මාතලේ ඉදලා ආපු බස් එක පැය 4ක ගමනකින් පසුව කොළඹට ලගා වුනා. බසයෙන් බැසගත් මට පුදුම දාහයක් දැනුනා.
මට ඒ දැනුන දාහයත් එක්ක ලංකාවේ පැරණිම වෙලදපල වන මැනිං මාර්කට් එක අසලින් කොටුව ස්ටේශන් එක දෙසට ගමන් කලා.
පාරේ එක් පැත්තක ජීවිතේ ගැටගහ ගන්න මොනවා හරි විකුණන මිනිස්සු. එකා පරයා එකා කෑ ගසමින් එළවලු, පළතුරු ඇතුලු අනේකවිද දේවල් විකුණනවා. නමුත් ඒ එළවලු, පළතුරු කොතරම් ලාභ උනත් ඒවායේ අපිරිසිදුකම දැක්කහම මේ ලංකාවේ අගනුවරද කියලා හිතෙනවා.
මම දුම්රිය ස්ථානය පහුකරගෙන ඉදිරියට ගියා. ටිකක් ඈතින් කොළඹ වරාය සලකුනු කරන කන්ටේනර් අංගනයේ ඇතැමි කොටස් මනාවට ප්‍රධාන පාරට පේනවා. මීටර් 100ක්වත් මට ඒ රිද්මයෙන් ඉදිරියට යන්න ලැබුනේ නෑ. නාසය පීරී යන මහා දුර්ගන්දයක්. ඒ දහස් ගනනක් හැසිරෙන ලංකාවේ අගනුවර ප්‍රධානම ජල මාර්ගයක් වන බේරේ වැවේ ගඳ.
මට එක පාරටම මතක් උනේ මගෙ යාලුවෙක් කියපු කථාවක්. උඹ දන්නවද.., ඕනම මනුස්සයකුට කොළඹ නගරයට ආවා කියලා හදුන ගන්න තියන සරලම විදිහ. මම ඒ ගැන ඒ තරමටම හිතලා තිබුනේ නැති නිසා මගේ පිලිතුර උනේ, නෑ මචං කියලා. කොළඹ නගරයට ආවා කියලා දැන ගන්න තියන සරලම ක්‍රමය තමයි මේ බේරේ වැවෙන් එන ගඳ.
ඒ කථාව විහිලුවට කිව්වාට ඒ තමයි අමුම අමු ඇත්ත.
බේරේ වැව කියන්නේ ලංකාවේ දූෂිතම ජලාශවලින් එකක්. මම පාලම උඩ ඉදගෙන ඈත බැලුවා. එක් පැත්තකින් කෝච්චි පාර. අනික් පසින් වාරාය. එක පාරටම කලු පාට යමක් වතුරෙන් උඩට මතු උනා. මිනිස්සුන්ගෙන් විතරක් පිරුනු මේ නගරයේ කන්නට යමක් හොයාගන්න ඇත්තේ මේකේ විතරයි කියලා ඌට හිතෙන්න ඇති. ඒ වෙනකෙක් නෙමේ දියකාවෙක්. ටික වේලාවකින් ඌ ආයෙත් නොපෙනී ගියා. ඒ කන්න මුකුත් හොයා ගන්නද, එසේත් නැතිනම් අනික් පසින් තිබුන් රේල් පාරේ මහ හඩ දමාගෙන ගිය කොච්චියට බයේද..
පරිසරවේදීන් පවසන්නේ බෙරේ වැවේ සහ ඒ ආශ්‍රිතව විශේෂයෙන් මතස්‍යන්, එයටම ආවේණික ඉස්සන්, වැනි සතුන්ද විවිධ පක්ෂි විශේෂ ගණනාවක්ද වාසය කරන බවයි.
ඒ කෙසේ වුවත් බේරේ වැවේ එයටම ආවෙනික ලක්ෂණ කිහිපයක්ම තියනව. ඒත් අනුරාධපුරයේදී, පොළොන්නරුවේදී හමුවන තිසා වැව, නුවර වැව, පරාක්‍රම සමුද්‍රය වැනි වැව් වගේ නෙමේ. මේ වැව තදම තද කොළ පාටයි. එයට හේතුව ලෙස පරිසරවේදීන් පවසන්නේ මෙම ජලාශය මතු පිට පුරාම මයික්‍රෝසිස්ටීස් නම් රෝගී ඇල්ගී විශේෂයක් පවතින බවයි. මෙම ඇල්ගී කොල පාට නිසා මෙය කොළ පාටට දිස්වන බවයි. ඒත් මේ සුන්දර, අසුන්දර ලක්ෂනත් එක්ක මෙය වඩාත් දූෂිතම පරිසර පද්ධතියක්. මෙම පරිසරය එසේ උනේ ඇයි.. ඉවසගන්න බැරි ගදත් එක්ක මට මතක් උනේ මීට වසරකට පමණ පෙර මගේ ගුරුවරයෙක් කියපු කතාවක්. ඒ බෙරේ වැවේ ඉතිහාසය ගැන.
ඔය වැවේ ඓතිහාසික සාධක වඩාත්ම හමුවන්නේ පෘතුගිසි සමයෙන්. එක් කාලයක වේල්ල වීදිය දක්වා වූ විශාල වපසරියකට, කෘෂිකර්මය සදහා ජලය සපයලා තියනවා. පෘතුගීසි සමය අවසන් උනාම ලන්දේසි සමයේදී මෙය විශාල කාර්යක් කර තිබෙනවා. ඒ තමයි යුද ආරක්ෂක කලාපයක් ලෙස ඔවුන් මෙය යොදාගෙන තිබීම. ඒ වගේම විවිධ ජල ක්‍රිඩා ඇතුලු විනෝදාස්වාදය සපයන පරිසරයක් ලෙසට බ්‍රිතාන්‍යයන් බේරේ වැව භාවිතා කරන ලද බවත්, විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරිම සදහා මෙය භාවිතා කල බවත් කියවෙනවා.
කෙසේ නමුත් 1948 වෙනකොට මෙහි වැදගත්කම කෙමෙන් නැතිවී යමින් පැවතිලා තියනවා. ඒ බෙරේ වැවෙන් මීට පෙර ලබා ගත් කාර්යන් සදහා වෙනත් ස්ථානයන් ආදේශ වෙමින් තිබූ නිසා.
මහත්තයෝ ඔය බේරේ වැවට කොළඹ ටවුමේ ඇලවල් 1000කට අධික කටවල් මගින් ඒක එක ජහජරාව ගලා ගෙන එනවා. ඒ උනාට ඕකෙන් වතුර එළියට යන්නේ ඉතාමත් පොඩ්ඩක්. ඒක නිසා ඕක කවදාවත් පිරිසිදු නෑ. ඒවාට හරි සැලසුම් තාමත් නෑ. මේ කතාව කිව්වේ කොළඹ නගර සභාවේ නම කියන්නට අකමැති වූ මහත්මයෙක්.
ඒ කෙසේ වෙතත් බෙරේ වැවේ ඉඩ ප්‍රමාණය හෙක්ටයාර 67.6ක්.
තාමත් වැවේ හිටිය දිය කාවා උගේ කාර්යය කරමින් ඉන්නවා. මම පාරේ අනික් පසට ගියේ ඒ පැත්තේ ජීවිතේ ගැන අනාවැකි පලකරන නක්ෂත්‍ර කරුවෙක් මේ ගඳ ගහන පාලම ලග දෛවය පිළිබදව මිනිස්සු දැනුවත් කරනවා දැකලා. මම එතනට යනකොටත් තරුණ මහත්මයෙක්ගේ අත අල්ලගන. මේ සියලු දේ මේ මිනිස්සු කරන්නේ මාලිගා හදන්න නෙමේ ජිවත් වෙන්න නේද කියලා මට හිතුනේ තාමත් දැණෙන බේරේ වැවේ ගඳත් එක්ක. මහත්තයා, මහත්තයාට ලොකු කරදරයක් තියනවා.. මිනිහා අත නෙමේ මූණ බලලා මට කිව්වා. මම ඕව ගැන ඒතරම් විශ්වාස නැති නිසා, මම හෙමීට ඔහුගෙන් ඇහුවා.
මට පෝඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?..
කථා කරන්න..
ඔහු පුදුම උනා.
ඔව්. මේ බේරේ වැව ගැන.
මොනවා කථාකරන්නද මහත්තයො. පේනවනේ ගඳ. මුන්ට හෙන ගහන්න ඕන.
කාටද..? මම ඇහුවා.
මේවා කොරන උන්ට.
ඔහුගේ හිතේ තිබුනු වේදනාව ඔහුගේ වචනවලින් විතරක් නෙමේ ඇස් දෙකෙනුත් දිස් උනා.
මේකට දැන් මුහුදු වතුර එන්න අරිනවා නේද. ඒත් ගද ටිකක්වත් අඩු නැද්ද. මම හෙමිට ඔහුගෙන් ඇසුවෙමි.
මොන පිස්සුද මුලු මුහුදම හැරේව්වත් මදි. මුන් මේ මුලු කොළඹම තියන ජහජරාව ඔක්කොම දාන්නේ මේකටනේ. වල් හැත්ත. ඔහු කියාගෙන කියාගෙන ගියා.
මම හිතන්නේ මේ අහිංසක මනුස්සයට මෙතන ගඳ ජීවිතේ වෙලා. ඔහු එයට පුරුදු වෙලා. ගඳට පුරුදු වුනු නහයකට ඒක දැනෙන්නේ එක්තරා සුවඳක් විදිහට. ඒක අනුවර්ථනීය ලක්ෂනයක්.
එනමුත් මෙම බේරේ වැව පිළිසකර කරන ව්‍යාපෘති කිහිපයක් ආරම්භකරා කියලා කියනව.
ලෝක බැංකු ආධාර යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙයවන බේරේ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඉන් ප්‍රධානයි.
මේ යටතේ රු මිලියන 800ක් වියදම් කර බේරේ වැව තාවුල්ලේ නව කසල බැහැර කිරීමේ පද්ධතියක් 2001 ජූනි වෙනකොට සම්පූර්ණ කල බව කියවේ. ඒත් සමගම මුහුදු වතුර යොදා කරන ලද පවිත්‍ර කිරීම් ගනනාවක්ද කල බව කියවේ. ඒත් අතීතයේ සුන්දර වූ මනහර පරිසර පිද්ධතියක් තුලින් මතු වන රමණිය දසුන්, සුවද, වෙනුවට තාමත් සාමාන්‍ය නහයක් තිබෙන මිනිසුන්ට දැනේන්නේ ඇඟ කිලිපොලා යන දුර්ගන්ධයත්, ජලයේ ඇති අන්ත අපිරිසිදුභාවයත් පමණි.
වැඩක් නෑ මහත්තයා. ලොකු එවුන්ට මේවා දැනේන්නට නම් සැප වාහනවල ඒසි පොම්පෙ කුඩු කරන්න ඕන. සාස්තර කියන මනුස්සයා කෝපයෙන් පැවසීය. ඔහුගේ පැත්තෙන් ඒ කථාව සම්පූර්ණ ඇත්ත. නමුත් වැරුද්දකට තියෙන්නේ ද්වේශය විතරයි. ඒ මට හිතුන හැටි.
ඒ වෙනකොට කොළඹ අහසේ ඉර මහමුදේ ගිලෙමින් අමුතුම සුන්දරත්වයක් නගරයට එක්කරමින් තිබුණා. හරියට ඒ බෙරේ වැවේ අසුන්දරත්වය මකන්න වගේ. ඒත් හිරුට පුලුවන් ද ඒ දේ කරන්න.
සම්පත් බණ්ඩාර සමරකෝන්