Democracy, Development, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Trincomalee

නිදහස ගිල දමන ‘ආශ්චර්යයේ බූවල්ලා’

ත්‍රිකුණාමලය වෙරළේ වැළි හාරන බැකෝ යන්ත්‍රය | January 27, 2013
ත්‍රිකුණාමලය වෙරළේ වැළි හාරන බැකෝ යන්ත්‍රය | January 27, 2013

පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම මුහුද දැකීම මෙන්ම මනරම් විය. එක් පසෙකින් කෝනේෂ්වරම් දෙවොලත්, අනෙක් පසින් තෙරක් නොපෙනෙන මහ මුහුදත් හිරු බසින විට ගෙන ආවේ අපූරු චමත්කාරයකි.

එකවරම මේ සියලූ සොදුරු දසුන් බිද දමා දැවැන්ත ඩෝසරයක් වෙරළට පතිත වූයේ නිසොල්මනේ ආහාර අහුලන් කමින් සිටි පරෙයියන් කිහිප දෙනෙකු ද බිය ට පත් කරමිනි. අප සිටි තැනට මදක් දුරින් පැමිණි ඩෝසරය ඉවක් බවක් නැතිව ඒ සුන්දර වෙරලේ වැලි හාරන්නට විය. ඉන්පසු ගොඩ ගැසූ මුහුදු වැලි ක‍්‍රමයෙන් ඊට නුදුරින් වූ මහපාරේ අයිනේ අතුරනු දුටුවෙමු.

‘‘ඇයි අර ඩෝසරෙන් වැලි හාරන්නේ?’’
අසල සිටි අයෙකුගෙන් මා විමසූවෙමු.

‘‘ඇයි දන්නේ නැද්ද? නිදහස් දිනේට උත්සවයක් තියනවා. ඒකට ස්ටේජ්, පාරවල් හදනවා. ඒකට පාර පුරවනවා.’’ ඔහු කියාගෙන ගියේය.

දැන් මේ සටහන ලියන මොහොත වන විට එම වේදිකාවන් මත, සිට 65වන නිදහස සමරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලූ සේනාව සූදානම් වනු ඇති. 65වන නිදහස සමරන විටවත් වසර ගණනාවක් ලේවලින් පෙගුණු නැගෙණහිර වෙරළට, යුද්ධයෙන් පසු වසර 3ක් ගෙවී ගොසින් වත් නිදහසේ ඉන්නට ඉඩක් නැති සේයකි. ඉවක් බවක් නැතිව ගොඩබිම මෙන්ම මුහුදු වෙරළ ද රාජපක්ෂ ආණ්ඩුවේ බූවල්ලා ගිල ගන්නේ තමන්ගේ පුද්ගලික දේපොලක් ලෙසය. නැගෙණහිර වෙරළාසන්න බොහෝ ඉඩම් මේ වන විට ආණ්ඩුවේ බළධාරීන් හෝ හෙංචයියන් විසින් අත්පත් කර ගෙන අති බවට දැන් නැගෙණහිර මිනිසුන්ට රහසක් නොවේ. ඒ ‘රහස මකන්නට’ වන් එයට නම් තබා ඇත්තේ නැගෙණහිර උදානය ලෙසය. මෙවැනි ත්ත්වයන් මත වුව, තව සුලූ මොහොතකින් ලේ, කදුලූ තැවරුනු වැලි මත තැනූ වේදිකාවල සිට රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම සකලවිද අතවැසි සේනාව ‘නිදහස’ ගැන උදම් ඇනීම ආරම්භ කරනු ඇති.

ඒත්..එවන් නිදහසක් යුද්ධයෙන් පසුව, අවුරුදු 3කට වඩා ගත වුවද අපට තිබේද?

නිදහස සමරණ ත‍්‍රිකුණාමයේ ඝාතනය

65 වන නිදහස් දිනය සමරණ ත‍්‍රිකුණාමළයේ වෙරළ තීරයට මදක් දුරින් ලෝකයම කම්පාකල ඛේදවාචකයක් මීට වසර 7යි මාසයකට පෙර සිදුකරමින් තිබිණී. ඒ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් 5දෙනෙකු, අද නිදහස සමරණ වේදීකාවට නුදුරුන් ‘පෝලිමට’ තබා වෙඩි තබා මරා දැමිණ. ඒ පිළිබදව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කල උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසවේ වාර්තාවේ ද මෙසේ දක්වා ඇත.

‘‘ අතීත පරීක්ෂණ කොමිසම්වල වාර්තා පිළිබඳ පසු විපරම් ක‍්‍රියාව

9.120 ”2005 අගෝස්තු මාසයේ සිට පැන නගින බරපතළ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව කෙරෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා සහ විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ” නිර්දේශ, විශේෂයෙන් ම 2006 ජනවාරි මාසයේ දී ත‍්‍රිකුණාමලයේ දී සිදු වුණු සිසුන් 5 දෙනෙකුගේ සහ මරණය සහ 2006 අගෝස්තු මාසයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ සේවකයන් 17 දෙනෙකුගේ මරණය පිළිබඳ සිදුවීම්වලට සම්බන්ධ වැරදිකරුවන් පිළිබඳව තව දුර පරීක්ෂණ පැවැත්වීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු යැයි කොමිසම දැඩි ලෙස නිර්දේශ කර සිටී. එවැනි පියවරක් නීතියේ රජැයීමට ගරු කරන බව සහතික කරන බලගතු සංඥාවක් යවනු ඇති අතර, එය සමාදාන ක‍්‍රියාවලියට දායක වනු ඇත. ’’

එම සිසුන් 5දෙනා අතුරින් ඝාතනයට ලක්වූ මනෝහරන් රාගීහර්ගේ පියා වන වෛද්‍ය මනෝහරන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් සමග පවසා සිටියේ මෙවන් අදහසකි. ‘‘ඔවුන් මගේ ප්‍රත්‍රයා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා. එය ​වෛද්‍ය වාර්තාවේ පවා ඒ බව ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. මෙම ඝාතනයේ පළමු සාක්ෂිය මම. එය සිදුකරන ලැබු​වේ ආරක්ෂක අංශ විසින් බව ඉතා පැහැදිලියි “

“මෙම ඝාතනයෙන් පස්සේ මට සහ මගේ අනෙක් දරුවන්ට දිගින් දිගටම ජීවිත තර්ජන පැමිණියා. මට තවදුරටත් ලංකාව තුළ ජීවත්වීමේ හැකියාවක් නෑ. මට මගේ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධව කටයුතු කරන්න උවමනායි. එය මට ඇති අයිතියක්. නමුත් මට ලංකාව තුළ සිට එම අයිතිය වෙනුවෙන් කටයුතු කළ නොහැකියි. ලංකාව තුළ කිසිදු මානව හිමිකමක් සුරක්ෂිත නෑ. එම නිසයි මම සහ මගේ පවුල ලංකාවෙන් පිටවූයේ.”

“මට විශ්වාසයක් නෑ ශ්‍රී ලංකා අධිකරණය පිළිබඳ. නමුත් මම විශ්වාස කරනවා ජාත්‍යන්තර අධිකරණයකදී අනිවාර්යයෙන්ම මගේ පුත්‍රයාට යුක්තිය ඉටුවෙයි කියලා. යනුවෙන් ඔහු පවසි සිටී.’’
( උපුටා ගැනීම – Ragihar Manoharan, Sri Lanka – Write for Rights | ඇම්නෙස්ට් ජාත්‍යන්තරය නිෂ්පාදනය කළ විඩියෝවෙන්)

65 වන නිදහස සමරණ මේ මොහොත වන විටත් ඒ පිළිබදව කිසිදු පරීක්ෂණයක් පැවැත්වීමට බළධාරීන් කිසිදු උත්සහයක් ගෙන නැති තත්ත්වයක් තුළ, සිසුන් ඝාතනය කල තැන පෙනී පෙනී නිදහස සහ යුක්තිය ගැන උදම් අනන්නට හෘද සාක්ෂියට එකගව ශිෂ්ඨ සමාජයකට හැකියාවක් තිබේද?

මාතලේ ඇටසැකිලි

නැගෙණහිර එසේ වෙද්දී 65වන නිදහස සමරණ විට දකුණේ තවත් ඛේදවාචකයක වේදනාත්මක නටඹුන් හෙළි වෙමින් තිබේ. ඒ මාතලේ රෝහල් භූමියෙන් සිය ගණනක් මිනිස් ඇටසැකිලි මතු වීමයි. මේ සම්බන්ධයෙන් තවමත් හරිහැටි නිළ ප‍්‍රකාශයක් ආණ්ඩුවෙන් සිදු නොකළත් ඇතැම් මාධ්‍ය ප‍්‍රකාශ කර සිටියේ මෙය 1988/89 කාලවලදී සිදුකල සංහාරයේ සගවා ඇති ප‍්‍රතිඵල බවය. එය ඇතැම් විට සනාථ කරමින් එවක ක්‍රියාකාරීව සිටි ජවිපෙ ක‍්‍රියාකාරිකයෙක් පවසා සිටියේ ‘‘ඔතන තමයි වධකාගාරය තිබ්බේ. මොකද ඔතනට නුදුරින් තියන විජය විද්‍යාලයේ තමයි ඒ කාලයේ ආණ්ඩුව විසින් ජවිපෙ මර්ධනය කිරීමට යොදා ගත් ප‍්‍රධාන හමුදා ඛණ්ඩය තිබුනේ. පුදුමයට වගේ ඒ හමුදා ඛණ්ඩයේ ප‍්‍රධාණ නිළයක් දරපු කෙනෙක් තමයි අද ආරංක්ෂක අංශයක ප‍්‍රධානියෙක්. ඒ නිසා ඒකේ ඇත්ත තොරතුරු, ආණ්ඩුව වෙනස් උනත් එළියට එන්නේ නැතිවෙයි. මොකද ඒ පුද්ගයා එදවස ඒ හමුදා රෙජිමේන්තුවේ එක් ප‍්‍රධානියෙක් නිසා’’ ඒ මරා දැමූ එකදු මිනිසෙකුටවත් යුක්තිය ඉෂ්ඨ වෙනු ඇතැයි ‘නිදහස‘ සමරන මේ මොහොතේ කිසිදු ඉගියක් වත් නැත.

නිදහස සහ උතුරේ පහන්

දැන් අපට නිදහස් දින දෙකක් ඇති බවට ඇතැම් අයවලූන් පසුගිය කාලයේ ප‍්‍රකාශ කළේය. ඒ එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රධානියා ඝාතනය කළ මැයි 19වනදාත්, 1948 පෙබරවාරි 04, එනම් අද දිනයත්ය. නමුත් නිදහස් දින දෙකක් ඇතැයි කියන, මෙය පුණ්‍ය භූමියක් යැයි කියනා රටේ පසුගිය නොවැම්බරයේදී පහන් දැල්වූ යාපනයේ සරසවි සිසුන්ට හමුදාව ලවා පහර දුන්නේ ය. පසුව එයට විරෝධය දක්වමින් සිසුන් දියත්කළ සාමකාමී විරෝධයට පහරදී සිසුන් පිරිසක් අත්අංගුවට ගත්තේ ය. ඒ සිසුන්ගෙන් සමහරෙක් තවමත් හමුදා කදවුරුතුළ අත්අඩංගුවේය. දැන් අප මේ නිදහස සමරන්නේ යුද්ධයෙදී මිය ගිය සිය සමීපතමයින් උදෙසා පහන් දැල්වීමට තිබෙන මූලික සාදාචාරමය අයිතීන්ද තුවක්කු බටයෙන් තලා දමාය.

තමන්ගේ ආදරණීයන්, මිතුරන් හෝ විරුවන් වේවා මළවුන් සිහිපත් කිරීමට ජීවත්ව සිටින්නවුන්ට තිබෙන අයිතියද 65 වන නිදහස සමරණ මේ මොහොතේ අහිමි කරමින් සිටින මොහොතකය.

විලාප කාලයක්

මේ සටහන් කළේ ලාංකීය දූපතේ මේ වනවිටත් සිදුවන්නා වූ වේදනාත්මක සිදුවීම් වලින් කිහිපයකි. එයට අමතරව රාජපක්ෂ ආණ්ඩුව සිය ආණ්ඩුකරණ ක‍්‍රියාවලීයේදී සිදු කරන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීකි‍්‍රයාවන් මෙයට අමතරව බූවල්ලෙක් සේ දේශපාලන, සමාජ සහ සංස්කෘතික සමස්ත පද්ධතියම වෙලාගෙනය. මේ තත්ත්වයන් සලකා කොළඹ රදගුරු දිලෝරාජ් කනගසබේ පියතුමා විසින් නිදහස් දිනයට පෙර දිනයේ එනම් ඊයේ විලාප කාලයක් නම් කළේය. එය නම් කරමින් පියතුමා මෙසේ සදහන් කළේය. ‘‘නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු නොවෙන බවටත්, හිතුවක්කාරී ලෙස එම බලය පරිහරණය නොකෙරෙන බවටත් වගබලා ගැනීමට ඇති එක් මගකි. එවන් වගවීමක් කඩා විසිරුවන ක‍්‍රියාවලියක් පසුගිය වසර කිහිපය තිස්සේ දියත් විය. විධායකය සහ ව්‍යවස්ථාදායකය මගින් සුරැකීමට දිව්රුම් දී ඇති ව්‍යවස්ථාවේ විධිවිධාන ඔවුන් විසින්ම නොතකා හැරීමේ සිදුවීම් මාලාවක් මගින් පසුගිය දිනවල එය කූටප‍්‍රාප්තියට පත්විය. ‘‘යුක්තිය යනු බලපුලූවන්කාරකමයි’’ යන ප‍්‍රතිපත්තිය මත පාලනය වෙන රටක වේශයක් අපට අද ආරෝපණය වී තිබෙන බවත් පවසමින් එබැවින් එළැබෙන පෙබරවාරි 4 නිදහස් දිනයට පෙර දිනය ‘‘විලාප දිනයක්’’ ලෙස නම් කරන බවය’’

නමුත්…

Sri-Lanka-Independence-Day[Photo Credit:srilanka.for91days.com]
අද 65 වන නිදහස් දිනය, රාජපක්ෂ ආණ්ඩුව ත‍්‍රිකුණාමළේ දී සමරන්නේ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය, උතුරේත් දකුණේත් කිසිදු හිරිකිතයකින් තොරව පාගා දමමිමින් සිටින මොහොතකය. එහිදී ‘අපි අද වැනි දවසක තමයි අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස දිනා ගත්තේ’’ යැයි හයක් හතරක් තේරෙන කුඩා දරුවාගේ සිට ලංකාවේ බොහෝ දෙනෙක් කියනු ඇත. නමුත් සත්‍ය ලෙසම ‘අද දවසේ නිදහස’ දිනා ගැනීම සදහා සටන් කරන්නට වී ඇත්තේ ඒකාධිපති ගමනක් ආරම්භ කර ඇති දේශීය පාලකයන් සමගය. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී මතවාදයන්ට සහ ක්‍රියාවන්ට එරෙහිවය. මේ පාලකයන් උතුරු වසන්තය, නැගෙණහිර උදානය, සේම ‘ආශ්චර්යමත් රටක්‘ යනුවෙන් විවිධ අයිසින් තැවරූ වදන් පිළිගන්වමින් ඔවුන්ගේ ඒකාධිපති ස්වරූපයන් වසා ගන්නට උත්සහ කරයි. අධිකරණයට පයින් ගසා, ඊනියා දෝෂාභියෝග ඡන්ද විමසීම අතරතුරම ආණ්ඩුවේ කූලීකාර මැරයින් සමග ඇමතිවරුන්ද, ඇයගේ නිවස ඉදිරිපිට කිරිබත් කයි. කඩු, පොලූ රැගත් ආණ්ඩුවේ කූලිකාර මැරයින් උත්තරීතර අධිකරණය ඉදිරිපිටදී පොලීසිය බලා සිටියදී මිනිසුන්ට පහරදී ජෝගි නටයි.

මෙසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මානව හිමිකම්වත් තුට්ටුවකටවත් මායිම් නොකර සිය අධිපතිවාදී පාලනය ඉදිරියටම ගෙන යමින් සිටින දේශීය පාලකයන් පසුගිය වසර 3නේම මෙන්ම අදත් මෙසේ කියනු ඇත. ‘ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදවාගෙන, දැන් රට සංවර්ධනය කරමින් ඇත‘. යනුවෙනි. නමුත් 65 වන නිදහස(?) සමරණ අද දවසේ ඒ වදන් අසන බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් ඇත. දැන ගත්තත් නොදන්නා මෙන් හිදිමින් එහි ආශ්වාදය විදින(උදාහරණයකට වාසු මෙන්) කරුණක් ඇත. පාලක රෙජීමය නැමති බූවල්ලා විසින්, මානව නිදහසේ සහ සාධාරණත්වයේ සියලූ කුලූනු බිදලමින්, සිය ප්‍රජාතන්ත්‍රවිරෝධි ගමන ඉතා වේගවත් කර තිබෙන බවය. එය සිංහ කොඩිවලින් සිය සිරුර වසාගෙන අද දිනයේ දී ජෝගි නටන යටත්වැසියාට තේරුම් ගැනීමට හැකි වන්නේ ‘ආශ්චර්යයයේ බූවල්ලා’ තම දොරට තට්ටු කිරීමෙන් පසුවය. ඒ වන විට ‘‘කෝච්චිය ගොස් බොහෝ වේලාවක් ගත වී තිබෙන්නට පුලූවන’’