දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
එල්ටීටීඊ යට එරෙහිව යුද්ධය පැවති සමයේ දෙමළ රැඳවියන් දූෂණය කිරීම සහ ඔවුන්ට ලිංගික අතවර කිරීම යුද උපායයක් වශයෙන් භාවිත කළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, යුද්ධය හමාර වීමෙන් අනතුරුවත් දිගටම එවැනි අපරාධවල යෙදුනු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වෙයි.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ අධ්‍යක්ෂ ඩේවිඩ් මෙපැම් බීබීසී සංදේශයට පවසා සිටියේ 2006 සිට 2012 වසර දක්වා කාලය ඇතුලත ලිංගික අතවරයට ලක් වූ කාන්තාවන් සහ පුරුෂයන් 75 දෙනෙකුගේ සාක්ෂි ඇසුරින් මේ වාර්තාව සැකසුනු බවය.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව සදහා පිවිසෙන්න
*එම වාර්තාවේ විශේෂ සටහන් මෙන්ම වීඩියෝ සටහන් සදහා පිවිසෙන්න
Image Credit: www.hrw.org
Note:
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාවේද රැදවියන් සම්බන්ධයෙන් නිර්දේශ හා නිරීක්ෂණ පිළිබදව කිසියම් සදහනක් කර තිබෙයි.
[පහත දැත්වෙන්නේ රැදවියන් සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාවේ සදහන් වන නිරීක්ෂණ සහ නිර්දේශ කොටසයි.(එම වාර්තාව මේවන විටත් සිංහල හෝ දෙමළ බසින් නිකුත් වී නැති බැවින් එහි ඉංග්‍රිසි පිටපතේ පරිවර්තනයක් බව සලකන්න)]
රැඳවියන්ට සැලකීම
9.61 පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයකට චාරිකා කළ කොමිසම, වැඩ සටහන් පැවැත්වෙන වෘත්තීය සහ කාරුණික ආකාරයෙන් විස්මයට පත් විය. මෙම වැඩ සටහන් නිසා ඇති වන කාරුණික හැඟීම සහ ඒවායේ ප‍්‍රතිඵලයක් ලෙස සිදු වන වෘත්තීය හැකියාවන් ගොඩ නැගීම නිසැකව ම ප‍්‍රතිසන්ධානයට දායක වනු ඇත.
9.62 රැඳවුම් ස්ථාන ගණනාවකට ද චාරිකා කළ කොමිසම, නේවාසිකයන් සමග මෙන් ම අදාළ නිලධාරීන් සමග ද සාකච්ඡා කළේ ය. දැඩි මතධාරී එල්ටීටීඊ සැකකරුවන් රඳවා තිබෙන බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ දී රැඳවියන් ඉදිරිපත් කළ ප‍්‍රකාශ අතර, එල්ටීටීඊය තමන් බලෙන් හමුදාවට බඳවා ගත් වාතාවරණ, එල්ටීටීඊයේ දැඩි ග‍්‍රහණයෙන් මිදී පලා යාමට තමන් දැරූ ප‍්‍රයත්න සහ තමන් යළි බඳවා ගත් ආකාරය පිළිබඳව තරුණ නේවාසිකයන් කිහිප දෙනෙකු කළ ප‍්‍රකාශ පැවතිණ. තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරනු ලැබීමකින් තොරව ඔවුන් දිගු කාලයක් තිස්සේ රැඳවුමෙහි ගත කර තිබුණු අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවලට දැඩි බලපෑමක් සිදු වී ඇත. කොමිසමේ අන්තර්වාර නිර්දේශ යටතේ මෙම කාරණයට දැනට මත් අවධානය යොමු කර ඇති අතර, සිදුවීමෙන් සිදුවීම එවැනි සිදුවීම් විභාග කිරීම සඳහා විශේෂ යන්ත‍්‍රණයක් නිර්මාණය කළ යුතු යැයි එහි දී නිර්දේශ කළ කොමිසම, සුදුසු පරිදි එක් එක් සිදුවීම විභාග කොට හමාර කිරීමට අදාළ ක‍්‍රියා මාර්ගයක් නිර්දේශ කර සිටී.
9.63 රඳවා ගෙන සිටින තම පවුල් සාමාජිකයන් පිළිබඳව හෝඩුවාවක් දැන ගැනීමට රැඳවියන්ගේ සමීප ඥාතීන්ට මූලික අයිතිවාසිකමක් ඇත. එම නිසා, රැඳවියන්ගේ ලැයිස්තුවක් සහිත මධ්‍යගත පුළුල් දත්ත පදනමක අවශ්‍යතාවක් පවතී. රැඳවියන්ගේ නම්, රැඳවුම් ස්ථානය මෙන් ම සිටින ස්ථානය මාරු කිරීම් පිළිබඳ වාර්තාවක් සහිතව එම ලැයිස්තුව සමීප ඥාතීන්ට ලබා ගැනීමට තැබිය යුතු ය. එවිට, පවුල්වලට එවැනි තොරතුරු ලබා ගත හැකි ය.
9.64 රැඳවියන්ට අදාළ සියලූ අන්තර්වාර නිර්දේශ පූර්ණ ලෙස ක‍්‍රියාත්මක කරන බව සහතික කරන්නැයි අදාළ බලාධිකාරයන්ට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුව උනන්දු කිරීමට කොමිසම බලාපොරොත්තු වේ.
9.65 රැඳවියන් හමු වීමට සමීප ඥාතීන්ට අයිතියක් ඇත. එම නිසා, මෙම මූලධර්මය උල්ලංඝනය කරන ඕනෑ ම පිළිවෙතක් ඉවත් කළ යුතු ය. ඇතැම් සමීප ඥාතීන්ට තොරතුරු සැපයෙන්නේ වාචිකව පමණක් බව කොමිසම නිරීක්ෂණය කර ඇත. තව ද, බොහෝ දුර ගෙවා පැමිණි පසුව ඇතැම් පවුල් සාමාජිකයන්ට බන්ධනාගාරයෙහි සිටින රැඳවියන් මුණ ගැසීමට ඉඩ දී නැත. අදාළ බලාධිකාරයන්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ඇතිව, රැඳවුම් ස්ථානවල සිටින තම පවුල් සාමාජිකයන් වෙත චාරිකා කිරීමට සමීප ඥාතීන්ට ලබා දෙන වත්මන් ප‍්‍රවාහන පහසුකම් වැඩි දියුණු කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර සිටී.
9.66 කොමිසම රැඳවුම් ස්ථාන කිහිපයකට, විශේෂයෙන් ම ඕමන්තේ සහ බූස්සේ පිහිටි අධිආරක්ෂිත ස්ථාන වෙත චාරිකා කළේ ය. එතැන් පටන් ඕමන්තේ මධ්‍යස්ථානය වසා දමා ඇති බව කොමිසම සඳහන් කර සිටී. මෙම මධ්‍යස්ථානවල සිටින නේවාසිකයන් කෙරෙහි බලාධිකාරයන් දක්වන කාරුණික ආකල්පය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට රැඳවියන් පෞද්ගලිකව හමු වීම සඳහා ද ඇතුළුව මෙම රැඳවුම් ස්ථාන වෙත පිවිසීමේ හැකියාව තිබෙන්නේ ය යන කරුණ කොමිසම අගය කිරීමෙන් යුතුව සඳහන් කර සිටී. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමග සහයෝගී වීමේ මෙම ප‍්‍රතිපත්තිය සාදරයෙන් පිළිගන්නා කොමිසම, ආණ්ඩුව මෙම සහයෝගී ප‍්‍රතිපත්තිය පුළුල් කළ යුතු යැයි ද, රැඳවියන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සහ ඒ හා සමාන වෙනත් මානුෂීය සංවිධාන සමග ඵලදායී එකඟතාවකට පැමිණිය යුතු යැයි ද දැඩි ලෙස නිර්දේශ කර සිටී.
9.67 සියලූ රැඳවුම් ස්ථාන බලය ලත් රැඳවුම් ස්ථාන ලෙස නිල වශයෙන් නම් කළ ඒවා විය යුතු අතර, බලය ලත් රැඳවුම් ස්ථානවල හැර අන් කවර හෝ ස්ථානයක කිසි ම පුද්ගලයෙකු නො රැඳවිය යුතු ය. පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ දී, අත් අඩංගුවට ගැනීම පිළිබඳව විධිමත් කවිතාන්සියක් නිකුත් කිරීම සහ රැඳවුම් ස්ථානය පිළිබඳ තොරතුරු සැපයීම වැනි දැඩි නීතිමය විධිවිධාන, නීතිය බලාත්මක කරන බලාධිකාරයන් විසින් අනුගමනය කළ යුතු ය.
9.68 තරුණ රැඳවියන් කෙරෙහි, විශේෂයෙන් ම එල්ටීටීඊය බලෙන් හමුදාවට බඳවා ගැනීම හේතු කොට ගෙන අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති අය සහ තම විධිමත් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර සිටී. ඔවුන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ පරීක්ෂණවලට සහ ඒවා අප‍්‍රමාදීව හමාර කිරීමට ප‍්‍රමුඛතාව දිය යුතු ය. මේ සම්බන්ධයෙන් ගත් කල, පුනරුත්ථාපන වැඩ සටහන බොහෝ රැුඳවියන්ට ජාතික විභාගවලට පෙනී සිටීමේ හැකියාව ලබා දී තිබෙන බව කොමිසම අගය කිරීමෙන් යුතුව සඳහන් කර සිටී.
9.69 තරුණ ළමයින්, කායික ආබාධිතයන් සහ තුවාලවලින් සුවය ලබමින් සිටින අය සම්බන්ධ සිදුවීම් වැනි විශේෂ සිදුවීම් සහ වෛද්‍යමය මැදිහත් වීම් හඳුනා ගැනීම සඳහා නිසි පිරික්සුම් ක‍්‍රියාවලියක් පැවතිය යුතු ය. ඔවුන්ට අවශ්‍ය විය හැකි විශේෂ සහායන් සම්පාදනය කළ යුතු ය. දිගු කලක් තිස්සේ රඳවා ගෙන සිටීම නිසා සහ ඥාතීන් හමු වීමට නොහැකි වීම නිසා ඇතැම් නේවාසිකයන්ට උපදේශනය අවශ්‍ය වන අවස්ථා ද පැවතිය හැකි ය.
9.70 කොමිසමේ අන්තර්වාර නිර්දේශ මත පදනම් වෙමින්, රැඳවියන් සැලකිය යුතු සංඛ්‍යාවකට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව කොමිසම අගය කිරීමෙන් යුතුව සඳහන් කර සිටී. කෙසේ වුව ද, ඇතැම් රැඳවියන් චෝදනා ඉදිරිපත් නො කර දිගු කාලයක් තිස්සේ සිරගත කර තැබීම සම්බන්ධයෙන් කොමිසම උත්සුකතාව පළ කර සිටී. ඔවුන්ට චෝදනා ඉදිරිපත් කර හෝ කිසිදු සාපරාධී වරදක් කර ඇති බවට කිසි ම සාක්ෂියක් නොමැති අවස්ථාවල දී ඔවුන් නිදහස් කර, මෙම සිදුවීම්වලට අදාළ නීතිමය කටයුතු හමාර කිරීම සඳහා තීරණාත්මක පියවර ගත යුතු යැයි කොමිසම යළිත් අවධාරණය කර සිටී.
9.71 පුනරුත්ථාපනය කර තිබෙන අය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිවිල් ජීවිතයට ඒකාබද්ධ කෙරෙන බව සහතික කිරීම සඳහා ආණ්ඩුව වැඩ සටහන් ක‍්‍රියාත්මක කළ යුතු ය. මෙම අරමුණ ඉටු කර ගැනීමේ දී, ඒ සඳහා මූල්‍යමය සහ මානව සම්පත් සැපයිය හැකි සිවිල් සාමාජීය සංවිධාන වඩා විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට දිරි ගැන්වීම සඳහා ආණ්ඩුව ක‍්‍රියාත්මකව කටයුතු කළ යුතු බව කොමිසමේ අදහස යි.