එය සැබවින්ම හද සසල කළේ ය.. එය දරුණුය…කුහකය….ලැජ්ජා සහගතය…
ඇය මරා දැමිණ. අධම දේශපාලනික ඕනෑ එපාකම් මත සියල්ලට විසදුම් ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ අන්ත දුක් ගැහැට මැද ජීවිකාව ගෙන ගිය රිසානා, ශාරියා නීතිය අනුව සිය මවුබිමේන් එපිටදී නොබෝදා හිස ගසා දැමීමෙන් මරා දැමුණේ ඇයට වයස අවුරුදු 25දී ය. අවුරුදු 7ක් තිස්සේ මවුබිමේ වගකිව යුත්තන් විසින් සිය යුතුකම් පැහැර හැරීමේ වරදට දඩුවමක් ලෙසිණි.
විදේශ සේවා හා ප්‍රවර්ධන හා සුභ සාධන ඇමති වරයා රිසානා බේරා ගැනීම ගැන (විෂය ගැන කිසිදු සංවේදීකමක් නැතිව, ඇමතිකම් කරන ලාංකේය ඇමතිවරයකුගේ නියම අනන්‍යතාව ඉස්මතු කරමින්) පාර්ලිමේන්තුවේ පාරම් බාද්දී ද ඇය අවසන් හුස්ම හෙලා අවසන්ය.
ඈ මරණ දඩුවමට නියමිතව සිටියදී විවිධ ස්වරූපයේ දේශපාලනික පරමාර්ථද ආගමික අරමුණුද ආදිය විසින් ඇගේ ජීවත්වීමේ අයිතිය ගැන කථාකරන්නට පිරිස් සිටියහ. නමුත් අවසානය තෙක් සටන් කරන්නට කිසිවකුට ඉඩ නොදෙන රටේ එවැනි වෑයම් සාර්ථක නොවිණි. අවසන ඈ තමන් නොකළ වරදකට කෙසේවතුදු තමා දුප්පතකු ව උපන් වරදට දඩුවම් ලද්දීය.
ශෝකය පළ කිරීමට, ඈ ගැන දුක් ගී ගැයීමට, දියණිය මළ දුකට මවුපියන්ට මිල නියම කිරීමට, ඔබ්බෙන් වූ සමාජ වගකීමක් දැන් අපට ඇත.
මූලිකම කරුණ වන්නේ තවත් රිසානලා බිහිවීමේ ඛේදාන්තයෙන් රට වැසියා බේරා මුදා ගැනීමය. පසුගිය වසර ගණනාව පුරා විදේශ සේවයට ගිය බහුතරයක් ලාංකේය කතුන්ගේ ජීවිත පිරී ඇත්තේ අතිශය දුක්ඛ්ත මුත් රටේ දේශපාලන බලවතුන්ට නොපෙනුන හෝ නොපෙනෙන ගැහැට වලිනි. එක් අතකින් ඔවුන් විදේශගතව අන්ත අසරණ සේ විදේශිකයන්ගේ අණසකට යටත්ව දුප්පත්කමට වන්දි ගෙවති. තවත් අතකින් ඔවුන්ගේ දූ දරුවන් පවුලේ සාමාජිකයින් නොසිතූ විරූ ගැටළු වලට මුහුණ දෙති. අවසන ජීවිත නොදිනන ඔවුන් රටේ ජාතික ආදායම ට කීයක් හෝ හම්බකළ මුත් තිබුණාටත් වඩා දුක පිරි ජීවිත වල උරුම කරුවෝ වී සිටිති. ඔවුන් සිය රට තුළ තමන්ගේම උන්ගේ සෙනෙහස මැද ජීවිකාව කරගෙන යන වාසනා වන්තයින් කරන්නට කියන තරම් ලෙහෙසි නැතත්, අපේ උන් වැඩ කාරකමට නොදෙන කැක්කුමක් අපේ නායකයින්ට ඇතිවීම අද රටේ අවශ්‍යතාව බවට පත්ව ඇත. එවැනි කැක්කුමක් ඇති හෝ නැති එවැන්නක් අති බව පෙන්වන හෝ නොපෙන්වන නායකයින් එය හෙටට කල් නොදැමිය යුතුව ඇත.
එවැන්නක් රටේ ආර්ථිකයට මරුපහරක් වන බව යමෙකු සිතන්නේනම් එහි මූල්‍යමය සාධාරණත්වයක් ඇත. නමුත් ජාතික ප්‍රතිපත්තියකින් හා අවංක කැක්කුමකින් යුතුව රටේ ආර්ථිකය සැළසුම් කරන රජයකට එය නොකළ හැක්කක් නොවන්නේය. එය සීමිත පිරිසක් වටා සම්පත් එක් රැස් කිරීමේ අවශ්‍යතාවයෙන් ඔබ්බට ගිය සැළසුමක් විය යුතුය. මෙහෙකාරකමට විදේශ ගතවන පිරිස වෙනුවෙන් රට තුළ රැකියා උත්පාදනය වන සැළසුමක් විය යුතුය. රටේ අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත් අතර සැබැදියාව අභියෝගයට ලක්කළ ආත්මාර්ථයෙන් හෙබි ආණ්ඩුවකින් එවැන්නක් බලාපොරොත්තුවීම හාස්‍යයක් වනු ඇතත් ඊට රිසි විසදුම ලබා දිය යුත්තේ රටේ පරමාධිපත්‍යයේ හිමිකරුවන් වන අපමය. අප එවැන්නක් වෙනුවෙන් අපගේ යුතුකම පැහැර හරින තෙක් අද ද හෙට ද තව තවත් රිසානාලා බිහිවීම නොවැළැක්විය හැකිය.
එම වගතීම පුළුල්ය, නමුත් පැහැදිලිය.
එනම් එය හෙට අනිද්දා වෙන විට දේශපාලන වේදිකාවල, පොත් පත්තර වල, නාට්‍ය චිත්‍රපටව, රිසානාව මිල කිරීම වැනි වූ කුහක අවශ්‍යතා අභිබවා ගිය මතවාදී වගකීමක් විය යුතුය.
හංසිනී සම්පත් | Hansinin Sampath