Colombo, Democracy, Features, Governance, Politics and Governance

රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම

[Photo Credit: www.lankastandard.com]
[Photo Credit: www.lankastandard.com]

පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල්
තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ නමින් නිකුත් විය.
පාර්ලිමේන්තුව උත්තරීතර බවටත්, පාර්ලිමේන්තුවේ කිසි කටයුත්තකට ඇඟිලි ගැසීමට අධිකරණයට බලයක් නැති බවටත් මේ දක්වා පාරම්බාමින් සිටි රනිල් වික‍්‍රමසිංහ දැන් මේ කියන කතාවේ තේරුම කුමක් දැ යි වටහාගත නොහැකිව මම හතරවටේ දන්නා කියන අයට කතා කෙළෙමි. දේශපාලනය ගැන දැනුම් තේරුම් ඇති අයගෙන් මෙන්ම නීති විශාරදයන්ගෙන් ද විමසුවෙමි. ඒ කිසිවෙකු මේ කියන කතාවේ අගක් මුලක් ගැටගසා ගැනීමට පුලූවන් තත්ත්වයක සිටියේ නැත.

අධිකරණ තීන්දුව පෘථග්ජන පාඨකයන් සඳහා ඉතා සරළව ගත්තොත් මෙසේය: ඉහළ අධිකරණයේ විනිසුරුවරයෙකුට එරෙහිව පාර්ලිමේන්ත්තු
ස්ථ්ථාවර නියෝග්ග යටතේ පරීක්ෂණ පැවැත්විය නොහැක. එය කළ හැක්කේ, නීතිය මගින් පමණි. ස්ථ්ථාවර නියෝගයක් යනු නීතියක් නොවේ. ඒ නිසා, එවැනි ස්ථාවර නියෝගයක් (78 ඒ) හරහා පිහිටුවනු ලැබ කටයුතු කළ මේ කියන පාර්ලිමේන්තු කාරක සභාවේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී ය. නීති විරෝධී ය.

දැන්, මේ තීන්දුව දුන්නේ අධිකරණයෙනි. එම තීන්දුවේ විෂයපථය වුණේ, පාර්ලිමේන්තුවේ ක‍්‍රියාවලියකි. ඒ ගැන අධිකරණය ඉදිරියේ ඇති නඩුවකට සහාය වීම සඳහා තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය හැකි බවට අධිකරණයෙන් නොතීසි නිකුත් කළ විට, ඊට ප‍්‍රතිචාර දැක්විය යුතු නැති බව, කතානායකවරයා සමග එකඟ වෙමින්, මේ විපක්ෂ නායකයා එදා පෙන්වා දුනි. එපමණක් නොව, දෙවැනි අවස්ථාවේ දී පවා, එනම් පසුගිය 7 වැනි දා, අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටීමත් තම පක්ෂ සාමාජිකයන්ට ඔහු තහනම් කෙළේය. තේරීම් කාරක සභාව නියෝජනය කළ පක්ෂ සාමාජිකයන් දෙදෙනාට පමණක් නොව, ඊට සම්බන්ධයක් නැති සෙසු පක්ෂ සාමාජිකයන්ටත් එදා උසාවි යාම ඔහු තහනම් කළේය. එහි අදහස වන්නේ, මේ රටේ වෙනත් ඕනෑම පුරවැසියෙකුට නඩුවක් දැක බලා ගැනීමට උසාවියකට යාමේ සාමාන්‍ය අයිතිය පවා තම පක්ෂයේ සාමාජිකයන්ට තහනම් කිරීමට තරම් මේ නායකයා දුරදිග ගිය ඒකාධිපතියෙකු වූ බවයි. ඒ අනුව, නීතිඥයෙකු වන දයාසිරි ජයසේකර වැන්නෙකු පවා එදා උසාවියට යාම, මේ ඊනියා නායකයාගේ ‘තර්ක බුද්ධියට’ අනුව, විනය විරෝධී වැඩකි/
ඒ සියල්ල ඔහු කෙළේ ඇයි? ‘‘උත්තරීතර’’ යැයි සැළකුණු පාර්ලිමේන්තුවේ කටයුත්තකට අධිකරණය ‘‘ඇඟිලි ගැසීම’’ ව්‍යවස්ථා විරෝධී යැයි ඔහු විශ්වාස කළ බැවිනි. ඉතිං දැන්, එම ‘‘ඇඟිලි ගැසීම’’ හරහා ප‍්‍රකාශයට පත්කොට ඇති අධිකරණ තීන්දුව, තමන්ගේ ස්ථාවරය සනාථ කරන්නක් යැයි මොහු කියන්නේ කොයි කටෙන් ද?

ඉස්සර අපේ වැඩිහිටියන් කතාවට කී දෙයක් තිබුණි. එනම්, ‘අන්දකයිප්පු කාලා’ යන්නයි. එහි අදහස, ‘දෙයියන්ගේ හාල් කැවිලා’ හෝ ‘මොලේ කචල්’ වැනි අදහසකි. අධිකරණ තීන්දුව සහ ඒ සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ දැන් කරන ප‍්‍රකාශය එකට ගත් විට එයින් සනාථ වන යමක් ඇත්නම්, ඒ එක දෙයක්ම පමණි: එනම්, රනිල් වික‍්‍රමසිංහ මේ සිද්ධියේ දී අන්දකයිප්පු කෑ දේශපාලඥයෙකු වශයෙන් තවමත් හැසිරෙන බවයි. රනිල්ගේ පරස්පරය තේරුම් ගැනීමට ගත හැකි එක් උදාහරණයක් වන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයයි. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අධිකරණයේ කාර්ය භාරය ගැන රනිල් වික‍්‍රමසිංහගේ අදහසම දැරූ ආණ්ඩු පක්ෂය, ඒ තර්කය මතම පදනම් වෙමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීන්දුව අදත් ප‍්‍රතික්ෂේප කරමින් සිටී. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණයට බලයක් නැතැ යි කියන්නේ නම්, ඒ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් එකී අධිකරණය දෙන තීන්දුවක් වලංගු නැතැ යි කීමත්, එය ප‍්‍රතික්ෂේප කිරීමත්, ඔවුන් මුල සිටම ගත් ස්ථාවරය අනුව, එය මොන තරම් වැරදි ස්ථාවරයක් වුවත්, අත්‍යන්තයෙන් තාර්කික ය.

ගලේ පහරන බළලූන්ට වෙන දේ අප අසා ඇත. අද පුවත්පත් වාර්තා කරන රනිල් වික‍්‍රමසිංහගේ තවත් ප‍්‍රකාශයක් ඊට දෙස්දෙයි. ඒ මෙසේය:
‘‘උසාවියට යායුතු බවට වගකීමකින් අප බැඳී නැත. එවැනි බැඳීමක් නැත්නම්, උසාවිය වර්ජනය කිරීමක අවශ්‍යතාවක් ද පැනනොනගී. උසාවියට ස්වේච්ඡාවෙන් ගිය අය ගැන ප‍්‍රශ්නයක් අපට නැත. කිසිවෙකුට එහි නොයන්නැ යි මා තහනම් කොට නැත. උසාවියට යන්නට අපට හේතුවක් නොතිබුණා පමණි. අපේ ඒ තීරණය, ඔබතුමාගේ තීන්දුවට (එනම් කතානායකවරයාගේ තීන්දුවට) අනුකුලව ගත් ස්ථාවරයකි.’’

රනිල් වික‍්‍රමසිංහ මෙසේ කියන්නේ, උසාවිය වර්ජනය කිරීමක් ගැන ඉංග‍්‍රීසි පුවත්පත් මගින් පාර්ලිමේන්තු හෑල්ලූවට ලක්කරන බවට
කතානායකවරයාට පැමිණිලි කරමිනි.

මුලින්ම, ඉහත සඳහන් ප‍්‍රකාශය තුළ ඇති ගල් පැලෙන සිල්ලර බොරුව ගැන සළකා බලමු. උසාවි නොයන ලෙස ඔහු කාටවත් තහනම් කොට
නැත්නම්, රවි කරුණානායක සහ සජිත් පේ‍්‍රමදාස එසේ යන්න දැ යි පක්ෂ ලේකම්වරයාගෙන් ඇසූ විට නායකයාගෙන් ඊට අවසර නැතැ යි පක්ෂ
ලේකම්වරයා කීවේ ඇයි? ඒ අනුව ඔවුන් උසාවි ආවේ නැත. ඊළඟට, උසාවි ගිය අයවළුන් (එරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැන්නන්) පක්ෂ
ලේකම්වරයාගෙන් සමාව ගතයුතු බව කීවේ ඇයි? මේ සියල්ල, ඉංග‍්‍රීසි පත්තරකාරයන්ගේ බේගල් ද?

ඊළඟට, ඔහුගේ ප‍්‍රකාශය තුළ ඇති ව්‍යවස්ථාමය/නීතිමය පටලැවිල්ලට යමු. ඇත්ත, උසාවි යාමට නීතිමය බැඳීමක් මේ කියන කිසිවෙකුට තිබුණේ
නැත. මන්ද යත්, තේරීම් කාරක සභා සාමාජිකයන් වෙත අධිකරණය නිකුත් කළ නොතීසිවලින් කියැවුණේ, අදාළ කාරණය සම්බන්ධයෙන් තමන්ට කීමට යමක් ඇත්නම් ඒ ගැන අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙසයි. එසේ කීමට යමක් නැත්නම් නොගොස් සිටියාට කම් නැත. එය වරෙන්තුවක් හෝ සිතාසියක් නොවුණි. නොතීසියක් පමණි. එහෙත්, පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කළ ඉතිරි විරුද්ධ පක්ෂ සාමාජිකයන් දෙන්නාට උසාවිය ඉදිරියේ ‘‘කීමට යමක්’’ තිබුණු බව අපි දනිමු. ඒ අනුව, ආර්. සම්බන්ධන් සහ විජිත හේරත් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුණි. හොඳයි, ඔවුන්ට කියන්නට කරුණු තිබුණාට තමන්ට කිසිවක්ම කීමට නොතිබුණු බවක් රනිල් වික‍්‍රමසිංහ කියන්නේ නම්, අපි එයත් පිළිගමු. එහෙත්, උසාවි යාමට ‘‘තමන් වගකීමකින් බැඳී නැතැ’’ යි කීමෙන් මුල සිටම රනිල් වික‍්‍රමසිංහ අදහස් කෙළේ කුමක් ද? ඔහු විශ්වාස කරන පාර්ලිමේන්තුවේ ‘උත්තරීතර’ භාවය යි. එවැනි උත්තරීතර ආයතනයක් වෙනුවෙන් වගඋත්තර ඇසීමට බලයක් මේ පරසක්වල වෙසෙන කිසි ජගතෙකුට හෝ ආයතනයකට නැති බව මිස ඔහුගේ ස්ථාවරයේ අරුත වෙන කුමක් විණි ද?

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ මීට අදාළ නිර්වචනය මෙසේය:

(1) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107(3) වගන්තිය ප‍්‍රකාරව ඉහළ විනිසුරුවරයෙකු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේ අධිකාරිය පාර්ලිමේන්තු විසින්
පිහිටුවිය යුත්තේ නීතියකිනි.(ස්ථාවර නියෝගයකින් නොවේ)

(2) විනිසුරුවරයාගේ/වරියගේ විෂමාචාරය හෝ අබලතාව පිළිබඳ චෝදනා විභාග කර බැලීමේ අධිකාරිය තේරීම සහ එහි සංයුතියත්, පරීක්ෂණ
පැවැත්විය යුතු ආකාරයත්(ක‍්‍රියා පරිපාටිය) පාර්ලිමේන්තුව මගින් තීරණය කළ යුත්තේ, එක කරුණක් ඥානාන්විතව සිතේ තබා ගනිමිනි. එනම්,
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ‘‘නීතියේ සමාන ආරක්ෂාව සහතික කෙරෙන පරිදි’’ ය.

දැන් රනිල් වික‍්‍රමසිංහ එල්ලෙන්නේ, ඉහත සඳහන් ‘‘පාර්ලිමේන්තුවේ බලය’’ ගැන සඳහන් කෑලිවල ය. ඔහු මුල සිටම කීවා යැයි කියන්නේ එයයි. තමා ඉවත් කිරීම සඳහා යෝජනා කිරීමට සහ ඒ අනුව කටයුතු කිරීමට බලයක් පාර්ලිමේන්තුවට නැතැ යි ශිරානි බණ්ඩාරනායකවත් කීවේ නැත.

අභියාචනාධිකරණයේ ඇය පැවරූ නඩුව තුළ මේ දෝෂාභියෝගයට අත්සන් කළ 117 දෙනා වගඋත්තරකරුවන් වශයෙන් ඇය නම් නොකෙළේ
එබැවිනි. රනිල් වික‍්‍රමසිංහ උසාවිය වර්ජනය කළා සේ ඇය තේරීම් කාරක සභාව වර්ජනය නොකෙළේ ද එබැවිනි. එහෙත්, යෝජනා කිරීම සහ ඒ
අනුව කටයුතු කිරීමට එකී පාර්ලිමේන්තුවට ඇති බලය, ව්‍යවස්ථාමය වශයෙන් සහ පරිපාටිමය වශයෙන් ‘‘නීතියේ සමාන ආරක්ෂාව සහතික වෙන පරිදි’’ සිදුවන්නේ ද යන්න විභාග කර බැලීමයි, අධිකරණයෙන් කෙළේ. රනිල් වික‍්‍රමසිංහ ‘‘උත්තරීතරත්වයක්’’ ගැන එක දිගටම පාරම්බාමින් වර්ජනය කළේ එම අධිකරණයයි.

දැන් ඉදිරිය කුමක් ද? මේ කියන ‘‘නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව සහතික නොකෙරුණු’’ ක‍්‍රියාවලිය, හෙවත් නීතියෙන් පිටස්තර, ඒ නිසාම, ව්‍යවස්ථා විරෝධී ස්ථාවර නියෝගයකින් ආරම්භ කෙරුණු මේ ක‍්‍රියාවලිය, ඉදිරියට ගෙන යාම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වන බව අධිකරණය තීන්දු කොට තිබේ. ඊයේ(8) කතානායකවරයා වෙත ලියා දන්වමින් රනිල් වික‍්‍රමසිංහ ඇතුලූ විරුද්ධ පක්ෂ තුනක නායකයෝ මෙසේ කියති.
‘‘(අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ) යෝජනාව ඉදිරියට ගෙන යාම බරපතල ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද, නීතියේ ආධිතප්‍යය බිඳ දැමීමක් ද වන්නේය’’. එසේ තිබිය දී, අද (9) දැන ගැනීමට ඇති පරිදි, හෙට සහ අනිද්දා මේ පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්සත් ජාතික පක්ෂය සහභාගී වුණොත්, ඔවුන් කරන්නේ, (ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළත්), ඔවුන්ම පිළිගන්නා පරිදි, ආණ්ඩුව පමණක් නොව ඔවුන් ද රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමත්, නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමත් ය.

Gamine Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda