ඊයේ(09) උදෑසන සෞදි අරාබියේ ඩවාඩමි නගරයේදී රිසානා නෆීක්ව හිස ගසා මරා දැමූ පුවත අප වෙත ලැබුණි. අවුරුදු හතක් තිස්සේ එහා මෙහා විසී කරමින් තිබුණු, ඇගේ ජිවිතය එසේ අවසන් විය. මීට දින කිහිපයකට පෙර අපේ ජනාධිපති, රිසානාට සමාව දෙන ලෙස ඉල්ලා සෞදි රජුට ලියුමක් යැවූ ප්‍රවෘත්තිය මාධ්‍යවල පළවිය. රිසානාව කොයි මොහොතේ හෝ හිස ගසා මරා දැමිය හැකි බැවින්, ශ්‍රී ලංකා ආණ්ඩුව වහා මැදිහත් වී ඇය බේරා ගැනිම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කළ හැකි සියළු දේ කළ යුතුයැයි මතක් කරමින්, බී බී සී සංදේශයේ සහ වෙනත් වෙබ් අඩවිවල පළ වුණු පුවතකට ප්‍රතිචාර ලෙස මේ ජනාධිපතිගේ ලියුමේ කතාව පළ විය. මීට මාසයකට පමණ ඉහතදී ලොකු අකුරින් පත්තරවල මුල් පිටුවේ ශීර්ෂය ලෙස පළ වූ පුවතත් වූයේ, ‘‘රිසානාට ළඟදීම නිදහස’’ යන්නයි. ශ්‍රී ලංකා ආණ්ඩුව ඇය නිදහස් කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරන බවත්, ඒවා සෑහෙන දුරට සාර්ථක වී ඇති බවත් කියමින් ඒ පුවත පළ විය. රිසානාට නිදහස ලබා ළඟදීම ශ්‍රී ලංකාවට එන්නට හැකි වෙනු ඇතැයි එයින් කියැවිණි. ඩිලාන් පෙරේරා ඇමතිවරයාත්, තවත් රජයේ මැති ඇමතිවරුනුත් මේ ගැන උනන්දුවෙන් වැඩ කරන බව සඳහන් වී තිබුණි.
කෙසේ හෝ, රිසානාව මරා දැමුණි. තමන් නොකළ මිනී මැරුමකට, තමන්ට නොතේරෙන අධිකරණ තීන්දුවකින් වරදකරු කොට, නානඳුන රටක, දන්නා හඳුනන කිසිවෙකුත් නැති හිරගෙදරක අවුරුදු හතක් පුරා රඳවා තබා ගෙන හිඳ අවසානයේ, ඇයව ම්ලේච්ඡ ලෙස, මරා දමනු ලැබුවාය. ඇගේ මරණය ආරංචි වූ විට, අපේ පාර්ලිමේන්තුවේ මැති සබය ඈ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පිරූ බව නිව්ස් ඇලර්ට් වලින් කියවිණි.
දැන් ඒ පරිච්ඡේය අවසන්ය. වරින් වර, මානව හිමිකම් සංවිධාන විසින්, රිසානා නිදහස් කරගන්න මොනවහරි කරන්නැයි කියමින් ඇති කරන කන් කරච්චලය දැන් නවතිනු ඇත. එක හිසරදයකින් නිදහස් වුණා කියා අපේ ආණ්ඩුවට හිතෙනවා විය හැකියි.
රිසානා සෞදි ආරාබියේ මෙහෙකාරකමට යන්නේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත් වූ අවුරුද්දේයි. තමාගේ රැකවරණයේ සිටි සිවු මස් වියැති බිළිඳෙකුව ඝාතනය කළා යැයි කියමින් ඇයට එරෙහිව එල්ල වූ චෝදනා වලින් වරදකරු කොට මරණ දඬුවමට නියම කරන්නේත් ඒ වසරේදීමයි. එතැන් පටන් අද දක්වා වසර හතක් පුරා ඇය ගත කළේ ඒ හිර ගෙදරයි. ඇයට එරෙහිව එල්ල වූ මිනී මැරැම් චෝදනාව සාවද්‍ය බවත්, නඩු ඇසීමේදී ඇයට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්, ඇගෙන් බලහත්කාරයෙන් ලබා ගත් පාපොච්චාරණයක් මත පදනම්ව තීන්දුව දුන් බවත්, අඩුම තරමින් ඇයට භාෂා පරිවර්තකයෙකුවවත් සපයා දී නොතිබුණු බවත් ඇය වෙනුවෙන් පසුව පෙනී සිටි මානව හිමිකම් සංවිධාන හෙළි දරවු කර තිබුණි. පළමු නඩු තීන්දුවෙන් පසු, අභියාචනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය නඩු ගාස්තු ඇය වෙත යවන්නටවත් ශ්‍රී ලංකා ආණ්ඩුව උනන්දු නොවූ බැවින්, ආසියානු මානව හිමිකම් කොමිසම ඇය වෙනුවෙන් ඒ මුදල එකතු කොට යැවූ බවත් දැන් කවුරුත් දන්නා කාරණයයි. කෙසේ හෝ මානව හිමිකම් සංවිධානවල බරපතල මැදිහත්වීම හමුවේ, ඇගේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම වසර ගණනාවකින් කල් ගියේය. නමුත්, මනුෂ්‍යත්වය පරදා, ම්ලේච්ඡත්වය ජය ගත්තේ, ඒ අහිංසක දැරිය තිරිසන් ලෙස මරා දැමීමෙනි. ඈ වෙනුවෙන්, ශ්‍රී ලංකාණ්ඩුවෙන් විශාල මැදිහත්වීමතක් සිදු නොවූ බව, ඒ හා ඈඳුණු මුළු ක්‍රියාවලිය දෙසම බලන විට පැහැදිලි වෙයි. එසේ මැදිහත්වීමක් කරන්නට තරම් වටිනා චරිතයක් නොවන නිසා වෙන්නට ඇති රිසානා.
රිසානා, ආරාබියේ මෙහෙකාර කමට යන්නේ වයස අවුරුදු 17දීයි. එනම් තවමත් ළමයෙක් ලෙස සිටියදීයි. විදේශ ගමන් බලපත්‍රයේ සාවද්‍ය ලෙස ඇගේ වයස වෙනස් කර තිබුණි. අන්ත අසරණ දුප්පත් පවුලක වැඩිමහල් දියණිය ලෙස උපන් රිසානා, තමන්ගේ සහෝදර සහෝදරියන් ජීවත් කරවන්නට කළ හැකි දෙයක් කරන්නට සෞදි ආරාබියේ වැඩකාරකමට ගියාය. ඈ ගියේ ඇයත් අදහන දෙවියන්ට වඳින මිනිසුන් සිටින රටකටයි. නමුත් ඒ දෙවියන් රිසානාට පිහිට වූයේ නැත. 2004 සුනාමියෙන් තමන් සන්තකයේ තිබූ සියලූ දේ විනාස වී ගිය පසු, කළ හැකි වෙන කිසිවක්ම නැති නිසා වැඩිමහල් දියණිය අරාබියේ සේවයට යැවූ බව රිසානාගේ අසරණ පියා ඇගේ සෞදි හාම්පුතුන් වෙත යැවූ අයාචනාත්මක ලිපියේ සඳහන් වී තිබුණි.
දැන් සියල්ල අවසන්ය. අඩුම තරමින් තමන්ට තම දියණියගේ මිනියවත් ගෙනැවිත් දෙන්නැයි රිසානාගේ අම්මා ඉල්ලා සිටින බව පත්තරවල පළ වී ඇත. අද තඩි පොල් අකුරෙන් ශීර්ෂ පාට යොදන්නට අපේ මාධ්‍යවලට ප්‍රවෘත්තියක් ලැබී ඇත. ‘‘පවුල බේරා ගන්නට රට ගිය දියණියගේ සිහිනය බොඳ විය – රිසානා ගෙල සිඳ මරා දමයි’’ ඒ අද ලංකාදීප පුවත්පතේ ශීර්ෂයයි. රිසානාගේ මුතූර්හි අතු පැලත්, ඇගේ කුඩා කළ පින්තූරයතුක්, අසරණ අම්මා තාත්තාගේ ඡායාරූපත් සමග ඒ පුවත පළ කර ඇත. රිසානාගේ මව උහුලා ගත නොහැකී වේදනාවෙන් වැළපෙන ආකාරය හැඟීම්බරව ලියා ඇත. අනෙක් පත්තරවලත්, ‘‘බෙල්ල කපා රිසානාව මරයි’’, ‘‘අහිංසක තරුණියගේ සිහින සැබෑ නොවුණි‘‘ වැනි පුහු, අප්‍රිය වදන් රොතු වලින් ලියන පිළුණු ප්රවෘත්ති පළ කර ඇතිවාට සැක නැත. මැද පිටු පුරා රිසානාගේ ළමා කාලය ගෙවුණු හැටිත්, ඇය ගමේ කාගේත් සිත් ගත් දරුවෙක්ව සිටි හැටිත්, ඇගේ පවුලේ දුප්පත්කමේ තරමත් ගැන භාවාතිශය ලියුම් පළවෙනු ඇත. රිසානා බෙල්ල කපා මරා දමන ආකාරයේ වීඩියෝ දර්ශනත්, ලේ විලක ඇගේ හිස සුන් සිරුර වැටී ඇති ආකාරය පෙන්නන ලොමු දැහැ ගැන්වෙන ඡයාරූපත් නැති බැවින් මාධ්‍යකරුවන්ට විශාල අඩුවක් දැනෙනවා විය යුතුය. ඇහැට පේන්නට ලොකුවට දාන්නට ඉමේජර්ස් නැති නිසා රිසානාගේ පුවත ඉක්මනට වාෂ්ප වී යනු ඇත.
මේ එකදු මාධ්‍යක්වත් මේ ඛේදනීය පුවත පිටුපස ඇති කතන්දරය කතා නොකරනු ඇත. රිසානා බේරා ගන්නට මේ තරම් කාලයත් පුරා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් සැබෑ ලෙසම කළේ මොනවාද?, කළ හැකිව තිබුණේ මොනවාද? රටට වැඩිම විදේශ විනිමය උපයා දෙන මැද පෙරදිග සේවයට යන අසරණ දුප්පතුන් වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ මොනවාද? මේ දේවල් කතා කරන්නට සංයමයක්, උවමනාවක් මාධ්‍යයට ඇති බවක් පේන්නේ නැත.
ආරාබියේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයින්ට විඳින්නට සිදු වූ ම්ලේච්ඡ හිංසනයන් ගැන පහුගිය කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්විය. රිසානා, තවත් එවැනි එක් කතාන්දරයක් පමණි.
හෙට අනිද්දාටත් අරාබියේ හාම්පුතුන්ගෙන් ඇණ ගසාගෙන, ම්ලේච්ඡ ලිංගික අතවරවලට ගොදුරු වීගෙන, ශරීරය පුළුස්සාගෙන, අත පය අවලංගුව, මානසික ලෙඩුන්ව මෙරටට පැමිණෙන අය ගැන තඩි පොල් අකුරින් පත්තරවල පලවෙනු ඇත. ඔවුන්ගේ තුවාලවල සමීප ඡායාරූපත්, ගෙවල් දොරවල්වල ඡායාරූපත් සමග හැඟීම්බර ලිපි මැද පිටුවේ යනු ඇත. පුදුමයක්…..සමහරවිට ඇමති කෙනෙක් රිසානාගේ පවුලට පුංචි ගේ කෑල්ලක් හදා දී ඇති පුවත තව සති දෙක තුනකින් ලොකුවට පලවෙනු ඇත.
‘‘ඒ අයගෙ කරුමෙ තමා’’, ‘‘ලබා උපන් හැටි තමා’’, ‘‘පෙර පව් වෙන්ඩ ඇති’’ කියමින් වරක් දෙකක් හූල්ලා අපි අපේ කෙටි යුතුකම ඉටු කර, අපේ වැඩක් බලා ගමු….
රිසානා, නුඹේ ජිවිතය අපට කියා ගිය කතාව අතිශය ඛේදනීය එකක්. කුඩා කළ පටන්ම අන්ත අසරණ ජිවිතයක් ගෙවා යාන්තං ගැටවර වියට එළඹෙද්දි, පවුලේ බර කරට ගන්නට ඉටාගෙන තවමත් ගෝත්‍රික ම්ලේච්ඡත්වය ප්‍රසිද්ධ භාවිතයේ තිබෙන, රටක, හිත් පිත් නැති හාම්පුතුන් ළඟ සේවයට ගියා. අන්ත අසාධාරණ නඩු තින්දුවකින්, වරදකරු වී වසර හතක් පුරා අඳුරු හිර ගෙදරක සිර වී හිඳ, අවසානයේ කෘර මරණයකට මුහුණ දුන්නා.
ලෝකය අයිති බලවතුන්ටයි. බලරහිත වුන්ව ජිවත් කරවීම හෝ මරා දැමීම තියෙන්නේ ඔවුන් අතේයි. එක රැයකින් දාස් ගානකට වෙඩි තබා මරා දාන්නට අණ දෙන්නට හැකි රට කරවන මහා බලැත්තන්ට ඔබ වැනි කුඩා ජීවිතයක් බේරා ගන්නට බැරි වීම පුදුමයක්…….
රිසානා නංගි, ඔබේ ජිවිතය අවසන්. ඔබේ වේදනාවත් අවසන්. හෙට අපි අහන්නේ කාගේ වේදනාබර කතාවද?