පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
යුද හමුදාවන්ට සැළකීම ගැන අලුත් කතා බහක් දැන් ආරම්භ වී තිබේ. මේ කතා බහ ඇරඹී තිබෙන්නේ ජෙනරල් සරත් පොන්සේකා සහ මහින්ද රාජපක්ෂ පාලනය අතර ඇති වී තිබෙන විරසකය එළිපිට ගැටුමක් බවට පත්වීමේ පසුබිම තුළය. ලංකාඊනිව්ස් වෙබ් අඩවියෙහි පළ වූ මෙම වාර්තාව ඊට කදිම නිදසුනකි.
“මීට පෙර අපේ හමුදාවල විශ්‍රාම ගිය හමුදාපතිවරුන් විශ්‍රාම ගියේ තමන් දැරූ නිලයේදීමයි. ඒත් අප ඒ ක්‍රමය වෙනස් කළා. හමුදාපතිවරුන් විශ්‍රාම යන විට ඉහළම නිලය දක්වා යන්න ඔවුන්ට හැකිවුණා. බොහෝ දෙනකුට තානාපතිකම් පවා දෙන්න මා රජය සමඟ කථා කළා. මගේ කාලයේදී විශ්‍රාම ගත් සෑම ජනරාල්වරයෙක්ම කිසියම් හෝ රජයේ තනතුරක් සඳහා මා යොමු කළා. රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා නව සංකල්පයක් යටතේ රණවිරුවන් පළාත් සභා අපේක්‍ෂකයන් ලෙස පත් කර ජයග්‍රහණය කරවූවා. පසුගිය අවුරුදු තුනේ දී තරම් රණවිරුවන් වෙනුවෙන් කටයුතු කළ යුගයක් වෙන නැහැ. හමුදාවේ රණවිරුවන්ට නිවසක් හදාගන්න ඉතා අමාරු බව අත්දැකීමෙන්ම මා දන්නවා”
යුද්ධය පැවැති අවධියෙහි යුද්ධ හමුදාවන්හි සොල්දාදුවන් ලෙස පාබල සේනාවන්ට බැදුණේ අප සමාජයේ පහළම ස්ථරයන්හි සහ යුද්ධ තර්ජිත ගම්මානයන්හි තරුණ පිරිස් බව බව අපි හැම දනිමු. මේ තරුණ පිරිස් වෙත තෝරා ගත හැකි ගුරු වෘත්තිය, හෙද සේවය, ප්‍රවාහණ සේවය හෝ වෙනත් රැකියා හෝ තිබුණේ නම් ඉන් අති බහුතරයක් තෝරා ගනු ඇත්තේ එවැනි රැකියා බව ද විවාදයට කාරණයක් නොවේ. හමුදාවට බැදීම නිසා පොදු වශයෙන් මෙම පිරිස් සමාජයේ ඉහළ තලයකට ගමන් කරන්නේ ද නැත.
යුද හමුදාවන්හි තනතුරු සඳහා බැදෙන උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පිරිස් වෙත වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය හෝ නීතිඥ වෘත්තිය යනාදිය තෝරා ගැනීමට තිබුනේ නම් ඉන් බහුතරයක් එම රැකියා තෝරා ගන්නට ඉඩ තිබූ බවට ද සැකයක් නැත. සොල්දාදුවන්ට මෙන් නොව යුද හමුදාවන්හි ඉහළ තනතුරු ඉහළ සමාජ පංතීන් කරා සංක්‍රමණය වීමට අවස්ථාව සළසයි.
යුද හමුදා රැකියා පමණක් නොව ඕනෑම රැකියාවකට යන අය බොහෝ විටම තමන්ට තෝරා ගැනීමක් තිබුනේ නම් වඩා හොඳ ආර්ථික සහ සමාජ පදනමක් ලබා දෙන රැකියා තෝරා ගන්නා බවට සැබෑය. තමන් කැමැති වෘත්තිය තෝරා ගැනීමේ වරප්‍රසාදය ඇත්තේ අපේ වැනි සමාජයක අතලොස්සකට පමණි.
රාජ්‍ය සේවකයිනට නිසි පරිදි සැළකීම ඕනෑම රාජ්‍යයක යුතුකමකි. සෑම ශිෂ්ධ සම්පන්න සහ ප්‍රජාත්නත්‍රවාදී සමාජයකම සිය පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගෙන යාමට හැකි වන පරිදි වත්පිළිවෙත් සකස් කිරීමේ වගකීම පැවැරෙන්නේ රජයට ය. යහපත් ජීවිතයක් ගත කිරීමේ අයිතිය කිසිදු ජන කොටසකට හෝ කිසිදු වෘත්තීයම කණ්ඩායමකට පමණක් අයත් දෙයක් නොවේ. රජයේ සේවකයින් සෑම දෙනාට ම එම අයිතිය තිබිය යුතු ය. විවිධ තත්වයන් යටතේ විවිධ සේවාවන්හි වැදගත්කම ඉහළ යා හැකිය. යුද්ධයක දී යුද හමුදාවය. වසංගත රෝග ව්‍යසනයක දී සුව සේවාව ය යනාදී වශයෙනි.
යුද්ධය පැවැති කාලයේ යුද හමුදාවන්ට ලබා දෙන විවිධාකාර දුෂ්කර දීමනා, හමුදාව අතහැර යාම වැළැක්වීමට කෙරෙන විවිධ දීමනා සහ සමාජීය පිළිගැනීම්, රැකියාවේ දී සිදුවන මරණ සම්බන්දයෙන් උපරිම වන්දි ගෙවීම් යනාදිය තේරුම් ගත හැකි ය. දුෂ්කර යුද්ධයක දී ඕනෑම හමුදාවක් එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නට ඉඩ තිබේ.
එසේ නමුත් රටක්, සමාජයක් යුද්ධයෙන් පසු සාමාන්‍ය සමාජයක් කරා මාරුවන විට කළ යුත්තේ එවැනි විශේෂ සැළකීම් ඉහළ නැංවීම නොව ක්‍රමයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම ය. මන්ද යත් කවර හෝ වෘත්තියම කණ්ඩායමකට විශේෂ සැළකීම් ලැබෙන විට එම සැළකීම් දේශපාලන ක්‍රම මගින් සදාකාලික කර ගැනීමට එම වෘත්තීයම කණ්ඩායම පෙළඹෙන නිසා ය. යුද්ධ හමුදා රාජ්‍ය පාලනයට හවුල් වූ සෑම රටකමත් යුද හමුදා මත රඳාපවතිමින් පාලනය කළ සෑම රටකමත් මෙම තත්ත්වය ඇති විය. ශ්‍රී ලංකාවේ ගජ මිතුරු රාජ්‍යයක් වන බුරුමයේ යුද හමුදාව වඩාම වරප්‍රසාදිත සමාජ කණ්ඩායම් වලින් එකකි. එහි සෙන්පතීහු රටේ ධන කුවේරයෝ ය. ඔව්හු මහා ජනයාගේ අයිතීන් හමුදා සපත්තුවට පාගාගෙන සිටීමට සොල්දාදු සහාය ලබා ගන්නේ ඔවුනට වරප්‍රසාද පිරිනැමීම මගිනි. තවත් එවැනි රාජ්‍යක් නම් මෙරට රජය අධිරාජ්‍ය විරෝධී ආදර්ශයක් ලෙස ගන්නා රොබට් මුගාබේගේ ඒකාධිපති පාලනයට නතුව ඇති සිම්බාබ්වේ ය. එරට ද යුද හමුදාව වැඩිම වැටුප් ලබන පිරිසකි. පකිස්තානය තවත් උදාහරණයකි.
වෘත්තීයම කණ්ඩායම් වරප්‍රසාද සදාකාලික කර ගැනීමේ හොඳම උදාහරණයක් නම් අද සමාජයේ ධනවත් සමාජ පංති කණ්ඩායමක් බවට පත්ව ඇති දේශපාලන පවුල් ය. අද මෙරට දේශපාලනය පවුල් උරුමයක් බවට පත්වෙමින් ඇත්තේ මෙම දේශපාලනඥයින්ගේ දරුවන් සමාජයට සේවය කිරීමට ඇති ආසාව නිසා නොව සිය දේශපාලන දෙමාපියන් භුක්ති විදින සමාජීය සහ ආර්ථික වරප්‍රසාද දිගටම පවත්වාගෙන යෑම පිණිස ය. ව්‍යවසායක සමාගමක අධ්‍යක්ෂ මංඩලයට පත්ව ධනයේ උරුමකරුවන් වන පරිදි දේශපාලන බලය මගින් ධනයේ හිමිකරුවන් විම පිණිස ය. දකුණු පළාත් සභා මැතිවරණයේ දී යළිත් පෙන්වා ලූ පරිදි මෙවර ද අනෙක් අය පරදිද්දී දේශපාලනඥයිනගේ දරුවන් රංචු පිටින්ම දේශපාලන පංතියට පැන ගත්තේ ය. ශ්‍රී ලංකාවට පිළිලයක් වී ඇති දේශපාලන පවුල්වාදයට එක් හේතුවක් වන්නේ දේශපාලනය සේවයක සිට ධනය උපයාගැනීමේ වරප්‍රසාදිත වෘත්තියක් බවට පත් වීම යි. මහජන නියෝජිතයින් බවට පත් වන දේශපාලනඥයිනට ලැබෙන වරප්‍රසාද ඉවත් කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් දැන් කැමැති නැත.
දැන් අපි ආරක්ෂ ලේකම්වරයාගේ කතාවට යමු. එය අප සැළකිය යුත්තේ හුදෙක් ඔහුගේ අදහසක් ලෙස නොව රාජ්‍ය මතවාදය ලෙස ය. එය හුදෙක් පොදු පෙරමුණේ මතවාදයක් නොව එක්සත් ජාතික පක්ෂයේ ද මතවාදය යි. පුරවැසියන් වශයෙන් අප එම පිළිවෙත පිළිබඳව උනන්දුවක් දක්වන්නේ එබැවිනි. එම පිළිවෙතට අනුව විශ්‍රාම යන සෑම ජෙනරල්වරයකුටම වෙනත් උසස් රැකියාවක් සපයනු ලැබේ. සිය ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීම පිණිස දේශපාලනයට පිවිස මංත්‍රීවරුන් වීමට අවස්ථාව සළසනු ලැබේ. (දේශපාලනය සමාජ සේවයක් නොව ධනවත් වීමේ මඟක් බව ප්‍රසිද්ධියේ පිළිගැනීම ගැන අප ස්තුතිවන්ත විය යුතු ය).
අද විශ්‍රාම ගිය හමුදා ප්‍රධානීන් ගණනාවක් ම රජයේ උසස් තනතුරු හොබවති. ලොව පුරා තානාපතිවරු වශයෙන් තනතුරු ලබා යති. මේ තනතුරු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ හිමිවිය යුත්තේ ඒ වෙනුවෙන් ම පුහුණුවක් ලද (විදේශ සේවය ද ඇතුළු) රාජ්‍ය පරිපාලන සේවයට ය. විශ්‍රාම යෑමෙන් පසු හමුදා නිලධාරීන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුපක් සැපයීම මිස වරදාන වශයෙන් රජයේ පරිපාලන සහ මහජන නියෝජිත තනතුරු පිරි නැමීම රට තව තවත් යුදකරණය දෙසට ගෙන යෑමකි. වරප්‍රසාද පසු පස හමා යෑම පිණිස යුද හමුදා ප්‍රධානීන් දේශපාලන පක්ෂපාතිකම් කෙරෙහි නම්මවා ගැනීමකි. (සෑම විශ්‍රාමික ජෙනරල්වරයකුටම බටහිර රටවල ශ්‍රී ලාංකික තානාපතිකම් ලැබෙන්නේ නැත). දේශපාලනඥයින් විසින් තමන් එළෙස කරන බව ආඩම්බරයක් ලෙස කියා සිටීම මගින් පෙන්වන්නේ රට යන අත ය.
පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව තවමත් ගමන් කරමින් තිබෙන්නේ දේශපාලනය සහ පරිපාලනය මිලිටරිකරණය කිරීම කරාය. මේ ප්‍රවණතාවය ශ්‍රී ලංකාවෙහි නීතියේ පාලනය පිහිටුවීම සහ දේශපාලනය ප්‍රජාත්තත්‍රවාදී කිරීමට එරෙහිව යමින් යුද හමුදාව දේශපාලනීය කරයි. එය රටෙහි අනාගතයට සුභ නැත.
සුනන්ද දේශප්‍රිය