ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවේ නීතියේ සහ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට නතුව පවතින පාර්ලිමේන්තුව මගින් ගත් දෝෂාභියෝග තීන්දුව අනුමත කිරීමට ජනවාරි 13 වැනිදා ජනාධිපති රාජපක්ෂ ගත් තීරණය රටේ නීතියේ ආධිපත්‍යය බිඳහෙලීම සඳහා අඩියෙන් අඩිය සිද්ධ කෙරෙන නිශ්චිත ක‍්‍රියාවලියක අළුත්ම පියවර වන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයන් නොතකා හරිමින්, සාධාරණ පරීක්ෂණ පරිපාටියකට අනුගත නොවෙමින් සහ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගන්නා ලද එම පියවර, ඒ වන විටමත් ප‍්‍රහාරයට ලක්ව තිබූ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් පරිහානියට හෙලනු නොඅනුමාන ය.
අගවිනිසුරුවරියව දෝෂාභියෝගයකින් ඉවත් කිරීමට ගත් තීන්දුවෙන් කියැවෙන සෘජු පණිවිඩය වන්නේ, රාජපක්ෂවරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හෝ නීතියේ ආධිපත්‍යය ගැන හෝ මානව හිමිකම් ගැන හෝ තැකීමකින් තොරව ස්වකීය පුද්ගල බලය තවත් තහවුරු කර ගැනීම සඳහා ඉදිරියට ද ක‍්‍රියා කරනු ඇති බවයි. ඒ අර්ථයෙන් ගත් විට එය, 40,000 ක් හෝ ඊට වැඩි සිවිල් ජනතාවක් ඝාතනය කිරීමේ ක‍්‍රියාමාර්ගයට බලපාන ජාත්‍යන්තර නීතිය නොතකා හැරීම සහ යුද අපරාධ අරභයා පිළිගත හැකි පරීක්ෂණයක් පැවැත්වීම එක දිගටම ප‍්‍රතික්ෂේප කිරීම සමග සමපාත වන්නේය.
මේ කාරණා ද්වය, එනම් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කෙරෙන ප‍්‍රහාරය සහ යුද අපරාධ පිළිබඳ චෝදනා එකිනෙකට සම්බන්ධ බව අප වටහාගත යුතුව තිබේ. යුද අපරාධ පිළිබඳ විමර්ෂණය දේශීය වශයෙන් සිදු කරමි යි රාජපක්ෂ කී කතාව, දැන් ඉතිරිව තිබූ එකම ස්වාධීන ආයතනය වූ අධිකරණය මේ සා විවෘත ආකාරයෙන් බෙලහීන කළ පසු, තව තවත් සැක කටයුතු වන්නේය. එපමණක් නොව, යුද්ධයේ සමාප්තියට අදාළ සිදුවීම් පිළිබඳ විනිවිද පෙනෙන ආකාරයේ පරිපූර්ණ සොයා බැලීමක් නොකෙරෙන තාක් කල්, අනාගත ගැටුමක බීජ ශ‍්‍රී ලංකා සමාජයේ වැපිරෙනු ඇත. අදටත් සිදුවන දෙමළ ජාතිකයන්ව හිරිහැරයට පත්කිරීම, සිංහල සිවිල් සමාජයේ දේශපාලන අවකාශය ඇහිරීම සහ අධිකරණය හීලෑ කිරීම යන කරුණු නොපමාව නොවිසඳුනොත් එය රටේ අනාගතයට මොන විදිහකින්වත් යහපතක් නොවෙනු ඇත.
ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහකරුවන් ශී‍්‍ර ලංකාව සම්බන්ධ සිය ප‍්‍රතිපත්ති තීරණ සකස් කිරීමේ දී, දේශීය සහ විදේශීය නීතිය නොතකන ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මෙකී හැසිරීම සැලකිල්ලට ගත යුතුව තිබේ. අගවිනිසුරුවරියට එරෙහිව 2012 නොවැම්බර් මාසයේ ඇරැඹුණු දෝෂාභියෝග ක‍්‍රියාවලිය, ‘දිවි නැගුම’ පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ප‍්‍රතිචාරයක් වශයෙන් ගන්නා ලද දේශපාලනික තීන්දුවක් වශයෙන් බොහෝ කොට සැළකෙයි. සුභසාධනයට සහ සංවර්ධනයට අදාළ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පළාත් සභා සතුව පැවති බලය, අළුතෙන් පිහිටුවීමට නියමිත මධ්‍යම රජයේ දෙපාර්තමේන්තුවක් යටතට පත්කිරීම සඳහා වන පනතක්, මේ කියන අධිකරණ තීන්දුව මගින් තාවකාලිකව අවහිර කෙරුණි. ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ආණ්ඩුවේ වැඩසටහන් මේ පනත යටතේ මධ්‍යම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්වෙයි. එම අමාත්‍යාංශය බාරවන්නේ, ජනාධිපතිවරයාගේ බාල සොහොයුරු බැසිල් රාජපක්ෂට ය.
දෝෂාභියෝගය ගෙන ගියේ නිසි පරිපාටියක මූලික ධර්මතා නොතකා හරිමිනි:
* මේ වෙනුවෙන් පත්කරන ලද එකොළොස් දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කාරක සභාවෙන් පැහැදිළි බහුතරයක් ආණ්ඩුවේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ අතර ඒ අය ඒ වන විටමත් අගවිනිසුරුවරියගේ සාවද්‍ය භාවය පිළිබඳ සිය පෞද්ගලික මතිමතාන්තර ප‍්‍රකාශයට පත්කොට තිබුණි.
* තමාගේ නිදහස වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අවශ්‍ය කළ කාලය සහ තොරතුරු අගවිනිසුරුවරිය වෙත සැපයීමෙන් මේ කාරක සභාව වැළැකී සිටියා පමණක් නොව, කාරක සභා සාමාජිකයන් ඇයට එරෙහිව පාවිච්චි කළ සාක්ෂි සහ වාර්තා ඈට ලබාදීමෙන් ද වැළකී සිටියේය.
* කමිටු සාමාජිකයෝ ඇයට වාචිකව ගර්හා කළහ.
* ඇයට එරෙහි වාචික සාක්ෂි කැඳවීමක් නොකරන බව පවසා සිටි කාරක සභාව, නිසි ක‍්‍රියාපරිපාටියක් අනුගමනය නොකිරීමට විරෝධය පාමින් අගවිනිසුරුවරිය සහ ඇගේ නීතිඥයන් විමර්ෂණ ක‍්‍රියාවලියෙන් ඉවත්ව ගිය පසු, වහාම වාචික සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගත්තේය.
* චෝදනා තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය බවට පත්කළ තේරීම් කාරක සභා වාර්තාව, නඩු විභාගය අවසන් වීමෙන් පැය විසිහතරක් ඇතුළත අවසන් කිරීමට කාරක සභාව සමත් විය. තේරීම් කාරක සභාවේ මේ තීන්දුව, පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය දෝෂසහගත වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ඒ වන විටමත් වීසි කොට තිබියදී, 2013 ජනවාරි 11 වැනි දා එම වාර්තාව පාර්ලිමේන්තුව මගින් අතිබහුතරයකින් සම්මත කරගන්නා ලදි. ඒ සම්මත වූ යෝජනාව ජනවාරි 13 වැනි දා ජනාධිපතිවරයා විසින් අපරානුමත කරන ලදි.
ජනවාරි 15 වැනි දා අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම බලහත්කාරයෙන් වළක්වා, නිල නිවසින් ඇය ඉවත්ව යන තැනට කටයුතු සැලසූ ආණ්ඩුව, පාලක පක්ෂයට ගැති, හිටපු නීතිපතිවරයෙකු වන මොහාන් පීරිස්ව නව අගවිනිසුරුවරයා වශයෙන් පත්කරගන්නා ලදි. එසේ තිබියදී පවා තමා තවමත් අගවිනිසුරු වන බව ප‍්‍රකාශයට පත්කරන ශිරානී බණ්ඩාරනායක, බහුතරයක් නීතිඥවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සහාය ලබන්නීය.
මේ දෝෂාභියෝගයට එරෙහිව පෙනී සිටි නීතිඥයන් සහ සිවිල් ක‍්‍රියාධරයන්ට එල්ල විය හැකි හිංසනය සහ වෙනත් ආකාරයේ මර්දනකාරී පියවරයන් පිළිබඳ ආසන්න අවදානම හැරුණු කොට, මේ ආශ‍්‍රයෙන් ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන කෙරෙහි එල්ල විය හැකි දීර්ඝ කාලීන හානිය සුලූපටු නැත. මෙය, විසකුරු සිවිල් යුද්ධයක විනාශයෙන් ගොඩඒමට වෙර දැරිය යුතු රටක තිරසාර සාමයක අපේක්ෂාවන් ද තර්ජනයට
ලක්කෙරෙනු ඇත.
අගවිනිසුරුවරියට නිසි සාධාරණත්වයක් ඉටු නොකිරීමට එරෙහිව ඉදිරි දින සති ගණන් තුළ ජාත්‍යන්තර ප‍්‍රජාව හඩ නැගිය යුතුව තිබේ. ආණ්ඩුවේ මතයට වෙනස් අදහස් දරණ නීතිඥයන්, විනිසුරුවරුන් සහ සිවිල් ක‍්‍රියාධරයන්ට එරෙහි මර්දනීය ක‍්‍රියාමාර්ගයකට ආණ්ඩුව ගියොත්, ඊට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පනවන බවට ඉතා පැහැදිළිව ප‍්‍රසිද්ධියේ අනතුරු ඇඟවිය යුතුව තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලය
මෙහි දී පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගත් වගකීමක් පැවරේ. පැහැදිළිවම පෙනෙන්ට ඇති, නැවත නැවතත් සිද්ධ වෙන, පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රතිපත්ති උල්ලංඝනය වීම් ඉදිරියේ සහ දෝෂාභියෝගය පිළිබඳ කණස්සල්ල පළ කොට පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා නිකුත් කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයෙන් පසු, මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රියාන්විත අමාත්‍ය කණ්ඩායම වෙත ශ‍්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳ වාර්තා කිරීමට මහලේකම්වරයා කටයුතු කළ යුතුය. එකී වැඩ සටහනට ශ‍්‍රී ලංකාව පිළිබඳ මාතෘකාව ඇතුළත් කරන්නැ යි දැනටමත් කැනඩාව ඉල්ලා ඇත. වෙනත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් ද එම ස්ථාවරයම ගනිමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රියාන්විත අමාත්‍ය කණ්ඩායම මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවට වගබලාගත යුතුව තිබේ.
දෝෂාභියෝගය ආපස්සට නොගතහොත්, 2013 නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනත් රටකට මාරු කළ යුතුව තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
පෙබරවාරි 25 වැනි දා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය තුළ, 2012 මාර්තු මාසයේ ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ප‍්‍රකාරව කටයුතු සිද්ධ වී තිබේ දැ යි බරපතල ලෙස සැලකිල්ලට ලක් කිරීම අත්‍යාවශ්‍ය වෙයි. අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මාර්ගයෙන් ඉවත් කිරීම වු කලී, මානව හිමිකම් කවුන්සිලයේ බොහෝ වැදගත් නිර්දේශ ලංකා ආණ්ඩුව විසින් නොතකා හරිනු ලැබීම සම්බන්ධයෙන් ඇති, වඩාත් පැහැදිළි සහ වඩාත් වැදගත් තවත් එක් උදාහරණයක් පමණි.
ආණ්ඩුව විසින්ම පත්කරගන්නා ලද ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ නිර්දේශවලින් සෑහෙන ප‍්‍රමාණයක් ක‍්‍රියාවේ යොදවා ඇතැ යි ආණ්ඩුව කීවත්, ඇත්තෙන්ම කිසි වර්ධනයක් ඒ අංශයෙන් සිදුව නැති ගානයි. වගවිම පිළිබඳව නම් කිසිවක්ම නැත. පසු ගිය වාරයේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉල්ලා සිටි සෑම ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක දීම ආණ්ඩුව අසමත්ව තිබේ:
* යුද අපරාධ, අතුරුදහන් වීම් සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විශ්වසනීය පරීක්ෂණ කිසිවක් පවත්වා නැත.
* වගවීම හෝ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ස්වාධීන ආයතනයක් පිහිටුවා නැත. ඒ වෙනුවට කර ඇත්තේ, අගවිනිසුරුවරියවත් පහ කිරීමෙන් අධිකරණයේ ඉතිරිව පැවති ස්වාධීනත්වයේ අවසාන අවකාශය පවා නැති කිරීමයි.
* අර්ථවත් බලය බෙදාහැරීමේ ක‍්‍රමයක් හරහා වාර්ගික ප‍්‍රශ්නයට සාධාරණ සහ දීර්ඝ කාලීන ව්‍යවස්ථාමය විසඳුමක් කරා යනු වෙනුවට, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවරී තිබු සීමිත ප‍්‍රාදේශීය බලය පවා අහෝසි කරන බවට, ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයෝ දැනටමත් කියා ඇත.
* උතුරේ සිවිල් පරිපාලනය බියගන්වමින් සහ කොන් කරමින් එම පළාතේ සමාජ ජීවිතයේ සෑම අංශයක්ම ශ‍්‍රී ලංකාවේ හමුදාව විසින් අද පාලනය කරනු ලබන්නේ, එම පළාත හමුදාකරණයෙන් නිදහස් කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලයත්, වෙනත් බොහෝ අංශත් ඉල්ලා තිබෙන තත්ත්වයක දී ය.
* සාමකාමී විරෝධතා හමුදාව යොදා මැඩලමින්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධතා ඇති බවට පදනම් විරහිත චෝදනා එල්ල කොට දෙමළ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනිමින්, විසම්මුතියට කිසි ඉඩක් නොදෙන ආණ්ඩුව උතුරේ ගෙන යන්නේ මර්දනීය පාලනයකි.
* දකුණේ සිංහලයන්ගේ විසම්මුතිය පවා ආණ්ඩුවේ ප‍්‍රහාරයට ලක්වෙයි. පසු ගිය දා දෝෂාභියෝග=විරෝධී ජනයාට ආණ්ඩුවේ මැරයන් පහර දෙද්දී පොලීසිය කිසිවක් නොකොට බලා සිටීම ඊට හොඳම උදාහරණයකි.
ගිය වසරේ ඉදිරිපත් කළ නිර්දේශ ශ‍්‍රී ලංකා ආණ්ඩුව ක‍්‍රියාත්මක නොකිරීම ගැන මානව හිමිකම් කවුන්සිලයේ නිසි අවධානය යොමු විය යුතු අතර, 2011 අපේ‍්‍රල් මාසයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් පුළුල් පරාසයන්ට අනුගත වෙමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට බල කළ යුතුව තිබේ.
වෙනත් ප‍්‍රතිචාර
ව්‍යවස්ථාමය සාරධර්ම සහ නීතියේ ආධිපත්‍යය අපහාසයට ලක්කෙරෙන රාජපක්ෂ ආණ්ඩුවේ පැහැදිළි ක‍්‍රියාකලාපයට එරෙහිව ගත හැකි ක‍්‍රියාමාර්ග ගැන ශ‍්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අන්තර්ජාතික සහකරුවන් සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. නීතියේ ආධිපත්‍යයට එරෙහි රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික ප‍්‍රහාරයන් ඉදිරියේ සහ 2009 දී ඝාතනය වූ දහස් ගණන් සිවිල් වැසියන් පිළිබඳ වගවීම මගහැරීම ඉදිරියේ, ලංකාවට ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන ආධාර සපයන ආයතන, විශේෂයෙන්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලංකාව පිළිබඳ ස්වකීය වැඩසටහන් නැවත සළකා බැලිය යුතුව තිබේ.
ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම ගැන ‘‘අන්තර්ජාතික ගැටුම් නිරීක්ෂණ කණ්ඩායම’ නිකුත් කළ ප්‍රකාශය | ජනවාරි 17
@ICG