Arts and Theatre, Colombo, Culture, Democracy, Features, Human Rights, Media

‘විශ්වරූපම්’: කලාවේ නිදහස සහ ආගමික අයිතිය

123Vishwaroopam-First-Look-Pos300ප‍්‍රකට දකුණු ඉන්දියානු සිනමා නළුවෙකු වන කමල් හසන් අධ්‍යක්ෂණය කළ විශ්වරූපම් සිනමා පටය තමිල්නාඩුවේ තහනමට ලක්විය. මුස්ලිම් භක්තිකයන්ගේ ආගමික හැඟීම් රිදවීමක් එමගින් සිදුවේය යන චෝදනාව ඊට හේතුවයි. කෙසේ වෙතත්, චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ මුස්ලිම් නායකයන් අතර ඇති කරගත් සම්මුතියක් ප‍්‍රකාරව, ඊයේ එරට අධිකරණය එම තහනම ඉවත් කෙළේය. දැන්, මේ මස 8 වැනි දා සිට එය තිරගත වීමට නියමිතයි.

ලංකාවේ මෙම චිත‍්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලැබී ඇතත්, එය මෙහි පෙන්වන්නට තමන් ඉඩ නොදෙන බව ඇතැම් මුස්ලිම් නායකයන් කියා තිබේ. රැගුම් පාලක මණ්ඩලයේ නෛතික අයිතිය දැන් කාලයක සිට වෙනත් සමාජ කොටස් අතට ගැනෙමින් තිබෙන නිසා, තව කාලයක් යන විට, සෑම කලා කෘතියක්ම(චිත‍්‍රපටි පමණක් නොව), බෞද්ධ, මුස්ලිම්, හින්දු සහ කිතුණු ආදී ආගමික අධිකරණයක අවසරය යටතේ මහජන වින්දනය සඳහා නිදහස් කළ යුතු තත්ත්වයක් උද්ගත වීමට බැරි නැත.

ලෝකයේ අති බහුතරයක් මිනිසුන්ට තවමත් ආගමක් අවශ්‍ය කරන බව සත්‍යයකි. ඒ නිසා, තමන් විශ්වාස කරන ආගමක් ඇදහීමට ඒ අයට ඇති අයිතිය කවුරුත් පිළිගත යුතුය. එය, තමන් කැමති සංගීතයක් රස විඳීමට කෙනෙකුට ඇති අයිතිය වැනි ය. එහෙත් සෑම ආගමක්ම තවත් ආගමකින් වෙනස් නිසා, එක ආගමක් අදහන කෙනා අනිත් සෑම ආගමක්ම අනිවාර්යෙන් ප‍්‍රතික්ෂේප කරන්නෙකු වන්නේය. උදාහරණයක් වශයෙන්, ක‍්‍රිස්තු භක්තිකයා නිර්වාණය බොරුවක් යැයි විශ්වාස කරන අතර බෞද්ධයා ස්වර්ගය බොරුවක් යැයි විශ්වාස කරයි. දැන් මේ දෙන්නාටම තමන්ගේ ආගම ඇදහීමට පැවරී ඇති ඒ ‘අයිතියට’ යටින්, අනිකාගේ ආගම ‘බොරුවක්’ සේ ගැනීමට ඇති අයිතියත් පැවරෙයි. එයට කිසිවෙකු විරුද්ධ වන බවක් අප අසා නැත. කොහෙත්ම ඒ මගින් අනිකාගේ ‘ආගමික හැඟීම් රිදවීමක්’ කෙරෙති යි සැළකෙන්නේ ද නැත. එහෙත් එසේ සැළකුණු කාලයක් තිබුණි. ඒ වැඩි ඈතක නොවේ. මීට අවුරුදු තුන්හාර සීයකට කලිනි. ඒ කාලයේ දී, තමාගේ නොවන ආගමක් අදහන අනිකාව ගිනිමැලවල දමා පුලූස්සන ලදි.

දැන් පහත සඳහන් උපුටන දෙක කෙරෙහි අවධානය යොමු කරමු:

‘‘ඔබේ සහෝදරයා, ඔබේ මවගේ පුත‍්‍රයා, හෝ ඔබේ පුත‍්‍රයා හෝ ඔබේ දියණිය හෝ ඔබේ මිතුරාගේ බිරිඳ හෝ ඔබේම ආත්මය මෙන් සිටින ඔබේ මිතුරා, ‘‘අපි ගිහිං වෙන දෙවියෙකුට වඳිමු’’ යි හොර රහසින් ඔබව පොළඹවයි නම්, ඔහුගේ බසට ඔබ අවනත නොවිය යුතුය, ඔහුට සවන් නොදිය යුතුය, ඔහුට අනුකම්පා නොකළ යුතුය, ඔහුව ඉතුරු නොකළ යුතුය, ඔහුව නොසැඟවිය යුතුය: ඔබ ඔහුව මැරිය යුතුය. ඔහුව මරණයට ලක්කිරීමට එසැවෙන පළමු අත ඔබේ විය යුතුය. ඉන් පසු සියලූ මිනිසුන්ගේ අත් ඔහුට එරෙහිව එසැවිය යුතුය. ඊජිප්තු දේශයෙන් ඔබව ගලවා ගත්, බන්ධන නිවෙසින් ඔබව ගලවා ගත් ස්වාමි වූ දෙවි පියාණනන්ගෙන් ඔබව මෑත් කිරීමට ඔහු වෙහෙසුණු නිසා, ඔබ ඔහුව ගල් ගසා මැරිය යුතුය… දෙවි පියාණන් විසින් ඔබට ජීවත් වීමට තනා දෙන ලද ඔබේ නගරවලින් එකක තුච්ඡ මිනිසුන් ඔබ අතරට පැමිණ, නොදන්නා දෙවියෙකු පෙන්වා ‘‘අපි ගිහිං වෙන දෙවියෙකුට වඳිමු’’ යි එම නගර වැසියන්ව නොමග යවා ඇත්නම්, ඔබ ඒ ගැන විපරම් කළ යුතුය: සොයා බැලිය යුතුය: බලව, එය සැබෑවක් නම්, ඔබ අතරේ එවැනි අශික්ෂිත ක‍්‍රියාවක් සිදුකොට ඇත්නම්, එම නගරයේ සියළු වැසියන්වත්, හරකබානත්, ඔබේ කඩු පතින් නසා දැමිය යුතුය.’’

දෙවැනි උපුටනය මෙසේ ය:

‘‘දෙවියන් වහන්සේ යනු මිථ්‍යාදෘෂ්ටිකයාගේ හතුරා ය.’’ (2:98), ‘‘අපි ඔවුන්ට ටික කලක් ජීවත් වන්නට ඉඩ හරිමු. ඉන් පසු, ගින්නට ඇදගෙන යමු. නපුරම, උන්ගේ ඉරණම වනු ඇත.’’ (2:126), ‘‘හසුවන තැනක දී උන්ව මරා දමන්න, ඔබව පිටමං කළ තැනින් උන්වත් පිටමං කරන්න. ප‍්‍රතිමා වන්දනාව, මනුෂ්‍ය සංහාරයට වඩා නරක ය.’’ (2:190).

පළමු උපුටනය බයිබලයෙනි. (ඩියුටරොනොමි 13:6, 8=15) දෙවැන්න, කුරානයෙනි.

දැන්, ආගමික හැඟීමක් නැති, කිසි ආගමක් නොඅදහන, මගේ මිනිස් හැඟීම් මේ ප‍්‍රකාශනවලින් හොඳටම රිදෙයි. ඉතිං, මා කළ යුත්තේ කුමක් ද? මේ කියන උපුටන දෙක පදනම් කරගෙන මට චිත‍්‍රපටියක් කළ හැකිය. නැත්නම්, කවියක් හෝ නවකතාවක් ලිවිය හැකිය. එවිට, එම කලා කෘතියෙන් යමෙකුගේ ආගමික හැඟීම් රිදවෙති යි කියා මගේ කලාකෘතිය තහනම් කිරීමට හෝ එය විකුණන පොත්හල් හෝ පෙන්වන සිනමාහල් ගිනිබත් කිරීමට යමෙකුට අයිතියක් ලැබෙන්නේ කෙසේ ද?

ඓතිහාසික හේතුන් මත අතීත වීශ්වාසයන් වෙත ආරෝපණය කෙරුණු පූජණීයත්වය, නූතන මිනිස් ක‍්‍රියාකාරීත්වයන් මත තබා ගණන්හිලව් හදාගැනීමේ කාලය පැමිණ තිබේ. මන්ද යත්, මිනිසුන් වෙනුවෙන් යම් කලක දී බිහි වූ සෑම ආගමක්ම, අද වන විට, ඒ මිනිසුන් නොමිනිසුන් කිරීමට, අඩු වැඩි වශයෙන්, දායක වෙමින් තිබෙන බැවිනි. එක පැත්තකින් ගත් විට, සෑම ආගමක්ම දේශපාලනීකරණය වී තිබේ. තවත් පැත්තකින්, ‘‘රිදවීමට ලක්වීමෙන් ආරක්ෂා වීමේ’’ පරම අයිතියක් සෑම ආගමකටම සම්ප‍්‍රදායිකව පැවරී ඇතැ යි විශ්වාස කෙරේ. පුද්ගලයෙකු වශයෙන් මට යමෙකු විසින් අපහාස කිරීමට විරුද්ධව ගත හැකි නීතිමය පියවරට වැඩි ආරක්ෂාවේ වරප‍්‍රසාදයක් කිසි ආගමකට තිබිය යුත්තේ ඇයි?

මහ පොළොව මත ඇති සෑම විෂයයක්ම සාකච්ඡාවට ගත හැකි එකම ක්ෂේත‍්‍රය කලාවයි. එහි දී, ලිංගිකත්වය වේවා, ආගම වේවා, කිසි විෂයයක් ‘පූජණීය’ විය යුතු නැත. සදාචාරය සහ පූජණීයත්වය, මිනිස් පැවැත්මට අදාළ ජීවන උරුමයක් විය යුතුවා මිස, බලය පිළිබඳ දෘෂ්ටිවාදයකින් නිර්වචනය විය යුත්තක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, පූජණීයත්වයක නාමයෙන් හිංසාවක් කරන කිසි තැනක පූජණීයත්වය ඉතිරි විය නොහැක.

ඉහත සඳහන් උපුටන දෙකට සමාන උපුටනයක් බුද්ධ දේශනය තුළ සොයා ගැනීමට නැත. එහෙත්, එසේ නොවූ පමණින්, ඉහත කී ලේඛන විශ්වාස කරමින් අතීතයේ කටයුතු කළ කිතුණුවාට සහ තවමත් කටයුතු කරන මුසල්මානුවාට වඩා අද ලංකාවේ ජීවත් වන බෞද්ධයා ධර්මිෂ්ඨ ද? පළමු ශික්ෂා පදය වශයෙන්ම සතුන් මැරීම තහනම් කොට ඇති සාසනයක චීවරධාරී පැවිද්දන්, දෙමළා මැරීම නිවනට මගකැ යි දේශනා කෙළේ මේ ඊයේ පෙරෙයිදා ය. අද වන විට, කිතුණු පල්ලිවලට ගිනි තියන, මුසල්මානුවන්ගේ කඩ කඩන සහ ව්‍යාපාර වර්ජනය කරන සංවිධාන ගොඩනැගෙන්නේ එවැනි ආගමිකයන්ගෙනි. රිසානාගේ හිස ගසා දැමුණේ බටහිර රටක නම් සහ ඇය බෞද්ධයෙකු විණි නම්, ලංකාව ගිනිගන්නට තිබුණි. එහෙත්, ඇය මුස්ලිම් වීමත්, ඇගේ ගහලයා මුස්ලිම් පාලකයෙකු වීමත් නිසා, ඇය වෙනුවෙන් අපෙන් ප‍්‍රකාශයට පත්වුණේ, අනේ අපොයි කියන ව්‍යාජ අනුකම්පාවක් සහ ‘ලංකාවේ ගැහැනුන් මැද පෙරදිගට නොයවනු’ වැනි තවත් ආකාරයක මුග්ධ සටන් පාඨ කිහිපයකුත් පමණි.

මේ ආගමික ‘රිදවීම’ යන කාරණය දේශපාලනික කාරණයක් මිස ආගමික කාරණයක් නොවේ. ආගමික රිදවීමක් යැයි පොදුවේ හැඳින්නුවත්, ඇත්තෙන්ම එතැන ඇත්තේ ආගම තුළ ඇති දේශපාලනයට සිදුකෙරෙන රිදවීමකි. ‘මිථ්‍යා දෘෂ්ටිකයන්ව’ ගිනිමැලවල දමා පුළුස්සන මධ්‍යතන යුගය ක‍්‍රිස්තියානි ආගම වැඩියෙන්ම දේශපාලනීකරණයට යට වූ අවදියකි. එම අදියරට, අද මුස්ලිම් ආගම වෙනස් ආකාරයකින් පිවිස සිටී. පසුගිය අවුරුදු තිහ හතළිහක කාලය තුළ ලංකාවේ ඇති වූ ජාතික අර්බුදය හේතුකොටගෙන, අද වන විට බෞද්ධයාත් එම මාර්ගයට ඉතා සීග‍්‍රයෙන් පිවිසෙමින් සිටී. එනම්, හොස්ස ළඟින් මැස්සා ගියත් රිදෙන තරමට මේ පිරිස් අද ‘සංවේදී’ වෙත්. බොදුබල සේනා වැනි සමාජනාශක ව්‍යාපාර හිස ඔසවන්නේ එවැනි පරිසරයක ය.

කලාවත්, කලාකරුවා සහ කලා රසිකයාත් මේ තත්ත්වයට වගකිව යුතු ද? ඔව්, ඔවුන් ද විවිධ අයුරින් මෙකී ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවන් වී තිබේ. කලාව තුළ යෙදැවූ ආයෝජනයෙන් උපයාගත් සමාජ ප‍්‍රාග්ධනය එවැන්නන් තවමත් ප‍්‍රතිආයෝජනය කරමින් සිටින්නේ, ආගම සහ ජාතිය තුළ ය. ඒ මගින් ආගම සහ ජාතිය ආරක්ෂා වෙතැ යි ඔවුන් සිතන බවක් පෙනේ. මෙය, විශේෂයෙන් කලාකරුවෙකු ගොදුරු නොවිය යුතු, විනාශකාරී මායාවකි. එය, රටටත්, ජාතියටත්, කලාවටත් කරන විශාල අවැඩකි.
[Image Credit: ssmusictheblog.blogspot.com]

Gamine Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda