරියක් ය යන මූලික පිළිගැනීම මත වන බැවිනි.

ඉතිං, රටකට අවශ්‍ය කරන්නේ නායකයෙකුගේ ඊනියා හෘද සාක්ෂියක් ද, නැත්නම් නීතියේ ආධිපත්‍යයක් ද?

Gamine Viyangodaගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]