1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම පිනිස මාස ගණනාවක් යුද හමුදා බාරයේ තබා ගෙන දස වධ දීමෙන් පසු ඔහු අතුරුදහන් කරවන ලදී. පසු කළෙක බමේකා අත් අඩංඟුවට ගෙන වධහිංසා පැමිණ වූ හමුදා බුද්ධි අංශයේ නායකයා වූ ඔට්ටෝ පාවේස් මොලීනා 2007 දී ජනාධිපති බවට පත් විය. 2012 ජනවාරි වන තුරු ඔහු එම ධුරය හෙබවීය. ඔහු යටතේ 1992 දී කරන ලද බමේකාගේ මරණය ජනාධිපති වීමෙන් පසු ප්‍රශ්න කරන ලදුව ඒ ගැන තමා කිසිවක් නොදන්නා බවට ඔහු යළි යළි දිවුරා ප්‍රකාශ කළේ ය.
එනමුත් එක්සත් ජනපදයේ නීතිවේදිනියකු ලෙස කටයුතු කරන බමේකාගේ වැන්දඹු බිරිඳ ජෙනිපර් හාර්බි සිය සැමියාගේ මරනය ගැන සැබෑ තොරතුරු දැන ගැනීම පිණිස අරගලය අත හැරියේ ම නැත. ඇය සැකකාර අපරාධකරුවනට එරෙහිව නඩු ගණනාවක් පැවැරුවේ ය. ඉන් එක් සැකකරුවකු වන්නේ හිටපු ජනාධිපති පාවේස් මොලීනා ය. මෙම නඩු පැවැරීම සඳහා ඇය සාක්ෂි වශයෙන් යුද හමුදා වාර්තා, දිව්රුම් ප්‍රකාශ, වසර විස්සකට පසුව ප්‍රසිද්ධියට පමුණුවන එක්සත් ජනපද රහස් ලේඛන යනාදිය යොදා ගත්තේ ය. මෙම සාක්ෂි වලට අනුව හිටපු ජනාධිපති පාවේස් මොලීනා බමේකාගේ ට වධහිංසා පැමිණවීම ගැනත් ඔහු මරා දැමීම ගැනත් දැන සිටි බව දැන සනාථ වී තිබේ.
බමේකාගේ මරණය පිලිබඳව නඩු විභාගය යළි විවෘත කරන සේ ලතින් ඇමෙරිකානු මානව හිමිකම් කොමිසම පසුගිය දා ඒ අනුව තීන්දුවක් ද දුන්නා ය. එසේ නමුත් ගෝතමාලා ආණ්ඩුව තවම එම තීරණය ක්‍රියාවට නගා නැත. එනමුත් සිය සැමියාගේ මරණයෙන් වසර විසිකට පසුත් ජෙනිපර් හාර්බි සිය අරගලය අත හැර නැත. යුක්තිය ලැබෙන තුරු අරගලය අත නොහරින බව ඇය කියයි.
ඒ වනාහී රාජ්‍ය ත්‍රස්තවාදය විසින් අතුරුදහන් කරවන ලද සිය සැමියා වෙනුවෙන් අතනෑර සටන් කරන එක් ගැහැනියකුගේ කතාව ය. 1970 ගනන් අග භාගයේ දීත් 1980 ගනන් පුරාත් යුද්ධ හමුදා අඥාදායකත්වයන් සමඟ සටන් වැදුනු දස දහස් ගනනාවක් සටන්කාමීන්ටගේ සොහොනු බිම බවට පත් වු ලතින් ඇමෙරිකාවෙහි එවැනි අභීත ගැහැනුන් මිනිසන් සහ ප්‍රජාවන් පිළිබඳ සිත් පැහැර ගන්නා වීර කතා එමට ය. එම වීරත්වය පිටුපස ඇතතේ සිය මියගිය සගයින් සහ ඥතීන්ට යුක්තිය ලබා දීම වෙනුවෙන් මානව වර්ගයා තුළ ඇති නිසඟ කැපවීමය.
ඒ වෙනත් රටක කතාවකි. දැන් අපේ රටේ කතාවට යමු.
අතුරුදහන් වූවන්ගේ යැයි සැක කරන මිනිස් ඇට සැකිළි 154 ක පමණ කොටස් හමු වූ මාතලේ රෝහල අසළ සමූහ මිනීවල පසුගිය දා නිල වශයෙන් වසා දමන ලදී. එම අවස්ථාව ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට සිදු වූයේ හිස් අතින් ආපසු ඒමට ය. ජනමාධ්‍යට එම සමූහ මිනීවල තහනම් විය. ප්රජාතන්ත්රවාදී රටකදී නම් මෙවැනි මහා පරිමාන සමුහ මිනී වළක් විසින් ඇති වන ප්‍රබල ජනමාධ්‍ය සංවාදය මුල සිටම කණගාටුවකට මෙන් ශ්‍රී ලංකාවේ තිබුනේ නැත.
මෙම මිනී වලෙන් සොයා ගත් ඇට සැකිළිවල ස්වභාවය අනුව බැස ගත හැකි නිරීක්ෂන කිහිපයක් තිබේ. එකක් නම් මෙම පුද්ගලයින් වළ දමා ඇත්තේ ගෞරවාන්විත අන්දමකින් නොවන බවයි. කිසිදු මිනී පෙට්ටියක සළකුනක් හෝ එහි හමුවූයේ නැත. දෙවැන්න නම් හමු වූ ඇට සැකිළිහි අත් පා වෙන් වෙන්ව ද සමහර ඇට සැකිළවල හිස් නැතිව තිබීම ද යනාදී කරුණූ විසින් පෙන්වන්නේ බොහෝ දුරටම මෙම පුද්ගලයින් වධහිංසාවන්ට දරුණූ ඝනයේ භාජනය කරන ලද බවයි. මෙම සමූහ මිනීවල පිළිබඳ පල වූ වාර්තාවන්හි ඔවුන් හැද සිටි ඇදුම් හෝ පාවහන් පිළිබඳව හෝ කිසිදු සඳහනක් තිබුණේ ද නැත. ඉන් අදහස් වන්නේ ඔවුන් නිරුවතින් වළදැමු බව ද?
මෙම ඇට සැකිළි වල පුරා විද්‍යා වටිනාකමක් එනම් ඒවා 1948 කැරුලිකරුවන්ගේ සැකිළි ද යන ප්‍රශ්ණයට දැනටමත් ‘නැත‘ යන පිළිතුර ලැබී තිබේ.
දකුණු ප්‍රදේශයන්හි දී වධහිංසා පමුණුවා අත් අඩංඟුවට ගත් පිරිස් ඝාතනය කරන ලද අවස්ථා දෙකින් පළමුවැන්න වන 1971 අපේ‍්‍රල් කැරුල්ලේ දී මෙතරම් පිරිසක් එක ගැන ඝාතනය කෙරුණූ අවස්ථා තිබුනේ නැත. එමෙන්ම එම අපේ‍්‍රල් 23දා සිට අත් අඩංඟුවට පත් සෑම කැරුලිකාර සැකකරුවකුම පාහේ බන්ධනාගාර ගත කරන ලදී. සසහමුලින්ම ඊට වෙනස් තත්ත්වයක් තිබුනේ කැරුලිකරුවන් ද භිෂකයින් සහ ඝාතකයින් බවට පත් වු දෙවැනි කැරුල්ලේ දී ය. එම කැල්ලට සම්බන්ධ යැයි අත් අඩංඟුවට ගැනුනු දහස් ගණනාවක් වධකාගාරයන්හිදී මරණයට පමුණුවන ලදී.
සොයා ගන්නා ලද ඇට සැකිළි වල ස්වභාවය සහ හමු වී ඇති ඇට සැකිළි ප්‍රමාණය සරළ සමීකරණයකට දැමූ විට ලැබෙන මූලික නිරීක්ෂනය නම් මේ වනාහී 1988 – 1990 යුගයේ ඝාතනය කරන ලද තරුණ තරුණියන්ගේ මළ සිරුරු විය හැකි බවයි. විද්‍යාත්මක සාධක විසින් සනාථ කැරෙන තුරු මෙම අදහස නිරීක්ෂනයක් ලෙස පවතිනු ඇත. එනයින් දැනට අප කල්පනා කළ යුත්තේ මෙහි වල දමනු ලැබ ඇත්තේ මාතලේ සහ ඒ අවටින් පැහැර ගත් තරුණ තරුණියන්ගේ මළ සිරුරු බවය.
සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රජාවක් දේශපාලන හේතූන් මත ඝාතනයට ලක් වන සිය සාමාජිකයින් ගැන දක්වන්නේ අමතක නොව මහත් උනන්දුවකි. ලොව පුරා මෙවැනි ඝාතනයන්ට ලක් වූ සිය සැමියන්, බිරියන්, දරුවන්, සහෝදරයින් සහ අවශේෂ ඥාතින් සම්බන්ධයෙන් ප්‍රජාවන් විසින් කරගෙන යන ලද අරගල ඉතිහාසගත පුරා වෘත්ත බවට පත් ව තිබේ. අතුරුදහන් කර වන ලද සිය සගයින් සහ ඥාතීන්ට සාධාරණය සහ යුක්තිය ඉල්ලා දින ගනන් නොව දශක ගනන් කරන ලද අරගලයන්ගෙන් ලෝක මානව හිමිකම් කතිකාව වර්ණ ගැන්වී තිබේ.
එනමුත් අපේ ශ්‍රී ලංකාව එක්තරා අන්දමක අපූරු රටකි. එහි ජනයා පැහැර ගෙන ගොස් මරා දමන ලද සිය දරුදැරියන් හෝ සහෝදර හෝ සහෝදරියන් සම්බන්ධයෙන් පවා දක්වන්නේ මහත් උදාසීනත්වයකි. වෙනත් ප්රජාතන්ත්රවාදී රටක මෙවැනි සමූහ මිනී වළක් හමු වී නම් අතුරුදහන් කරවන ලද සිය ඥාතීන් සොයා පැමිනෙන පිරිස් මෙම ස්ථානයෙහි කඳවුරු බදින්නට තිබුණි. නිදහස් මාධ්‍ය මෙම සොයා ගැනීම් ගැඹුරු විශ්ලේෂනයන්ට හසු කරන අතරම අදාළ කාලයෙහි අතුරුදහන් වූවන්ගේ පවුල් සොයා යමින් ඔවුන්ට සිය වේදනාව සහ යුක්තිය සඳහා වන කැකැරීම ප්‍රකාශ කරන්නට අවස්ථා පාදා දෙන්නට තිබුණි. මානව හිමිකම් සංවිධාන ස්වාධීන සහ පිළිගැනීමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත ස්වාධීන පරීක්ෂන කොමිසමක් පත් කරන්නට ඉඩ තිබුණි.
ශ්‍රී ලංකාවේ මේ කිසි දෙයක් සිදු වන්නේ නැත. දැන් එම සමූහ මිනීවල වසා දමා අවසානය. එහි වාර්තාව කවදා කවරකු අතට පත්වනු ඇත්දැයි දන්නේ වත්මන් අගවිනිසුරු මොහොන් පීරිස් හෝමාගම උසාවියට ප්‍රගීත් ගැන කී පරිදි ‘‘දෙවියෝ පමණය’’.
1990 ගනන් මුලදී නම් 1988 – 1990 වසරයන්හි එළෙස අතුරුදහන් කරවන ලද අද මාතලයෙන් හමුවන තරුණ පිරිස් වෙනුවෙන් මව්වරුන්ගේ ද මාපිය දූදරු සංවිධානද ගොඩ නැගුණි. අන්තිමේ දී ඒ සියළු ව්‍යාපාර 1994 වන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති කිරීම සඳහා අත්වැල් බවට පත් විය. එහි ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිනිය විසින් එකී අතුරුහදන්වීම් සොයා බලා ගත යුතු පියවර වාර්තා කිරීම පිණිස කොමිෂන් සභා තුනක් පත් කළා ය.
ජනාධිපති වන්ද්‍රිකා කුමාරතුංග විසින් එලෙස පත් කරන ලද අතුරුදහන්වීම් සොයා බැලීමේ කොමිෂන් සභාවන් විසින් 1988 – 1990 සමයේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ඝාතනය කරන ලද දහස් ගනන් තරුණ තරුනියන් පිළිබඳ විස්තර ක්‍රමානූකූලව සොයා ලිපි ගොනු ගත කරන ලදී. ඒ අතර මාතලේ දී අතුරුදහන් වූ පිරිස්හි විස්තරද සාක්ෂි සහිතවම තිබේ.
ජනාධිපති කුමාරතුංග එනමුත් තමන් විසින්ම පත් කරන ලද එම කොමිෂන් සභා නිර්දේශ අතරින් ක්‍රියාත්මක කළේ වන්දි ගෙවීම පිලිබඳ නිර්දේශය පමණි. නම්කරන ලද වරද කරුවන් සම්බන්ධයෙන් ඇය කිසිදු පියවරක් ගත්තේ නැත. පසු කලෙක ඇයගේ හවුල්කරුවන් බවට පත් ජවිපෙ පවා එම වාර්තා නිර්දේශ පිළිබඳව කිසිදු හා හූවක් නැගුවේ නැත.
අනතුරුව ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ප්රචන්ඩ දේශපාලනය සංස්කෘතිය වැඩි දියණු කිරීමේ මහත් විභවයක් තිබූ දස දහසකට වැඩි අතුරුදහන්වුවන් පිළිබඳ ව්‍යාපාර ඉක්මනින්ම බල දේශපාලනය තුල වැළලී ගියේ ය. අතුරුදහන්වීම් කොමිෂන් සභාවන්හි නිර්දේශයනට සිදුවූයේ එක් අතෙකට අද උගත් පාඩම් කොමසමේ නිර්දේශයන්ට අත් වෙමින් ඇති ඉරණමය.
පුදුමයට තවත් කරුණක් නම් දේශපාලන විපක්ෂය සහ කොළඹ සිවිල් සමාජය මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් දක්වන ලද ඇලූමැරුනු උන්දුවයි. ඝාතනය වුවන්ට යුක්තිය ඉටු කිරීමට වඩා සිය බල දේශපාලන ව්‍යාපෘති ඒ හැමට අද දවසේ වැදගත් වනවා විය හැකි ය. මානව හිමිකම් ගතිකත්වයක් විපක්ෂ දේශපාලන සිවිල් ධාරාව තුළ මුල්බැසගෙන නැත.
එපමණක් නොව එළෙස අතුරුදහන්වූවන් ද දැන් විවිධ දේශපාලන ධාරාවන්ට අයත්වී තිබෙන්නට ද පුළුවන. ඒ ඔවුන්ගේ ඥාතීන්ගේ දේශපාලන ලැදියාවන් අනුව විය හැකිය. තමන් බැදී සිටින දේශපාලන පක්ෂයට හානියක් වේ යැයි බියෙන් එම පිරිස් මෙම ගොඩ ගැනෙන තමන්ගේම දරුවන් සහ ඥාතීන් අමතක කර දමනවා විය හැකිය. වමේ සිට දකුන දක්වා වන සිංහල ජාතිකවාදී පිරිස් කල්පනා කරනු ඇත්තේ මාතලේ සමුහ මිනීවලහි වැළලූනු තරුණ තරුණියන්ට යුක්තිය ඉෂ්ඨ කරන සේ ඉල්ලා සිටිය හොත් එනයින්ම උතුරෙහි වළ දමන ලද දහස් ගණනාවක් දෙමළ තරුණ තරුණියන්ට ද යුක්තිය ඉෂ්ඨ කරන්නට වනු ඇතැයි කියා ය.
දැන් සමූහ මිනීවල වසා දමා තිබේ. එලෙසින්ම ඉන් ගොඩ ගත් ඇට සැකිළි පිළිබද මතකය ද පුවත් පත් ප්‍රකාශ දෙක තුනකින් පසු වැසී යනවා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දේශපාලන උපාංගයක් බවට පත් වීම අදාළ වන්නේ මහින්ද රාජපක්ෂට පමණක් නොවේ. එය දැන් පෙනෙන විදියට සමස්ත විපක්ෂයටම අදාළ ය.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya