Colombo, Democracy, Features, Governance, Politics and Governance

ඒකාධිපතිත්වයට එදිරිව ‘කලු සිකුරාදාවෙන්’ ඔබ්බට…

IMG_0557
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය අත්තනෝමතිකව සම්මත කරමින් විය යුතු පරිද්දෙන් ම ආණ්ඩුව, ස්වකීය ඒකාධිපති බලයේ තරම මෙතරම් යැයි ජනතාවට පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ‘ඔඵ ගෙඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නූගත් හා නො දියුණු දේශපාලන භාවිතය මෙසේ යැයි විලිලජ්ජාවක් නැතිව ආණ්ඩුව දැන් ඉතා හොදින් ක‍්‍රියාවෙන් ම ඔප්පු කොට පෙන්වා දී තිබේ.

‘ඒකීට වැඬේ දුන්නා ! දෙන එක දුන්නා ආයේ කම්බස් වෙන්න ම !!!’

‘නෝනා ටිකක් ඉදිමෙන්න ආවා. උද්ධච්චකමට ඔහොම වෙලා මදි. නැත්තට ම නැති කරලා දාන්න ඕන !’

‘උන් හිතුවේ ජාත්‍යන්තර ප‍්‍රජාවයි අරකයි-මේකයි කියලා අපි වැඩෙන් ෂේප් වෙයි කියලා. බම්බුව !’

‘මේක හැම එකාම දැන ගන්න ඕන, අපිත් එක්ක හැප්පෙන්න එන හැම එකාට ම සිද්ධ වෙන්නේ මේ දේ තමා කියලා ! ’

‘උන් හැම එකා ම මේක පාඩමක් විදිහට ගන්න ඕන !!!’

රාජපක්ෂලාගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් ඇතුඵ සියලූ ම බත්බැලයෝ ද පාදාන්ත ලෙව කන්නෝ ද දැන් මෙසේ මතුර මතුරා සිටිති. ඔවුන්ගේ මෙකී ග‍්‍රාම්‍ය මැතිරිල්ලට කිසියම් විද්වත්භාවයක් හා ආකර්ෂණයක් ලබා දෙමින් එය සාධාරණීයකරණය කිරීමට සියලූ ම මාධ්‍ය හරහා දැන් තවදුරටත් උත්සහ ගනිමින් සිටී. දෝෂාභියෝගය කෙටුම්පත් කිරීමේ සිට එය සම්මත කර ගැනීම දක්වා ම තමන්ගේ ක‍්‍රියාවලියේ යුක්තියුක්තභාවය සහ එහි අත්‍යවශ්‍යතාව ප‍්‍රචාරය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ගේ තදබල බත්බැල ‘නීති විශාරදයන්’ මෙන්ම ඊයේ පෙරේදා බත්බැලභාවය ලබා ගත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වැනි දේශපාලන කෛරාටිකයෝ ද යොදවා ගනු ලැබූහ. තවදුරටත් යොදවනු ලැබෙත්.

ආණ්ඩුවකට බත්බැල හා අවස්ථාවාදී කෛරාටික පංතියක් සිටීම අනපේක්ෂිත කාරණයක් නො වේ. එහෙත් මෙතැන ඇති අභියෝගය වන්නේ රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලනය සර්ව සාධරණත්වයට පත් කරනු වස් ඔවුන්ගේ බත්බැල කෛරාටික පංතිය විසින් වපරනු ලබමින් සිටින මිථ්‍යා ප‍්‍රචාරයේ වපසරිය අවම තත්ත්වයකට පත් කර ගැනීම ය. එනම් රෙජීමයේ මිත්‍යාව ජනතාව හමුවේ වහා වහා හෙළි කර සිටීම ය. එසේ හෙළි කොට සත්‍ය වශයෙන් ම පෙනෙන්නට තිබෙන රෙජීමයේ ඒකාධිපතිත්වයට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු ය. මෙම අවස්ථාවේදී රාජපක්ෂ රෙජීමයේ ප‍්‍රචාරක යන්ත‍්‍රය එකවර මුඵමනින් ම අභියෝගයට ලක් කළ නො හැකි බව සත්‍යයක් විය හැකි නමුත් එය කළ නො හැකි දෙයකැයි සිතා කිසිත් නො කොට සිටීම තරම් අඥානකමක් තවත් නැත.

උසාවි කටයුතු සම්පූර්ණයෙන් ම වර්ජනය කරමින් රෙජීමයේ අත්තනෝමතික දෝෂාභියෝගයට එරෙහිව රටපුරා ම දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ජනවාරි 10 හා 11 වැනි දිනවල සංවිධානය කිරීමට මෙරටේ නීතිඥ ප‍්‍රජාවට හැකි වීම නිසා යම් තරමකට හෝ රාජපක්ෂ රෙජීමයේ බලපුඵවන්කාරයන් තිගැස්මකට ලක් වී ඇත.

පාර්ලිමේන්තුව තුළ ‘ඔලු ගෙඩි’ වැඩි ප‍්‍රමාණයක් රෙජීමයට හිමිව තිබීම හේතු කොට ගෙන නීතිඥ ප‍්‍රජාවගේ සංවිධානාත්මක විරෝධතාවට රෙජීමයේ දෝෂාභියෝගය හකුලා දැමීමට නො හැකි විණි. එහෙත් ඒකාධිපති රෙජීමයට එරෙහිව මෙයාකාරයට නීතිඥ ප‍්‍රජාව තුළින් ම සාමූහික එකමුතුවක් ගොඩනැගීම සුවිශේෂී කරුණක් වන්නේ ය. මෙහිදී කැපී පෙනුණු තවත් කරුණක් වූයේ රාජපක්ෂ රෙජීමයට පක්ෂපාතී එනම් දෝෂාභියෝගයට පක්ෂපාතී නීතිඥ සුඵ නඩයක් හෝ මෙවර වීදි බැස නො තිබීම ය. රූපවාහිනි ප‍්‍රවෘත්තිවලට එහෙන් මෙහෙන් ‘වොයිස් කට්’ දීමට පෙනී සිටි නීතිඥ කිහිප දෙනා හැරුණු කොට අඩුම ගණනේ විසිපහක නීතිඥ කණ්ඩායමක් හෝ වීදි බැස්ස වීමට රාජපක්ෂ රෙජීමයට බැරි විය. ඒ වෙනුවට රෙජීමය කළේ පළාත් පාලන ආයතනවල තම පක්ෂයේ ‘චණ්ඩි’ මන්ත‍්‍රීන් හා මැරවරයන් ද අමාත්‍යංශවල සිටිනා තම හෙංචයන් ද එකතු කොට වීදි බැස්ස වීම ය. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩුවේ බස් යොදවා පාර්ලිමේන්තු වටරවුමට මිනිසුන් ඇද්ද වීමට කටයුතු යොදවනු ලැබුවත් එය අපේක්ෂා කළ අයුරින් සාර්ථකත්වයට පත් වී තිබුණේ නැත. එමෙන්ම ගෝල්ඩන් කී නඩුවට සම්බන්ධ පිරිසක් අගවිනිසුරුවරියගේ නිල නිවස ඉදිරිපිට පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ ජනවාරි 10 හා 11 දිනවල ස්ථාන ගත කිරීමට තරම් රෙජීමය බංකොලොත්භාවයට පත් වී තිබිණි.

අවසානයේදී සිදු වූයේ රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වූ දෙයම විය. එනම් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය එම තනතුරෙන් පහ කිරීමේ දෝෂාභියෝගය පාර්ලිමේන්තු බහුතර ඔඵ ගෙඩි ගණනින් කෙසේ හෝ සම්මත කරවා ගැනීම ය. එහෙත් රෙජීමය අපේක්ෂා නො කළ දෙයක් දැන් සිදු වෙමින් පවතී. එයනම් නීතිඥ ප‍්‍රජාව සමග සැලැකිව යුතු මට්ටමකින් පොදු ජනතාව ද රෙජීමයට එරෙහිව වීදි බැසීමට එක්වීම ය. අත්‍යවශ්‍ය සාධකය වූයේ ද එයයි. රෙජීමය යම් තරමකට හෝ බිරන්ත වී ඇත්තේ එබැවිනි. නීතිඥ ප‍්‍රජාවටත් දෝෂාභියෝගයට එරෙහිව සක‍්‍රීයව කටයුතු කරන සමාජ බලවේගයන්ටත් දැවැන්ත ‘මඩ’ ප‍්‍රචාර ස්වකීය මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට රෙජීමය දැන් ලහි ලහියේ කටයුතු කරමින් සිටින්නේ එනිසාවෙන් බව ද පැහැදිලි ය.

ජනතා විරෝධී මර්දනකාරී ඒකාධිපති පාලනයක් පෙරළා දැමීමේ ගාමක බලය ගොනු වී ඇත්තේ පොදු ජනතාව තුළ ම ය. මේ සරළ දේශපාලන සත්‍ය නො සලකා හැරිය නො හැකි ය. එබැවින් රාජපක්ෂ රෙජීමය අධිකරණයට සිදු කරමින් පවතින බලහාත්කාර අත පෙවීමට විරුද්ධව ප‍්‍රබලව නැගී සිටීමට නීතිඥ ප‍්‍රජාවට පමණක් හුදෙකලාව සිදු කළ හැකි යැයි සිතන්නේ නම් එය මුලාවෙකි.

මෙහිදී විමැසිය යුත්තේ නීතිඥ ප‍්‍රජාවගේ සටනට පොදු ජනතාවගේ සක‍්‍රීය දායකත්වය ලබා ගත හැක්කේ කෙසේද යන්න ය. රාජපක්ෂ රෙජීමයේ මෙකී අධිකරණ ආක‍්‍රමණය සමස්ත පොදු ජනතාවට ම කොතරම් දුරට ප‍්‍රශ්නයක් වී ඇද්ද ? ‘අධිකරණයේ ස්වාධීනත්වය’ පිළිබදව ජනතාව සිතන්නේ කෙසේ ද? එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමෙන් සමස්ත ජනතාවට ලැබෙන දේ කුමක් ද? අත්තනෝමතික ඒකාධිපති පාලනයක් රට තුළ ක‍්‍රියාත්මක වන විට ඊට එරෙහිව ජනතාව නැගී සිටිය හැක්කේ කෙසේ ද? යනාදී ප‍්‍රායෝගික ප‍්‍රශ්න ගණනාවක් ම මෙහිදී අප හමුවේ ඉදිරිපත් වීම වැළැක්විය නො හැකි ය.

අන් කාරණා මෙන්ම අධිකරණය අද මුහුණ දී ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් ද නීතිඥ ප‍්‍රජාවේ බහුතරය හා බහුතර වැඩකරන ජනතාව ද දේශපාලනික වශයෙන් අවබෝධයේ දිළිදුභාවයක් ප‍්‍රදර්ශනය කරන බව පැවැසීම වරදක් නො වේ. එසේ අවබෝධයේ දිළිදුභාවයක් අත්පත් කර ගෙන සිටීම පිළිකෙව් සහගත කටයුත්තක් ද නො වේ. එබැවින් මෙකී අවබෝධයේ දිළිදුභාවය තුරන් කිරීම උදෙසා කෙටි කාලීන හා දිගු කාලීන ප‍්‍රායෝගික ක‍්‍රියා මාර්ග දියත් කළ යුතු ය. අවබෝධයේ දිළිදුභාවය තුරන් කළ හැක්කේ ‘අවබෝධය’ ලබා දීමෙනි. මෙහිදී කෙටි කාලීන ක‍්‍රියා මාර්ගයක් වශයෙන් නගරය පමණක් කේන්ද්‍ර නො කොට ගෙන හැකිතාක් දුරට සෑම ග‍්‍රාම නිලධාරීවසමක් ම ආවරණය වන පරිදි ජනතාවගේ අයිතීන් හා නිදහස පිළිබදව සහ රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති අත්තනෝමතික පාලනය පිළිබදව ද විවෘත සම්මන්ත‍්‍රණ හා සංවාද පැවැත් විය යුතු ය. එමෙන්ම නිවැරැදි දේශපාලන සවිඥානයකින් යුක්ත පුරවැසි සමාජයක් බිහි කර ගැනීම උදෙසා අධ්‍යාපනයක් ලබා දීම හා ඔවුන් දේශපාලනිකව සංවිධානය කිරීමේ දිගු කාලීන ක‍්‍රියා මාර්ගයක් වෙත ප‍්‍රවේශ වීම ද මෙහිදී අතිශයෙන් වැදගත් වේ.

කැමැති වුවත් නැතත් අප ජීවත් වෙමින් සිටින්නේ විකෘති ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනික ආර්ථික සමාජ ක‍්‍රමයක් තුළ ය. මෙම විකෘති ක‍්‍රමය තුළ ම පුරවැසියාට යෝජනා කර සිටින අවම නිදහස හා යුක්තිය ලබා ගැනීමට සහ එය ආරක්ෂා කර ගැනීමට නම් අඩුම වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය හෝ හැකිතාක් දුරට ස්ථාපිතව තිබිය යුතු ය. ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) විසින් පනවනු ලබන විධායකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන නීති විවරණය කිරීමේ පරම බලය හිමි අධිකරණය, ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ හෝ පූර්ණ අතකොඵවක් ලෙස ක‍්‍රියාත්මක වන්නේ නම් එයින් ඇති වෙන ප‍්‍රතිඵලය ඉතා භයානක ය. අත්තනෝමතික ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට එදිරිව අඩුම ගණනේ ජනතාවගේ ජීවත්වීමේ නිදහස හෝ අවම වශයෙන් තහවුරු කර ගත හැකි වනුයේ අධිකරණයේ ස්වාධීනත්වය යම්කිසි තරමකට හෝ ආරක්ෂා වී පැවැතියහොත් පමණී.

අපේ අධිකරණ පද්ධතිය මුඵමනින් ම ස්වාධීනව කටයුතු කළේ යැයි කිසිවිටෙකත් සදහන් කළ නො හැකි ය. විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ ඒ ඒ අවශ්‍යතා මත කටයුතු කිරීමට අධිකරණය ද නො පැකිළිව ඉදිරිපත් වූ අවස්ථා එමට ය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා තරම් මෙරට අධිකරණ පද්ධතිය ම දේශපාලනිකව හා වාර්ගික ආගම් මූලවාදයෙන් කෙලසූ අගවිනිසුරුවරයකු අධිකරණ ඉතිහාසයෙන් සොයා ගත නො හැකි ය. (එදා තම අශික්කිත පාදඩකම් වසා ගනු පිණිස වෘත්තියේ ගරුත්වය බිල්ලට දෙමින් විධායකය සමග ප‍්‍රසිද්ධියේ ම මෛථුන්‍ය සේවනයේ යෙදුණු සරත් නන්ද සිල්වා දැන් රාජපක්ෂ රෙජීමය සමග එකතු වී අධිකරණය ‘රාජපක්ෂකරණය’ කිරීමේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන න්‍යායචාර්යකු ලෙස ඉදිරිපත්ව සිටී.)

එමෙන්ම නීතිඥ ප‍්‍රජාව තමන් කෙරෙහිම ස්වයං විවේචනයක යෙදිය යුතු ය. නීතිඥ ප‍්‍රජාවේ බහුතරය විසින් සැමවිට ම සාමාන්‍ය ජනතාව සමග සම්බන්ධතා පවත්වනු ලබන්නේ හුදෙක් තම ආදායමේ කොටසක් ලෙසට ය. එනම් මානුෂික හැගීමකින් තොරව හුදෙක් ’උසාවි ගනුදෙනුකරුවන්’ ලෙසට පමණී. නීතිඥ ප‍්‍රජාව වටා පුඵල් ජනතා ව්‍යාපාරයක් ක්ෂණයෙන් නිර්මාණය නො වන්නේ ද මෙකී සබදතාවේ පලූද්ද නිසාවෙනි. මේ වරද නිවැරැදි කර ගැනීමට දැන්වත් ඉදිරිපත් විය යුතු ය.

කෙසේවෙතත් වත්මන් අර්බුදය නිර්මාණය වී ඇත්තේ හුදෙක් අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායකගේ පෞද්ගලිකත්වය කේන්ද්‍ර කොට ගෙන නොව සමස්ත අධිකරණ පද්ධතිය ම කේන්ද්‍ර කොට ගෙන බව මේ මොහොතේදී අප පැහැදිලිව ම අවබෝධ කර ගත යුතු ය. රාජපක්ෂ රෙජීමයේ දෝෂාභියෝගයට එරෙහිව නීතිඥ ප‍්‍රජාව අරඹා ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට නිවැරැදි උපක‍්‍රමික සටන් පාඨ තිබිය යුත්තේ එනිසාවෙනි. මෙම විරෝධතා ව්‍යාපාරය පුඵල් ජනතා අරගලයක් දක්වා ව්‍යාප්ත කළ හැක්කේ එවිටදී ය.

නීතිඥ ප‍්‍රජාවගේ දෙදින අධිකරණ වර්ජනය සාර්ථක වූ අතර ම ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරයට එක් වූ ජනතා සහභාගිත්වය ද සංඛ්‍යාත්මකව ඉහළ මට්ටමක පවතී. සංඛ්‍යාත්මකව ජනතා සහභාගිත්වය ඉහළ අගයක් ගැනීම සටනට අවශ්‍ය කරන ජීව ගුණය තීව‍්‍ර කරනු ඇත. එහෙත් එකී ජනතා සහභාගිත්වය පවත්වා ගැනීම හා එය තවදුරටත් වර්ධනය කිරීමට නම් සමස්ත නීතිඥ ප‍්‍රජාව ඇතුඵ සියලූ දෙනා ම මතවාදී වශයෙන් පෝෂණය වී තිබිය යුතු ය. මේ සදහා නායකත්වය ගන්නේ කවුරුන් ද යන්න ප‍්‍රශ්නයෙකි. රාජපක්ෂ රෙජීමය මෙන්ම තම පාලන කාලය තුළ අධිකරණය දේශපාලන හස්තයක් කරමින් ද ජනතා මර්දනය උදෙසා වෙඩි උණ්ඩයේ සිට සියලූ ම රාජ්‍ය බලය යොදවමින් ද දේශපාලන පළපුරුද්දක් ඇති එක්සත් ජාතික පක්ෂයට මෙහිදී නායකත්වය ලබා නො දීමට සියලූ ම දෙනා වගබලා ගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය සියලූ දේ කරන්නේ තමන්ට ආණ්ඩු බලය ලබා ගැනීමේ අවශ්‍යතාව මත මිස සැබෑ ප‍්‍රගතිශීලි අරමුණකින් නො වන බව අමුතුවෙන් කිව යුතු නැත. පවත්නා තත්ත්වය තුළ නායකත්වය සදහා යෝජනා කළ යුත්තේ කවර පාර්ශ්වය ද යන්න පැහැදිලි නැති වුවත් වැඩකරන ජනතාව කේන්ද්‍ර කොට ගත් ප‍්‍රගතිශීලි දේශපාලන භාවිතයක් පෙන්නුම් කළ හැකි පුඵල් කණ්ඩායමක් විසින් මෙම සටන මෙහෙයවනු ලැබීමේ අවශ්‍යතාව මේ වන විට තදින් ම දැනී තිබේ.

නීතිඥ ප‍්‍රජාව සහ වැඩකරන ජනතාවගේ නායකත්වයෙන් සැදුම් විය යුතු එකී පුඵල් ව්‍යාපාරය විසින් වත්මන් අධිකරණ අර්බුදය ඉදිරියේ ගනු ලබන ක‍්‍රියා මාර්ග වඩාත් පුඵල් වූත් දේශපාලනිකව සවිඥානක වූත් සංවිධානගත වූත් එකක් වීම අනිවාර්යය කරුණෙකි. අරමුණ පුඵල් ලෙස ජනතාව අතර ප‍්‍රචලිත කිරීමටත් හැකිතරම් දුරට අවබෝධ කරවීමටත් කටයුතු කළ යුතු ය. අගවිනිසුරුවරිය පන්නා දැමීම සදහා වූ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ අවශ්‍යතාව පරාජය කරන තුරු සියලූ ම අධිකරණ කටයුතුවලින් අඛණ්ඩව වැළැකී සිටීමට විනිසුරන් හා නීතිඥයන් ඇතුඵ සමස්ත නීති ප‍්‍රජාවට ම බල කර සිටිය යුතු ය.(එහිදී අධිකරණය වර්ජනය කළ යුත්තේ අදාළ සේවාදායකයන්ගෙන් ගාස්තු අය නො කර සිටීමේ අනිවාර්ය කොන්දේසිය ද සහිතව ය.)

මෙම දැවැන්ත ජනතා අරගලයට එරෙහිව ඒකාධිපති රාජපක්ෂ රෙජීමය භාවිත කරන ප‍්‍රධානතම තුරුම්පුව වන්නේ මෙය විදේශීය කුමන්ත‍්‍රණයක් බවත් ‘කොටින්ගේ’ අතකොඵ එය පිටුපස සිටින බවත් ය. මන්දයත් ආණ්ඩුව විසින් විකෘති ලෙස ‘නන්දිකඩාල් කලපු සටනේ’ ජාත්‍යාල ආශ්වාදය පුනරුච්ඡාරණය කරනු ලබන විට විචාරයකින් තොරව ආණ්ඩුවේ එකී යුද ප‍්‍රචාරකවාදයකට ‘අත්පොළසන්’ දෙන කොටසක් තවමත් මේ සමාජයේ ජීවත් වන නිසාවෙනි. එබැවින් ආණ්ඩුවේ වර්ගවාදී යුද ප‍්‍රචාරයට ඔරොත්තු දෙන නිවැරැදි උපක‍්‍රමිකයන් ද මේ අවස්ථාවේදී භාවිත කළ යුතු ය.

ඕනෑම ඒකාධිපතියකුට ස්වකීය අත්තනෝමතික මර්දනකාරී මිනීමරු ඒකාධිපති පාලනය ගෙන යා හැක්කේ කිසියම් කාල පරිච්ෙඡ්දයකට පමණී. එකී කාලය අවුරුද්දක් ද අවුරුදු පහක් ද නැතිනම් අවුරුදු 10-20 ක් ද යන්න තීරණය කරනු ලබන්නේ ජනතාව විසිනි. ඒකාධිපති පාලකයා දිගින් දිගට ම පාලනයේ සිටින විට ඔහුගේ බලයට අභියෝග කිරීමේ හැකියාව ද ජනතාව අතරෙන් ක‍්‍රමයෙන් දියාරු වන බවත් එවිට ප‍්‍රබල ජන අරගලයක් ගොඩනැගීමට විශාල කැප කිරීම් දැරීමට ජනතාවට සිදු වන බවත් මෙහිදී මතක තබා ගත යුතු ය.

පාර්ලිමේන්තු බහුතර ඔඵ ගෙඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මුවා වී ජනතා අයිතීන් මර්දනය කරමින් සිටින ඒකාධිපති රාජපක්ෂ රෙජීමයට එරෙහිව ජනතාව සවිඥානිකව පෙළ ගැසිය යුත්තේ එනිසාවෙනි !

සදුන් යාපා කරුණාරත්න | Sandun Yapa Karunarathna

@VIKALPA | Image:Vikalpa file