පසුගිය දින කිහිපයේ රජයේ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව පාක්‍යසෝති සරවනමුත්තු මහතාය. ඔහු මරණ බවට තර්ජනය කර ඔහුගේ පෞද්ගලික ලිපිනයට ලිපියක් තැපෑලෙන් එවා ඇති බව මුලින් දැන ගත්තේ (පේලි ගණන නොදනිමි) රජයේ මාධ්‍යවලින් නොව අනෙක් මාධ්‍යය හරහාය. ඒ මරණ තර්ජනය පේලි හතරක එකක් නිසා නිකං පුස්සක් බව දැන ගත්තේ මේ දවස්වල රජයේ මාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන නිසාය. ඒත් ඉතින් නිකං පුස් දේකට මේ තරම් වාර්තා ගණනක්, මේ තරම් විකාශන කාලයක් රජයේ මාධ්‍ය වැය කරන්නේ මොන හේතුවකටද කියන එක මගේ එක ප්‍රශ්නයක්. අනෙක් ප්‍රශ්නය නම් මරණ තර්ජනයක පේලි කීයක් ලියැවිලා තියෙන්න ඕනද කියන එකයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. රජයේ මාධ්‍ය කියන්නේ මහජනයාට අයිති මාධ්‍යනේ. ඒවා මහජන සේවා මාධ්‍ය ආයතන විය යුතු වුවත් පවතින ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරණ ආණ්ඩුවේ මාධ්‍ය බවට පත් වෙලා තියෙන ආකාරය ගැනත් මං දැන ගත්තේ ඒ ගැන ඇතිවූ කතා බහ ටිකක් හරි මාධ්‍යවලින්ම දකින්න ලැබුණු නිසයි. යාළුවෙකුගෙන් ලැබුණු පොත් පත් නිසයි. ඉතිං එහෙම විය යුතු මාධ්‍යවලින් මේ විදිහට අනවශ්‍ය පුස් දේකට මේ තරම් විශාල මහන්සියක් දරා වැඩ සටහන් කිරීම මහජන දේපළ අනිසි ලෙස භාවිතා කිරීමක් නේද? මගේ අනික් ප්‍රශ්නය ඒකයි. මොකද මේවා කරන්නද ඒ මාධ්‍යවේදීන්ට පඩි ගෙවන්නේ? මේවා රාජ්‍ය දූෂණ, වංචා, අක්‍රමිකතා ගණයට වැටෙන්නේ නැත්ද? ඇයි මේවා ගැන දූෂණ වංචා වාර්තා කරන මාධ්‍යවේදීන් වාර්තා නොකරන්නේ? ලංකා පුවත්පතේ මාධ්‍යාවේදීන් තුන් දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන තිබුණෙත් මහජන මුදලින් පෞද්ගලික ඉඩමක මාළිගාවක් ගොඩනගන ආරංචියට කරුණු සොයන්න ගිය අවස්ථාවේදී කියලා කියැවුණානේ. ඒ වගේ අයටවත් මේ වගේ දූෂණ, අක්‍රමිකතා පෙනෙන්නේ නැත්ද?
සරවනමුත්තු මහතාට මරණ තර්ජනයක් එල්ල වුණ බව ප්‍රචාරය වීම (හංගා ගෙන නොසිට) වැරැද්දක් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ පත්තරවලට හා රූපවාහිනීවලට විතරක් නෙමෙයි. රටේ ජනාධිපතිවරයාත් ඒ ගැන බය වෙලා කියලා මේ සති අන්තයේ ආණ්ඩුවේ පත්තර, රූපවාහිනීවලින්ම පෙනුනා. එතුමා බය වෙන්න ඕනේ තමන්ගේ රටේ පුරවැසියෙකුට මරණ තර්ජනය කරලා ලියුමක් එවපු එක ගැන කියලයි පුරවැසියෙක් විදිහට මං හිතුවේ. ඒත් බය වෙලා තියෙන්නේ එයට විරුද්ධව සරවනමුත්තු මහතාගේ සේවය අගය කරන පිරිසක් ඒ මරණ තර්ජනය හෙළා දැකලා, එයට සම්බන්ධ අය සොයා යුක්තිය ඉදිරියට පමුණුවන ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්‍ෂාව සහතික කරන ලෙසත් ඉල්ලමින් ඔවුන්ගේ අත්සන් සහිතව පළ කළ පුවත්පත් දැන්වීමක් දැකලයි. නිකංම දැන්වීමක් දැම්මට කළබල වෙන එකක් නැහැ කියලා හිතුනේ ඒ ගැන එතුමා කර තිබූ ප්‍රකාශය දැක්කාමයි. අරලිය ගහ මන්දිරයේ පැවැති, ගාල්ල දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේලා සහ තරුණ ශාඛා නියෝජිතයන්ගේ හමුවකදී එතුමා කළ කතාවක් ආණ්ඩුවේ මාධ්‍ය විතරක් නෙමෙයි අනෙක් මාධ්‍යයත් වාර්තා කරලා තියෙනවා දැක්කා. සරවනමුත්තු මහතාගේ සිද්ධය ගැනත් ඒ කතාවට ඇතුළත් වෙලා තියෙන බව නම් ගම් නැතත් තේරුම් ගන්න පුළුවන් වුණේ නම් ගම් සහිතව තවත් වාර්තා ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රචාරය වුණ නිසයි. ඒ වාර්තාත් ජනාධිපති තුමාගේ කතාවත් අනුව සල්ලි ගෙවලා හරියටම දැන්වීම දැලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ලියන් පැස්කෝ මහතා ලංකාවට පැමිණි සැප්තැම්බර් 16 වැනිදාමයි. අනෙක පළ කර ඇත්තේත් ඔහුට ලංකාවේ තත්ත්වය දැන ගන්න හැකි වෙන්නම ඉංග්‍රීසි පුවත්පතකයි. ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ මේ රටේ ජනතාවට කියවන්න නෙමෙයි, පිටරටින් ආපු අයට කියවන්නයි. එච්චර විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපතිතුමාට අනුව ඒකට අත්සන් කරලා තියෙන අයත් මහපොළොවේ පය ගහපු අය නෙමෙයි. ඒ නිසා එතුමා ඒ ගැන පරීක්‍ෂා කරන්න නියෝග කරලා තියෙනවා. වෙනත් වාර්තාවලිනුත් දකින්න ලැබුණ හැටියට අත්සන් කරපු කිහිප දෙනෙකුගෙනුත් ප්‍රශ්න කරලා.
ඔක්කොම වාර්තා එකතු කෙරුවාම මරණ තර්ජනය කර ඇති ලියුම ලැබී ඇත්තේ අගෝස්තු 20 වැනිදායි. අත්සන් අරගෙන ඇත්තේ සැප්තැම්බර් 8 වැනිදායි. හරියටම පළ කරලා තියෙන්නේ පැස්කෝ එන දවසේමයි. මමනම් මුලින්ම දැක්කේ සිංහලෙන් පළ කරලා තිබුණ දැන්වීමයි. ඒකට පුද්ගලයන් රැසකුත්, සංවිධාන කිහිපයකුත් අත්සන් කරලා තිබුණා. පොළොවේ පය ගහලා ඉන්න මගේ යාළුවෙකුගේ නමකුත් අත්සන් ලැයිස්තුවේ තිබුණා. මේ ප්‍රශ්නය වාර්තා වුණාම මං යාළුවාට කතා කරලා ඇහුවා, පැස්කෝ මහත්තයා එන දවසෙම දාන්නද අත්සන් දුන්නේ කියලා. එයා හිනාවෙලා කිව්වා, ‛‛පැස්කෝලා එන බව අපි කොහොමද දන්නේ. ඒවා දන්නේ ආණ්ඩුවනේ. අපි අත්සන් කළේ මේ රටේ වැඩක් කරන පුරවැසියකුට බොරු චෝදනාවක් එල්ල කරලා මරලා දාන බව සහතික කරලා ලියුමක් එවලා තිබුණ නිසා ඒ මනුස්සයාට තියෙන අනතුර පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කළොත් සාධාරණයක් ඉෂ්ඨ වෙයි, වැරැදිකරුවන් හොයන්න උනන්දු වෙයි කියන අරමුණෙන්. නමුත් වෙලා තියෙන්නේ මරණ තර්ජනය කරන අය ගැන වගේ වගක් නැතිව, ඒ ගැන හොයන්න කියලා අත්සන් කළ අයගෙන් ප්‍රශ්න කරන එකයි’’ කියලා.
කොහොම වුණත්, ඒ දැන්වීමෙන් වෙලා තියෙන්නේ ඔහු මරා දැමීම සාධාරණීකරණය කරන උද්ඝෝෂණයක් ආණ්ඩුවේ බලධාරීන් හා මාධ්‍ය හරහා මතු වීම විතරයි කියලයි මට හිතෙන්නේ. ඔහුට මරණ තර්ජනයක් වූ බව ප්‍රසිද්ධ කිරීම ඔවුනට අනුව වැරැද්දක්. කිසිම සද්දයක් නැතිව මරලා යන තුරු බලා සිටීම කළ යුතු කාලයක අපි ජීවත් වන බව සරවනමුත්තු මහතාගේ හිතවතුන්ට අමතක වෙලා තිබීමයි වරද වෙලා තියෙන්නේ. අනෙක් ප්‍රධාන කාරණය පේලි හතරක ලියුමකින් ලැබෙන මරණ තර්ජනය, මරණ තර්ජනයක් ලෙස ගණන් ගැනීමේ වැරැද්දයි. එතකොට මරණ බය දැනෙන්න පේලි කීයක ලියුමක් ලිවිය යුතුද? ‛‛උඹව මරණවා’’ කියලා වචන දෙකකින් එව්වොත් මරණ බය නොදැනෙන කාලයකද අපි ඉන්නේ? නැත්නම් එය ගණන් ගත යුත්තේ පිටුවක් ලියා එවුවොත්ද? නැත්නම් පොතක් ලියා එවුවොත්ද?
පූජා දිසානායක