අසූව හා අනූව දශකයේ දී පක්ෂි විවිධත්වයෙන් ඉතා පොහොසත් තෙත්බිමක් ලෙස බොහෝ පක්ෂි නිරීක්ෂකයන් ගේ අවධානයට යොමුවුණු බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමිය අද වන විට මුහුණ දී ඇත්තේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකට ය. එක් කලෙක දී කැළි කසළවලින් පුරවනු ලැබූ මේ තෙත්බිමේ බොහෝ ප‍්‍රදේශ අද වන විට ගොඩකර ජනාවාස හා කර්මාන්තශාලා මෙන් ම වාහන නැවැතුම් පොළවල් ද ඉදි කර ඇත.
කර්මාන්තශාලා අපද්‍රව්‍ය සෘජු ව බැහැරලීම හේතුවෙන් අභයභූමිය හරහා ගලා බසිනා දිය දහරාවන් සියල්ල ම පාහේ දූෂණයට ලක් ව තිබේ. ඉන් නොනැවතී අභයභූමිය පුරා ම වෙල් ආත්තා, හම්බුපන්, බෙරුදිය නිල්ල හා ජපන් ජබර දරුණු ආක‍්‍රමණික ශාක ලෙස ව්‍යාප්ත ව ඇත. මේ අභියෝග හමුවේ වුව ද බොහෝ ප‍්‍රදේශවලින් ගලා එන අතිරික්ත වැසි ජලය රඳවා තබා ගනිමින් අභය භූමිය වටා පිහිටි බොහෝ නාගරික ප‍්‍රදේශ ගංවතුර උවදුරින් ආරක්ෂා කරගන්නා මේ තෙත්බිම නාගරික ජනයා ගේ පහසලත් මනරම් තෙත්බිමක් ලෙස රැක ගැනීම සිදු කළ නොහැකි ද? ඇත්තෙන් ම හැකියාව ඇත. අවශ්‍ය වන්නේ අදාළ රාජ්‍ය ආයතනවල සැබෑ උනන්දුව පමණකි.
එවන් අවශ්‍යතාවක් පවතිද්දී ආරක්ෂක අමාත්‍යංශය හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියේ බොල්ගොඩ ඇළ හා කටු ඇළ ඇතුළු ව ඒ ආශ‍්‍රිත ව පිහිටි ඇළ මාර්ග සියල්ල ම දැනට පවතින ප‍්‍රමාණයෙන් දෙගුණයක් පුලූල් කිරීමට සැලැසුම් සකස් කරයි. නිසි විද්‍යාත්මක අධ්‍යයනයකින් තොර ව ගංවතුර පාලනය කිරීම පමණක් අරමුණු කර ගෙන ඇළ මාර්ග පුළුල් කිරීමේ සූදානමක් පවතී. ඒ හේතුවෙන් අවට තෙත්බිම්වලට පායන කාලයේ දී සිදු විය හැකි බලපෑම හා අවට ප‍්‍රදේශයේ භූගත ජල මට්ටමට සිදු විය හැකි බලපෑම අවධානයට ලක් කර නොමැත. තව ද පායන කාලවල දී, පුළුල් කළ ඇළ මාර්ගයන්හි කර්මාන්තශාලාවන් ගෙන් ඉවත් කරන අපද්‍රව්‍ය මිශ‍්‍ර ජලය සාන්ද්‍රගත ව රඳා පැවැතීමෙන් දුර්ගන්ධය අවට ප‍්‍රදේශය පුරා වහනය වීම පමණක් නො ව මේ තත්ත්වය අවට තෙත්බිමේ ජෛව ප‍්‍රජාවට ද අහිතකර ලෙස බලපෑ හැකි ය. මේ නිසා බෙල්ලන්විල – අත්තිඩිය තෙත්බිම පිළිබඳ ව මනා අවබෝධයකින් යුතු ව මේ සැලැසුම් සකස් කළ යුතු ව ඇත. ඒ සඳහා මේ තෙත්බිමේ ව්‍යූහය හා කි‍්‍රයාකාරීත්වය මෙන් ම ජලවිද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව නිසි ලෙස අවබෝධ කර ගත යුතු ය.
ගංවතුර පාලනය සඳහා කළ යුතුව ඇත්තේ බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය හා ඒ ආශ‍්‍රිත තෙත්බිම් සියල්ල නිසි පරිදි ආරක්ෂා කිරීම හා ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීමයි. ඒ සඳහා පළමුව අවශ්‍ය වන්නේ අභය භූමිය ගොඩ කිරීම වහාම නතර කිරීම හා දැනට ගොඩකර අනවසරින් තනා ඇති ඉදිකිරීම් සියල්ල වහාම ඉවත් කිරීමයි.
බෙල්ලන්විල විහාරස්ථානයේ රථගාල පුළුල් කිරීම සඳහා අභය භූමියේ විශාල තෙත්බිම් ප‍්‍රමාණයක් ගොඩකර තිබේ. මාලනී බුලත්සිංහල මාවතේ පිහිටි කර්මාන්තශාලා පුළුල් කිරීම සඳහා අධික ලෙස අභය භූමිය ගොඩකර තිබේ. මීට අමතර ව අභය භූමිය තුළ බොල්ගොඩ ඇළට දකුණින් පිහිටි තෙත්බිම් සියල්ලම ගොඩකර විශාල වශයෙන් ජනාවාස ව්‍යාප්ත කර තිබේ. ඒ. කරුණාරත්න මාවත, හරමානිස් පාර හා විකුම් පෙදෙස ලෙස අභය භූමිය තුළ මාර්ග සකස් කර ගොඩකරමින් තවත් ජනාවාස ව්‍යාප්ත කර තිබේ. මීට අමතර ව වේරැස් ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ද මේ අයුරින් මහා පරිමාණයෙන් අභය භූමියේ තෙත්බිම් ගොඩ කිරීම සිදු කර තිබේ. වනජීවී සංරක්ෂ දෙපාර්තමේන්තුව බලා සිටිය දී අභය භූමිය මෙසේ ගොඩ කිරීමේ හානිකර ප‍්‍රතිඵල බුක්ති විදින්නට සිදුවන්නේ ඒ අවට ජනතාවටම ය.
අසූව දශකය වන විට ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් ප‍්‍රදේශයක් ලෙස බෙල්ලන්විල – අත්තිඩිය ප‍්‍රචලිත වූයේ සාංක‍්‍රමණික පක්‍ෂි විශේෂ රාශියක ගේ ලැඟුම් පොළක් මෙන් ම ගොදුරුබිමක් වීම නිසා ය. මේ තත්ත්වය හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්‍ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල – අත්තිඩිය ප‍්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසු තෙත්බිම් සුරැකීම පිළිබඳ අන්තර් ජාතික රැම්සා ප‍්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත් බිම් 947 කින් යුත් නාමාවලියට බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිම ද එක් කැරිණි.
මේ කාලවකවානුව වන විට පක්‍ෂි නිරීක්ෂකයන් ගේ අධ්‍යයන ප‍්‍රදේශයක් පමණක් නො ව දිවයිනේ නන් දෙසින් පැමිණෙන දඩයක්කරුවන් ගේ දඩබිමක් බවට බෙල්ලන්විල – අත්තිඩිය පත් ව තිබිණි. ඒ හේතුවෙන් පරිසර සංවිධානයන්හි හා පරිසරවේදීන් ගේ කරුණු ඉදිරිපත් කිරීම මගින් අන්තර්ජාතිකව වැදගත් කමක් හිමිවීම නිසා 1990 ජුලි මස 25 වන දින කොළඹ දිස්ති‍්‍රක්කයේල රත්මලාන, දෙහිවල, කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් ව පිහිටි බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිමේ හෙක්ටයාර 372 ක භූමි ප‍්‍රමාණයක් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර නෛතික රැකවරණය දැඩි කැරිණි.
එදාමෙදා තුර කාල පරාසයේ දී අභයභූමියට සිදු වූ හානිය සුළුපටු නො වේ. මෙහි වැදගත්කම වැටැහීයාම වැඩිවීමත්ල නෛතික රැකවරණය වැඞීවීමත් සමඟ සිදු වූයේ පරිහානියට පත් වීම මිස වන සතුන් හට රැකවරණය ලැබීමක් නම් නො වේ. අද වන විට ද මේ තත්ත්වය ඒ අයුරෙන්ම සිදුවෙමින් පවතී.
මේ තෙත්බිමේ ජෛව විද්‍යාත්මක හා පාරිසරික වැදගත්කම නොදන්නා මිනිසුන් මෙය හිස් භූමියක් ලෙස සැලකුව ද බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියේ වටිනාකම අවබෝධ කර ගැනීමට ඒ පිළිබඳ ව අධ්‍යයනය කර ප‍්‍රකාශයට පත් කර ඇති වාර්තා බොහොමය සාක්ෂ්‍ය දරයි. කොළඹ නගරය ආසන්නයේ මේ අභයභූමිය පිහිටා තිබීමත්, පහසුවෙන් ළඟාවිය හැකි වීමත් නිසා මේ පරිසර පද්ධතිය බොහෝ පර්යේෂකයන් ගේ අවධානයට ලක් විය. ඒ අනුව මෙතෙක් බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේ සිදු කර ඇති අධ්‍යයන සියල්ල සැලැකිල්ලට ගෙන දත්ත සම්පිණ්ඩනය කළ විට ඉතා විශාල සත්ත්ව විවිධත්වයක් වාර්තා වී ඇති බව පෙනී යයි.
වාර්තාවන්ට අනුව 90 දශකයේ මුල් කාලය වන විට මේ අභය භූමියෙන් හමු වී ඇති පක්‍ෂි විශේෂ ගණන 168 ක් පමණ වෙයි. ඒ අතර ගිරා මලිත්තා(Lorikeet), හීන් කොට්ටෝරුවා (Small Barbet) හිස දුඹුරු දෙමලිච්චා(Brown – capped Babbler) යන ආවේණික පක්‍ෂි විශේෂ තුන ද ඇතුළත් වේ. එහෙත් අභයභූමියේ හා ඒ වටා සිදු වන හානිකර කි‍්‍රයා හේතුවෙන් 2000 වසර පමණ වන විට අප ගේ අධ්‍යයනයන්ට අනුව අභය භූමියෙන් වාර්තා වන පක්‍ෂි විශේෂ ගණන(ඉඳහිට හමුවන විශේෂ ද ඇතුළත් ව) 88ක් දක්වා පහළ බැස තිබිණි. ඒ අතර ආවේණික විශේෂයක් ලෙස දැකගත හැකි වූයේ හීන් කොට්ටෝරුවා පමණකි. මේ අනුව පෙනී යන්නේ පක්‍ෂි විශේෂ අතුරෙන් 48%ක් ම මේ ප‍්‍රදේශයෙන් වාර්තා නොවන බවත්, නේවාසික පක්‍ෂි විශේෂ අතුරෙන් රාශියක් ප‍්‍රදේශයෙන් වඳ වී ගොස් ඇති බවත් ය.
ලංකාවේ පක්‍ෂීන් පිළිබඳ වැදගත් නිරීක්‍ෂණ රැසකට මේ අභයභූමිය තෝතැන්නක් ව තිබේ. මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිණියා ගේ උප විශේෂයක් වන ටයිට්ලර් ගේ වැහිලිහිණියා(Tytler’s Swallow) ලංකාවෙන් ප‍්‍රථම වරට වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියෙනි. බඩවත ප‍්‍රදේශය රතු – දුඹුරු පැහැයක් ගන්නා මේ වැහිළිහිණියා 1989 වසරේ දී ජගත් ගුණවර්ධන මහතා විසින් වාර්තා කරන ලදී. තව ද මෙවැනි ම දුර්ලභ සාංක‍්‍රමණික පක්‍ෂියකු වන පලඟැටි හම්බු කුරුල්ලා ද(Pallas’s Grasshopper Warbler) 1991 වසරේ දී වාර්තා කිරීමට ඒ මහතාට හැකි වූයේ මේ ප‍්‍රදේශයෙනි. විසිවන සියවසේ මේ පක්‍ෂියා පිළිබඳ ප‍්‍රථම වාර්තාව ලෙස මෙය සැලැකේ. ඒ වසරේ සිට බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිමේ බෙරුදියනිල්ල පඳුරු අතරට සාංක‍්‍රමණික සෘතුව එළැඹීමත් සමඟ ම මොවුන් පැමිණෙනු නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇත.
ප‍්‍රවීණ පක්‍ෂි නිරීක්‍ෂකයකු වන දීපාල් වරකාගොඩ මහතා 2000 වසරේ දී ලංකාවෙන් ප‍්‍රථම වරට පූගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා කළ සාංක‍්‍රමණික පක්‍ෂියකු වන Dusky Warbler විශේෂය 2001 වසරේ දී දෙවන වරට ද ඒ මහතා විසින් ම වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියෙනි.
ලංකාවේ ඉතා දුර්ලභ සාංක‍්‍රමණික පක්‍ෂියකු ලෙස සැලැකෙන දම් සිලූටු දෑ තුඩුවා(Glossy Ibis) ද මෙහි පැමිණෙන ඉතා සුවිශේෂී සාංක‍්‍රමණික පක්‍ෂියෙකි. එහෙත් අද වන විට අභයභූමිය ආක‍්‍රමණික ශාකවලින් වැසී ඇති නිසාත් වගුරු ප‍්‍රදේශය ගොඩ වී ඇති නිසාත් මොවුන් සාංක‍්‍රමණික සෘතුවේ දී දැක ගත හැක්කේ අභයභූමිය අවට වගුරු බිම්වලින් පමණි.
මීට අමතර ව වගුරු පරිසරයට වැඩි වශයෙන් ඇලූම් කරන කිතලා(Purple Coot), බෙළල් සේරා(Pheasant- tailed Jacana) හා විල් කුකුළා(Common Moorhen)වැනි පක්‍ෂීන් අද වන විට අභයභූමි සීමාවේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මොවුන් වගුරු ස්වරූපය තවමත් හොඳින් රැඳී ඇති අභය භූමිය අවට පිහිටි දිවුල්පිටිය හා බොරලැස්ගමුව යන වගුරු බිම් ප‍්‍රදේශයන්ට සීමා වී ඇත.
අභයභූමිය තුළින් ගලා බසිනා බොල්ගොඩ ඇළ දූෂණය වීම සෘජුව ම බලපා ඇත්තේ මත්ස්‍යයන්ට හා උභයජීවීන්ට ය. මෙහි ආවේණික විශේෂ 6ක් ඇතුළු ව මත්ස්‍ය විශේෂ 44 ක් වාර්තා වී ඇත. ඊට අමතර ව කලපු ආශි‍්‍රත මත්ස්‍ය විශේෂ ද සමහර කාලවල දී මේ ඇළෙන් වරින්වර හමු වී තිබේ. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අද වන විට බොල්ගොඩ ඇළෙහි මත්ස්‍ය විශේෂ අතුරෙන් 89% ක්ම වඳ වී ගොස් ඇත. වර්තමානයේ වාර්තා වන දේශීය මත්ස්‍ය විශේෂ ගණන පහ දක්වා විශාල පහළ බැසීමක් සිදු වී ඇත. දැනට මෙහි වාර්තා වන දේශීය මසුන් අතර හුංගා(Heteropnenstes fossilis, කලපු හඳයා Aplocheilus parvus), කාවයියා(Anabas testudineus, ලූලා(Channa striata) හා මඩ කනයා(Channa punctata) වෙයි. එහෙත් ආක‍්‍රමණික විදේශීය මත්ස්‍ය විශේෂ වන තිලාපියා(Saratherodon mossambicus), වෙල්ගුරාමි(Trichogaster pectoralis) හා පිදුරු පිසින්නා(Tank Cleaner – Hypostomus plecostomus) යන මසුන් ඉතා බහුල ව බොල්ගොඩ ඇළේ ජීවත් වෙති. කර්මාන්තශාලා වන්හි අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය විම හේතුවෙන් දේශීය සංවේදී මත්ස්‍ය විශේෂ වඳ වී යාමත් සමඟ ම ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ ආක‍්‍රමණික මසුන් අධික ව බෝ වී ඇත.
එසේ වුව ද අභයභූමිය වටා පිහිටි දිවුල්පිටිය හා බොරලැස්ගමුව වගුරු ප‍්‍රදේශයේ ඉපිලිකඩයා(Puntius bimaculatus), බණ්ඩි තිත්තයා (Puntius vittatus), පුල්ලි අහිරාවා(Lepidocephalichthys thermalis), රල්ලියා(Etroplus maculatus), දණ්ඩියා(Rasbora doniconius) හා සොරයා(Ambylypharyngodon melettius) වැනි දේශීය මත්ස්‍ය විශේෂයෝ වර්තමානයේ ද ජීවත් වෙති.
අධික ලෙස දූෂණයට ලක් ව ඇති බොල්ගොඩ ඇළේ හා ඒ ආශි‍්‍රත දිය පහරවල අද වන විට උභයජීවී විශේෂ දැකගත නොහැකි තත්ත්වයකට පත් ව ඇත. එහෙත් අවට වගුරු ප‍්‍රදේශවල ලංකාවට ආවේණික ලංකා බැඳි මැ`ඩියා(Rana gracilis) නම් විශේෂයට අමතර ව සයැගිලි පලා මැඩියා(Euphlyctis hexadactyla), වෙල් මැඩියා(Fejervarya limnocharis) හා අටිකිත්තන් විශේෂ(Philautus spp) කිහිපයක් ද ජීවත් වෙයි.
මේ අයුරෙන් අභයභූමියේ ජෛව විවිධත්වය සීග‍්‍ර අඩු වීමට හේතු සාධක බොහොමයක් වෙයි. වෙල් ආත්තා හා බෙරුදියනිල්ල ශාකයෙන් අභයභූමියේ වැඩි තෙත් බිම් ප‍්‍රමාණයක් ආක‍්‍රමණයට ලක් වී තිබේ. අභයභූමිය වටා හා ඒ තුළ බොහෝ ප‍්‍රදේශ ගොඩකරමින් ජනාවාස හා කර්මාන්තශාලා ව්‍යාප්ත කිරීම නිසා සීග‍්‍රයෙන් නාගරීක කරණය වී වනජීවී වාසස්ථාන බලපෑමට ලක් ව පවතී. බොල්ගොඩ ඇළ හා අනෙක් ඇළ මාර්ග කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා දූෂණය වීම ද, ජලපෘෂ්ඨය ජපන් ජබර ශාකයෙන් ආක‍්‍රමණය වී තිබීම සහ ආක‍්‍රමණික මත්ස්‍ය විශේෂ බෝවීම ද එකී සාධක ලෙස හැදින්විය හැකි ය.
මේ තත්ත්වයන් හමුවේ අභයභූමිය පරිහානියට පත් වෙමින් පැවතුණ ද අද වන විට ද ඉන් අමිල මෙහෙයක් ඉටු වේ. එනම් අවට විශාල ප‍්‍රදේශයක් ගංවතුර උවදුරෙන් ආරක්‍ෂා කිරීම යි. බෙල්ලන්විලල අත්තිඩියල බොරලැස්ගමුවල පැපිලියානල නැදිමාලල රත්මලාන උතුරල නුගේගොඩ දකුණ හා වේරහැර යන ප‍්‍රදේශයන්ට ලැබෙන වර්ෂාවේ අතිරික්ත ජලය ගලා එන්නේ මේ ප‍්‍රදේශයට ය. මේ වගුරු පද්ධතිය අධික ජල කඳ උරා ගනිමින් ප‍්‍රදේශය ගංවතුර උවදුරෙන් ආරක්‍ෂා කරයි. මීට අමතර ව භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමටත් රොන්මඩ ආදිය රඳවා ගැනීමෙනුත් විශාල මෙහෙයක් මේ වගුරු පද්ධතිය ඉටු කරයි.
එහෙත් අභයභූමියේ පිහිටි විශාල කැළි කසළ රැඳවුමෙන් ඇහිරී ගිය තෙත්බිම් හා විවිධ ප‍්‍රදේශයන්හි සිදු වන අඛණ්ඩ මහාපරිමාණ ගොඩකිරීම් හේතුවෙන් මේ වගුරු පද්ධතියට දරා ගත හැකි ජල ප‍්‍රමාණය සීමා වී ඇත. වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව මගින් පවත්වාගෙන ගිය විශාල කැළි කසළ රැඳැවුම නිසා අක්කර ගණනාවක් ගොඩ වී ඇත. 2001 වසර අවසානයේ දී මෙහි කසළ රැඳවීම තහනම් කළ ද සිදු වූ දැවැන්ත හානිය හානිපූරණය කළ හැකි ක‍්‍රමයක් ගැන සිතීමටවත් නොහැකි ය.
අභයභූමිය වටා පිහිටි කර්මාන්තශාලා පුළුල් කිරීමට පමණක් නො ව බෙල්ලන්විල විහාරස්ථානයේ රථ ගාල පුළුල් කිරීමට හා කඩ සාප්පු ඉදිකිරීම සඳහා ද අභයභූමිය වරින් වර ගොඩ කැරේ. අද වන විට බොල්ගොඩ ඇළ හා සම්බන්ධ කටු ඇළ ආසන්නය දක්වා ම විශාල භූමි ප‍්‍රමාණයක් රථ ගාල පුළුල් කිරීම සඳහා බෙල්ලන්විල විහාරස්ථානය ආශි‍්‍රත ප‍්‍රදේශයෙන් ගොඩ කර ඇත.
අභයභූමියේ බොල්ගොඩ ඇළේ දකුණු ඉවුරේ ඇති රත්මලාන – පැපිලියාන මාර්ගය හා පිටවේල්ල පාර සම්බන්ධ කරන අතුරු මාර්ගය හේතුවෙන් අභයභූමියේ ජනාවාස ව්‍යාප්තිය වැඩි වීමට ඉතා හොඳ පෙලැඹවීමක් ලැබී ඇත. මේ මාර්ගය හා සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක් තෙත්බිම කරා යොමු කර ඒ ආශි‍්‍රත ප‍්‍රදේශ විශාල වශයෙන් ගොඩ කර ජනාවාස ව්‍යාප්ත කර තිබේ. තවත් ජනාවාස වැඩි ප‍්‍රමාණයක් අභය භූමියේ බටහිර මායිමේ විහිදී ඇති හරමානිස් පාරේ සිට තෙත් බිම අභ්‍යන්තරයට ව්‍යාප්ත වෙමින් පවතී. මේ ආකාරයට ගොඩකරමින් පවතින අභයභූමියේ බටහිර ප‍්‍රදේශයේ තෙත්බිම් සම්පූර්ණයෙන් ම පාහේ නිවාසවලින් වැසී ගොස් ඇත.
අභයභූමියට ඉතා ආසන්නයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය පිහිටා ඇති මුත් මෙතෙක් අභය භූමියට සිදු වූ දැවැන්ත පරිසර හානි නිලධාරීන් නොදැකීම පුදුමයට කරුණකි. අභයභූමියේ විවිධ ප‍්‍රදේශ ගොඩකරද්දී නිලධාරීන් කාර්යාලයට ගුලි වී නොසිටියා නම් අද වන විට අභයභූමියේ තත්ත්වය මීට වඩා සතුටුදායක මට්ටමක තිබීමට ඉඩ තිබිණි. “මේක දැන් ගොඩගන්න බැහැ” යි කියා පවසන නිලධාරීන් දේශපාලඥයන්ට හා කර්මාන්තශාලා හිමියන්ට රිසි සේ කි‍්‍රයා කිරීමට ඉඩ දී මුණිවත රකිති.
වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතට අනුව අභයභූමියක සිදු වන හානිකර කි‍්‍රයා නතර කිරීමට ඇති බලතල නිසි ලෙස කි‍්‍රයාවට නැංවීම මගින් මෙහි සිදු වන සියලූ අනර්ථකාරී කි‍්‍රයා නතර කිරීමේ හැකියාව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ව ඇත. ඊට අමතර ව තෙත්බිම් පරිසර ආරක්‍ෂා කිරීමට ජාතික පාරිසරික පනතට අනුව මධ්‍යම පරිසර අධිකාරියට ද නෛතික හැකියාව ඇත. එසේ තිබියදීත් අභයභූමිය විනාශ කිරීමට ඉඩ දී බලා සිටීම කනගාටුවට කරුණකි.
දැනට අප සිදු කර අති අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ හානිකර කි‍්‍රයා ගණනාවකට ගොදුරු වී ඇති බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියේ ජෛව විවිධත්වය දැවැන්ත පරිහානියකට ලක් වී ඇතත් ඊට පිටතින් පිහිටි බොරලැස්ගමුව හා දිවුල්පිටිය යන වගුරු ප‍්‍රදේශ තවමත් සැලකිය යුතු ජෛව විවධත්වයක් දරා සිටින බව ය. අභයභූමිය ආසන්නයේ පිහිටා ඇති මේ වගුරුබිම් දෙක ද බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියට ඈඳාගෙන ඒ වගුරු පද්ධතියට ම නෛතික ආරක්ෂාව ලබා දීම අද වන විට අත්‍යවශ්‍ය වී ඇත. එපමණක් නො ව අදාළ නීති රිති කි‍්‍රයාත්මක කිරීමෙන් වගුරු බිම් පද්ධතිය ආරක්‍ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය ය.
ඊට අමතර ව ආක‍්‍රමණික ශාක විශේෂ (වෙල්ආත්තාල ජපන් ජබරල බෙරුදියනිල්ලල බට පලා හෙවත් ඇලිගේටර් ශාක) ක‍්‍රමානුකූල ව පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් අභයභූමියේ වන සතුන් ගේ වාසස්ථානයන්හි ගුණාත්මක තත්ත්වය යම් මට්ටමකට ඉහළ නැංවීමට හැකියාව ඇත. දැඩි ලෙස දූෂණයට ලක් වී ඇති බොල්ගොඩ ඇළ (අභය භූමිය හරහා ගලා බසින) සහ ඒ හා සම්බන්ධ තෙල්ඇළ හා කටුඇළ පිරිසිදු කිරීම හා නිසි පරිදි ජලය බැස යෑමට හැකි වනසේ ප‍්‍රතිසංස්කරණය කිරීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය මේ දියදහරාවන්ට එක් කිරීමට එරෙහි ව නීති කි‍්‍රයාත්මක කළ යුතු ය. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක් වී දීර්ඝකාලීන වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීම අත්‍යවශ්‍යය. ඉන් අනතුරු ව මේ පක්ෂි අභයභූමිය අවට වෙසෙන නාගරික ජනතාව ගේ පවස නිවන සොඳුරු තෙත්බිමක් බවට පරිවරිතනය කළ හැකි ය.
සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය