2013 නව වසර ඇරඹෙන ජනවාරි මාසය මෙම සටහන තියන්නට හේතුවන කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් මෙසේ සටහන් තබමි. වෙනස්, වෙනත් වෙසෙස් සමාජ දේශපාලනික යථාර්ථයක සිට සයිබර් අවකාශයේ සිතිවිලි, අපගේ උපන් බිම වෙත කේන්ද්‍රත කරමින් විදේශයක සිට කිසියම් වේදනාවකින් පෙළෙමින් සිටිමු.
එම වේදනාව මව්බිම පිළිබඳ වේදනාව වන්නේය(Pain of Motherland). මව්බිම පිළිබඳ වේදනාව රටෙහි පළමු පුරවැසියා වන මහින්ද රාජපක්ෂගේ සිට පහළම ස්ථරයේ සිටින පොදු මහජනයාට ද ඇත. විශාලතම කැබිනට්ටුවෙහි සිටින ඇමැතිවරුන්ටත්, මන්ත්‍රීන්ටත්, පලාත් සභා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ටද ඇත. බොද්ධ සංඝයාටද අනෙකුත් පූජකයන්ට ද ආගමික බැතිමතුන්ට ද ඇත. වියරුවෙන් බෙරිහන් දෙන නලීන් ද සිල්වාට ද, ගුණදාස අමරසේකරට ද, ඒ මග අනුව යන විමල් චම්පික දිනේශ් වැන්නන්ට ද ඇත. වාර්ගික ප්‍රශ්නයට විසඳුම ලෙස අන්තිම දෙමළා ද ඝාතනයට ලක්කිරීමට කඩු අමෝරා ගත් ජනතා විමුක්ති පෙරමුණ ද, මානව වර්ගයාට එරෙහිව කරන ලද ඝාතනවල දී පවතින රජය වරදකරු නොවීමට හේතුවක් ලෙස අනුපමේය මෙහෙවරක් කළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට ද මව් බිම පිළිබඳ වේදනාව ඇත. මහින්ද රාජපක්ෂ රජයේ හමුදාපති ලෙස ජන ඝාතක යුද්ධයට නායකත්වය දුන් සරත් ෆොන්සේකාටද, අනෙකුත් ත්‍රිවිධ හමුදා පොලීසයට ද මෙම වේදනාව ඇත. ඔවුන්ට ද ඇති අපට ද ඇති මව්බිම පිළිබඳ වේදනාවේ වෙනස කුමක්දැයි පැහැදිලි කරගත් කල්හි සුළුතරයක් වන්නාවූ අපි යනු කවුද යන්නත් අපගේ වෙනස කුමක්දැයි කිව යුතුය. මෙම සුළුතරය සුළුතරයක් වන්නේ අපගේ මව්බිමෙහි වර්ගවාදීන්ට, ජාතිවාදින්ට, මුග්ධයන්ට හා අවස්ථාවාදීන්ටද සාපේක්ෂකවය. එහෙත් මනුෂ්‍යත්වය යුක්තිය හා සාධාරණත්වය අගයන මව්බිමෙහි ජනයාත්, ලෝකවාසින්ටත් සාපේක්ෂකව අප නිරපේක්ෂක මිනිසුන් වීමේ ආඩම්බරයෙන් උදම් ඇනිය හැකිය. සියල්ලෝම හැර ගිය ද තමාට පමණක් වුව ද සතුටු වීමේ සුව නින්දක සුවය භුක්ති විඳිය හැකිය. මෙකී අප යනු කවරහු ද?
මෙහිදී අපි යන බහුවචනාර්ථයෙන් ඇමතීම, සෘජුව නිශ්චිත කණ්ඩායමක්, පක්ෂයක් හෝ පිරිසක් නියෝජනය නො කළ ද, බොහෝ සහෝදර සහෝදරියන් රට තුලම පිටුවහල් වූවන් ලෙස හා රටින් පිටත විදෙස්ගත වූවන් ලෙස සිටිමින් ලංකාවට ද එහි ජනතාවට ද ආදරය කරමින්, එම ආදරයේ පරිමාව සමාජගත කරීමේ ගැටලුවේ ද එය දේශපාලනික සමාජයට අවබෝධ නොවීමේ උභතෝකෝටිකය හේතුවෙන් කලකිරීම හා ශුද්‍ර කොටස් බවට පත් වු පුද්ගල හා කණ්ඩායම්, අප යන කුලකයට අයත් වන්නෝ වෙති. මෙම සටහන තබන්නේ එම අප සඳහාය.
අපි යනු කවරහුද?
මව්බිමට ආදරය කරන්නෝ වන අතර ඒ බිමට සියලු සත්ත්වයෝ ද ගහකොල පරිසරය ද අයත් වන්නෝය. ඔවුන්ට ඔවුන්ගේ අයිතීන් සඳහා වූ අයිතිය පිළිගන්නා සේම එක්ව සිටීමට ද කැමති නම් වෙන්ව සිටීමට ද ඇති අයිතිය පිළිගන්නා මුනුෂ්‍යයින් වන්නාහුය. එයට වංගු නොමැත. අවස්ථාවාදයන් නොමැත. කෙකර ගෑම් නොමැත. ඇවැසි නම් ආදී වාසින්ට ද ස්වංනිර්ණ අයිතියට ගරු කරන්නෝ වන අතර ඉතිහාසීය වේදනාවේ සුව නොවූ තුවලය හිමි දමිළ ජනයාට ඇති අයිතියට තර්කයක් නොමැත. කුමන දර්ශනයක් වුව ද, යුක්තිය, සමානාත්මතාව, සාධාරණත්වය මනුෂ්‍යත්වයේ පදනම නම් ඒ අපි වන්නෙමු.
කවුරුන් කැමති වුවද නැති වුවද, සිංහල බෞද්ධ හෘද සාක්ෂිය විසින් රට සුණු විසිණු කර බෙදා ඇත. කොපමණ හමුදා සේනාංක ගාල් කරමින් ද තැන් තැන් හි මුරකාවල් කළ ද, කාල තුවක්කු මානා අහස මුහුද අරක්ගත්ත ද මිනිසුන් බෙදී ඇත. බෙදෙමින් යනු ඇත. ජාතිය මතින් ඇති කරනු ලැබූ බෙදුම වෙනත් සාධකයන් හරහා ද,මනුෂ්‍යත්වයේ බෙදීම ද නොවැලික්විය හැකිව ඇත. ත්‍රස්තවාදී අණ පණත්වලට හෝ ඒකාධිපතිත්වයට මෙම බෙදීමට අඩ තැබිය නොහැකිය මර්ධනයට, පීඩනයට වෛරයට ලක්වන මිනිසාට පීඩකයාගෙන් වෙන් වීම හැර අන් මගක් නැත. බල කාමයෙන් උන්මත්තකව රජ යන අයුක්තිය දූෂණය වංචාවට ඇත්තේ කෙටි ආයු කාලයකි. මෙම දිරාපත්වීම රැක ගැනීමට ඔසු නොමැති බව අසත්‍යයක් නොවන්නේය. එවැනි තත්වයක් තුල අප විසඳා ගත යුතු සත්‍යක් ඇත. ආදරය වෙනුවට කලකිරීම හා වෛරය හිත් තුල බිහිකර ගනිමින් සමාජගත කිරීම තවදුරටත් යථාර්ථයක් නොවන බව අප පසුකර ඇති අතීතයෙන් අඩු වැඩි වශයෙන් ඔප්පු කොට හමාරය. වෛරය වෙනුවට ආදරය, කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම නව මානයකින් සිදු කිරීම අද දවසේ කාර්යය වන්නේය. ආදරය හා වෛරය කලකිරීම හා ක්‍රියාත්මක වීම යන්න ආගමික චින්තනයෙන් ඔබ්බට ගොස් අලුත් තාලයේ සිතුම් පැතුම් ඇති හදවතක් නිර්මාණය කර ගැනීමත් ඒතුලට අතීත අත්දැකීම්වල ඇති රිදීම්, සිරීම්, තුවාල පමණක් නොව පිළිකා මෙන් ඇති සුව නොවන තුවාල පැත්තකින් තැබිය යුතු වේ. අපගේ සිහිනය අප උපන් භූමියේ අඳුර පළවා හැරීමට නම්, අපගේ මෙම ගැඹුරුතම නිහැඬියාවත්, වියුක්ත ප්‍රතිවිරෝදයත්, එක්සත් සහෝදරත්වයේ සබැඳියාවත් වසා දමා ඇති ඝණදුර පලවා හළ යුතුය.
අඳුරට අඳුර පලවා හැරිය නොහැකි අතර එය කළ හැකි වන්නේ ආලෝකයට පමණය. වෛරයට වෛරය පලවා හළ නොහැකි අතර එය කළ හැක්කේ ආදරයට පමණි.
Darkness cannot drive out darkness; only light can do that. Hate cannot drive out hate; only love can do that.
මනුෂ්‍යයින්, ආදරණිය සහෝදර සහෝදරියන් ලෙස කල්පනා කිරීමේ දී මාටින් ලූතර්ගේ ඉහත ප්‍රකාශය අප සඳහා බරපතල ලෙස යෝග්‍ය වන්නේය. අද අප ගැලී ගිලී සිටිනුයේ මහා අඳුරකය. එම අඳුර, තමා තමා විසින් ද, තමා අනෙකා විසින් ද යටපත් කොට ඇති අඳුරක්ය. අඳුරට ඇඟිල්ල දිගුකරන්නන් වූ අප ද අසමගිය, මමත්වය, මාන්නක්කාර සවිඥාණකත්වය වැනි අඳුරින් යටපත් කොට ඇත. මම නිවැරදිය අනෙකා වැරදිය. මම විවේචනය කරමි. මාව විවේචනයට නොකැමෙත්තෙමි. අනෙකාගෙන් ස්වයං විවේචන ඉල්ලමි. මම ගැන ස්වයං විවේචනයකට කැඩපතක් නොමැත. එබැවින් අද දවසේ අප සියලු දෙනා ගලී සිටිනුයේ නපුර විසින් සාමාන්‍යකරණය කරනු ලැබූ, මමත්වය විසින් මත් කරනු ලැබූ අඳුරකය. එබැවින් අවශ්‍යව ඇත්තේ අඳුර පලවා හැරීම සඳහා වූ ආලෝකයයි. වෛරය පලවා හැරීමට අවැසි ආදරයයි.
අපි අපගේ සමීපතමයා සමඟ සංවාදයකට දෑත දිගු නොකර වියුක්ත අනෙකාට උපදෙස් දෙන්නෝ වෙමු. වියුක්ත මහ ජනතාවට, පීඩිත සුළුජනයාට ආදරයේ දෑත පෙන්වන අතර සමීපතම ජනයාව සැක කරමින් වෛරයට බඳුන් කිරීමේ ද්විත්ක උභතෝකෝටිකයේ රඟ දෙන නළුවන් බවට පත්ව ඇත. වියුක්ක ආදරයේ සමාජීය ප්‍රාග්ධනය තම ජීවිතයේ වෘත්තිය හා පැවැත්ම බවට පත්කර ගනිමින් ස්වං වින්දනයක යෙදීමට හැකි වුවද අප ඉදිරියේ ඇති නපුර පැරදවීමට අපගේ ලිඛිත වචන මාත්‍රා ප්‍රමාණවත් නොවන අතර ගුහා ගතව කරන ක්‍රියාවන් ද ප්‍රමාණවත් නොවන්නෝය. මෑත කාලීන දේශපාලනික හිංසන ඉතිහාසය තුල දී රට හැර යෑමට බල කරනු ලැබූ හා ස්ව කැමැත්තෙන් පිටිවහල් වූ සාමාජ ක්‍රියාකාරින්ගේ ප්‍රමාණය අති මහත්ය. ඒ අතර විවධ තරාතිරමින් ලංකා සමාජයට ආදරය කරනු ලැබූවන් අතර යුද්ධයට එරෙහිව, සුළු ජන අයිතින් වෙනුවෙන් සටන් කරනු ලැබූවන් ද අඩු වැඩි වශයෙන් පවතින දුර්ධාන්ත ක්‍රමයට එරෙහි වූවන් ය. විදෙස් ගතව විවිධ රටවල වෙසෙන මෙකී සහෝදර ජනයාගේ ගුහාගත ස්වං වින්දනයේ සීමාවට ඇති කාල අවකාශය තවදුරටත් හුදෙකලා සටන්වලට ද, පුද්ගලික ජීවිතයට ඉඩක් දීමට ලංකා දේශපාලන පරිසරය බලා නොසිටිනු ඇත. එබැවින් අප තේරුම් ගතයුතු සත්‍යක් ඇත.
රටක් ජාතියක්, සමාජයක් හා මනුෂ්‍යයින් වශයෙන් මෑත ඉතිහාසය තුල අප අසමතුන් බවට පත් සත්ව කොට්ඨාසයක් බවට පත්ව ඇත. එහි චෝදනා බර ඇඟිල්ල පවතින ආණ්ඩුවට හෝ අනෙකුත් දේශපාලන පක්ෂ වලට හා සෙසු සමාජ සංස්ථාවන්ට දිගු කිරීමෙන් කරබා ගෙන අපට ගැලවිය හැකිය. නිදහස් වී ශුද්ධවන්තයන් විය හැකි ය. එහෙත් අප සමාජ ක්‍රියා කාරීන් ලෙස,දේශපාලකයන් ලෙස, විචාරකයින්, සිනමාකරුවන්, කවියන්, ලේඛකයන්, ජනමාධ්‍යෙව්දීන්, සාමවාදීන්, මානව හිමිකම් කරුවන් ආදී නොකේ ලේබල්වලින් පෙනී සට අප කළ කී දැයින් අපට අපගේ හෘද සාක්ෂියෙන් ගැලවිය හැකි ද යන පැනය නැවත නැවත් ඇසිය යුතු වන්නේය. අඳුර බිඳලන්න අපගේ අලෝකයේ එලිය රෑ බදුල්ලෙකුගේ තරම් හෝ ඉවහල් උණිද? වෛරය විසින් විසාදි කර ඇති සමාජයට ආදරය කරන්නට හදවතේ දොර ජනෙල් විචෘත වූයේ ද? අඩුම තරමින් පුංචි වා කවුළුවක් වත් වන්නට හැකි උණිද. උත්තරය ඔව් වුවද නැත වුවද රට වෙලා ඇති නපුරට එරෙහිව එය ප්‍රමාණවත් නැත.
මිනිසුන්ට ආදරය කරන මිනිසුන් බවට පත්වීමේ දී අප ලත් පරාජයේ වගකීම නැවත විග්‍රහ කර ගැනීමත්, වැරදුනු තැනින් යලි යලිත් නැගිටීමේ දී, අප අපගේ ආස්ථානයන් තේරුම් ගැනීමට සමත් වන්නේ නම් හා මව් බිමට ආදරය කරන වේදනාවෙන් පෙලෙන්නෝ වන්නේ නම් අපගේ අරමුණ පොදු දිශාවක් වන්නේය. විවධ මාර්ගයන්ගෙන් පැමිණිය ද අප සැම එකතු වීමේ පොදු අරමුණු සිහිනයකින් එක මඟක් වෙත ගමන් කරනු ඇත. ඒ සඳහා වූ විවිධත්වය සහිත ඒකකත්වයකට බල කරන යථාර්ථයෙන් ගැලවිය නො හැකි ය. නපුර පැරදවීමට මමත්වය පැරද විය යුතුය. මමත්වයේ නපුර ඉතා බරපතල ලෙස පාලක පංතියේ පවුල් වාදය තුල වැඩෙමින් වර්ධනය වෙද්දි, ඔවුන් දඬු කඳේ ගැසීමට ක්‍රියා කරන බලවේග ද මමත්වයේ ගිලෙමින් මම යි නිවැරදි, මම යි ලොක්කා යන පව්කාරයාට ගල් ගසන්නා බවට පත් වූ පව්කරයන් වී ඇත. මර්වින් සිල්වාගේ සිට සරත් නන්ද සිල්වා, නලින් ද සිල්වා වැනි සංකේත චරික මහා සමාජයේ දී පිරිහෙන තරමට ශුද්‍ර සමාජයේ දී අප පිරීහීමට ලක්වන්නේ නම් ඔවුන් සහ අප අතර වෙනස කුමක් ද? චංචාවෙන් දූෂණයෙන් රටම කමින් කඳ පණුවන් බවට පත්ව රට දිරාපත් කරන පාලකයින්ව පෙන්වන අතරතුර අපගේ කුඩා ව්‍යුහය තුල ඉතා සුළු වාසියකට එම දෙයම කරන්නේ නම් අප හා ඔවුන්ගේ වෙනස කුමක් ද
ඒකාධිපතිත්වය, ප්‍රජාතන්ත්‍රවිරෝදීබවට එරෙහිව අවි අමෝරා වීදි බැස වාග් ප්‍රහාරත්, අනර්ඝ වැකිවලින් පිටු පුරවන අප ප්‍රජාතන්ත්‍රවාදය හඳුනන්නේ නැති නම් තමා තුල සිටින ඒකාධිපතියාව තුරන් කිරීමට කැමැත්තක් නොමැති නම් ගෝඨාභයලාගේ සහ අපගේ වෙනස කුමක්ද
උතුර මෙන්ම දකූණ ද, දකුණ මෙන්ම උතුර ද හිංසනය මුදා හරිමින් ම්ලේච්ඡත්වය විදහා පෑ අතීතයක කොටස් කරුවන් වීමේ දී ඔවුන් හැර අප පමණක් සිදු කළ හිංසනයන් නිවැරදි යැයි ගනන් බලමින් සාධාරණය කිරීමේ දී අපගේ දෑත් පිස දා ගැනීම යුක්තියට හා හෘද සාක්ෂියේ සාධාරණත්වයට එකඟ ද. එය එසේ යැයි සාධාරණ විය හැකි නම්, අපට මේ අපේ යැයි කියන මව්බිම වෙනස් කළ නොහැකිය.
එසේ පත්ව ඇති අපම අප වෙත දිගු කරන ඇඟිල්ලේ අර්ථය විනිශ්චය කරගත යුතු වන්නේය. අඳුරට එලිය දීමට, වෛරයට ආදරය කිරීමට සොයන නව මානයේදී අප ඉදිරීයේ ඇති ගැටලුව නම්
1 දේශපාලන කාරණයේදී අපගේ රටේ ජනතාවගේ හතුරා බවට පත්ව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිත්වක් කරා ගමන් කරමින් සටින, ජන ඝාතක රජයකට, පාලකයන්ට හා ගැත්තන්ට වෛරය වෙනුවට ආදරය කළ යුතු ද?
2 වර්ගවාදය, ජාතිවාදය රෝපණය කරමින් ආගම මුවාවෙන් සුළු ජාතීන් තලා පෙලා පාගා දමන්නන් හට වෛරය වෙනුවට ආදරය කළ යුතු ද?
3 වඩාත් සාධාරණ, මනුෂ්‍යත්වය අගයන පරමාදර්ශී මානව සමාජයක් වෙනුවට ගෝලීය ධනවාදය විසින් අතිකරනු ලබන සියුම් ප්‍රාග්ධන සමුච්ඡකරණයට, සූරා කෑමට, ආක්‍රමණික බල ව්‍යුහන් සොඳහා වෛරය වෙනුවට ආදරය කළ යුතු ද හැකි ද?
පංති සහිත බල ධූරාවලිගත සමාජයක පීඩකයාට පීඩිතයා වෛර නොකර ආදරය කළ යුතු ද? එසේ නම් ලංකාවාසී ජනයා ඉවසිලිමත්ව පීඩනය විඳ දරා කොළඹ නගරයේ කාර් රේස් පැදීමට රාජපක්ෂ දරුවන්ට ඉඩ දී වෛය වෙනුවට ආදරය කරනු නොලබන්නේ දැයි ප්‍රශ්න කළ නො යුතු ද?
සිංහල ජාතිවාදයේ අනෙකා වූ දෙමළාව විනාශ කර ඉන් අනතුරුවද නොනැවතී රට තුල ජාතිවාදී කැළඹීම් ඇතිකරමින් සෙසු ප්‍රශ්න යටපත් කිරීම පිණිස කරන ලද උසිගැන්විම් තුලින් දෙමළා නිහඬ කර මුසල්මානුවන් වෙත බොදු බල සේනාවන් සන්නද්ධ කරද්දී ඔවුන්ට වෛරය වෙනුවට ආදරය කළ යුතුද? කළ හැකි ද?
මෙම ජනප්‍රිය ප්‍රවාදයන් ටිකකට පැත්තකින් තබා, ආ පසු අප අප තුලට හා අවශේෂයන් වෙත හැරී බැලීම හා ඊට සුභවාදී ලෙස කටයුතු කිරීමත් තුලින් ඇතිකර ගන්නා එකමුතුව ශක්තියක් වන්නේය. සුළුතරයක් වූ අපගේ හඬ එක්සත් බවේ බහුතරය වීමෙන් ඉහත නපුර පරාජයට පත් කළ හැකි වනු ඇත. ඒ සඳහා මුලින්ම අපම අසාගත යුතු ප්‍රශ්න හා ක්‍රියා කළ යුතු විධීන් ඉගෙන ගත යුතුව ඇත.
1 මම මා වෙත හැරීම හා වෛරය වෙනුවට ආදරය ද කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම
2 මම අප අවට ඇති සමීපතම අනෙකා වෙත හැරීම හා වෛරය වෙනුවට ආදරය, කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම
3 සාර්ව දේශපාලනයෙන් ශුද්‍ර දේශපාලනයට ආපසු හැරීම හා සමීපතම වූ පැරණි කාල්පනික දේශපාලනික හතුරන්ට වෛරය වෙනුවට ආදරය, කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම
මම මා වෙත හැරීම යනු මා විග්‍රහ කර ගනීම සඳහා ද මා සඳහා සවයං විවේචනයකින් යුතුව කැඩපතක් කර ගනිමින් අතීතය තුල මා මාගේ සමාජ දේශපාලනික භාවිතාවන් තුල දී ක්‍රියාත්මක වූ අයුරුත් , සමාජයෙන් මා හටද මා ගෙන් සමාජයට ද සිදු වූ විපාක කොතරම් ද යන්න ආපසු හැරී බැලීම විවෘතබවකින් යොමුවිය යුතු වන්නේය. එහී දී මා හට ඇති ලෝකය පිළිබඳ දැක්ම විසින් මාව නිර්ණය කරනු ලැබුව ද මගේ රට මගේ ජනතාව නැමති සිතිවිල්ලෙන් මා වෙත හැරීමේ දී මා පිළිබඳ අධි මානය හෝ අව මානයට නව මානයක් සොයා ගැනීමට ඇති ලෝක දැක්මට තමන් ගමන් කළ යුතු අතර නිහතමානී අවංකබව මා සතු විය යුතුය.
අද දවසේ දේශීය හා ජාත්‍යන්තර බුද්ධිමත් සමාජ දේශපාලන ක්‍රියාකාරීන්ගේ වගකීම, යුතුකම හා අවශ්‍යතාව විය යුත්තේ ඉහත ජනප්‍රිය තලයේ ප්‍රවාදයන් වෙත යෙමුවන අතරම ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් තමා හා අවට ඇති මූලික ගැටලු විසඳා ගැනීමට අලුත් හදවතක් නිර්මාණය කර ගැනීමය. එසේ කියන්නට ඇති හේතු කාරණා මේ මොහොතේ පෙර දාටත් වැඩියෙන් බල කරමින් සිටිනු නොඅනුමානය. ඒ අප අඳුරේ ගිලී ආදරය අහිමි වී ඇති යුගයක ජීවත්වන නිසාය. එබැවින් මෙම ආමන්ත්‍රණය රට තුල නොරටුන් වී නමුත් තවමත් මනුෂ්‍යයින් වූ ද රටින් පිට විදේශගතව, නමුත් තවමත් මනුෂ්‍යයින් වූ දේශපාලනික හා සමාජ සහෝදර සත්වයින් සඳහා ය.
“අඳුරට අඳුර පලවා හැරිය නොහැකි අතර එය කළ හැකි වන්නේ ආලෝකයට පමණය. වෛරයට වෛරය පලවා හළ නොහැකි අතර එය කළ හැක්කේ ආදරයට පමණි.”
උදය ආර්. තෙන්නකෝන්[Udaya R. Tennakoon]