‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය)
රාජපක්ෂලාගේ යකා අවුස්සපු කෙනෙකුට මේ දක්වා අනාරක්ෂාවක් තිබුණේ තමාගේ ගෙයින් එළියට බැස්සොත් විතරයි.
හිංසනයට පත්වන්නාගේ ඒ අවසාන රක්ෂාස්ථානයත් දැන් ඔහුට අහිමි වෙමින් ඇති සෙයක් පෙනේ. ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ෆරාස් ෂව්කැට්ලිට වෙඩි තිබ්බේ ඔහුගේ නිවසේදීමයි.
විය යුතු පරිදිම, තුවක්කුකරුවන් තිදෙනා පළාගොසිනි. ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකාවේ සමහර අපරාධකරුවන් හසුවන්නේම නැත.
ෂව්කැට්ලි මහතාට වෙඩි තිබ්බේ ඇයි? එය අනාවරණය වනු ඇත්තේ ඔහුට වෙඩි තැබීමේ සිද්ධිය විභාග කෙරෙන ආකාරය අනුව ය. සිදු කරන ලද අපරාධය දේශපාලනික එකක් නොවේ නම්, අපරාධකරුවන් හසු වනු ඇත. එහෙත් ඔහුට වෙඩි තිබ්බේ ඔහු ලියන ලද විමර්ශන වාර්තාවන්ට අදාළව නම්, අපරාධකරුවන් සුළඟ සේ නිදහස්ව වෙසෙනු ඇත. මීට අවුරුදු හතරකට පෙර ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළ අපරාධකරුවන් සේම නිදහසේ සැරිසරනු ඇත.
මේ වෙඩි තැබීම සන්ධිස්ථානයක් ද වෙන්නට පිළිවන. රාජපක්ෂලාගේ අණ ක‍්‍රියාත්මක කරන්නන්ට මින් මත්තට අපරාධකරුවාට සිය ගොදුර එන තෙක් බලාගෙන පාරවල් ගානේ රැකගෙන ඉන්නට සිදුවන එකක් නැත.
ඔවුන් ගෙදරටම පැමිණේවි.
* * * * *
මහ පරිමාණ ආගමික යුද්ධවල දී සිදුවන හෙනගහන අපරාධ විඳීමට තරම් අවාසනාවන්ත නැති රටවල් අතරින් එකකි, ලංකාව.
අවුරුදු දහස් ගණනක් තිස්සේ අප ලද ඒ වාසනාව අවසානයකට පැමිණෙමින් ඇති සෙයකි. බොදුබල සේනාවේ වගකීම් විරහිත සාපරාධී ක‍්‍රියා, නීතිමය වශයෙන් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රීය වශයෙන් ද, ලත් තැනම ලොප් නොකළොත්, ආගමක් වෙනුවෙන් ඝාතනයට ලක්වීම මොන වාගේ දැ යි ශ‍්‍රී ලාංකිකයන්ට ඉක්මණින්ම දැනගත හැකි වනු ඇත.
දිනපතා කාන්තාවන් හතර දෙනෙකු(නිල නොවන වාර්තාවන්ට අනුව පස් දෙනෙකු) දූෂණයට ලක්වෙන, ළමා අපහරණය බහුලව සිද්ධවෙන, බෞද්ධ භික්ෂූන් වහන්සේලාම හිංසාකාරී අපරාධවල ගොදුරු බවට පත්වෙන රටක, සිංහල-බෞද්ධ අන්තවාදීන් අතලොස්සක්, මුළුමණින්ම ප‍්‍රබන්ධයක් වන නොපවතින දෙයක් ‘ප‍්‍රශ්නය’ වශයෙන් ඉස්මත්තට ගැනීමට සමත්ව සිටිති. ප‍්‍රචණ්ඩ අපරාධ, අහස උසට දිවෙන බඩු මිල සහ දිනපතා ගරාවැටෙන ජීවන තත්ත්වය වැනි තථ්‍ය ජීවිතයේ ප‍්‍රශ්න ගැන සැලකිලිමත් විය යුතු සාමාන්‍ය ජනයාව, ‘හලාල්’ සහ ‘ෂරියා නීතිය’ වැනි නොපවතින බිල්ලෙකු පෙන්වා ගොනාට අන්දවනු ලැබේ. මෙසේ, වියරු භක්තිකයන්ගේ පුංචි රුදුරු කල්ලියක් පොදු වැසියාව ප‍්‍රාණ ඇපයට නතුකර ගනිද්දී, රාජපක්ෂ ආණ්ඩුව කරන්නේ කරුණාබර පියෙකු සේ ඒ දෙස බලා සිටීමයි.
පෙබරවාරි 17 වැනි දා මහරගම දී ‘හලාල් විරෝධී’ ව්‍යාපාරය දියත් විය. තවත් රැස්වීම් ගණනාවක් පැවැත්වීමට නියමිතයි. අවුළුවන ලද ආගමික උමතුවේ ගින්නෙන් පල නෙලන්ට බලා සිටින ජාතික හෙළ උරුමයත් දැන් ඊට මුක්කු ගසයි. මෑතක දී කැබිනට් තත්ත්වයෙන් පහළට ඇද දමන ලද චම්පික රණවක අමාත්‍යවරයා ‘හලාල් ප‍්‍රශ්නය විසඳීමට’ අපේ‍්‍රල් දක්වා ආණ්ඩුවට කල් දී තිබේ. එයින් පසු, සිංහල-බුද්ධාගමේ ආරක්ෂකයන් බවට තුමූම පත්ව සිටින මේ පිරිස් ‘වැඩ පෙන්වනවා’ ලූ.
සිදුවීම් පෙළගැසෙන ආකාරය පෙන්වන වාර්තාවක් තිබේ: ‘‘කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නාරම්මල ප‍්‍රදේශයේ මුස්ලිම් කඩහිමියන් අඩු වශයෙන් 50 දෙනෙකුට තැපෑලෙන් මරණ තර්ජන පැමිණ තිබේ. මාර්තු 31 වැනි දා වන විට ඔවුන්ගේ කඩ වැසිය යුතු බවත්, නොඑසේ නම් මරණයට මුහුණදෙන ලෙසත් ඒ මගින් දන්වා තිබේ.’’ (කලම්බු ගැසට්: 17.02.2013).
දේශපාලනික අරුතකින් මෙන්ම මැතිවරණමය අරුතකින් ද, ජාතික හෙළ උරුමය යනු, හපයකි. බොදුබල සේනා පැවැත්මක් ගැන සිංහල-බෞද්ධයන්ගෙන් අතිබහුතරයක් දනිති යි සිතිය නොහැක. නැත්නම්, ජීවන බරට වඩා මේ කියන ‘හලාල්’ ප‍්‍රශ්නය වැඩි වැදගත්කමකින් යුක්ත වෙතැ යි ජනතාවට සිතෙන්නේ ද නැත. ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා ඔවුන්ගේ මේ විකාර න්‍යාය පත‍්‍රය රට මත පැටවීමේ දී සාර්ථකත්වයක් අත්කරගන්නේ ඔවුන් සතු විශේෂ ශක්තියක් නිසා නොව. රාජපක්ෂලාගෙන් ඔවුන් වෙත ප‍්‍රදානය කෙරෙන තොඳොල් සහනය නිසා ය.
ආණ්ඩුව, ඇතැම් විට ස්වකීය වාසි තකා, බාධාවකින් තොරව රටේ නීතිය කැඞීමට බොදුබල සේනාවට ඉඩ දෙමින් සිටී. මෙවැනි උන්මත්තකයන්ගෙන් යම් ප‍්‍රයෝජ්‍ය වටිනාකමක් ඇතැ යි රාජපක්ෂලා සිතනවා විය හැකිය. ‘ඉස්ලාමීය ත‍්‍රස්තවාදී තර්ජනයක්’ මවාපෑමෙන්, වොෂින්ටනය, ලන්ඩනය සහ නවදිල්ලිය තමන්ට දිනාගෙන, හම්බන්තොටට පොදුරාජ්‍ය මණ්ඩලයත් පවරාගෙන, නව ගැලවුම්කරුවන් වශයෙන් රාජාභිෂේක වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා විය හැකිය.
හෙළ උරුමයේ සිට බොදුබල සේනා දක්වා: වෛරයේ දේශපාලනය
ජාතික හෙළ උරුමය යනු, අනිකා නොඉවසීමේ සහ අවස්ථාවාදයේ ළදරුවෙකි. එය සංවිධානාත්මක දේශපාලන පැවැත්මක් තුළ කරණම් ගැසීමට පටන්ගත්තේ, ගරු ගංගොඩවිල සෝම හිමියන්ගේ අකල් අපවත්වීම මත ගොඩනැගුණු, (උන්වහන්සේගේ අවමගුල ගාම්භීර කෙළිමඩලක් කිරීමට එකිනෙකා පරයා තරග කළ මාධ්‍ය මගින් ද ඔසවා තබන ලද) මහජන ශෝකයේ පිටාර යෑමෙන් පිරිනැමුණු වාසි ඔස්සේ ය. ඒ කාලයේ සිහළ උරුමය මැතිවරණ අසාර්ථකත්වයේ එරී අභ්‍යන්තර දබරවල ද පැටලී තිබුණි. ජීවිතේ අවසාන කාලයේ සෝම හිමියන් දේශනා කෙළේ, අනිකාව නොඉවසන අන්තවාදී ලබ්ධියකි. මුලින්ම, එය මුසල්මානුවාට එරෙහි විය. අනතුරුව, කිතුණුවන්ට එරෙහි විය. ඉක්මන් දේශපාලනික ගැම්මක් සඳහා සිහළ උරුමය බදාගත්තේ උන්වහන්සේගේ ඒ අන්තවාදී උරුමයයි. සිහළ උරුමයේ නායකයන් සිය පක්ෂය සංඝයා වහන්සේට දානය කළ අතර, ඒ මතින් කිතුණු විරෝධී රැල්ලක් හරහා ජාතික හෙළ උරුමය බිහි විය.
ජාතික හෙළ උරුමයේ උද්ධච්ච භික්ෂූන් පාර්ලිමේන්තුවට ගියේ හය මාසයකින් ධර්ම රාජ්‍යයක් පිහිටුවන බවට සපථ කරමිනි. ඒ වෙනුවට ඔවුන් කෙළේ, තමන් නියෝජනය කරති යි ඔවුන් කියූ ඒ ශ්‍රේෂ්ඨ ආගමට අවනම්බුවම ගෙන ඒම යි. දශකයකටත් ආසන්න කාලයකින් පසුවත්, ජාතික හෙළ උරුමයේ පැවැත්ම සුජාත කෙරෙන මෙලෝ සාධනීය ගුණයක් ඊට අයත් නොවේ. හතරවැනි ඊලාම් යුද්ධයේ කඩාපාත් වීමත් සමග, එතෙක් ඔවුන් උඩ දමමින් සිටි ක‍්‍රිස්තියානි විරෝධී උමතුව අර්ථවිරහිත වී, පක්ෂය අසමගියට ගොදුරු විය.
ඓතිහාසිකව ගත් විට, ආගම සහ දේශපාලනය අතර සන්ධානය තීව‍්‍ර වන විට සිදුව ඇත්තේ, ආගම අපකීර්තියටත්, නිගරුවටත් පත්වීමයි. කොරියාවේ කොර්යෝ රජ පෙළපත කාලයේ බෞද්ධ භික්ෂූන් දේශපාලන බලය තමන් අතට ගත් විට සිදුවුණේ, එම රටේ පැවති බුද්ධාගම අන්තයටම පිරිහීමයි. ප‍්‍රංශ විප්ලවයේ පුජක-විරෝධයත්, ඉතාලි පුනරුදයත් එම තත්ත්වය පැහැදිළි කෙරෙන තවත් ප‍්‍රකට නිදසුන් ය. ආගම ලෞකික බලයක් බවට පත්වීමට තැත් කරද්දී ලෞකික බලවතුන් කරන්නේ ආගමටත් එම හැන්දෙන්ම බෙදීම යි. 1527 දී සිය අධිරාජ්‍යයෙන් රෝමය නෙරපා හල කතෝලික අධිරාජයෙකු වූ පළමුවැනි චාල්ස්ගේ හමුදාවන්, පූජකයන්ටත්, කන්‍යා සොහොයුරියන්ටත් කළ දාමරිකකම් ඉතිහාසයේ සටහන්ව තිබේ.
ආගමික සහ ලෞකික ක්ෂේත‍්‍ර වෙන් කෙරෙන බෙදුම් රේඛාව බොඳ වන විට, හැම පුරවැසියෙකුගේම මූලික අයිතීන් තර්ජනයට ලක්කෙරේ. වර්තමාන කතෝලික පල්ලියේ ළමා අපහරණ ආන්දෝලනය යට ගසා ගැනීමට ඊට හැකි වුණේ, යම් තාක් දුරකට දේශපාලන බලාධිකාරය වෙත බලපෑම් කිරීමට පල්ලියට හැකි වූ නිසා ය. පල්ලියේ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන ගිය කුප‍්‍රකට මැග්දලේන් ලොන්ඩි‍්‍රවල වැටුපකින් තොරව, අමානුෂික තත්ත්වයන් යටතේ, 10,000 ක් ගැහැනුන් සහ කෙල්ලන්ගෙන් වැඩ ගත් සිද්ධියට තමන්ගේ සම්මාදමකුත් තිබූ බව, අයර්ලන්ත අගමැතිවරයා ගිය සතියේ පිළිගත්තේය. අද ලෝකයේ වඩාත්ම මර්දනකාරී වන්නේ පූජක තන්ත‍්‍රය විසින් බලය හොබවන රටවල් දෙකක් වීම අහම්බයක් නොවේ: සෞදි අරාබිය සහ ඉරානය. මේ රටවල්වල ප‍්‍රධාන වින්දිතයන් (ගොදුරු) වන්නේ, විදේශිකයන් නොව, ස්වදේශිකයන්ම ය.
බොදුබල සේනාවේ සහ ජාතික හෙළ උරුමයේ උවමනාවට වැඩ කෙරුණොත්, අබෞද්ධයන් මර්දනය කිරීමෙන් පමණක් නවතින්නේ නැත. බෞද්ධයන් වන අපටත් ඔවුන් අණපනත් පනවනු ඇත: අපේ ඇඳුම් පැළඳුම් කෙසේ විය යුතු ද, අප ආහාරයට ගත යුත්තේ කුමක් ද, අප ඉගෙනගත යුත්තේ මොන විෂයයන් ද සහ අප සිතිය යුත්තේ කෙසේ ද යනාදී වශයෙන් ඔවුන් අපට නියෝග නිකුත් කරනු ඇත. අපේ සමස්ත ජීවිත ඔවුන්ගේ භාරයට ගෙන අපේ සිත්සතන් ඔවුන් කුරුවල් කරනු ඇත.
ජාතික/ආගමික ඉවසීම, වරක් අත්පත් කරගත් පසු, සදහට පවතින මනෝ භාවයක් නොවේ. එය දිනපතා අළුත් කරගත යුතු සහ සනාථ කරගත යුතු චෛතසිකයකි. එය කළ හැකි වන්නේ බලපරාක‍්‍රමයෙන් නොව, කරුණාව, ගෞරවය සහ විනීත භාවයෙනි. ජාතියේ/ආගමේ නාමයෙන් අනිකාව නොරුස්සන සුළු ප‍්‍රචාරණය මොන තරම් සැඟවුණු විනාශකාරීත්වයකින් යුක්ත ද යත්, අප තුළම ඇතැ යි අපම නොදන්නා අඳුරු අහුමුළුවලට එය හොර රහසේ කාන්දු විය හැකිය. අප ජීවත් වන්නේ, සැකයේ සහ භීතියේ භාෂාවත්, අපහාසයේ අනුශාසනයත් වැජඹෙන සමාජයකයි. එයින් උත්පාදනය කෙරෙන හලාහල විෂට, වඩාත් ජාතිවාද=විරෝධීන් වන අප පවා මුළුමණින් ඔරොත්තු නොදෙන්නට ඉඩ තිබේ.
එම සන්දර්භය තුළ, පොදු මනුෂ්‍යත්වය ගැන නැවත නැවතත් මතක් කර ගැනීම මොන විදිහකින්වත් හණමිටි කතාවක් නොවෙනවා පමණක් නොව, එයම, ලේ වැකි ආගමික යුද්ධයක් කල්තියා පිටුදැකිය හැකි ජීවනාලිය ද වන්නේය.
තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
[ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ වෙතින්]