සටහන සහ ජායාරූප – සම්පත් සමරකෝන්
එළවලු පැටවූ වාහනවලින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිරි ගොස් තිබිණි. අසල ඒ 9 මාර්ගයේ කිලෝමීටර භාගයකට ආසන්න ප්‍රමාණයක් වාහන තදබදය නිසා ඇහිරී ගොස් ඇත. ‛‛මේකෙන් තමයි ලංකාවටම සෑහෙන ප්‍රමාණයක් එළවලු යවන්නේ. හැබැයි සමහරදාට සෑහෙන එළවලු ප්‍රමාණයක් අපතේ යනවා.’’ වාහන තදබදය අතර මට පැවසීය.
විකුණාගන්න බැරි එළවලු විශාල ප්‍රමාණයක් පසුගිය දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත්කරන ලද බව වාර්තා විය. කෙසේ නමුත් මෙම ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනකට විශාල ප්‍රමාණයක් එළවලු සහ ඒ ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය ඉවත් කරනු ලබයි. එය වැසි කාල වලදී ඉතාමත් වැඩි බව වෙළදුන්ගේ සහ ගොවීන්ගේ අදහසයි. ලංකාවේ එළවලු පරිභොජනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් සැපයෙන්නේ ද මෙම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙනි.
මෙම වෙළද මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවලු දඹුල්ල ප්‍රාදේශිය සභාව විසින් මේවන විට දඹුල්ල හබරණ මාර්ගයේ දිගන්පතන, තේක්කවත්ත නම් ප්‍රදේශයට ගෙන ගොස් දමයි. විකුණාගත නොහැකි වූ එළවලු, නරක් වූ එළවලු සහ පළතුරු මෙන්ම දඹුල්ල නගරයේ සෑම දිනකම එකතුවන අපද්‍රව්‍යය(කුණු) ඉතාමත් අවිධිමත් ආකාරයට මෙම කැලෑ ප්‍රදේශයට ගෙන ගොස් දමා ඇති බව මේ දිනවල දක්නට ඇත.
මෙම ක්‍රියාවලියේ ඇති ඛේදජනක තත්වය නම් මේ කුණු ආහාරයට ගැනීම සදහා අලි විශාල ප්‍රමාණයක් දහවල් කාලය වන විට මෙම ප්‍රදේශයට පැමිණිමයි. ප්‍රදේශවාසින් පවසන්නේ දහවල් 11.00පමණ වනවිට මෙම අලින් කුණු ආහාරයට ගැනීම සඳහා පැමිණෙන බවයි.
සවස 5.00ට පමණ අප මෙම ස්ථානයට ළගාවනවිටද අලි විශාල ප්‍රමාණයක් මෙම කුණු ආහාරයට ගනිමින් සිටිනු දක්නට ලැබිණි. දඹුල්ල, හඹරණ මාර්ගයේ කිලෝමීටර භාගයකටත් අඩු දුරකින් වානාන්තරය තුලට වන්නට මෙම ඛේදජනක තත්වය සිදුවෙමින් තිබිණි. ‛අලි උයාගෙන කනවා වගේ’ ගිණි ගනිමින් ඇති කුණු ගොඩේ එළවලු වර්ග කමින් ඇති අලින් දුටු මගේ මිතුරා කීවේය.
සත්ත්ව ලෝකයම සුන්දර කරන මේ අපූරු සත්වයා මිනිසාගේ නොමනා ක්‍රියා හේතුවෙන් මෙසේ කුණු ගොඩවල් හාරා අවුස්සමින් සිටීම කොතරම් අභාග්‍ය සම්පන්නද..?
‛‛ඉක්මනටම අපි මේ කුණු අයින් කරන්න කටයුතු කරන් යනවා. ඇත්ත, මේ ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍රවෙන්න මේකත් හේතුවක් වෙන්න පුලුවන්. දැනට අපි මෙ සම්බන්ධයෙන් කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් යනවා. ඉතා ඉක්මනින් මේ කුණු මෙතනින් අරන් දානවා.’’ මේ ප්‍රශ්ණය පිළිබද අදහස් දැක්වූ, සීගිරිය වන සත්ත්ව අඩවි ආරක්ෂක බී. ප්‍රේමදාස මහතා අප සමග පැවසීය.
කෙසේ වෙතත් ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයකටම ඇති ප්‍රධානතම ගැටලුවක් ලෙස අපද්‍රව්‍ය(කුණු) බැහැර කිරීමට හෝ ඒවා ප්‍රතිචක්ක්‍රිය කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් නැත. නමුත් ඇතැම් පළාත් පාලන ආයතන මේ තත්වයෙන් මදක් වෙනස් කිරිමට යම් උත්සහයන් ගෙන ඇත. නමුත් තමන්ගේ බල සීමාවේ කුණු මෙසේ කැලෑවකට ඉතාමත් අවිධිමත් ආකාරයට ගෙන ගොස් දැමීමෙන් දැනට තිබෙන පාරිසරික ප්‍රශ්ණද එසේම අලි මිනිස් ගැටුම ද තව තවත් උග්‍ර වන බව ප්‍රදේශයේ පරිසරවේදීන් පෙන්වා දෙයි.
මෙම කුණු ප්‍රතිචක්‍රියකරනය සඳහා ප්‍රතිචක්‍රියකරන කට්ටලයක් මෙම දඹුල්ල ප්‍රාදේශීය සභාව සෂතුව ඇති බවත් නමුත් එම යන්ත්‍ර මේ වනවිට අක්‍රිය මට්ටමේ පවතින බවත් ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ, සභාපති කේ. ජී සෝමතිලක මහතාගෙන් කරුණු විමසූවෙමු. ‛‛දැන් මේ ප්‍රශ්ණයට අපි කොම්පෝස්ට් ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒත් ඒ පටන් ගත්ත තැන ඉඩමේ ආරවුලක් නිසා ඒක මදකට නතර වෙලා තියනවා. නමුත් ඒක පටන් ගන්නවා. අපිට මේකට දිගුකාලීන සැළැස්මක් තිබුණා. 1997 මම සභාපති වෙලා ඉන්න කාලේ මේ කොම්පෝස්ට් වැඩසටහන පටන් ගත්තා. 2000 මම පළාත් සභාවට ගියා. ඒ වැඩසටහන වැහුනා. ඒකයි උනේ. නමුත් දැන් අපි සී. අයි. සී එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියනවා. මේක ඉතාම ඉක්මනින් පටන් ගන්නවා. පසුගිය කාලය තුළදී ඒක අකර්මන්‍ය උනා. ගොඩක් කල් ගන්නේ නැතුව අපි බලනවා මේ ප්‍රශ්ණය විසඳන්න. නමුත් වැහි කාලයට විශාල කුණු ප්‍රමාණයක් එකතුවෙනවා. ආර්ථික මධ්‍යස්ථානයෙන් දවසකට කුණු ට්‍රුක්ටර් 6ක් 7ක් ගෙනියනවා. නමුත් ඒවායේ පොලිතින් විශාල ප්‍රමාණයක් නෑ. නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට මේ තත්වය අඩුවෙන්න පුලුවන්. සමීක්ෂණයක් කරලා නෑ. නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරනකොට ඒ අදහසත් තිබුණා. මේ ත්ත්වය නිසා යම් පාලනයක් සිද්ධවෙලා තියනවා. නමුත් මෙතන කුණු දාන එකෙන් ජනතාවට හානියක් සිද්ධ වෙනවා.’’
නම සඳහන් කිරීමට අකමැති වන ජීවි නිළධාරීයෙක් මේ ප්‍රශ්ණය පිළිබදව අප සමග අදහස් දැක්වීය. ‛‛කොහෙත්ම මේ කුණු මෙතන දැමීමෙන් අලි ගම් වදින එක අඩුවෙනවා කියන එක අපිට කොහෙත්ම පිළිගන්න බෑ. දිවා කාලයේදී මේ කුණු කන අලි රෑට අනිවාර්යයෙන්ම ගම්වදින්වා. අනිත් එක තමා මේ කුණුවල තියන අලින්ට අහිතකර දේ විශේෂයෙන් පොලිතින් වැනි ද්‍රව්‍යය නිසා අලින් රෝගී වෙන්න පුලුවන්. අපිට හමුවෙලා තියනවා අලි බෙටිවල පොලිතීන් කෑලි තියනවා. මේක ඉදිරියටත් පැවතුනොත් මිනිසුන්ට වගේම මේ ඉන්න අලි ටිකටත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්.’’
මින්නේරිය සහ වාස්ගමුව වැනි ජාතික වනෝද්‍යානවල අලින් තමා බොහෝ වෙලාවට මේ ප්‍රදේශයට එන්නේ. ප්‍රදේශයේ පරිසරවේදීන් පවසයි. නමුත් මේ කුණු කෑම නිසා ප්‍රධාන ගැටලු දෙකක් මතු වෙයි. එකක් මේ කුණුත් සමග අලින්ට නුසුදුසු ද්‍රව්‍ය ශරීර ගතවීමෙන් (විශේෂයෙන් පොලිතීන්) මෙම අලීන් රෝගීවන්නට ඉඩ තිබීමයි. අනෙක මෙම එළවලු ආහාරයට ගැනීමට පුරුදු වීමෙන් රාත්‍රිකාලයේ දැනට වඩා සීග්‍රයෙන් මෙම අලින් වගා බිමිවලට පැමිණීමයි. මෙසේ වූ විට අලි මිනිස් ගැටුම තවත් තීවෘ වන්නට බොහෝ ඉඩ තිබේ. දැනට මෙම මින්නේරිය ජාතික වනොද්‍යානයේ අලින් 300-400ත් අතර ප්‍රමාණයක් සහ වාස්ගමුම ජාතික වනොද්‍යානයේ අලින් 150-200 ත් අතර ප්‍රමාණයක් සිටින බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තාකර කරයි. මේවන් නොමිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම අලි ගහනය තවත් අඩු වේ යැයි පරිසරවේදීන් පවසයි. කෙසේ නමුත් වසරින් වසර අලින් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් තුරන් කිරීමට මිනිස් ක්‍රියාකාරකම් මූලික වී ඇති බව ඔවුන්ගේ මතයයි. http://www.elephantsinsrilanka.com/ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට දැනට ලංකාවේ අලින්ගේ ගහනය 3000-4000ත් අතර බවයි. එයිනුත් 2007වර්ෂයේ පමණක් අලින් 193 දෙනකුත් 2006 වර්ෂයේ 171 දෙනකුත් මිය ගොස් ඇති බව ඔවුන් වාර්තා කරයි. ගිනි අවි භාවියෙන් ඔවුන් මරා දැමීමත්, වට්ටක්කාවලට වස මිශ්‍ර කොට අලින්ට ආහාරයට සැලැස්වීමේන් සහ විදුලිය වැදීමට සලස්වා අලින් මරා දැමීමත් අලි මරණ වලට බොහෝ විට හේතුවන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.
අලින්ගේ මරා දැමීමේ ආසන්නම සිදුවීම පසුගිය දා වාර්තා විය. යාල වනෝද්‍යානයේ සිටි කුබ්ලායිකාන් නැමති සුන්දර දළ ඇතා පසුගිය 23 වනදා හිස්වැව ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගියේ ය. එම ඇතා මිය ගියේ වෙඩි තැබීමකින්ද, වස විස දීමකින් ද නැතිනම් වෙනත් හේතුවකින් දැයි තවමත් අභිරහසක්ව පවතියි. මෙසේ යාල වනෝද්‍යානයම සුන්දර කළ දළ පූට්ටුවා, ජෙනිජීස්, වැනි අලින් මෙන්ම අලින් සිය ගනනක් මේ පොළවෙන් තුරන් විය. ඔවුන් මිය ගිය පසු ඒ පිළිබද දින කිහිපයක් ඇතැම් මිනිසුන් කම්පාවනවා හැරෙන්නට කෙරෙන ඒවා වැලැක්වීමට කෙරෙන කිසිදු ක්‍රියාවලියක් දඹුල්ලේ මෙම ක්‍රියාවෙන්ද මනාවට ඔප්පුවේ. මෙසේ මෙම දඹුල්ල නගරයේ අප ද්‍රව්‍යය සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය අලින්ට අමාශගතවීමේන් ඉදිරියේදී මෙම අලින් මිය යෑමට ඇති හැකියාව වැඩි බවයි. තවද ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍රවීමට එක් හේතුවක් ලෙස ඉදිරියේදී මෙය වර්ධනය වීමට ඉඩ ඇති බව පරිසරවේදීන් සහ වනිජීවි නිළධාරීන් පවසයි. එසේ වුවහොත් ‛කුබ්ලායිකාන්’ අලියාට උනාක්මෙන් කිසිදු හේතුවක් සොයාගැනීමට නොහැකිව මේ සද්ධන්තයින් මෙපොළවෙන් සදහටම තුරන්ව යනු ඇති.
මෙහි වීඩියෝ දර්ශන ළගදීම විකල්ප වේබ් අඩවියෙන්