ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ ප‍්‍රතිවිරුද්ධ අර්ථ දෙකක් බව පළමුව සිහියේ තබාගත යුතු ය. මේ ගැන අතීත කතාව කැටිකොට කියතොත්, 1978 දී ජේ.ආර්. ජයවර්ධන ලියූ ව්‍යවස්ථාවට වඩා තිරශ්චීන ආණ්ඩු ක‍්‍රමයක් යටතේ අප අද සිටින බව සැලකිල්ලට ගැනීම වටී. මෙය, ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවකට වඩා මහින්ද රාජපක්ෂගේ ව්‍යවස්ථාවකි. දැන් එයත් වෙනස් කළ යුතු යැයි කියන්නේ ඔහුම නිසා, පුරවැසියා වරක් නොව සිය වරක්ම සීරුවෙන් සිටියත් පාඩු නැත.
මේ රටේ පාලකයන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, එක්කෝ උල්ලංඝණය කිරීම සඳහා ඇති ලියවිල්ලකි. නැත්නම් බලයේ භුක්තියට මුක්කුවක් කරගන්නා ලියවිල්ලකි. ඔවුන්ගේ චින්තනය තුළ, යහපාලනයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එහි ඇති අදාළත්වයක් නැත. මෙය, ජේ.ආර්. ජයවර්ධනගේ සිට චන්ද්‍රිකා කුමාරණතුංග දක්වාම දක්නට ලැබුණු ලක්ෂණයකි.
වර්තමාන ජනාධිපතිවරයා මෙයින් තවත් පිම්මක් ඉදිරියට තිබ්බේය. එහි දී ඔහු යොමු වුණේ පූර්වගාමියාගෙන් තමන්ට ලැබුණු බලය නිකංම භුක්ති විඳීමට නොව, එය තවදුරටත් තර කර ගැනීමට යි. එක පුද්ගලයෙකුට දෙවරක් පමණක් ජනාධිපති ධුරය දැරිය හැකි බවට තිබූ නියමය ඔහු අහෝසි කරගත්තේ එබැවිනි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබූ, ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන් කොමිෂන් සභා වැනි ප‍්‍රජාත්ත‍්‍රවාදී ශීලාචාර ආණ්ඩුකරණය අහෝසි කොට, ඒ බලතලත් තමාට හැසිරවිය හැකි පරිද්දෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරගත්තේත් එබැවිනි.
මේ කතාන්තරයෙන් කියැවෙන අවසාන සත්‍යය වන්නේ, අද බලයේ සිටින්නේ ජේ.ආර්. ජයවර්ධනගේ අර්ධ ඒකාධිපතිත්වයෙන් සෑහීමට පත්නොවන නායකයෙකු බවයි. බලය ගැන මෙතරම් අතෘප්තිමත් වීමට ඔහුගේ පුද්ගල චරිත ස්වභාවය බලපානවාට කිසි සැකයක් නැත. එහෙත් මේ ලිපිය යොමුවන්නේ, එවැනි අතෘප්තියකට තල්ලූවක් සපයන සමාජ දේශපාලනික කරුණු දෙකක් වෙතටයි.
මීට පෙර සිටි කිසි රාජ්‍ය නායකයෙකුට කළ නොහැකි වූ දෙයක් ඔහුට කළ හැකි වීම ඉන් එකකි. එනම්, යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ය.(මෙය යුද්ධය ජය ගැනීමක් වශයෙන් විටෙක වරදවා අර්ථකථනය කෙරේ). එය, සාමාන්‍ය මනෝභාවය තුළ, එක්තරා ආකාරයකින්, රට ‘එකසේසත්’ කිරීමකි. එම සේවය සඳහා ජනතාවගේ පැත්තෙන් පාලකයා වෙත විශාල ‘ගෙවීමක්’ කිරීමට ජනතාව සූදානම් විය යුතු යැයි ඔහු සිතයි. (‘‘වෙන මොනවා නැතත්, බෝම්බ පිපිරෙන්නේ නැහැ නේ’’ කියා මිනිස්සු කියන බව ඔහු දනී). ඉතිං, ඒ සඳහා ඔහු ඉල්ලා සිටින්නේ, ලංකාවෙන් විශාල පදාසයක් සඳහා වන පෞද්ගලික භුක්තියකි. මෙය, දේශපාලනික වශයෙන් නූතන රාජ්‍යකරණයේ දෙවොල වශයෙන් සැළකිය හැකි, නීතියේ ආධිපත්‍යය රැක දෙන අධිකරණය පවා සිය සන්තකයට ගැනීමෙන් ඔහු පෙන්නුම් කෙළේය.
දෙවැනි සමාජ දේශපාලනික කාරණය ව්‍යුත්පන්න වන්නේ, මීට අමතරව තවත් වාසියක අයිතියක් ඔහුට පවරමිනි. විධායක ජනාධිපති ක‍්‍රමය සහ සමානුපාත ක‍්‍රමය යටතේ, දේශපාලනය සහ ආර්ථික සම්පත් කළමනාකරණය එකට ගැටගසන ආයතනික හුය ලූම්පන්කරණය වීමට එය සම්බන්ධ ය. අද වන විට, ලංකාවේ සකල ආර්ථික මර්මස්ථාන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් වටා භ‍්‍රමණය වීම සහ කොටස් වෙළඳපොල එවැනි පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන මාෆියාවක් බවට පත්වීම මගින් පෙන්නුම් කරන්නේ එයයි. එවැනි පරිසරයක, දේශපාලඥයා සර්වබලධාරී වන්නේය. ඔහුගේ අනුග‍්‍රහය නැතොත්, පාර අයිනේ බුලත් විටි විකුණන්නටවත් කෙනෙකුට බැරි ය.
ආර්ථික බලය සෘජුව මෙහෙයැවිය හැකි දේශපාලනික ලීවරයක් සහිත ඕනෑම නායකයෙකු සහ ඔහුගේ කණ්ඩායම (එය පවුල විය හැකිය. නැත්නම්, වෙනත් හෙංචයියන් විය හැකිය) කෙටි කාලයකින් ධන කුවේරයන් බවට පත්වන්නේ නිතැතිනි. ඩි.එස්. සේනානායක සහ ඩඞ්ලි සේනානායකත්, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක සහ සිරිමා බණ්ඩාරනායකත්, රටේ ආර්ථිකය මෙහෙයවන්නන් වූවා මිස එහි පෞද්ගලික හිමිකාරයෝ නොවූහ. එහෙත් 1978 න් පසු, රටේ සකල සේසත, අවශ්‍ය වෙතොත්, රාජ්‍ය පාලකයාගේ ග‍්‍රහණයට ගත හැකි පරිසරයක් කෙමෙන් නිර්මාණය වුණි. ජේ.ආර්. ජයවර්ධනගේ සිට චන්ද්‍රිකා කුමාරණතුංග දක්වා එහි ළදරු අවදිය ගතවිය. නාඹර අවදිය දැන් එළැඹ ඇත්තේ මහින්ද රාජපක්ෂ සහ එම පවුල (සහ ඔවුන්ගේ අන්තේවාසිකයන්) යටතේ ය.
අවුරුදු පහකින් පසු, මැතිවරණ පරාජයක් ඉදිරියේ ගෙදර යා නොහැකි බාධකයක්, 1978 ට කලින් සිටි පාලකයන්ට තිබුණේ නැත. එදා පරාජය තුළින් ඔවුන්ට අහිමි වුණේ දේශපාලන බලය පමණි. එහෙත්, රටේ ආර්ථිකයම තම නින්දගමක් කරගත් නායකයෙකුට, ඒ තරම් ලෙහෙසියෙන් පරාජය භාරගත නොහැක්කේය. මන්ද යත්, දමා යාමට සිදුවන කද මල්ල බර වැඩි නිසා ය. මේ නිසා, මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ අප දකින යථාර්ථය වන්නේ, තමන් අතට පත් බලය ආපසු දීමට සිදු නොවන ආකාරයේ ආණ්ඩුකරණ යාන්ත‍්‍රණයක් හතරවටින් ඔහු එලාගෙන යමින් සිටින බවයි. මේ නිසා, ව්‍යවස්ථාව වෙනස් කිරීම යන්නෙන් ඔහු අදහස් කරන්නේ, මොන විදිහකින්වත් අප අදහස් කරන දෙය විය නොහැකිය.
උදාහරණයක් වශයෙන්, අගවිනිසුරුවරිය ඉවත් කිරීමට යොදාගත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යනු මේ රටේ නීතියක් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සැලකිල්ලට ගන්න. එහි සාරාර්ථය වුණේ, අපේ ව්‍යවස්ථාවේ පැනෙන මූලික පදනමක් එම දෝෂාභියෝග ක‍්‍රියාවලිය තුළ දී උල්ලංඝණය වී ඇති බවයි. දැන් කෙනෙකු ඉදිරියේ විකල්ප දෙකක් තිබේ. පරමාදර්ශී විකල්පය වන්නේ, අනුගමනය කරන ලද කි‍්‍රයාවලිය අසාධාරණ බව පිලිගෙන එය සංශෝධනය කිරීමයි. එහෙත්, ඒ වෙනුවට, මේ කියන අසාධාරණ ක‍්‍රියාවලියට ගැලපෙන ලෙස අර කියන ව්‍යවස්ථාමය නියමය වෙනස් කළත්, පරස්පරය විසඳිය හැකි වන්නේය. එවිට, අදාළ ස්ථාවර නියෝග ඇතුලූ සමස්ත ක‍්‍රියාවලිය ‘නීත්‍යානුකූල’ සහ ‘ව්‍යවස්ථානුකූල’ වී, අයුක්තිය සහ අසාධාරණයට නීතිමය භාවයක් සහ ව්‍යවස්ථානුකූල භාවයක් පැවරෙන්නේය. එසේ වීමට අවශ්‍ය කරන්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අත් ඉහළට එසැවීම පමණි.
අවසාන වශයෙන් ඔහුගේ වැඩිමහල් සහෝදර, කතානායක චමල් රාජපක්ෂ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට කාලය පැමිණ ඇත්තේ මන්දැ යි දන්වා සිටිමින් එක වාක්‍යයකින් කළ පැහැදිළි කිරීමක්, මේ කාරණය සරළ වශයෙන් පැහැදිළි කර දීම සඳහා පහත දක්වමි. ඊට ඌන පූරණයක් වශයෙන් වරහන් තුළ කළු අකුරෙන් කියැවෙන්නේ, ඔහුගේ පැහැදිළි කිරීම පිළිබඳ මගේ තක්සේරුවයි.
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට කාලය ඇවිත්. මොකද කියනවා නං, ජනතාවගේ ප‍්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සොයාගෙන (ශිරානී බණ්ඩාරනායක ඉවත් කිරීමට ගත කළ කාලය හොඳටම වැඩි ය.) සංවර්ධන ක‍්‍රියාවලිය ඉක්මන් කිරීම (ඒ කියන්නේ, බැසිල් රාජපක්ෂගේ ‘දිවි නැගුම’ සම්බන්ධයෙන් අපතේ හැරිය කාලය කෙටි කර ගැනීම සඳහා වන මගක්, තවත් විදිහකින් කිවහොත්, එවැනි සංවර්ධන වැඩපිළිවලකට අධිකරණය ඇඟිලි ගැසීමෙන් වැළැක්විය හැකි මගක් සොයාගත හැකි විදියේ ආණ්ඩුක‍්‍රමයක්) අත්‍යාවශ්‍යව තියෙන නිසා.’’
ඔහු කියන දෙය තවමත් පැහැදිළි නැත් ද? එසේ නම්, ඔහුගේ මේ ප‍්‍රකාශයත් කියවන්න: ‘‘රටේ සංවර්ධනය ප‍්‍රමාද කිරීමට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නවලට ඉඩ දිය යුතු නැත.’’
ඉතිං, අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලියැවෙන්නේ හෝ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන්නේ, ජනතා අයිතීන් පුළුල් කෙරෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය නගා සිටුවන සහ ජනතාවට සැබවින් වගකියන දේශපාලන සංස්කෘතියක එල්ලය ඇතිව නොව, අධිකරණයකට යටත් නැති, විධායකයේ අභිමතයම නීතිය බවට පත්කෙරෙන, ඒකාධිපති රාජාණ්ඩු ක‍්‍රමයකට ව්‍යවස්ථාමය මුහුණුවරක් ලබාදෙන ලියවිල්ලක එල්ලය ඇතිව බව දැන් තියාම මතක තියාගන්න.
[Image Credit:newindianexpress]
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda