දෙහිවල ජාතික සත්වෝද්‍යානය ආරම්භ කිරීමෙන් පසු ලැබූ ඉහළම ආදායම ලැබූ බව එක දවසකත්, එම වාර්තාවද බිඳ දැමූ ඉහළම ආදායම ලැබූ බව පසුව දවසකත් මාධ්‍ය වාර්තාවලින් දකින්න ලැබුණා. පළමු වාර්තාවද බිඳ දැමූ වාර්තාගත ආදායම ලබලා තිබුණේ අගෝස්තු මාසේ 30 වැනිදා. එදා දෙස් විදෙස් සංචාරකයන් 28,364ක් සත්තු වත්ත බලන්න ආ බවත්, රුපියල් විසිදෙලක්‍ෂ හැත්තෑපන් ලක්‍ෂ හාරසිය විසි පහක (22,75,425.00ක) ආදායමක් ලැබූ බවත් එම වාර්තාවේ සඳහන් වුණා. ඊට පෙර වාර්තාගත ආදායම විදිහට සඳහන් වුණේ රුපියල් විසි ලක්‍ෂ හැත්තෑඅට දහසක් (20,78,000.00ක්). එදාට පසුව දවසකයි අපි, පවුල් දෙකක දරුවනුත් එක්ක සත්තු වත්ත බලන්න ගියේ. පාසල් නිවාඩු කාලේ දුර බැහැර ඉඳලා ළමයි අරගෙන ආවේ විසි කරන්න සල්ලි තියෙන නිසා නෙමෙයි, ළමයින්ගේ සතුට ගැන හිතලයි.
අපි ගියේ උදේ වරුවක. විශාල පෝලිමක තෙරපි තෙරපි ළමයි පරිස්සම් කරගෙන මින් මැදුරෙන් අපි නැරඹීම ආරම්භ කළා. මීට වසර කිහිපයකට එනකොට තිබුණ මින් මැදුරමයි. පෝලිමේ තල්ලු වෙලා ඉක්මනින් ඉදිරියට යා හැකි හිස් කොටස් එදාට වඩා වැඩි බව වැඩිහිටි අපට දැනුනා. මින් මැදුර ඉදිරිපිට පොකුණේ, කොළ රොඩු පිරිල තිබුණ සිමෙන්තියේ මුහුදු සිංහයා නිදා ගෙන හිටියා. සත්තු නැති හිස් කූඩු පහු කර ගෙන ඉක්මනින් යන්න බැහැ, ළමයි ඒ කූඩුවල සත්තු කෝ කිය කියා කූඩුවල එල්ලිලා ඉන්නවා. සමනලුන් නැති සමනල උයන අපිත් නැරඹුවා. කිසිම අළුත් වීමක් එකතුවීමක් හිතා ගන්න බැහැ. දැනුනේ සමහර කූඩු එදාට වඩා හිස් බව විතරයි. සමහර සත්තු නාකි වෙලා ඉන්න බව විතරයි. පස්ස වන වෙලා ගඳ ගහන වළස් කූඩුව ළඟින් හැමෝම ඉක්මනින් යනවා. මෙච්චර ආදායම් ලබන සත්තු වත්ත දුප්පත් වෙලා තියෙන්නේ මීට පෙර කිසිම ආදායමක් නැතිව නිකම්ම තිබුණ නිසා වෙන්න ඇති කියලා අපි කතා වුණා.
ඒ සේරටම වඩා අපට දැනුන අනෙක් ප්‍රශ්නය වුණේ සත්තු වත්ත ඇතුළේ කඩවල කෑම බීමවල මිලයි. පිටින් කෑම බීම ගේන්න බැරි වුණ, නමුත් පිට කඩවල මිලට ඒවා ගන්න පුළුවන් වෙයි කියලා හිතා ගෙන ආපු අය නම් හොඳටම අමාරුවේ වැටෙන බව අපිත් අත්දැකීමෙන්ම දැන ගත්තා. දිය ඇල්ලක් හදලා තියෙන හංස පොකුණ ළඟ කඩෙන් අපේ කණ්ඩායමේ කෙනෙක් පුංචි බිස්කට් පැකට් දෙකක් ගත්තා. පිටින් ගන්නවට වඩා මිල හුඟාක් වැඩියි. රුපියල් 78ට නියම කර ඇති එකක් රුපියල් 100.00යි. (රුපියල් 22ක් වැඩියි.) රුපියල් 38ට නියම කර ඇති එකක් 50.00යි. (රුපියල් 12ක් වැඩියි)
‛‛මේක හරි අසාධාරණයිනේ. සත්තුවත්ත තියෙන්නේ වාහන යන්නේ නැති දුෂ්කර පළාතක කිලෝමීටර් ගණනක් කඳු නැගලා බඩු උස්සා ගෙන යන තැනකත් නෙමෙයි. රටේ අගනුවර සියළු පහසුකම් තියෙන තැනක. ඒ ඒ බඩු නිශ්පාදන සමාගම්වලිනුත් ඒවාට කොමිෂන් මුදලක් ලැබෙනවා. එහෙම තියෙද්දි තවත් විශාල වැඩි මිලකට මේවා අළෙවි කරන එක අසාධාරණයක්නේ.’’
එහෙම කියපු මම කඩේට ගිහින් එක් සේවකයෙක් නිදහස් වන තුරු ඉඳලා මේ මිල වැඩි කිරීම ගැන ඇහුවා. ඒ ප්‍රශ්න කිරීම මේ කළබලය අස්සේ කරදරයක්ය යන ඇඟවුම සමඟ ‛‛අපට විකුණන්න කියල තියෙන ගාණටයි විකුණන්නේ, ඔය බෝඩ් එකේ දැලා තියෙන්නේ.’’ කියලා ඒ තරුණ සේවකයා වෙන වැඩක යෙදුනා. කඩේ ඉස්සරහා සැරසිල්ලක් ලෙස දැමූ කොඩියක් විදිහට දැක්ක ඒ තිරයේ ගෑවීගෙනමයි මං හිටියේ. ඒක ඇඹරිලා නිසා ලියපු පැත්ත දැක්කේ කිවුවට පස්සෙයි. මං ඒක හරවලා බැලුවා. අපි අරගෙන තිබුණේ ග්‍රූම් 50 රුපියල් 38ක් වූ එකට රුපියල් 50.00ක් ගෙවලා සහ ග්‍රූම් 100 රුපියල් 78ක් වූ බිස්කට් එකට රුපියල් 100ක් ගෙවලා. නමුත්, ග්‍රූම් 100 මිල ගණන් දැන්වීමේ ලියා නැහැ. ලියා ඇත්තේ සමහර කෑම සහ බීම වර්ගවල මිල විතරයි. කොහොම හරි ලියලා තිබුණා කියමුකෝ. ප්‍රශ්නය වන්නේ ඇයි මේ තරම් වැඩි මිලක් සත්තු වත්තේ කඩවලින් අය කරන්නේ කියන එකයි. පුරවැසියෙක් විදිහට මට මේ අසාධාරණය ගැන හරි කේන්තියි. මට ඕන වුණා මේක කාට හරි කියන්න. මං බෝඩ් එකේ තියෙන මිල ගණන් කිහිපයක් ලියා ගන්න උත්සාහ කළා. අපේ කට්ටිය ඇවිත් මාව අදිනවා යමු යමු කියලා. මට ඕන වුණා කවුද මේ ගණනට විකුණන්න නියම කරලා තියෙන්නේ කියලා සේවකයකුගෙන් අහන්න. ඒත් අපේ කට්ටියට කාලෙ නාස්ති වෙන නිසාද, බඩුවලට වැඩි මිල අය කිරීම ගැන ප්‍රශ්න කිරීම ලැජ්ජාවක් නිසාද මන්දා මාව කොහොම හරි ඇදගෙන ගියා.
අලි සෙල්ලම් පෙන්නූ පරණ පිට්ටනිය ඉදිරිපිට ඇති ආපන ශාලාවට කෑම කන්න ගිය අපට දැනුනේ කෑම එකෙන් කොච්චර ගසා කනවාද කියන එකයි. තියෙන්නේ ප්‍රයිඩ් රයිස්. කෑම එකක් රුපියල් 290.00යි. අපිත් එක්ක ළමයි පහම අවුරුදු 12ට අඩු දරුවන් නිසා අපි හිතුවා 290 කෑම එකක් ළමයි දෙන්නෙකුට ඇති වෙයි කියලා. අනේ උම්බලකඩ වැනි කුඩා චිකන් කෑලි ටිකක් මිශ්‍ර කරපු, තේ හැන්දකට අඩු චිලි පේස්ට් ටිකක් සමඟ දුන්න ඒ බත් පිඟානක් අවුරුදු හයෙන් පහළ ළමයි දෙන්නෙකුටත් ප්‍රමාණවත් නෑ. වැඩිහිටියකුගේ බඩ පිරෙන්නත් එකක් මඳි. අඩු ගණනේ ගුණාත්මක බව නැතත් බඩට ප්‍රමාණවත් බත් ටිකක් හරි ඒ මුදලට දුන්නානම් මොකද වෙන්නේ? අර එකතු වුණා කියන ඉතිහාසයේ වාර්තාගත ආදායමට නරඹන්නන්ගේ බඩ රවටා ගන්නා ආදායමත් එකතු වෙනවාද යන්න ගැන කිසි දෙයක් කියන්න තොරතුරු එකතු කරන්න මට ඉඩක් නොලැබුණ එක ගැන තවමත් මට කණගාටුයි. අර සේවකයා කිව්ව විදිහට සත්තු වත්ත ඇතුළේ කඩයක බඩු විකිණිය යුතු මිල ගැන නියම කරන්නේ අනිවාර්යයෙන් එහි බලධාරීන් වෙන්න ඕන කියලා මට හිතුනත් ඒක හරිද දන්නේ නැහැ. කොහොම වුණත්, අනේ දුප්පත් මිනිස්සුන්ට තමන්ගේ ළමයින්ට තවත් මොනවා හරි අරන් දෙන්න තියෙන ආශාව සීමා වෙන හැටි කියලා එක අතකින් මට දුකයි. අනෙක් අතට මට තරහයි. හේතුව, මේ වගේ වැරැදි වෙන තැන්වලදි ප්‍රශ්න කරලා ඒ ගැන සුළ මුළ හොයා ගන්න එක මදි පුංචිකමක් කියලා හිතන අපේ මිනිස්සුයි.
මේ විදිහයට කතා නොකරණ මිනිස්සු ඉන්න සමාජයක් නිසා මේ වගේ තැන්වල විතරක් නෙමෙයි මිනිසුන් සූරා කෑමට ලක්වෙන්නේ. චිත්‍රපටයක් නරඹන්න යන තරුණ ජෝඩුවලින් ගසා කන ආකාරය ගැන අපි ඕන තරම් අහල තියෙනවනේ. (අපිටත් ඒ අත්දැකීම් නැතුවා නෙමෙයිනේ) එහෙම යන යුවලකට සමාජයට බයේ හොරෙන්නේ ඒ ගමන යන්න වෙලා තියෙන්නේ. දකින අය නොයෙක් කතන්දර හදයි කියන බය තියෙනවා. ඇත්තටම පවුල්වල අය දන්නේ නැති සම්බන්ධයක්නම් හොඳටම බයයි. එහෙම නොවුණත් පෙම්වතිය ඉදිරිපිට පෙම්වතා ගණුදෙනුවල අඩුපාඩු ගැන වාද කරන්න යෑම මදිකමක් හැටියට හිතන මානසිකත්වයක් හුඟාක් අය ළඟ තවමත් තියෙන බව අපි දන්නවනේ. අනේ ඉතිං ඒ දුප්පත් පෙම්වතුන්ගේ ආදරය (ආදරයට එරෙහි සදාචාර මිණුම් දඬු) දඩමීමා කරගෙන ටිකට්වල ඉතිරි සල්ලි හුඟාක් අඩුවෙන් දෙන අත්දැකීම් තරුණ අයටනම් (වැඩිහිටි අයටත් එහෙම නොවෙනවා කියන්න බැහැ) ඕනතරම් තියෙනවානේ. බස්වල ඉතිරි සල්ලි ඉල්ලුවේ නැත්නම් නොදෙන එක අලුත් දෙයක් නෙමෙයිනේ. රුපියලක් දෙකක් ඉතිරි සල්ලි නොදී අමතක කරන කොන්දොස්තරලාගෙන් ඒක ඉල්ලන්න හුඟාක් අය ලැජ්ජයි. මේතන රුපියල දෙක පිළිබඳ කතාවකට වඩා දෙයක් තියෙන බව කවුරුවත් හිතන්නේ නැහැ. තමාට කරන වංචාව රුපියලට දෙකට දාලා නිශ්ශබ්දව ඉන්නවා. කාට හරි අසාධාරණයක් වෙනවානම් කතා කරන්න ලැජ්ජයි. නෑහුනා වගේ, නොපෙනුනා වගේ තමන්ගේ තත්ත්වය රැක ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ රැක ගන්නේ තත්ත්වය නෙමෙයි දීනකම නැතිනම් හීනමානය කියලා අපේ පුරවැසියන්ට දැනෙන්නේ නැත්තේ ඇයි? එහෙම දැනුනානම් අසාධාරණය ඉදිරියේ ප්‍රශ්න කරන සක්‍රීය පුරවැසි සමාජයක් බිහිවීම මේ තරම් ප්‍රමාද වෙයිද? හිස් කූඩු නැරඹීමටත් සමඟ දේශීය වැඩිහිටියකුගෙන් හා 13ට වැඩි අයගෙන් රුපියල් 100කුත් කුඩා ළමයින්ගෙන් රුපියල් 30කුත් අය කරද්දී ඇතුළේ කඩවල කෑම බීම මේ තරම් මිල වැඩි කර විකිණීම ගැන පුරවැසියන්ගෙන් කිසිම පැමිණිල්ලක් නැත්තේ මිනිසාට එරෙහි සදාචාර මිණුම්දඬුවලින් බැඳී සිටින්නට පුරවැසියන් කැමැති නිසාද?
පූජා දිසානායක