සිංහල

පද්මසිරි – බෝට්ටුවෙන් ට්‍රයිසිකලයට ගොඩ වූ ධීවරයා

padmasiri-photo.jpg                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      
මංජුල වෙඩිවර්ධන
 
‛‛මොකෝ සූසයිඩ්ද?’’
ඉදිරියට ඇදී එන සුවිශේෂී මෝටර් ට්‍රයිසිකලයට මඟ අවුරමින් අත දමන නාඹර සොල්දාදුවා නො දැමුණු සෝපහසයෙන් හඬ නගයි.
සැබැවින් ම ඔහු පැද එන්නේ සුවිශේෂී ට්‍රයිසිකලයකි. ඒ ඔහු විශේෂිතයකු වන බැවිනි. ප්‍රශ්නය නගන්නා – තරුණ සොල්දාදුවා – ඒ විශේෂිතභාවයේ පුරාවෘත්තය නොදනී. ප්‍රශ්නයේ නොදැනුමුණුභාවයත්, සෝපහාසයත්, නොගැඹුරත් එබැවිනි.
තිරිංග තද වේ. ට්‍රයිසිකලය මුරපොළ අබියස ඉද්ද ගසයි. ඈත මාවත වෙතත්, ඉදිරියට ඇදි එන වාහන දෙසත් රැඳුණු ඔහුගේ තියුණු දෑස් වේදනාවෙන් බර වෙයි.
‛‛මල්ලි.. සූසයිඩ් වෙනව නම් එහෙම වෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට ඉස්සර’’ වේදනාව වචන බවට පෙරළෙමින් තිබේ.
‛‛ඇයි ඒ. ඇයි එහෙම කියන්නෙ?’’ තරුණ සොල්දාදුවා ට්‍රයිසිකලයේ පිටුපසට ඈඳූ පෙට්ටියේ අතුරා ඇති මාළු වර්ග දෑසින් කිරා මැන බලමින් අසයි.
හේතුව: පුරාවෘත්තය – වික්ෂිප්ත සංක්ෂිප්තයක් බවට පෙරැළේ. අවසන, දැමුණ සොල්දාදුවා හික්මුණු හඬින් මෙලෙස විමසයි.
‛‛අයියා, නේවි එකත් එක්ක තරහ ද?’’
පිළිතුර නිශ්ශබ්දතාව යි. නිශ්ශබ්දතාව තුළ කෙතරම් ශබ්ද තිබිය හැකිද?
ඉදින් මම ඒ නිහැඬියාව බිඳ දමමි.
 
 
‛‛මම කෝක්කු හැන්නදිගේ අතුල පද්මසිරි. ගම මාතර, නිල්වැල්ල 7 වසරෙන් මම අධ්‍යාපනේ ඉවර කරගත්තා. මූද එක්ක හැප්පෙන්න ගත්තෙ අවුරුදු 15 ඉඳන්.’’
පාසල් ගමනට ආයුබෝවන් කී පද්මෙ, බාල මාමාගේ ඔරුවට ගොඩ විය. මුහදත්, මුහුදේ රළ පහරත් පුලුක්කමත් වන පොත් කළ ඔහු කෙටි කලකින් ම මාළු කූරයියා ගැවසෙන තැන් ද, මාළු අහිනක් වරල් ගසනා ඉම් ද දෑසට නතු කර ගැනීමේ සමතෙකු බවට පත් විය.
ක්‍රමයෙන් ඔහු බෝට්ටුවක නියමුවා හෙවත් ‛ඉස්කීපර්’ කෙනෙකු විය. ඔහු දකුණු වෙරළේ සිට ත්‍රිකුණාමලයට රැගෙන එන ලද්දේ ධීවර වෘත්තිය යි. එහෙත් ඔහු ත්‍රි’මලේ පුරවැසියෙකු බවට පත් කරන ලද්දේ ප්‍රේමය යි. නිල්වැල්ලේ නොදුටු ආදරය ත්‍රි’මලේ වෙරළේ දී ඔහුට මුණ ගැසුණි. ඒත් එය පළ දැරූයේ නිල්වැල්ලේ දී ම ය.
‛‛93 ඉඳන් 87 වෙනකං ත්‍රි’මලේ ගෙවල් පොළොවට සමතලා වෙලා තිබුණෙ. මේ ගොල්ලො නැවතිලා හිටියෙත් මාතර. 87දි අපි බැන්දා. අපිට පුතෙක් ලැබුණා. ඒ කාලෙ දකුණෙ තිබුණෙ දරුණු භීෂණයක්. එක ‛ශාන්ත’ට ශාන්තලා දහය පහළොව මරල දැම්මා. මාත් එක්ක එක බෝට්ටුවෙ වැඩ කරපු අජන්තව මැරුවා, වෙන අජන්ත කෙනෙක් හොයන්න ඇවිත්. පස්සෙ මං ගම අතෑරලා මෙහෙ ආවා’’
ඔහු දරු පවුලත් සමග ත්‍රි’මලේ එනවිට පුතාට යාන්තම් අවුරුද්දකි. එහෙත් නිවසකට නොව කෝනේෂ්වරන් කොටුව පාමුල, පැලවත්තේ සරණාගත කඳවුරට ය. බිමට වැලි ඇතිරූ, උඩට පොල්අතු ඇතිරූ කුඩා කුඩිල්ලක දරුවාට නැළවිලි ගී ගැයිණි. පද්මෙ යළි දියඹට යෑම ඇරඹී ය. ජිවිතය කෙමෙන් විකසිත වන්නට විය.
බිරිඳ යළි දියණියක වැදුවා ය.
අලුත් නිවසකට අත්තිවාරම් දැමිණි.
බෝට්ටුව ද මාළු පලදාවෙන් බර විය. එහෙත් ඒ කෙටි කලකට ය.
2000 වසරේ සැප්තැම්බර් 22 දා රාත්‍රියේ ද පද්මෙගේ ඔරුව මසුන්ගෙන් බර වෙමින් තිබිණි.
කොයි දෙසින් පියාඹා ආවාදැයි නොදන්නා ‛ෆයිව් සීරෝ’ උණ්ඩ පද්මෙලාගේ බෝට්ටුවේ පැට්‍රල් මැක්ස් එළිය නිවා දැමීය.
‛‛ලක්‍ෂ තුනහමාරක විතර දැලුත් අතෑරල අපි දියඹට දිව්වා, පණ බේරගන්න. ඒත් ලයිට් එකට වැදුණ හැටියෙ ගමන අඩාළ වුණා. ඊළඟට තෙල් ටැංකියට වැදුණා’’
පද්මෙට මතක එපමණ ය.
රළ පහරේ ‛කරන්ට් එක’ හා එක් ව පාවී ගිය බෝට්ටුව මුතූර් ගොඩබිමට ‛තට්ටු වූ’ විට වහා ඔවුන් ගොඩට ගෙන රෝහල වෙත රැගෙන ගියෝ, මුස්ලිම් වැසියෝ ය.
එදින මියගිය ධීවර නම් ලැයිස්තුවට ඇතුළු නො වූ අතුල පද්මසිරි ගේ නම, පා අහිමි වූවන් ගේ නම් අතරට එක් විය. ඔහුගේ දකුණු කකුළට ෂොට් හතරක් ද, වමට ෂොට් පහක් ද කිඳා බැස තිබුණි. ඔහුගේ වම් කකුල සිරුරින් ඉවත් කරලීමට තීන්දු වූයේ දණහිසට ද ඉහළිනි.
ධීවර රස්සාව ඔහුට ආයුබෝවන් කීවේ ය.
‛‛මං එදායින් පස්සෙ අද තව වෙනකන් කරිජ්ජවත් පාගලා නැහැ’’
එහෙත් ඔහු ජීවිතය අත්හැරියේ නැත. කුඩා කලදී ම තමන් ඉගෙනීම කඩාකප්පල් කරගත්තාට, දරු දෙදෙනාගේ ඇස් පෑදීම ඔහුගේ ඒකායන ආරම්මණය විය.
ඔහු විවිධ වෙළඳාම්වල නිරත විය.
මාතරින් ගෙනෙනා රෙදි, ත්‍රි’මලේ පදික වේදිකාව මත අලෙවි විය. විටෙක, ඔහු ඉදිරිපිට පළතුරු තට්ටුවකි. තවත් කලෙකින්, පළතුරු ගන්නට ආ අයට දක්නට ලැබුණේ ලොතරැයි කූඩුවකි.
බහු දින යාත්‍රා තුළ පවා මාළුන් කඳු ගැසූ ධීවරයකුට රෙදි – පළතුරු – ලොතරැයි වික්ක හැකි ද? ඒ වෙළෙඳාමෙන් සෑහිය හැකි ද?
පද්මසිරිට විශේෂිත ට්‍රයිසිකලය ලැබුණේ ඔය අතරතුර දී ය. ඉදින්, ධීවරයා ඉන්පසු මාළු වෙළෙඳාමට බැස්සේ ය. ට්‍රයිසිකලයක පිටුපස සවි කළ බක්කියක මාළු පටවාගෙන ලිංගනගර්, ආන්දම්කුලම් ආදී දෙමළ ගම්මානවල පටු මං මාවත් ඔස්සේ සැරිසරන පද්මසිරිගේ ධෛර්යමත් රුව අද එහි වැසියන්ට හුරු පුරුදු දසුනකි.
‛‛මං ලබපු තරම මෙච්චරයි කියල හිතලා, හිත ධෛර්යමත් කරගෙන ජීවත් වෙනවා’’
එකී අප්‍රතිහත ධෛර්යය තුළ ඔහු ඉපැයූ සකල සබ්බමනා ව ම යළි වරක් සුනාමිය තුළ සැඟ වී ගියේ ය. දැන් ඔහුට ඇත්තේ යළි අයන්නෙන් ඇරඹූ ජීවිතයකි.
‛‛යට ගිය දේ හිතට ගන්නකොට හිතට හයියක් එනවා. ඇඟට ශක්තියක් එනවා’’
නැවත නැවතත් අරඹන පද්මසිරිගේ ජීවිතය තුළ අඛණ්ඩව ගලා යන පැතුම් සහගත අපේක්‍ෂාව වනුයේ දරු දෙදෙනා අධ්‍යාපනයෙහි දක්වනා කෞෂල්‍යයයි. දියණිය සාමාන්‍ය පෙළ සාර්ථක ව නිමවා උසස් පෙළ දෙසට පියමනිමින් සිටින්නී ය. පුතණුවන්, සාපෙළෙ හි ත්‍රි’මලේ පළමුවැන්නා වී උසස් පෙළ ගණිතය හදාරා විභාගයට මුහුණ දෙමින් සිටින වකවානුවයි මේ.
පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින ඔහු, විභාගයේ ගණිත විෂයට පිළිතුරු දී ගෙදර ඇවිදින් සිටී. ඔහුගේ මුහුණ කල්පනාවන්ගෙන් බර වී තිබේ. එහෙත් සිනහව සැහැල්ලු ය.
‛‛පුතා මොකක්ද ඊළඟ පේපර් එක’’ මම සෙමෙන් ඔහුගෙන් අසමි.
ඔහු, ට්‍රයිසිකලයේ වාඩි වී සිටිනා අප්‍රමාණ මිනිසා දෙස ළෙංගතු දෑසින් බලයි.
‛‛භෞතික විද්‍යාව’’