සිංහල, Colombo, Featured Articles, Features

‘අධිරාජ්‍යවාදී බලවේග’ ඉදිරියේ අපේ ‘ජනතාවාදී’ පාලකයෝ

IMG_0021
අපේ පාලකයන් තමන්ව හඳුන්වා ගන්නේ ජනතාවාදී පාලකයන් වශයෙනි. අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව වේවා, වෙනත් ඕනෑම බලවේගයකට විරුද්ධව වේවා, තමන්ගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ පාලකයෝ තමන්ගේ තෝම්ඹුවට ‘ජනතාවාදී’ සහතිකය අලවා ගනිති.

ඊළඟට, තමන්ට එරෙහි වන ඕනෑම ප‍්‍රපංචයක් හැඳින්වීමට ඔවුන් පාවිච්චි කරන පොදු වචනය වන්නේ ‘අධිරාජ්‍යවාදී’ යන්නයි. එම වචනය කියූ පමණින් ඉතා නරක චිත‍්‍රයක් අපේ සිතේ මැවී යයි. බොහෝ විට මේ ගනයට වැටෙන්නේ බටහිර දියුණු රටවල් ය. එහෙත්, ඊට අමතරව, මානව හිමිකම් වැනි වෙනත් ඕනෑම ක්ෂේත‍්‍රයක ජාත්‍යන්තර සංවිධානයක් ද ඊට අයත් විය හැකිය. කොටින්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, ඇතැම් අවස්ථාවල ‘අධිරාජ්‍යවාදී’ යැයි අපේ පාලකයෝ කියති. මේ වන විට ලංකාවේ අගවිනිසුරුවරියත්, අපේ පාලකයන්ට අනුව, ‘අධිරාජ්‍යවාදයේ බළල් අතකි.’

අද අප පාවිච්චි කරන මෙවැනි බොහෝ යෙදුම් අපේ පැරණි මාක්ස්වාදී ව්‍යාපාරවලින් දායාද කෙරුණු ඒවා ය. එදා ඒවාට නිශ්චිත අදහසක් පමණක් නොව, ඒ අදහස තුළ පැහැදිළිව ග‍්‍රහණය කරගත හැකි යථාවාදී අරුතක් ද තිබුණි. මේ අරුත අද වන විට ජාත්‍යන්තර තලයේ මූලික වෙනසකට ලක්ව ඇතිවා පමණක් නොව, මෙම අරුත වහරන දේශීය වාමාංශික ව්‍යාපාර ද අද වන විට බරපතල රූප පරිණාමයකට පත්ව ඇත්තේය. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර තලයේ ‘අධිරාජ්‍යවාදය’ තුළ, එහි සියලූ දුර්විපාක මධ්‍යයේ, ඉස්සරට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානව හිමිකම් අන්තර්ගතය ශක්තිමත්ව තිබීම දැකිය හැකිය. අනිත් අතට බලන කල, දේශීය තලයේ සමාජවාදී ව්‍යාපාරය තුළ ඉස්සර තිබූ ජනහිතකාමී හරය මුළුමණින් කනපිට පෙරැලී ඇති සැටි ද දැකගත හැකිය. එන්. එම්. පෙරේරා වැන්නන් වෙනුවට අද අපට ඉන්නේ තිස්ස විතාරණ වැනි පතෝල නායකයන්ය. සරත් මුත්තෙට්ටුවගම වෙනුවට ඉන්නේ වාසුදේව නානායක්කාර වැනි නැට්ටුවන් ය.

අධිරාජ්‍යවාදය යනුවෙන් හැඳින්වෙන ප‍්‍රපංචය, කොල්ලකෑම ආත්මය කොට පවතින්නකි. එය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය වශයෙන් සිදුවන කොල්ලයකි. බලවතාගේ මේ කොල්ලයට ලක්වන්නේ දුබලයා ය. ඉතිං, පරිවාරයේ රටක කර්තව්‍යය වන්නේ, අර අධිරාජ්‍යවාදී බලවතාගෙන් තමන්ගේ දුබල රට සහ ජනතාව ආරක්ෂා කර ගැනීම විනා අධිරාජ්‍යවාදයේ කොටි හමක් ගෙයි තියාගෙන ඊට තැලීම නොවේ.

එහෙත් අද අපේ පාලකයන්ගේ ගමන් මග එවැන්නක් ද? ඊට පිළිතුරක් සොයා ගැනීම සඳහා, මේ ‘අධිරාජ්‍යවාදී’ බලවතුන් අපෙන් ඉල්ලා සිටින දේවල් සහ අපේ පාලකයන් ඒ ඉල්ලීම්වලට දක්වන ප‍්‍රතිචාරයන් කවරේ දැ යි විමසා බැලීම වටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම අවුරුදු හතරකට වරක් ‘වකවානු විමර්ශනයක්’ කරයි. වකවානු විමර්ශනයක් යනු, රටක මානව හිමිකම් ක්ෂේත‍්‍රය පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. ලංකාවට අදාළ මේ අධ්‍යයනයේ අවසාන වාර්තාව ආවේ 2012 නොවැම්බර් මාසයේ ය. ලංකාව පිළිපැදිය යුතු බවට නිර්දේශ 210 ක් ඒ වාර්තාව මගින් ඉදිරිපත් කෙරුණි. ඒවා අතරින් ලංකා ආණ්ඩුව පිළිගත්තේ නිර්දේශ 110 ක් පමණි. එනම්, නිර්දේශ 100 ක්ම ලංකා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කෙළේය. දැන්, ලාංකිකයන් වශයෙන් අපට හැෙඟන්නේ, අපේ නායකයන් විසින් එසේ ප‍්‍රතික්ෂේප කරන ලද්දේ අපේ රටටත්, ජනතාවටත් හානිකර නිර්දේශ විය යුතු බවයි. ඒ මොනවා ද?

1. රාජ්‍යය සහ අධිකරණය අතර පැවතිය යුතු සහයෝගීතාව සහතික කෙරෙන නීති සම්පාදනය කිරීම.
ආණ්ඩුව සහ අධිකරණය අතර වර්තමානයේ හටගෙන ඇති අර්බුදය අපි දනිමු. මේ අංශ දෙක අතර පැවතිය යුතු සහයෝගීතාව ලංකා ඉතිහාසයේ පහළම මට්ටමට මේ වන විට වැටී තිබේ. එහෙත්, අර කියන ‘අධිරාජ්‍යවාදී’ රටවල් ඒ සහයෝගීතාව ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කරන්නැ යි අපට නිර්දේශ කරන විට අපේ නායකයෝ එය ප‍්‍රතික්ෂේප කරති.

2. සුදු වෑන්වලින් කෙරෙන පැහැරගෙන යාම් නතර කෙරෙන බව සහතික කරනු වස්, ‘බලහත්කාර පැහැරගෙන යාමෙන් සියළු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට’ අත්සන් කිරීම.

අවශ්‍ය වන විටක, තමන්ගේ විරුද්ධවාදීන්ව සුදු වෑන් රථ යවා උස්සාගෙන යාමට තමන්ට ඇති ‘‘අයිතිය’’ පාවා දීමට නොකැමැති අපේ පාලකයෝ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළහ. එනම්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බව අපේ පාලකයෝ සිතති.

3. ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස්, ඊට පුද්ගලයන් පත්කිරීමේ නෛතික ප‍්‍රමිතීන් ඇති කිරීම.
කෙසේ නම් එසේ කරන්න ද? එවිට, පාලකයාට කත්අදින පුද්ගලයන්ගෙන් ලංකාවේ මානව හිමිකම් කොමිසම පිරවිය නොහැකි වනු ඇත. ඉතිං, අපේ නායකයෝ ඒ නිර්දේශයත් ප‍්‍රතික්ෂේප කළහ.

4. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ මුළුමණින් ක‍්‍රියාවට නැගීම.
මේ කියන කොමිසම පත්කෙළේ වෙන කිසිවෙකු නොව. ජනාධිපතිවරයාම ය. එහි අරමුණ, අතීතයේ අප අත්විඳි කටුක පාඩම්වලින් අනාගතයට ආදර්ශයක් ගනු පිණිස යැයි කියැවුණි. දැන් අර කියන ‘අධිරාජ්‍යවාදීන්’ ඉල්ලා සිටින්නේ, ඒ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස යි. එහෙත් අපේ නායකයෝ බැහැ කියති.

5. වධ හිංසා සහ වෙනත් කෲර සහ අමානුෂික දඩුවම් හෝ සැලකීම්වලින් රටවැසියන් ආරක්ෂා කෙරෙන බවට වගබලා ගන්නා ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීම.

වධ හිංසාව සහ කෲර සැලකිලිවලට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව ය. ජනතාවට එසේ සැළකීම පාලනයකට අත්‍යාවශ්‍ය නිසාදෝ, අපේ පාලකයෝ එම ‘ජනතාවාදී’ නිර්දේශයත් ප‍්‍රතික්ෂේප කළහ.

6. ස්ත‍්‍රීන්ට එරෙහි කෙනිහිලිකම් උපුටා දැමීම සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය රටේ නීතිය තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීම.
මේ රටේ එක පුරවැසි කොට්ඨාශයක්, තමන් ගැහැනුන් වීම නිසා අත්විඳින ගැහැටින් නිදහස් කර ගැනීම රාජ්‍යයක වගකීම වශයෙන් පවතිද්දී, අපේ පාලකයෝ පුරුෂවාදී දෘෂ්ටියක සිට එවැන්නක් අවශ්‍ය නැතැ යි කියති.

7. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කිරීම.
රටේ බරපතල අපරාධයක් හෝ වෙනත් එවැනි කාරණයක දී සාක්ෂිකරුවන් වශයෙන් ඉදිරිපත් වන අයවළුන්ට නිසි ආරක්ෂාව නැතොත්, කෙනෙක් සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ නැත. එයින් සිදුවන්නේ, බොහෝ අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ ලැබීමයි. එවැනි නීතියක් තිබුණි නම්, මීගමුවේ ජෙරාඞ් පෙරේරා වැනි අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත හැකිව තිබුණා පමණක් නොව, පසුගිය කාලයේ උතුරේ කරන ලද බොහෝ මිනිස් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන් ද, බොරුවට නොව හැබෑවටම, නීතිය ඉදිරියට පැමිණවිය හැකිව තිබුණි.

මේ සඳහන් කෙළේ, උතුරු නැගෙනහිර ජීවත් වන අපේ සහෝදර ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් අර කියන ලෝක බලවතුන් ඉල්ලා සිටි විශේෂ නිර්දේශ නොව. දකුණේ සිංහල=බෞද්ධයාවත් ආරක්ෂා කෙරෙන නිර්දේශයන් ය. ඒවා පවා අද ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ, සිංහල=බෞද්ධයාව ආරක්ෂා කිරීමට වරම් ලැබ සිටින්නේ යැයි කියන පාලක පංතියක් විසින්ම ය.

Gamine Viyangodaගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]