ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ.
මේ රිදී රේඛා විසින් සංකේතවත් වූයේ පුරවැසියන් අතරින් පැනනැගි අරගල ගණනාවකි. එමෙන්ම මෙම අරගල සඳහා සරු පසක් ඒ සෑම අවස්ථාවකදීම බිහිව තිබුණි. අනෙත් අතට මෙම සියළු අරගලයන් පැනනැගුනේ දේශපාලන විපක්ෂයට පිටිනි. එමෙන්ම එම අරගල කෙරෙහි ප‍්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය දක්වන ලද්දේ මන්දෝත්සාහී ආකල්පයකි. මෙම අරගල තුනම පුළුල් මහාජන සහායෝගයක් භුක්ති විඳි අතර දෙස් විදෙස් අවධානයේ ද බලපෑමේද කේන්ද්‍රයන් බවට පත් විය. එමෙන්ම මෙම අරගල තුනම රාජපක්ෂ භීෂණය හමුවෙහි පසු නොබෑ අතර ශ‍්‍රී ලංකා සමජයෙහි නොනවතින වලනයන් බවට පත් වූහ.
ඉන් එකක් නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය(FUTA) විසින් දියත් කරන ලද අයිතිවාසිකම් අරගලය යි. ස්වකීය ජන්ම අයිතියක් ලෙස සැළකීමට පුරුදුව සිටි අධ්‍යාපන අයිතිය වේගයෙන් පිරිහෙමින් යන බව අත්දකිමින් සිටි ජන පිරිස් එම අරගලය තමන්ගේම අරගලයක් බවට සළකා ගත්හ.
ශ‍්‍රී ලංකාව අධ්‍යාපන සුභ සාධනය අතින් නමක් දිනා සිටි රටකි. එනමුත් පසුගිය කාලය පුරා අධ්‍යාපන වැය ශිර්ෂ කප්පාදු කරන ලදුව පහසුකම් පිරිහී යමින් තිබුණේ මහාජනයාට ද දැනෙන පරිදි ය. එනයින් ෆූටා අරගලය පැන නැගුනේ සරු පසක් ඇති පොලොවක ය.
එම විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩ වර්ජනය ජයග‍්‍රහණයකින් තොරව දින සියයක් ගෙවා ඔක්තෝබර් 12වනදා අවසන් විය. එසේ නමුත් මෑතකාලීන ශ‍්‍රී ලංකා ඉතිහාසයෙහි සිය ඉල්ලීම් වටා පුළුල් මහජන මතයක් ගොඩ නැගීමට සමත් වූ ප‍්‍රධානතම අරගලය වූයේ එය යි. එමෙන්ම පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවෙහි දේශපාලන පක්ෂ නායකත්වයකින් තොරව පුළුල් සමාජ ව්‍යාපාරයක් බවට පත් ප‍්‍රථම අරගලය වූයේ ද එය යි. සිය ධජය වටා වාත්තීය සමිති සහ මාධ්‍ය නිදහසේ ව්‍යාපාර මෙන්ම විපක්ෂ දේශපාලන පක්ෂ ගොනු කර ගැනීමට ද එය සමත් විය. යුද්ධ ඝෝෂාවන්ගෙන් දෙකන් සිදුරු වී හිරිවැටී තිබූ පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලාංකික සමාජය මත අයිතීන් සඳහා නැගී සිටීමේ ප‍්‍රථම ආශ්වාදය ලබා දුන්නේ ෆූටා අරගලය විසිනි.
හුදෙක් වැටුප් පිළිබඳ ඉල්ලීමකින් එපිටට ගමන් කොට සමස්ත සමාජයටම බලපාන අධ්‍යාපන සුභ සාධනයේ ඉල්ලීම සිය ධජයෙහි ලියා ගැනීම මගින් විශ්ව විද්‍යාල ආචාර්යවරු සමාජ නායකත්ව භූමිකාවක් අල්ලා ගත්හ. එනම් අධ්‍යාපනයට වෙන් කරන රාජ්‍ය ප‍්‍රතිපාදන සියයට 6ක් දක්වා ඉහළ නැංවිය යුතුය යනු සටන් පාඨයයි. මෙම සියයට 6 සටන් පාඨය සමාජ ගත් කිරීම මහත් බලයක් බවට පැමිණුණි.
ෆූටා අරගලය සිය ප‍්‍රචාරය පිණිස ජනමාධ්‍ය පාලනය ප‍්‍රධාන මර්දනීය කුළුනක් බවට පත්ව ඇති පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවට අත්‍යවශය වන බලසම්පන්න මාධ්‍යයක් යොදා ගත්හ. එනම් අන්තර් ජාලය මත පදනම් වූ සමාජ මාධ්‍ය භාවිතය මගින් එය සිය පණිවිඩය ප‍්‍රබල ලෙස බෙදා හැරිමය. අනෙක් බොහෝ වෘත්තීය සමිති සතුව නැති සිය තාක්ෂණික සහ බුද්ධිමය සම්පත් මේ සඳහා මනා ලෙස භාවිතයට දැමූයේ ය. තවද සිය අරගලයේ අරමුණ මහා ජනයාට පැහැදිළි කිරීමට දුන් මූලිකත්වය පෙරට ගෙන යමින් ෆූටා ව පා ගමන් සහ සහ මහජන රුස්වීම් සාර්ථක සහ ආකර්ශනීය ලෙස ඒ සදහා යොදා ගත්තා ය.
අනෙක් අතට එහි ප‍්‍රධානීන් බියගැන්වීමට එවන ලද මරණ තර්ජනයනට සහ අවලාද ව්‍යාපාරයන්ට නොබා මුහුණ දුන් අතර රාජ්‍ය ත‍්‍රස්තවාදය පසු බැස්සවීමට තරම් මහාජන බලයක් තම අරගලය වටා ගොඩ නගා ගත්තා ය. සිය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කිරීම පවා මහා ජනයාට පැහැදිළි කිරීම යුතුකමක් සේ සැළකීමට තරම් අරගලය මහා ජනයා සමඟ බැදී තිබුණි.
සමාජය මත පිහිටුවා ගත් බුද්ධිමය නායකත්වය, වෘත්තීය ඉල්ලීම් ඉක්මවා ගිය සටන් පාඨ, රාජ්‍ය ත‍්‍රස්තවාදයට යටපත් නොවීම, සමාජ මාධ්‍ය භාවිතය සහ දින සියයක් අතනෑර අරගලයේ රුදී සිටීම යනාදි කරුණු විසින් ෆූටා අරගලය සමාජ අරගලයන්ට මඟ පෙන්වන සහ දිරි ගන්වන උත්පේ‍්‍රරක භූමිකාවක් හිමි කර ගත්තේ ය. එය අනෙක් වෘත්තීය අරගලයන් කෙරෙන් කැපී පෙනුනේ හුදකලාවාදී සටනකට නොගොස් සිය අරගලය මහා ජනයා අතරට ගෙන ගිය නිසා ය. එමගින් එම ජනතා පිබිදීමක් ඇති කළේ ය. එම අරගලය එනයින් තවම අවසන් නැත. දිගටම ගමන් කරයි.
දෙවැනිව පෑයූ රිදී රේඛාව වූයේ අගවිනිසුරුවරියට එරෙහිව දේශපාලන අභිලාෂයන් මත පදනම්ව ගෙනෙන ලද දොස් සහිත දෝශාභියෝගයට එරෙහිව පැන නැගුණූ ව්‍යාපාරය යි.
අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ප‍්‍රශ්ණය ශ‍්‍රී ලංකාවේ දේශපාලන සාකච්ජාවේ වැදගත් ස්ථානයක් අල්ලා ගෙන තිබු 2012 වසරේ අවසන් මාස හය පුරා අධිකරණ ස්වාධීනත්වයට රාජපක්ෂ පාලනයෙන් බාධා පැමිනෙන බවට මතයක් ගොඩ නැගෙමින් පැවැතුණි. නොවැම්බර් මාසයේ දී අගවිනිසුරුවරියට දෝශාභියෝගය එල්ල වුයේ එවැනි සිවිල් මානසිකත්වයක් ගොඩ නැගෙන අතරතුර ය.
දෝශාභියෝග චෝදනා හමුවෙහි අගවිනිසුරුවරිය බිය ගැන්වී ඉල්ලා අස්වනු ඇතැයි වූ බලාපොරොත්තු පසු බස්වමින් ඇය තමා එයට මුහුණ දෙන බව ප‍්‍රකාශ කළා ය. මේ අතර දෝශාභියෝගය විභාග කිරීම පිණිස ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා අර්ථ නිරුපනයක් දීමට ශ්‍රේෂ්ඨාධිකරනයට බලයක් නැතැයි කතානායකවරයා දුන් තීන්දුව පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය රාජපක්ෂ අත්තනෝමතිකත්වයට යටත් වූයේ ම නැත.
අවසානයේ දී ඇයට එරෙහිව නගන චෝදනාවන්ට පිළිතුරු දීමට අගවිනිසුරුවරියට ස්වභාවික යුක්ති ධර්මානුකූල අවස්ථාවක් නොදී ආණ්ඩු පක්ෂ නියෝජිතයින් විසින් ඇය වරදකරු කරනු ලැබුවා ය.
එසේ වෙතත් දෝශාභියෝග ක‍්‍රියාවළියට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන නීතිවේදී පිරිස් සහ අගවිනිසුරුවරිය විසින් පෙන්වන ලද නිර්භීත විරුද්ධත්වය වහාම සමාජ දේශපාලන කුණාටුවක් බවට පත් විය. රාජපක්ෂ පාලනයට කුලියට ගත් ත‍්‍රි රෝද රථ රියදුරන් පමණක් ඉතිරි කරමින් සමාජයේ ගිහි පැවිදි අනුශාසක පිරිස් මෙම සමාජ දේශපාලන කුණාටුවට එක් වූහ.
200ක් ඉක්ම වූ සමස්ත විනිසුරු ප‍්‍රජාව ද 3000ක් නීතිවේදීන් තරම් රුස්වූ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ද ආණ්ඩුවේ දෝශාභියෝග ක‍්‍රියාවළියට සකී‍්‍රය විරුද්ධත්වයක් දැක්වීමට එක් වූහ. ඒ කොතෙක් ද යත් දෙසැම්බර් මුල දී ශ‍්‍රී ලංකාවේ සියළුම අධිකරණ කටයුතු නතර කරමින් නීතිඥ වර්ජනයක් ද දියත් කෙරුණි. ෆූටා අරගලයේ දී මෙන්ම සමාජයේ පුළුල්තම කොටස් එනම් කලාකරුවන්, ශ‍්‍රාස්ත‍්‍රඥයින්, වාත්තීය සමිති යනාදී සිවිල් සමාජය අගවිනිසුරුවරියගේ පාර්ශවය ගත්හ.
මෙම දෝශාභියෝග ප‍්‍රයත්නය රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ටම කපා ගත් මිනීවළක් යැයි රාජපක්ෂවාදී පිරිස් විසින්ම නම් කරන තරමට ඊට එරෙහි ව්‍යාපාරය නැගී ආවේ ය.. ඒ අතර ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නව අගවිනිසුරුවරයකු පත් කළ හොත් ඔහු හෝ ඇය මෙම අවනීතික ක‍්‍රියාවට විරෝධයක් ලෙස පිළිනොගත යුතු බවට තීරණය කළේ ය. රට නව රේඛා මත දෙකට බෙදුණි.
එපමණක් නොවේ. දෝශාභියෝග විරෝධී අරගලය විසින් පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ පවත්නා අත්තනෝමතික පාලනය අන්තර් ජාතික ප‍්‍රජාව හමුවෙහි යළිත් වරක් නිරුවත් කර පෙන්වීමට සමත් වූ අතර දැන් පැහැදිලිව පෙනී යන පරිදි පාලක සන්ධානය තුළ ඉරි තැලීම්වලට ද හේතු වී තිබේ.
ෆූටා අරගලය අධ්‍යාපනයේ ලා සමාජ සාධාරණත්වයෙහි අවශ්‍යතාවය සමාජ ගත කළ පරිද්දෙන් දෝශාභියෝග විරෝධී ව්‍යාපාර විසින් නීතියේ අධිපත්‍ය සහ සාධාරණ විනිශ්චයකට ඇති අයිතිය සමාජ ගත කරනු ලැබුවේ එම සමාජ ව්‍යාපාරයක් බවට පෙරළමිනි. ෆූටා අරගලය මෙන්ම දෝශාභියෝග විරෝධි ව්‍යාපාරය ද සිවිල් ව්‍යාපාරයක් වූ අතර වාර්ගික බෙදීම් අතික‍්‍රමණය කිරීමට පවා සමත් වූවා ය. මේ ව්‍යාපාරය නොනවතින ජවයක් සතු කර ගත් අතර ඊළඟ රාජ්‍ය පාලන වෙනසක ප‍්‍රතිසංස්කරන ඉල්ලීමක් බවට නියතවම පත්වනු ඇත.
තෙවැනි රිදී රේඛාව නම් යාපනයේ නැගිටීම යනුවෙන් විදෙස් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද, මිලිටරි යකඩ සපත්තුවට පෑගී සිටීම ප‍්‍රතික්ෂේප කළ යාපන සරසවි සිසු අරලයයි. මෙම අරගලය පැන නැගුනේ ද යුද්ධාවසානයෙන් තෙවසරක් ගතවී තිබියදීත් නිදහස් ජීවිතයක් ගත කිරීමට නොහැකිව යුද්ධ පාලනයක් යටතේ දිවි ගෙවන උතුරෙහි දෙමළ ජනයා අතර පවත්නා අසහනය විරෝධයක් බවට වර්ධනය වෙමින් පවත්නා පසුබිමක ය.
පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවෙහි දෙමළ ජනයාට යුද්ධයේ දී මිය ගිය සිය ඥාතීන් අනුස්මරණය කිරීම ශ‍්‍රී ලංකා රජය සහ යුද්ද හමුදා විසින් අවසර දෙන්නේ නැත. 2012 මැයි 20වනදා එවැනි එක් සැමැරුම් දිනයකි. අනෙක් සැමැරුම් දිනය යෙදුනේ නොවැම්බර් 27 දිනටය. 2012 වසරෙහි එම දිනය දා විරුසමරු දිනයද හින්දු ආගමික චාරිත‍්‍රානුකූල පහන් දැල්වීමේ ආගමික දිනය ද එකට යෙදී තිබුණි. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් මිලිටරි තහංචි නොසළකා යාපන සරසවියේ සිසු සිසුවියෝ සැමරුම් උළෙලක් පවත්වා වීදි බටහ.
මර්දනය හැර අනෙක් ප‍්‍රතිචාරයක් නොදන්නා පාලක අත්තනෝමතිකත්වය සිසු අරගලය තලාදැමීමට දරන ලද ප‍්‍රයත්නය දෙමළ සමාජයෙහි පමණක් නොව දකුණේ ප‍්‍රගතිහීලී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිරිස්හි ප‍්‍රබල හෙළා දැකීමකට ලක් විය. එමෙන්ම දේශීය වශයෙන් පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද සිසු මර්දනය හෙළා දකිමින් නිවේදන නිකුත් කෙරුණි. ආණ්ඩුවාදී අර්ධ සන්නද්ධ දෙමළ දේශපාලන පක්ෂ හැරුණ විට අනෙක් දෙමළ දේශපාලන පක්ෂ එක් සටන් පෙරමුණකට කැදවීමට මෙම සිසු නැගිටීම සමත් විය.
මෙම ‘යාපන නැගිටීමේ‘ වැදගත්කම රැදී ඇත්තේ මිලිටරිකරණයට තවදුරටත් යටත්ව සිටීමට සූදානම් නැති බවට පසුගිය මාස ගණනාව පුරා දෙමළ ජනයා ලංකාණ්ඩුවට ලබා දෙමින් සිටි සංඥාව එය විසින් තීරණාත්මක කඩ ඉමකට රැගෙන ආ නිසා ය. රාජ්‍යය මෙම නැගිටීමට කොතරම් බියපත් වූයේ ද යත් මේ වන විට 50කට අධික තරුණ තරුණියන් පිරිසක් කෙටි සහ දීර්ඝ කාලීන වශයෙන් අත් අඩගුවට ගෙන ප‍්‍රශ්ණ කර තිබේ. එනයින් මෙම ‘නැගිටීම’ විසින් යාපනයේ සාමාන්‍ය තත්ත්වය ඇතිකර තිබේ යැයි ආණ්ඩුව ගෙන ගිය වා්‍යාජ ප‍්‍රචාරය නිරුවත් කෙරුණි.
නැගෙනහිර පළාත්පාලන මැතිවරණයේ දී අත්දුටු දෙමළ ජනයා රාජපක්ෂ ආණ්ඩුවට දක්වන විරුද්ධත්වය සිවිල් සමාජය විසින් සංවිධානාත්මක මට්ටමින් ඉදිරියට ගෙන එම ද මෙම යාපන සිසු නැගිටීම විසින් සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ රාජ්‍යයේ යුද්ධ ජයග‍්‍රහණය විසින් දෙමළ ජනයා හිරිවට්ටාවා තිබු යුගය දැන් ඉතිං අවසන් බවයි.
මෙම රිදී රේඛා තුන විසින් ශ‍්‍රී ලාංකික සමාජය තුළ ඇති කරන ලද චලනයන් රාජපක්ෂ අත්තනෝමතිකත්වය දුර්වල කිරීමට සමත් වු අතර වෙනසක් ඇති කළ හැකි සහ ඇති කළ යුතු බව මහා ජනයාටට එත්තු ගැන්වීමට සමත් විය. එමෙන්ම මෙම රිදී රේඛා තුනම විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ මහාජනයාගේ අයිතීන් පිළිබද ගැඹුරුවූත් පළල්වූත් සාකච්ජාවක් නිර්මාණය කළේ ය.
2013 වසර කරා මෙම රිදී රේඛා විහිදෙනු ඇති අතර ඒ හා රොද බඳින තවත් තරුවැල් ශ‍්‍රී ලංකා ගගන තලයෙහි පායනු ඇති බව නිසැක ය.
ජයග‍්‍රාහි 2013 වසරකට ඔබ සැමට සුභ පතමි!
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshpriya]