Colombo, Democracy, Economic issues, Features, Governance, Religion and faith

හලාල් යුද්ධය

[හලාල් ලේබලය සහිත නිෂ්පාදිතයන්ට එරෙහි යුද්ධය: දරුණුම ආර්ථික ඝාතකයා දැන් කලඑලියේ]

Halal-boycott-Sri-Lanka-e1361159033875


ආර්ථික ඝාතකයෝ බියකරු වෙනවා පමණක් නොව, ආදරයට ද පාත‍්‍ර වෙත්

ඔවුන් පහර දුන්නේ කොහේ සැඟවී සිට දැ යි ඔබට දැන ගැනීමට ඉඩක් නොතබා ප‍්‍රහාරය එල්ල කෙරෙන නිසා, ඔවුන් බියකරු ය. ඒ අතරේ, ඔවුන් ඔබව උද්දීපනය කරන තරම කෙතෙක් ද යත්, විඩාවකින් තොරව දවස් ගණන් ඔවුන් ගැන කතා කිරීමට පිළිවන් නිසා, ඔවුන් කාගේත් ආදරයට පාත‍්‍ර වීමට ඇති ඉඩකඩත් වැඩියි. ජෝන් පර්කින්ස් 2004 දී ‘ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණ’ මැයෙන් කෘතියක් එළිදැක්වූ විට සිදුවූයේ හරියටම එයයි. ලෝකයේ දිළිඳු රටවලට සංවර්ධන ණය සහ ආධාර සපයන ජාත්‍යන්තර ආයතන දෙකක් වන ලෝක බැංකුව සහ ‘යූ එස් එයිඞ්’ විසින් තමන් ආධාර කිරීමට සැලසුම් කරන රටවල් විනාශ කිරීම සඳහා ආර්ථික ඝාතකයන් සේවයේ යොදවන බවට මේ ග‍්‍රන්ථයෙන් චෝදනා කෙරුණි.

පර්කින්ස්, ‘කුමන්ත‍්‍රණ න්‍යායමය ව්‍යාධියෙන්’ පෙළෙන්නෙකු බව පෙන්වා දුන් ඔහුගේ විවේචකයෝ, ඔහු දත්ත හෝ ලිඛිත සාක්ෂිවලින් තොර නාටකීය ප‍්‍රබන්ධයක් ගොඩනගා ඇති බවට චෝදනා කළහ. එසේ තිබියදීත්, වසර ගණනාවක් තිස්සේ වැඩියෙන්ම විකිණෙන පොත් ලැයිස්තුවේ උඩින්ම සිටීමට තරම් මෙම කෘතිය ජනප‍්‍රිය විය. තමන් අප‍්‍රිය කරන්නන් ‘ආර්ථික ඝාතකයන්’ වශයෙන් හංවඩු ගැසීම මෝස්තරයක් වුණේ එදා පටන් ය. මන්ද යත්, වචන දෙකකින් ලොකු කතාවක් කිව හැකි බැවිනි. එහෙත් පර්කින්ස් ප‍්‍රසිද්ධියට පත්වුණේ, ස්වාභාවික සිදුවීම් මගින් නොව, මිනිසුන් අතින් සිදුවන වැරදි ක‍්‍රියා හෝ නූල් සූත්තර නිසා රටක ආර්ථිකයකට අත්විය හැකි මහා විනාශය පැහැදිළි කිරීම සඳහා ජනප‍්‍රිය යෙදුමක් ඔහු අතින් භාවිත වීම හේතුවෙනි. ඒ අර්ථයෙන් ගත් විට, එක් ආර්ථික ඝාතකයෙකු දැන් ලංකාවේ පාරට බැස සිටී. මොහු, මොන සන්සන්දනයකට හසුකර ගත්තත්, ශ‍්‍රී ලංකාව මෙතෙක් දැක නැති ආකාරයේ භයානක ආර්ථික ඝාතකයෙකි.

හලාල් විරෝධී යුද්ධය, ආර්ථික ඝාතකයෙකි

මොහු වෙන කිසිවෙකු නොව, මුස්ලිම් අනුගාමිකයන් පරිභෝජනයට ගත යුතු බවට ඉස්ලාම් ආගමෙන් අනුමත කොට ලේබල් කෙරෙන ආහාරවලට එරෙහි යුද්ධයක් වශයෙන් දැනට කරලියට ගෙනෙන, සුළුජාතීන්ගේ ආර්ථික අවශ්‍යතාවන්ට එරෙහිව මහජාතියේ ඇතැමුන් දියත් කෙරෙන ව්‍යාපාරයකි. ඉස්ලාම් භක්තිකයන්ට හලාල් යන්න කෙතරම් පූජණීය ද යත්, හලාල් නොවන කෑමක් දෙස බැලීම පවා ඔවුන්ට අපුලකි. මෙය අසාමාන්‍ය දෙයක් නොවේ. මන්ද යත්, මීට සමාන විශ්වාස සෑම ආගමිකයෙකුගේම සිත්සතන්වල නිධන්ගතව ඇති බැවිනි. ආගම් ගණනාවක් ඇති සමාජයක, අනිකාගේ ආගමික ව්‍යවහාරයන්- මොන තරම් අමුතු හෝ නොපිළිගත හැකි වෙතත්- ඒවා කෙරෙහි ගරු කිරීමට කෙනෙකු උගත යුතුය.


අශෝක අධිරාජයා: ආගමික ඉවසීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි

මේ සම්බන්ධයෙන් වන හොඳම උපදේශය සපයා ඇත්තේ, පුරාතන ඉන්දියාවේ බෞද්ධ අධිරාජයෙකු වූ අශෝක විසිනි. අනිත් ආගම්වල මූලික සාරධර්ම පිළිබඳ දැනුවත් විය යුතු බවත්, කිසි විටෙක වෙනත් ආගමක් පරිභවයට ලක් නොකළ යුතු බවත්, අශෝක ශිලා ආඥාවල දැක්වේ. ‘‘හැම විටම, හැම ආකාරයකින්ම, සෙසු ආගම්වලට නිසි ප‍්‍රණාමය දැක්වීමෙන් තමාගේ ආගම ප‍්‍රවර්ධනය කෙරෙනවා පමණක් නොව, අනිකාට ද යහපතක් සිදු කෙරෙන’’ බව, එම ශිලා ආඥාවන් හරහා දන්වා සිටීමෙන් අශෝක අධිරාජයා සිය පරිපාකය ලෝකයාට පෙන්වා තිබේ.

තමාගේ ආගම ඔසවා තබමින් අනිකාගේ ආගමික විශ්වාසයන්ට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශ කරන්නන්ට, මේ ආඥාව අවසානයේ ඔහු තරවටු කරයි. ‘‘තමාගේ විශ්වාසය උත්කර්ෂයට නැංවීම සඳහා අනිකාගේ ලබ්ධිය හෙලාදකින්නා, තමාගේ ආගමටත් බරපතල හානියක් සිදු කරන’’ බව ඔහු පැහැදිළිවම පෙන්වා දෙයි. භාෂණයේ සංයමය ඇත්තන්ව ප‍්‍රශංසාවට ලක්කරන අශෝක අධිරාජයා ‘‘එකිනෙකාගේ ධර්මයේ මූලිකාංග කෙරෙහි ගෞරව සම්ප‍්‍රයුක්ත වීමට කවුරුත් උගත යුතු’’ බවට උපදෙස් දෙයි. (ශිලා ආඥා=12). ඉතිං, අශෝක අධිරාජයා වැනි බෞද්ධ නායකයන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද සම්ප‍්‍රදායයෙන් කියැවෙන්නේ, ආගමික ඉවසීම ප‍්‍රගුණ කොට, බහු=ආගමික සමාජයක සහජීවනයෙන් ජීවත්වීමේ ඇති වැදගත්කමයි.


රාජ්‍යයේ පොලීසියට එරෙහිව සංස්කෘතික පොලීසිය: වැඩියෙන් බලවත් කවුද?

හලාල් විරෝධී යුද්ධය, සංවිධාන දෙකක් මගින් ප‍්‍රකාශයට පත්කොට ඇත. එකක්, ‘සිංහල රාවය’ නැමති සංවිධානයකි. අනික, ‘බොදුබල සේනා’ නම් වෙයි. දෙක එකට ගත් විට, ‘සිංහල බෞද්ධ බල උදාව’ වශයෙන් භෞතීස්ම කළ හැක. සිංහල බෞද්ධයන්ගේ මේ නැගී එන බලය විසින් ශ‍්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් වශයෙන් හඳුනා ගැනෙන අතර, එම තත්ත්වය පිළිගනිමින් සහ ඊට ගරු කරමින් ජීවත් වීමට සෙසු ආගමික සහ වාර්ගික කොටස් උගත යුතු බවට අණ කෙරේ.

මේ සම්මතය උල්ලංඝණය කෙරෙන යමෙකු වෙතොත්, බලගතු බෞද්ධ සේනාව සංස්කෘතික පොලීසියක් වශයෙන් ක‍්‍රියාකොට, අදාළ වැරදි පුරුදු වහා නතර කරනු ඇත. මෙයින් අදහස් වන්නේ, පොලිස් බලසේනා දෙකක් ඇති බවයි. එකක්, බදු ගෙවන්නන්ගේ වියදමින් නඩත්තු කෙරෙන රජයේ පොලීසියයි. අනික, මේ කියන ප‍්‍රබල බෞද්ධ බලවේගය විසින් ක‍්‍රියාත්මක කෙරෙන පොලීසියයි. මේ නිසා, තමන් අවනත විය යුත්තේ කුමන පොලීසියට ද යන්න ගැනත්, තමන් බදු ගෙවිය යුත්තේ කුමන කාට ද යන්න ගැනත් ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වීමට බැරි නැත. එතකොට, ආණ්ඩුවට බදු ගෙවීම නතර කිරීමට මිනිසුන් පෙළඹිය හැකිය.


ආර්ථිකයක් සමන්විත වන්නේ බොහෝ දෙනෙකුගෙනි

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කිරීමේ ආර්ථික ඝාතකයෙකු බවට මේ යුද්ධය පත්විය හැක්කේ කෙසේ ද? යෝධ ආර්ථිකයක් තුළ හැසිරෙන දසලක්ෂ සංඛ්‍යාත කොටස් අතරේ පවතින අන්තර්සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය රැුඳියාව හඳුනා ගැනීමෙන් මෙය වටහාගත හැකිය.

ආර්ථිකයක් යනු, විවිධ ආගම්, ජාති, කුල සහ පංතිවලට අයත් විශාල ජනගහනයකින් සමන්විත අපූරු නිර්මාණයකි. මේ සියලූ මිනිසුන් එකිනෙකාට සහසම්බන්ධී ය. එකිනෙකා මත යැපෙන්නන් ය. ඔවුන් කවුරුත් එක ඉලක්කයක් පෙරදැරිව සිටිත්: එනම්, සෑම කෙනෙකුගේම උපරිම යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීමයි. අපි එකිනෙකා, රටක වෙසෙන මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලන භාණ්ඩ සහ සේවා නිපදවීම සඳහා නිරතුරුව කරකැවෙන දැතිරෝදයක, දැත්තක් වෙමු. සෑම දැත්තක්ම වැදගත් ය. නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය ය. විශේෂ දැත්තකට අනිසි වැදගත් කමක් පැවරීම හෝ අනිත් දැතිවල කාර්යභාරය වැදගත් කමින් ලඝු කිරීම හෝ කළ නොහේ. ඒ සෑම දැත්තක්ම එක හා සමාන වැදගත් කමකින් යුක්ත වන අතර යෝධ දැතිරෝදය මනාව කැරකීමට ඒ සියලූ දැති අවශ්‍ය කෙරේ.


මිනිස් සිරුරේ සෑම අවයවයක්ම වැදගත් ය

විවිධ කොටස් සහ අවයවවලින් සමන්විත මිනිස් සිරුරක ක‍්‍රියාකාරීත්වයට මේ ක‍්‍රියාවලිය සම කළ හැකිය. සිරුරක පරිපූර්ණ ක‍්‍රියාකාරීත්වය සඳහා එකී කොටස් සහ අවයව සියල්ල දායක වන බවට ස්වභාව ධර්මය වගබලාගෙන තිබේ. සිරුරේ සමස්ත ක‍්‍රියාකාරීත්වයට සහාය නොවන කිසි අවයවයක් හෝ කොටසක් මිනිස් සිරුරක ඇත්තේ නැත.

උදාහරණයක් වශයෙන්, උණ්ඩුකපුච්ඡය (ඇපෙන්ඩික්ස්) සැලකිල්ලට ගත හැකිය. මෙය වැදගැම්මකට ඇති අංගයක් බවටත්, එබැවින් සිරුරේ ක‍්‍රියාකාරීත්වයට කිසි හානියක් නොවී එය ඉවත් කළ හැකි බවටත් වන විශ්වාසයක් මෑතක් වන තෙක් පැවතුණි. එහෙත් ඇමරිකාවේ ඩියුක් සරසවියේ විද්‍යාඥයන් දැන් සොයාගෙන ඇති පරිදි, උණ්ඩුකපුච්ඡය යනු, ආමාශයේ ක‍්‍රමික ආහාර ජීරණය සඳහා අවශ්‍ය කෙරෙන ඵලදායී බැක්ටීරියා ගබඩාවක් වන බවත්, ඇතැම් ඖෂධ නිසා හෝ අසනීපයක් නිසා හෝ සිරුරේ ඇති විය හැකි බැක්ටීරියා ඌනතාවක දී තම තැන්පතුව සතු එකී බැක්ටීරියා උණ්ඩුකපුච්ඡුය මගින් සිරුරට මුදාහැරෙන බවත් අද අපි දනිමු. මේ ආකාරයට, සිරුරේ යම් කොටසක් හෝ අවයවයක් ඉවත් කිරීම හෝ අකර්මණ්‍ය කිරීමෙන් සිරුරේ සමස්ත ක‍්‍රියාකාරීත්වය අසම්පූර්ණ කෙරෙන බවත්, පසුව ඒ මගින් අනිටු ඵල විපාක අත්වන බවත් පැහැදිළි ය.


තමාට හානියක් කර නොගෙන, කකුල සමග සටන් කිරීමට අතට බැරි ය

හොඳයි, අතේ වැදගත්කම පරයා කකුල ක‍්‍රියා කරති යි නෝක්කාඩුවෙන් ඊට එරෙහිව අත යුද්ධ ප‍්‍රකාශ කළොත් කුමක් සිදු වේද? එම යුද්ධය, සිරුරේ සමස්ත ක‍්‍රියාකාරීත්වයට විනාශයක් අත්කර දෙන බව නොකිවමනා ය. අතත්, කකුලත් යන දෙකම අන්තර්සම්බන්ධී ය. එකිනෙකට පරායත්ත ය. එකකින් තොරව, අනිකට ක‍්‍රියා කළ නොහේ.

කකුල අකර්මණ්‍ය කිරීමට අත සමත් වෙතොත්, අතත් අකර්මණ්‍ය වී සිරුරේ ක‍්‍රියාකාරීත්වය අඩාල කෙරේ. එහෙත් වාසනාවකට මෙන්, එවැනි විනාශකාරී ගැටුමක දී, හිතුවක්කාර අත පාලනය කරන සුපිරි බේරුම්කරුවෙක් අපට සිටී. ඒ අපේ මොළය යි. මේ බේරුම්කරුවා පැත්තක් ගන්නේ නැත. ඔහු ක‍්‍රියා කරන්නේ එකම ආරම්මණයක් පෙරදැරිවයි. එනම්, සමස්ත සිරුරේ ස්ථාවරත්වය සහ නඩත්තුව පවත්වා ගැනීමයි. වෙනත් වචනවලින් කිවහොත්, සමස්ත චිත‍්‍රය සැලකිල්ලට ගන්නා මොළය, අතේ පටු දැක්මෙන් එපිටට ඇති දේවල් දකී.


ඇඩම් ස්මිත්: අපක්ෂපාතී පේ‍්‍රක්ෂකයෙකු විසින් ගැටුම් බේරුම් කිරීම

ඒ ආකාරයෙන්ම ආර්ථිකයකදීත්, එක් අංශයකට එරෙහිව තවත් අංශයක් යුද්ධ ප‍්‍රකාශ කරද්දී සිදුවන්නේ, සමස්ත ආර්ථිකය ආපදාවට ලක්වීමයි. යුද්ධ ප‍්‍රකාශයට පත්කරන අංශය, තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් පමණක් දේවල් දකින අතර, ඒ අනුව එකී තර්ක එම අංශයේ තර්කණය තුළ සාධාරණ විය හැකිය. ආර්ථිකයේ සමස්ත ක‍්‍රියාවලිය කෙරෙහි තමන්ගේ මෙකී ක‍්‍රියාව නිසා ඇති කැරැවිය හැකි හානිය පමණක් නොව, පෙරලා ඒ මගින් තමන් වෙතමත් ඇති කැරැවිය හැකි තර්ජනය පවා මෙහි දී නොපෙනේ. මේ තත්ත්වය තේරුම් ගැනීමට නම්, යුද්ධය ප‍්‍රකාශයට පත්කළ අංශයේ පටු දර්ශනය ඉක්මවා ගිය දැක්මක් එම අංශයට තිබිය යුතුය.

නූතන ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැළකෙන ඇඩම් ස්මිත්, 1759 දී ලියූ ‘‘සදාචාර මනෝ භාවයන් පිළිබඳ න්‍යාය’’ නැමති කෘතියේ දී මෙකී කාර්යභාරය පැවරුවේ, නිදහස් වෙළඳ ආර්ථිකයක ස්වභාවික බලවේගයක් වශයෙන් සැළකෙන ‘‘අපක්ෂපාතී පේ‍්‍රක්ෂකයා’’ වෙතටයි. මේ කියන බලවේගයේ රාජකාරිය වන්නේ, සෑම කරුණක්ම විෂයබද්ධව නිරීක්ෂණය කොට, එකිනෙක කාරණයට අදාළව, පවතින කොන්දේසි යටතේ, වාසිදායක හෝ අවාසිදායක විය හැකි විනිශ්චයන්ට එළැඹීමයි. එහෙත්, මුලින් ඇති කෙරුණු ඝට්ටනයේ ස්වභාවය අනුව, මේ මගින්, ආර්ථිකය තුළ යම් වාසිදායක හෝ දුෂ්ට චක‍්‍රයක් බිහි කිරීමකට තුඩුදිය හැකි හේතුඵල සමුදායක් ඇති කැරැවීමටත් ඉඩ තිබේ. ආර්ථිකයක එක අංශයක් විසින් වෙනත් අංශයකට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළ විට ඒ මගින් සහතික වශයෙන්ම බිහි කෙරෙනු ඇත්තේ විෂම චක‍්‍රයකි. යුද්ධයට බිලි වන අංශය ආර්ථිකයෙන් ඉවත් කරනු ලැබීම, ඉන් පසු, සමස්ත ආර්ථිකයේ හැකිලීමට තුඩුදෙනු ඇත.


කෞටිල්‍ය: ගැටුම් ප‍්‍රවර්ධනය කරන රජෙකුගේ ආදායම පිරිහෙනු ඇත

ඇඩම් ස්මිත්ට කලින්, මීට අවුරුදු 2000 කට පෙරාතුව, ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙකු සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූ කොටිල්‍ය, ආර්ථිකයක ස්ථාවරත්වය සහතික කරගනු වස් මෙවැනි කල්පිත බලවේගයක් මත රැඳීම ප‍්‍රතික්ෂේප කෙළේය. මන්ද යත්, එවැනි ස්වාභාවික බලවේගවල ක‍්‍රියාකාරීත්වයේ අවසාන ප‍්‍රතිඵලය, රාජ්‍යයේ සුමට ක‍්‍රියාකාරීත්වයට විනාශකාරී විය හැකි බැවිනි. එබැවින් එම රාජකාරිය ඔහු රජුට පැවරුවේය. රාජ්‍යයක විවිධ අංශ අතරේ සිදුවන ගැටුම් හරහා ආපදාවක් ඇතිවන්නේ නම්, ‘‘රටේ සමෘද්ධියේ නාමයෙන්, එවැනි ආපදා ශක්‍යතා කල්තියා අවබෝධ කරගෙන ඒවා මතුවීමට කලින් වළක්වා ගැනීමටත්, දැනට මතුවී ඇති ආපදා සමනය කොට ආර්ථික ක‍්‍රියාවලියට බාධක වන තිරිංග ඉවත් කරමින්, රාජ්‍යයට අහිමි විය හැකි ආදායම මගහරවා ගැනීමට තරම් රජතුමා විචක්ෂණ විය යුතු’’ බවටත්, කෞටිල්‍ය සිය ‘අර්ථශාස්ත‍්‍ර’ නැමැති කෘතියෙන් උපදෙස් දුන්නේය.

කෞටිල්‍යගේ මේ උපදේශය නූතන ආර්ථිකයකට ද ඒ හා සමානවම වැදගත් වෙයි. ඒ අනුව, ආර්ථිකයක ගැටුම් පාර්ශ්ව අතරේ බේරුම්කරුවා විය යුත්තේ රාජ්‍යය යි. මේ වගකීමෙන් රාජ්‍යය මගහරී නම් හෝ ආපදාවේ රුදුරු ප‍්‍රතිවිපාක පෙරදැකීමට තරම් අසමත් වේ නම්, අවසාන පරාජිතයා වන්නේත් රාජ්‍යයම යි. මන්ද යත්, කෞටිල්‍ය පෙන්වා දුන් පරිදි, රාජ්‍යයේ ආදායම් මූලාශ‍්‍ර රාජ්‍යයට අහිමි වන බැවිනි.


සියල්ල ආවරණය වෙන දැක්මක් රාජ්‍යයට තිබිය යුතුය

මේ අනුව, බේරුම්කරුවාට, එනම් රාජ්‍යයට, ආර්ථිකය පිළිබඳ සමස්ත දැක්මක් තිබිය යුතුය. ආර්ථිකයේ විවිධ අංශ වෙතින් මතුවිය හැකි හානිකර ගැටුම් වළක්වාගත හැක්කේ එවිට ය. මිනිස් සිරුරක මොළයත්, ඇඩම් ස්මිත් විසින් ප‍්‍රකාශිත ‘අපක්ෂපාතී පේ‍්‍රක්ෂකයාත්’ එසේ වන්නේ, ඒ එකිනෙකාගේ ක්ෂේත‍්‍ර තුළ, තොරතුරු ඒකරාශී කිරීමේ දැඩි යාන්ත‍්‍රණයක් පැවතීමත්, එසේ රැස්කරගන්නා තොරතුරු, පුළුල් යාන්ත‍්‍රණය පිළිබඳ සමස්ත දැක්මක් හරහා අගැයීමට ලක්කිරීමේ හැකියාවත් ඊට ඇති හෙයිනි.

එහෙත් රජතුමා සහ රාජ්‍යය එය උගත යුත්තේ දුෂ්කර මාර්ගයකිනි. ඉතා පටු දැක්මක් පමණක් සපයන පියවි ඇසට නොපෙනෙන එහා ඉමක් දැකීමට තරම් වන ශක්තියක් තිබීම එහි දී වැදගත් ය. යම් දෙන ලද ආර්ථික ප‍්‍රතිඵලයක් අත්කර ගැනීමට නම්, විවිධ ආර්ථික නියෝජිතයන් සහ දසලක්ෂ සංඛ්‍යාත ආර්ථික ගනුදෙනු මගින් රඟපානු ලබන වැදගත් භූමිකාවන් තේරුම් ගැනීමට සහ අගය කිරීමට ඔවුන් පොහොසත් විය යුතුය. මේ දම්වැලේ එක ගනුදෙනුවක් ඉවත් කරන්න, එවිට සමස්ත ක‍්‍රියාවලිය අකර්මණ්‍ය වෙයි. එහි අවසාන පාඩු ලබන්නා වනු ඇත්තේ ද ඔබම ය.


පියවි ඇසින් එහා දකින්නට බුදුන්ට හැකි වූ සේක

තමාගේ පියවි ඇසින් එහා දේවල් දැකීමේ හැකියාවක් බුදුන් වහන්සේ අත්පත් කරගෙන සිටියෝය. අංගුත්තර නිකායේ, ආවාස සෝබන සූත‍්‍රයේ උන්වහන්සේ දේශනා කළ පරිදි, භික්ෂූන් බොහෝ ධර්මය ප‍්‍රගුණ කොට ධර්මයෙන් එහා ඉමක් දැකීමට හැකියාව ලබාගත යුතුය.

වනාන්තරේ භාවනා කරන අතරේ භූත බලවේගවලින් බියපත්ව පලා ගිය භික්ෂූන් අමතා, සංයුක්ත නිකායේ දජග්ග සූත‍්‍රයේ දී උන්වහන්සේ දේශනා කෙළේ, ශක‍්‍ර දේවතාවුන්ගෙන් හව්හරණ පැතීම නිරර්ථක බවයි. මන්ද යත්, ඔහු පවා තණ්හා, ද්වේෂ, මෝහයෙන් විනිර්මුක්ත නොවන හෙයින්, බියෙන් ඔත්පල වන බැවිනි. ඒ වෙනුවට භික්ෂූන් කළ යුත්තේ, එවැනි කෙලෙස් මලින් නිදහස් බුදුන් මෙනෙහි කිරීමයි. මේ කෙලෙස් මලින් දුරු වීම යනු, ඇත්තෙන්ම, යථාර්ථය එහි සමස්ත පර්යාලෝකයෙන් අවලෝකනය කිරීමකි.


සිද්ධාර්ථ කුමාරයා: වී නිෂ්පාදනය දසලක්ෂ ජනතාවකගේ ශ‍්‍රමයකි

බුද්ධත්වයට පත්වීමට පෙර සිටිම උන්වහන්සේට මේ හැකියාව තිබුණි. එක කතාන්තරයකට අනුව, වරක් සුද්ධෝදන රජතුමා, බත් එන හැටි දන්නේ දැ යි ශාක්‍ය කුමාරවරුන්ගෙන් පිළිවිසියේය. මේසයට වාඩි වූ විට රිදී පිඟානට බෙදන රන් හැන්දෙන් බත් එන බව එක් කුමාරයෙක් කීවේය. ඔහුගේ මතය නොපිළිගත් තවත් කුමාරයෙකු කියා සිටියේ, රන් හැන්දට බත් එන්නේ රිදී පාත‍්‍රයකින් බවයි. ඒ රිදී පාත‍්‍රයට බත් එන්නේ, මුළුතැන්ගෙයි තඹ හැළියකින් බව තුන්වැන්නෙක් කීය. ශාක්‍ය කුමාරවරු කිසිවෙකුට රජතුමා මතු කළ පැනයට සාර්ථක පිළිතුරක් දිය නොහැකි විය.

එය මුළුමණින් පැහැදිළි කෙළේ සිද්ධාර්ථ කුමාරයා ය: අහවල් ගම් වැසියෝ, ගොන් කරත්තවලින් රජගෙදර මුළුතැන්ගෙට හාල් රැුගෙන එති. ඒ ගොනුන් පුහුණු කොට ඇත්තේ වෙනත් ගමක වැසියන් ය. කරත්ත සාදා ඇත්තේ තවත් ගමක වැසියන් ය. ඊටත් වෙනස් ගමක වැසියන් වී කොටා, හාල් බවට පත්කොට ඇත. ඒ වී ලබාගෙන ඇත්තේ තවත් ගමක ගොවිතැන් බත් කරන වැසියන්ගෙනි. මේ ගොවියන්ගේ කුඹුරු අස්වද්දන මෙවලම් තනා ඇත්තේ වෙනත් ගමක කම්මල්කරුවන් ය. මේ කම්මල්කරුවන් සඳහා අවශ්‍ය යකඩ සපයා ඇත්තේ තවත් ගමක පතල්කරුවන් ය. මේ විදිහට, බත් යනු රන් හැන්දකින් රිදී පිඟානකට බෙදන සරළ ක‍්‍රියාවලියක් නොවේ. එසේ බෙදීමට පෙරාතුව සිදුවන ක‍්‍රියාකාරීත්වයන් සමුදායක් තිබේ.

ගොවීන් අභිබවා කම්මල්කරුවන් පෙරට එතැ යි බියෙන් කම්මල්කරුවන්ට එරෙහිව ගොවියන් යුද වැදුණොත් ඇති විය හැකි තත්ත්වය සිතාගන්න. මුලින්ම, කම්මල්කරුවන් විනාශ වෙනු ඇත. ඊළඟට, ගොවියන්ට අවශ්‍ය කරන ආම්පන්න නිපදවීමට ගොවියන් අසමත් නිසා ඔවුන් ද විනාශ වෙනු ඇත. මේ ආම්පන්න තමන්ම නිපදවීමට ගොවීන් ගියොත් සිදුවන්නේ, පට්ටලේටත් වැඩ නැති වී, ගොවීන්ගේ නිෂ්පාදනය ද අඩාල වීම යි.

මුගාබේ ගේ ධර්මතාව: ගැටුම් නිර්මාණය කොට තමන් ද නැසෙන්න

මෙය, රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ දේශයේ මොනවට පසක් විය. සදාකාලයේ බලයේ රැඳී සිටීමේ ආශාවෙන් ඔදවැඩුණු මුගාබේ, රටේ ජාතික හැඟීම් අවුස්සමින්, සුදු ජාතික වැවිලිකරුවන්ගේ ගොවිබිම් කළු ජාතිකයන් අතට පත්කිරීමට උල්පන්දනම් දුන්නේය. එහෙත් වාණිජමය පදනමකින් ගොවිබිම් නඩත්තු කිරීමේ නිපුණත්වය කළු ජාතිකයන්ට තිබුණේ නැත. එහි අවසාන ප‍්‍රතිඵලය වුණේ, වැඩි කල් නොගොස්, ඒ සරුසාර ගොවිබිම්වල වාණිජමය ජවය දැදුරු වීමයි.

ප‍්‍රතිඵලය, අතිශය විනාශකාරී විය: ඊට කලින්, එංගලන්තයටත්, යුරෝපයටත් හරක් මස් සැපයූ රට, වෙනත් රටවලින් ආහාර හිඟාකන තත්ත්වයට පිරිහුණි. අනතුරුව, තමාගේ මුල් වරද නිවැරදි කර ගැනීමට මුගාබේ ගත් පියවර, තවත් ඓතිහාසික අනතුරකට රට ඇද දැම්මේය: එනම්, මෑත ඉතිහාසයේ වාර්තාගත ඉහළම අතිඋද්ධමනයට රට යටවීමයි. මෙවැනි නායකත්වයන් ආර්ථික විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘සංහාරක නායකයන්’ වශයෙනි. මන්ද යත්, එවන් නායකයන්, පටු අරමුණුවලින් අන්ධ වී, ඔවුන්ගේ රටවල් පූර්ණ විනාශය කරා දක්කන බැවිනි.

බුද්ධද්වීපයක අපූරුව වන්නේ, දැනුවත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාවයි

බහුතරයක් බෞද්ධයන් වන රටක ජනතාවක් බුදු පියාණන්ගේ ධර්මය නිවැරදිව වටහාගෙන නොතිබීම අරුමයකි. ඊටත් වඩා විස්මය වන්නේ, උන්වහන්සේ තමන්ගේ අනුගාමිකයන් වන හෝ නොවන හුදී ජනයා කෙරෙහි පහන් සංවේගයෙන් යුතුව ඔවුන්ගේම යහපත තකා දේශනා කළ ධර්මයේ නාමයෙන්, ඒ ජාතියේ ඇතැමුන් වසල ක‍්‍රියාවන්හි වර්තමානයේ නිරත වීමයි. එහෙත් මේ බුදුන්ගේ දේශයේ අද දක්නට ලැබෙන ලොකුම නිගාව එය ද නොවේ. ඒ වූ කලී, ශාස්තෘවරයාණන්ගේ ධර්මය වනපොත් කළ බෞද්ධ ප‍්‍රාඥයන්ගේ නිශ්ශබ්දතාවයි. හතර වටින් සන්නද්ධ, අති බිහිසුණු ආර්ථික ඝාතකයා ඉබාගාතේ සැරිසරද්දී ඒ දෙස බලාගෙන මුනිවත රැකීම යි.

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන | Dr. W. A. Wejewardhana

[2013 පෙබරවාරි 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ War On Halal-Labelled Products: TheWorst Economic Hit Man Now In Town ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්]

Image Credit: pandithnews