මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත් කොට ඇති බවට චෝදනාවට ලක්වූවෙකි. ඒ පිළිබඳ තොරතුරු එම රටට ලියා දන්වා ලබාගන්නා ලෙස පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට හිටපු අගමැතිවරයාට නියෝග කෙළේය. එම නියෝගය ඔහු පිළිපැද්දේ නැත. ඒ නිසා, එය ‘උසාවියට අපහාස කිරීමක්’ බවට තීන්දු කළ එරට අධිකරණය ඔහු අගමැති ධුරයට නුසුදුස්සෙකු බවට තීන්දු කෙළේය. අපේ රටේ මෙන් නොව, එම අගමැතිවරයා මේ අධිකරණ තීන්දුව පිළිගනිමින් ඉල්ලා අස්විය.
ඔහුගෙන් පසු එම තනතුරට පත් වර්තමාන අගමැතිවරයා මීට කලින් ඇමතිවරයෙකු වශයෙන් සිටිය දී සිදුකළ තවත් දූෂණ චෝදනා තිබුණි. අද ඔහු ඇතුලූව එම චෝදනාවන්ට සම්බන්ධ තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබේ.
1947 දී නිදහස දිනාගත් දා සිට වැඩිම කාලයක් පාකිස්ථානය පාලනය වුණේ හමුදා ආඥාදායකත්වයන් යටතේය. 1948 නිදහස දිනාගත් දා සිට ලංකාව හැමදාමත් පාලනය වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බවට විශ්වාසයක් තිබේ. ඒ ගමන තුළ, ‘දිවි නැගුම’ වැනි පනතකට විරුද්ධව අධිකරණ විනිශ්චයක් දීම පවා අපේ අගවිනිසුරුවරියව ගෙදර යැවීමට තරම් වරදක් වෙද්දී, අපේ වන් දීර්ග ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් නැති පාකිස්ථානයේ අධිකරණය එම රටේ අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කිරීමට තරම් ස්වාධීනත්වයක් භුක්ති විඳී.
ගිය සතියේ ලංකාවට අහිමි කෙරුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන රක්ෂාස්ථානයයි. ඒ වෙනුවෙන් මිනිස්සු රතිඤ්ඤා පත්තු කළහ. කිරිබත් කෑහ. දැන් අළුත් අගවිනිසුරුවරයෙකු පත්කරගෙන තිබේ. මෙය සැළකිය යුත්තේ මහ දවල් සිදු වූ සාපරාධී මංකොල්ලයක් වශයෙනි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ගෙන ආ දවසේ පටන් වර්තමාන පාලකයන් නියැලූණේ ඒ මංකොල්ලයේ ය. මෙය නිකංම අධිකරණ බලය මංකොල්ලකෑමක් නොව, පාලකයන්ට රට මංකොල්ලකෑමට අවසාන බාධකයක් වශයෙන් පැවති අධිකරණයේ ස්වීයත්වය මංකොල්ලකෑමකි. ‘දිවි නැගුම’ ගැන ආණ්ඩුවට මෙච්චර කේන්ති ගියේ ඊට අයත් ධනස්කන්ධයේ බර නිසා බව අප තේරුම්ගත යුතුව තිබේ.
මේ සඳහා පැවති අවසාන බාධකය අධිකරණය විය. කලින් පැවති වෙනත් බාධක සියල්ල රාජපක්ෂ පාලනයෙන් කල්තියා ජයගෙන තිබුණි. අද බොහෝ දෙනා කතා කරන පාර්ලිමේන්තුවේ ‘‘උත්තරීතරත්වය’’ ව්‍යවස්ථාවෙන් ප‍්‍රදානය කොට නැතත්, ප‍්‍රායෝගික සහ පෘථග්ජන අර්ථයකින්වත් එය තිබිණි නම්, එම ‘‘උත්තරීතරත්වය’’ මේ කියන මංකොල්ලය මැඩලන විශාලතම බාධකය විය හැකිව තිබුණි. එහෙත්, යම් ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් ජනතා ඡුන්දයෙන් පත්ව, එම ප‍්‍රතිපත්තියට ඉඳුරා පටහැනි දේශපාලනයක් වෙනුවෙන් මේ ‘‘උත්තරීතරත්වය’’ තුළ වෙන්දේසියට ගිය පසු හෙවත් ආණ්ඩු පක්ෂයට පැන ගත් පසු, ජනතා ස්වෛරීත්වයක් ගැන හෝ පාර්ලිමේන්තුවේ ‘‘උත්තරීතරත්වයක්’’ ගැන කීම, ගණිකාවගේ පතිවෘතාව ගැන කතා කිරීමට දෙවැනි නැත. 17 වැනි සංශෝධනය සේ හැඳින්වුණු ශිෂ්ඨත්වය නසා, 18 වැනි සංශෝධනය යැයි නම් කෙරුණු ඒකාධිපති විභවය උපන්නේම, සිල්ලර උත්තරීතර භාවය පවා නැති කරගත් එවැනි පාර්ලිමේන්තුවකයි.
මේ කොල්ලය මැඩපැවත්වීමේ ඊළඟ බාධකය විය හැකිව තිබුණේ රටේ ප‍්‍රධාන විරුද්ධ පක්ෂය යි. අර්ධ ඒකාධිපති ව්‍යවස්ථාවක් යටතේ සහ යුද්ධයක් ජයගෙන ඇති ආණ්ඩුවක ජනප‍්‍රියත්වයක් යටතේ විරුද්ධ පක්ෂයක් අසරණ වීම ස්වභාවිකයි. මන්ද යත්, ව්‍යවස්ථාවේ මර්දනීය ගතිකත්වය සහ විජයග‍්‍රහණයේ සමාජයීය ආශ්වාදය එහි දී එකට කඳවුරු බැඳගන්නා බැවිනි. එහෙත් පරිණත විරුද්ධ පක්ෂයක් එම අභියෝගයට කල්ගතව හෝ අභිමුඛ විය යුතුව තිබිය දී අද පවා එම විරුද්ධ පක්ෂයේ කරඇරීම තුළ ඇත්තේ, එම කොල්ලයේ වක‍්‍ර පාර්ශ්වකරුවන් බවට විරුද්ධ පක්ෂයත් පත්වීමකි.
මෙය හොඳින්ම විසද කෙරුණේ දෝෂාභියෝගය තුළිනි. රනිල් වික‍්‍රමසිංහ කියන පරිදි, පාර්ලිමේන්තුව ‘උත්තරීතර’ වෙතැ යි මොහොතකට පිළිගත්තත්, නීතියේ ආධිපත්‍යය පිළිගැනීමට සහ ඊට ගරු කිරීමට එය බාධාවක් නොවෙනවා පමණක් නොව, ඒ කියන ‘උත්තරීතරත්වය’ ආරක්ෂා කර ගැනීම සඳහා පවා අවශ්‍ය කරන්නේ, නීතියේ ආධිපත්‍යයම බව කෙනෙකු වටහාගත යුතුව තිබේ. එය දැන් වෙන කිසිවෙකු නොව, රනිල් වික‍්‍රමසිංහ විසින්ම ඔප්පු කරමින් සිටී. ව්‍යවස්ථාව අර්ථකථනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණි නිගමනය මත පාදකව අභියාචනාධිකරණය විසින් තේරීම්කාරක සභාවේ නිගමන සහ ක‍්‍රියාකාරීත්වය අවලංගු කළ පසුව පවා, පාර්ලිමේන්තු දෝෂාභියෝග විවාදයට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කෙළේය. මෙය මොන ව්‍යාජ තර්ක යටතේ යුක්ති සහගත කරගත්තත්, ඒ මගින් එක්සත් ජාතික පක්ෂය කෙළේ මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප‍්‍රතික්ෂේප කිරීමයි. එසේ තිබියදීත්, එතරම් දේශපාලනික වියදමක් දරාගෙන ගිය එම විවාදයේ ප‍්‍රතිඵලය සහ ස්වභාවය කුමක් වී ද? එක පැත්තකින්, විවාදය සඳහා එදාට නියමිත විෂය කාරණය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ තිබී නැති බව අන්තිමේ දී හෙළි විය. හෙවත් එතෙක් වේලා මේ කියන ‘උත්තරීතර ආයතනය’ කටයුතු කර තිබෙන්නේ, මීට කලින් සම්මත කරගත් වෙනත් යෝජනාවක් න්‍යාය පුස්තකයේ තබාගෙන ය. මේ ලජ්ජා සහගත හෙළිදරව්වෙන් පසුව පවා, දෝෂාභියෝගය සඳහා ඡුන්ද විමසීම කතානායකවරයා අත්හිටවූයේ නැත. රනිල් වික‍්‍රමසිංහ පවසන ‘උත්තරීතර භාවයේ’ පුස්ස මොන තරම් ගැඹුරු ද යන්න මේ සියල්ලෙන් පෙන්නුම් කෙරේ.
අනිත් පැත්තෙන්, පාර්ලිමේන්තුවේ කටයුතුවලට ‘ඇඟිලි ගැසීමට’ අධිකරණයට අයිතියක් නැතැ යි ගිය සතියේ කී රනිල් වික‍්‍රමසිංහ, තමන්ගේ පක්ෂයෙන් තේරී පත්වී ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත‍්‍රීවරුන් දෝෂාභියෝගයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරමි යි දැන් කියන්නේ මොන තර්කයක් මත ද? පාර්ලිමේන්තුව තුළ සිදුවන ක‍්‍රියාවක් සම්බන්ධයෙන්, (එනම් ඡන්දය පාවිච්චි කිරීම හෝ නොකිරීමත්, පාවිච්චි කරන්නේ කාට ද යන්නත් ගැන), රනිල් වික‍්‍රමසිංහගේ පරණ තර්කය මත, අධිකරණයට තීන්දුවක් දිය නොහැකිය. මන්ද යත්, එය පාර්ලිමේන්තුවේ ‘උත්තරීතර භාවයට ඇඟිලි ගැසීමක්’ වන බැවිනි.
ඊළඟට, වත්මන් අගවිනිසුරුවරිය නෙරපා පත්කරගන්නා නව අගවිනිසුරුවරයාගේ නාමයෝජනා ඉදිරිපත් කෙරෙන ‘පාර්ලිමේන්තු සභාවට’ සහභාගී වීම රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතික්ෂේප කෙළේය. ඒ ඇයි?
මේ කියන ‘පාර්ලිමේන්තු සභාව’, රනිල් වික‍්‍රමසිංහ කියන ‘උත්තරීතර භාවය’ සහිත පාර්ලිමේන්තුවේම උපාංගයක් බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම (18 වැනි සංශෝධනය* කියා සිටී. එහෙත් 18 වැනි සංශෝධනයට තමන්ගේ ඇති විරුද්ධත්වය නිසා, ඒ යටතේ පත්කරගත් මේ ‘පාර්ලිමේන්තු සභාව’ තමන් වර්ජනය කළ බව එක්සත් ජාතික පක්ෂය කියයි. අනිත් අතට, තේරීම් කාරක සභාව පත්කිරීමටත්, එහි කටයුතු කරගෙන යාමටත් බලය ලබාගත්තේ, අංක 78 දරණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයෙනි. එය, නීතියක් නොවෙනවා පමණක් නොව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ.
එවිට චිත‍්‍රය ඇඳෙන්නේ මෙසේය: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන ස්ථාවර නියෝගයක් යටතේ ගෙන ආ දෝෂාභියෝග ක‍්‍රියාවලියේ දී අධිකරණ නිර්දේශ නොතැකීම පාර්ලිමේන්තුවේ ‘උත්තරීතර භාවය’ රැක ගැනීමක් වෙනුවෙනැ යි තර්ක කළ වික‍්‍රමසිංහට, දැන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත ‘පාර්ලිමේන්තු සභාව’ වර්ජනය කිරීම, ඔහුගේ තර්කයට අනුව, ආණ්ඩු ක‍්‍රමය උල්ලංඝණය කිරීමට අමතරව පාර්ලිමේන්තුවේ ‘උත්තරීතරත්වයත්’ අභියෝග කෙරෙන ක‍්‍රියාවකැ යි නොපෙනෙයි. ශිරානී බණ්ඩාරනායක පැන්නීම සඳහා රැක ගත් ‘උත්තරීතරත්වයේ’ ශීලය, මොහාන් පීරිස් පත්කර ගැනීමට විරෝධය පෑම සඳහා සමාදන් විය යුතු නැතැ යි යන්නක් ඉන් ගම්‍ය වෙයි.
මහින්ද රාජපක්ෂ සිය ජනාධිපති දිවියේ ප‍්‍රථම වතාවට පරාජයකට මුහුණදුන්නේ මෙවැනි ප‍්‍රතිමල්ලව දේශපාලඥයන් ඉදිරියේ නොව, අදේශපාලනික ගැහැනියක් ඉදිරියේ වීම බරපතල සරදමකි. අවසාන මොහොතේ පවා, ඇගේ ඉල්ලා අස්වීමක් ලබාගැනීමට ඔහු එතරම් වලිකෑවේ ඒ අවමානයෙන් ගැලවෙන්නටයි. එහෙත්, ආත්ම ගෞරවයට මිලක් නැති බව දැන සිටි එක් අදීන ගැහැනියක් ඔහුගේ ඒ වෑයම ව්‍යර්ථ කළාය. ඈ අවසානයේ ගෙදර ගිය බව ඇත්ත. එහෙත්, ඒ හිස් අතින් නොවේ. මුළු රටකට සහ ජනතාවකට ආඩම්බර විය හැකි උත්තරීතර ආදර්ශයක් සපයමිනි.
ලංකාවේ හෙට දවස කට්ට කළුවර නොවීමට නම්, එවැනි ආදර්ශ තනි නොකිරීමට පුරවැසියන් වශයෙන් අප වගබලාගත යුතුව තිබේ.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda