පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය යළි කරලියට ඇදී ආවේ ය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නව සතුරකු සොයමින් සිටින ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරිත්වයන් සිය ප්‍රධාන සතුරා බවට පත් කර ගන්නට යන්නේ ද යන ප්‍රශ්නය ලේඛකයින් කිහිප දෙනෙකු ම විසින් නඟා තිබුණි. ආචාර්‍ය පී. සරවනමුත්තු ඉංග්‍රීසි පුවත්පතකට ලියා තිබුණේ මානව හිමිකම් උල්ලංඝනයන් තාවකාලිකව දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඉවත්කර තැබිය හැකි වුවත් ඒවා සදහටම වළ දමා වසං කළ නොහැකි බව යි.
ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට රට හෝ යුද හමුදාව පාවා නොදෙන බව ජනාධිපති රාජපක්ෂ දකුණේ රැස්වීමකදී කියා තිබුණි. ජී.එස්.පී ප්ලස් සහනය ලබා දීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් වන මානව හිමිකම් රාමුව ශ්‍රී ලංකාවේ නොමැති බව යුරෝපීය කොමිසම හමූවේ ඇති වාර්තාවකින් කියැවේ. එම මානව හිමිකම් රාමුව සහ සහනය ලබා ගැනීමට රට පාවා නොදෙන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය එකට තබා බලන්නේ නම් අපට පෙනී යන්නේ එකී නිර්දේශිත මානව හිමිකම් රාමුව ඇති කිරීම රට පාවා දීමක් ලෙස ශ්‍රී ලංකා රජය සළකන බව යි. එය යහපත් ළකුණක් නොවේ.
චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් මුල සිටම දරණ ලද ස්ථාවරයෙන් ද පෙනී යන්නේ ද යුද්ධ කාලයෙහි සිදුවූ කිසිදු පමණ ඉක්මවා යාමක් හෝ අයිතීන් කෙළෙසීමක් පිළිබඳ කවර හෝ පරීක්ෂනයකට ශ්‍රී ලංකා රජය සූදානම් නැති බව යි. එම වීඩියෝ පටය ප්‍රදර්ශනය කරන ලද ප්‍රථම අවස්ථාවේදී ම කිසිදු පරීක්ෂනයකට ඉඩක් නොතබා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කියා සිටියේ එම වීඩියෝ පටය ව්‍යාජ එකක් බව යි. එසේ නමුත් අවනීතික ඝාතනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ස්ටීව් ඇල්ස්ටන් මීට තෙසතියකට පෙර කියා සිටියේ එම වීඩියෝ පටය පිළිබඳව ස්වාධීන පරීක්ෂන වාර්තාවක් නොමැතිව එහි ව්‍යාජ අව්‍යාජ බව පිළිබඳ තීරණයක් ගත නොහැකි බව යි. මෙම විවාදයේ හරය ඇත්තේ වීඩියෝ පටය ව්‍යාජ ද නැත් ද යන්න මත නොවේ. පසුගිය දශක තුන පුරා සිදුවූ අවනීතික මිනිස් ඝාතනයන් පිළිගැනීමට අප සූදානම් ද නැත් ද යන්න තුල ය. අප සමාජයක් වශයෙන් මෙම ව්‍යසනයේ වගකීම බාර ගැනීමට සූදානම් ද නැත් ද යන්න තුල ය. මෙම වගකීම හුදෙක් සන්නද්ධ හමුදා සතු එකක් නොවේ.
පසුගිය දශක තුන පුරා පමණ ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීමට මුල් වූයේ විවිධාකාර සන්නද්ධ අරගල සහ ඒවා මැඩලීම පිණිස රජය විසින් ගනු ලැබූ දේශපාලන, නීතිමය සහ යුදමය ක්‍රියාමාර්ගයන් ය. මෙම ක්‍රියා දාමයන් තුළ අවනීතික ලෙස දස දහස් ගනන් ජනයා මරා දමන ලද බව කිසිවකුට රහසක් නොවේ. 1988 – 2000 යුගය තුළ බිහිසුණු මිනිස් ඝාතන සිදු නොවූයේ යැයි දකුණේ සිංහල ජනයාට කියා සිටිය හැකි අයෙක් වෙත් ද? නැත. එම ඝාතනයන්ට රජය, රජයේ සහායක සන්නද්ධ කණ්ඩායම් මෙන්ම ඒ සමඟ සටන් වැදුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ද විවිධ පමණින් වග කිව යුතු විය. දකුණේ ජනයා එකී මිනිස් ඝාතන අත් දුටු පරිද්දෙන් ම උතුරේ ජනයා ද 1981 සිටම සෑම පාර්ශවයකින්ම විශේෂයෙන්ම එල්ටීටීඊ ය සහ රජයේ හමුදා විසින් කරන ලද සාහාසික මිනිස් ඝාතන අත් දැක තිබේ. චැනල් 4 වීඩියෝව පිළිබඳ විවාදයට වඩා අප සැළකිල්ලට ගත යුත්තේ මෙම යථාර්තය යි.
ශ්‍රී ලංකාව නිදහස්, මානව ගරුත්වය සහිත ශිෂ්ඨ සම්පන්න දේශයක් වශයෙන් ඉදිරියට යාමට නම් මෙම ඝාතන සංස්කෘතියේ යථාර්තය පිළිගත යුතු ය. අපේ සමාජයේ මානුෂීය හර පද්දතීන් දරුණූ ලෙස මෙම ලේ වැකි ඉතිහාසය විසින් දුර්වල කොට යටපත් කොට තිබේ. අවනීතික ඝාතනයන් පමණක් නොව අවනීතික දේශපාලන ක්‍රියාදාමයන් මගින් ද ශ්‍රී ලංකා රජය මෙරට ජනයාගේ මූලික අයිතීන් දිගින් දිගටම කෙළෙසා ඇති බව ශ්‍රී ලංකාවේ ජනයාට අලුතෙන් කියා දීමට අවශ්‍ය නැත. මර්දනකාරී නීති රීති සහ මර්දනකාරී දේශපාලන සංස්කෘතිය දැන් ශ්‍රී ලංකාවේ සදාකාලික අංගයක් වැන්න.
මෙවැනි බිහිසුණු අර්බූදයන්ට ලක් වු සෑම රටක්ම පාහේ සිය සමාජය සුවපත් කිරීම පිණිස තෝරා ගත්තේ පළිගැනීමේ පිළිවෙත නොවේ. යහ පාලනයේ, සංහිදියාවේ සහ සත්‍ය සෙවීමේ පිළිවෙත ය. වැරදි පිළිගැනීම මගින් ඒවා යළි සිදු නොවීමට පියවර ගැනීමේ මාවත ය. නමුත් ශ්‍රී ලංකාව තවමත් එම දිශාව කරා ගමන් කරන බවක් පෙනෙන්ට නැත. ඒ සඳහා සන්නද්ධ ව්‍යාපාරයන්හි ප්‍රචන්ඩ ත්‍රස්තවාදී ක්‍රියා මෙන්ම රජය ද විවේචනයට හසු කළ යුතු ය. සිදුවයේ කුමක්ද යන්න ගැන විවෘත සාකච්ජාවක් ඇති වියයුතු ය. එසේ නොමැතිව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කළ නොහැක.
රජය සහ එහි මර්දනකාරී උපාංග විවේචනයට ලක් කිරීම දේශය සහ රට වැසියා පාවා දීමක් ලෙස කැරෙන අර්ථ කථනය මගින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාව යටපත් කිරීමට මෙරට ආණ්ඩුව උත්සාහ කරයි. මානව හිමිකම් සාකච්ඡාව යනු ශ්‍රී ලංකා ආරක්ෂ හමුදාවන්ට එරෙහි යුද්ධ අපරාධ චෝදනා ගෙන ඒමක්ය යන්න ආරක්ෂ පළිහක් ලෙස යොදා ගැනෙන තවත් එවැනි වැරදි අර්ථ කථනයකි. එය වැරදි බව පෙන්වන එක් උදාහරණයක් නම් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පසුගිය පූනි මාසයේ දී එකඟ වූ යුද්ද කාලය තුළ මානව හිමිකම් උල්ලංඝනයන් සොයා බැලීමේ එකඟතාවය යි. ඒ වනාහී යුද්ධ අපරාධ සීමාවෙන් බැහැරව ක්‍රියාවට නැගිය හැකි යාන්ත්‍රණයකි.
ඇත්ත වශයෙන් ම නම් දේශය, රට වැසියා සහ රජය අතර පැහැදිළි වෙනසක් තිබේ. මේ සියල්ල එක් නොවේ. රජයක ක්‍රියාකාරිත්වය දේශයට සහ රටවැසියාට විරුද්ධව යා හැකිය. ඊට දිය හැකි සරළ උදාහරණයක් නම් බුරුමය නොහොත් මියන්මාරය යි. එහි රජය යනු ඒකාධිපති හමුදා ජුංටාවකි. මෙම ජුංටාව එම දේශය විනාශ කරමින් රටවැසියාගේ අයිතීන් පයට පාගා සිටී. දේශය හුදකලා භාවයේ ද රටවැසියා සමාජ දේශපාලන සහ ආර්ථික දුගී භාවයේ ද ගැලී සිටී. බුරුම හමුදා ජුංටාව සහ හමුදා පාලනය පිළිබඳ උග්‍ර විවේචනයක් ගොඩ නැගීමෙන් සහ එය පරාජය කිරීමෙන් තොරව බුරුම දේශයේ සහ රටවැසියාගේ නිදහස සහ ගරුත්වය යළි පිහිටුවිය නොහැකි ය. ඒකාධිපතිවාදයේ මාවතෙහි ගමන් ගන්නා බුරුම පාලකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කළ නොහැක්කේ එසේ කළ හොත් එය ඔවුන්ගේ අවසානය වන නිසා ය. බුරුම සමාජය සහ දේශපාලනය දරුණු මර්දනයක පවත්වා ගන්නවා හැරෙන්නට කිසිදු ප්‍රජාතනත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් මෙම මෘග පාලකයිනට කළ නොහැක්කේ එනිසා ම ය.
ශ්‍රී ලංකාණ්ඩුව ලඟා වී හෝ ලඟා වෙමින් සිටින්නේ තීරණාත්මක මංසන්ධියකට ය. එක්කෝ සහජීවනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත ය. නැත්නම් යුද්ධ කාලයේ පවත්වා ගෙන ගිය විශම සැළකීමේ සහ මර්දනයේ මාවත ය. දැන් යුද්ධය අවසන්ව මාස හතරකි. දිගින් දිගටම මර්දනකාරී පාලනයක් පවත්වා ගන්නා රජයකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉඩ විවර කිරීම දුෂ්කර වන්නේ එය සිය අවසානයේ මුල් පියවර බවට පත්වන නිසා ය. ඊට උදාහරණ බොහෝ ය. චිලියේ පිනෝචේ එක් නිදසුනකි. ශ්‍රී ලංකාව තවම එවැනි ඒකාධිපතිත්වයක් කරා ගමන්කර නැත. නමුත් මර්දනකාරී දේශපාලනයෙන් බැහැර වීමේ දිශානතියක් පෙන්වන්නේ ද නැත.
පශ්චාත් එල්ටීටීඊ සමය තුළ මානව හිමිකම් උද්ඝෝෂන හෝ යුද්ධ අපරාධ චෝදනා හෝ රජයට එරෙහි ජාතික සහ අන්තර් ජාතික කුමංත්‍රණ හෝ බිල්ලකු ලෙස පෙන්වමින් දිගින් දිගටම මර්නකාරී මාවතේ ගමන් කිරීමට වත්මන් පාලනය කල්පනා කරන්නේ නම් දීර්ඝ කාලින වශයෙන් ඉන් අත්වන සුගතියක් නැති බව දැන්ම තේරුම් ගැනීම වැදගත් ය. මේ වනාහී මහින්ද රාජපක්ෂ පාලනය බැරෑරුම් ලෙස කල්පනාවට ගත යුතු දේශපාලන කාරණයකි.