[Image Credit:eu]
මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම් කරන ලද මවිසින් එම ප‍්‍රහාරයන්ට පිලිතුරු වශයෙන් සිව් වසරකට පෙර රාවයට ලියන ලද ලිපියේ මාතෘකාව ය. එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතා මා කීවේ කුමක් ද?
1. වන්නියෙන් පැමිණි සරණාගතයින්ගේ තත්ත්වය ඉතා අසතුටුදායක බව මම කීවෙමි. ඔවුන් රඳවා සිටින කදවුරු කරා යාමට ජනමාධ්‍යට සහ සහන සේවා ආයතනයන්ට අවසර දිය යුතු බව කීවෙමි.
2. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මර්දනයකට මුහුණ දි ඇති බවත් එම තත්ත්වය වෙනස් කර නිදහස් මාධ්‍ය පරිසරයක් ඇති කිරිම ආණ්ඩුවේ වගකීම බවත් මම කීවෙමි. ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදීන් ගැන පරීක්ෂන පැවැත්විය යුතු බව කීවෙමි.
3. යුද ගැටුම් පැවැති කාලය තුළ සිදුවූ මානූෂීය සහ මානව හිමිකම් කෙළෙසීම් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා ඒකාබද්ධව නිකුත් කළ ප‍්‍රකාශය අනුව යමින් ගැටුම් පැවැති කාලය තුළ සිදුවූ මානුෂිය සහ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීමට පියවර ගත යුතු බව කීවෙමි.
‘ජිනීවා සහ මානව හිමිකම්’ යන මාතෘකාව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එදාට වඩා අද කොතරම් බලවත් ද? නැති කළ යුතු ජාති ද්‍රෝහී ප‍්‍රකාශ යැයි රාජ්‍යය විසින්ම හෙළා දැකීමට පියවර ගත් එම කරුණූ, හතර වසරකට පසු පවා කොතරම් බලවත්ව නැගි සිටින්නේ ද?
එදායින් වසර හතරකට ආසන්න කාලයක් ගෙවෙන අද ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි දී ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන කණගාටුදායක තත්ත්වය විසින් එදා අප ප‍්‍රකාශ කළ සරළ සත්‍ය ය සිය දහස් වාරයකින් සනාථ වී තිබේ. අතිශය දරුණු ප‍්‍රහාරයන්ට මුහුණ දෙමින් එදා මා ලියූ වචන අද හරිගිය අනාවැකි බවට පත්ව තිබෙන අන්දම දකින විට මානව හිමිකම් අරගලයේ අතනෑර යෙදී සිටීමට ලැබීම වාසනාවක් බව සිතේ. මන්ද යත් ලෝකයේ අන් රටවල් සම්බන්ධයෙන් මෙන්ම අවසානයේ දී ජයග‍්‍රහණය සතු වන්නේ අපට බව එනම් මානව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට බව දිනක් පාසා සනාථ වෙමින් ඇති නිසා ය.
අප මේ කාරියෙහි අතනෑර යෙදී සිටියේ අවලාදකරුවන් කියා සිටි පරිදි කවරකු විසින් හෝ අපට දෙන ලද වස්තු සම්භාරයක් නිසා නොවේ. ස්වයං පිටුවහලෙහි මේ තාක් ගත කර ඇති කාලයෙන් එක් වසරක් හැරුන විට මා ජීවත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවෙහි මා ලද මාසික ආදායමට බොහෝ අඩු, එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට පමණක් ප‍්‍රමාණවත් වන මුදලක් උපයා ගැනීමෙනි. මා ජිවත්වන ස්විස්ටර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව රටවල් දෙකෙහි අදායම් සහ වියදම් අතර ඇත්තේ දස ගුණයක තරම් වෙනසකි. එම වෙනස සළකා බලන විට අවම මුදලකින් දුරු රටක ගත කැරෙන ජීවිතය අයෙක් අපට අවලාද ලෙස කී සීතල රටවල සුඛ විහරනයක්ය යන්නට වඩා බොහෝ වෙනස් ය.
මා මේ කරුණු ලියන්නේ එකම එක කාරනයක් නිසා ය. එනම් එදා සිට අද දක්වා අප තුරින් අතලොස්සක් පමණක් වුව මානව හිමිකම් අරගලයේ රැදි සිටියේත් ඉදිරියට රැදී සිටින්නේත් දහසින් බැදී පඬුරු නිසා නොවන මිනිස් වගෙහි අනාගතය රැදී පතින්නේ මානව හිමිකම් සුරැකීම මතය යන යන විශ්වාසය නිසා බව පෙන්වා සිටීමට පමණය.
එදා 2009 මැයි මාසයේ දී යුද්ධයේ ජයග‍්‍රාහී රණ බෙර හඬින් වාතලය ගිනියම්ව තිබියදීත් යුද්ධයේ ගොදුරු බවට පත් මෙරට දෙමළ ජනයාගේ මානව හිමිකම් තහවුරු නොකෙරන්නේ නම් ශ‍්‍රී ලංකාව අඳුරු යුගයකට යනු ඇතැයි බිය නැතිව අප ද ඇතුළුව, ශ‍්‍රී ලංකාවෙහි ජීවත්වෙමින් කියා සිටි අතලොසක් වූ මිනිසුන් සහ ගැහැණුන් විසින් අද වන විට රාජපක්ෂ ආන්ඩුව ලෝක ජන මතය නම් විනිශ්චය ඉදිරියට පමුණුවා තිබේ.
ඇත්ත වශයෙන්ම නම් යුදවාදයම සිය ඉදිරි දැක්ම කරගත් රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් ඉතිහාසය විනිශ්චය දී හමාරය.
ක‍්‍රෑරත්වය අතින් එකිනෙකාට දෙවෙනි නොවූ පාර්ශයන් බවට පත් වෙමින් එල්ටීටීඊ ය සහ යුද්ධ හමුදා අතර කැරුණූ යුද්ධය මානව වර්ගයාට එරෙහි යුද්ධයක ලක්ෂණ ඇතුලත් කරගත් බව දැන් රහසක් නොවේ. ඉන් දරුණුතම විපාකය වින්දේ දෙමළ ජනතාව ය. එම ජනයාගේ සිත් පිළියම් කැරෙන සංහිදියා ක‍්‍රියා මාර්ගයකට අවතිර්ණ විය යුතු යැයි අපි කීවෙමු. එම ජනයාගේ දේශපාලන අභිලාශයන් සැපිරෙන දේශපාලන විසඳුමකට අවතීර්ණ විය යුතු යැයි අපි කීවෙමු. මහා ජනයාට යුද්ධයෙන් අත් වු විපාක විමසා බැලෙන විවෘත වගවීමේ ක‍්‍රියාදාමයක් දියත් කළ යුතු යැයි අපි කීවෙමු.
එකළ අපේ එකී ස්ථාවරයන් නිසා ද්‍රෝහීන් යැයි අප හංවඩු ගැසූ රාජ පාක්ෂික බලවේග අප පර සක්වල ගසන බවට දිවුරවූ මරණයේ පනිවුඩකරුවෝ දිවා? අප වෙත එවූහ. දැන් සියල්ල කණ පිට ය. අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එන රාජපක්ෂ දේශපාලනඥෙයෝ කළ යුතු යැයි අප එදා කී සියල්ල කරන බවට දැත් හිස තබා පොරොන්දු දෙති. ( එහෙත් ආපසු ආසියාවේ ආශ්චර්්‍යයට පියාඹා ගිය සැනින් එහි විඳන සදෙව් ලොව සුඛ විහරනය හමුවේ මේ පොරොන්දු අමතක කරති.ො) සරෙණාගත දෙමළ ජනයා සම්බන්ධයෙන් පමණක් නොව යුද්ධ හමුදා විසින් කර ඇතැයි කියන මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කරන බවට පවා පොරොන්දු දෙති.
පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාව ගත යුතුව තිබූ මානව හිමිකම් සුරැකෙන ප‍්‍රජානත්ත‍්‍රවාදී පාලනයේ ද සමාන අයිතිය සහ වගවීම මත පදනම් වූ සංහිදියාවේ ද මඟ වෙනුවට ගැනුනේ අත්තනෝමතික පවුල් පාලනයේ සහ දෙමළ ජන ජීවිතය යුදකරණයේ මාවත ය. ශ‍්‍රී ලංකාව තුල සාර්ථක ලෙස අත්හදා බලන ලද බිය ගැන්වීමේ සහ වරදාන මගින් ආවතේවයට ගනු ලැබීමේ මූලෝපාය අන්තර් ජාතික වශයෙන්ද සාර්ථක වනු ඇතැයි රාජපක්ෂ පාලනය කල්පනා කරන්නට විය. චීනයේ(සහ ඉරානය යනාදිය) පෙන්වා ලෝකයේ අනෙක් රටවල් බියගැන්වීමට හැකි වනු ඇතැයි එය කල්පනා කළේ ය.
එසේ නමුත් එදා 2009 දී ශ‍්‍රී ලංකාව යහමඟ ගනු ඇතැයි විශ්වාශ කළ බොහෝ දේශීය සහ විදේශීය බලවේග දැන් යථාර්තය අවබෝධ ගනිමින් හෝ සිටිති.
ඉන් ශ‍්‍රී ලංකාවට තීරණාත්මකම වෙනස සිදුව ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙහි ය. එහි සියළුම දේශපාලන පක්ෂ දැන් ශ‍්‍රී ලංකාණ්ඩුව එනම් රාජපක්ෂ පාලනය පිළිබඳ දරන්නේ උග‍්‍ර විවේචනාත්මක ආකල්පයන් ය. තමිල්නාඩුව ශ‍්‍රී ලාංකික දෙමළ දේශපාලන ධාරාවන්ට තොතැන්නක් වීම දැන් කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි. පසුගිය දිනෙක ජනමාධ්‍ය ඇමැතූ ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ශිද් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සහජීවනයක් ඇති වීමට නම් මානව හිමිකම් කෙළෙසීම් පිලිබඳ නිසි පරීක්ෂණ අත්‍යවශය බවයි. තව ද ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් ලබා දීමෙන් පැන යාමට ලංකාණ්ඩුවට නොහැකි බවත් ඔහු අවධාරණය කලේ ය.
බටහිර ප‍්‍රජාතන්තවාදී ලෝකය එන්න එන්නම ශ‍්‍රී ලංකාණ්ඩුව සම්බන්ධයෙන් සිටින්නේ තිව්ර වන විවේචනාත්මක විවේචනාත්මක ස්ථාවරයක ය. අතර මැද රටවල් බොහොමයක් ද ලංකාණ්ඩුවේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටිති.
ආසියනු ක‍්‍රීඩා උළෙල ශ‍්‍රී ලංකාවට ගැනීමට මහත් ධනස්කන්දයක් වැය කරමින් කරන ලද ප‍්‍රයත්නය කන්දක් විලිලා කෙන්දක් වැදුවා බවට පත් විය. එංගලන්තයට ගිය ජනාධිපතිවරයාට විරෝධතා මැද ආපසු හැරී ඒමට සිදු විය. පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍යනායක සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත්දැයි තවම කිව නොහැකි නමුත් පැවැත්වුන ද එය සිදුවනු ඇත්තේ මතබේද මැද ය. ලක්ෂ ගණනාවකට රැකියා අත්වැළක් වූ ජීඑස්පී ප්ලස්(GSP+) සහනය අහෝසි විය. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙවන විවේචනාත්මක යෝජනාවක් ද සම්මත වීමට ආසන්න ය. මේ සියල්ල පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාව යහ මඟට නොගැනීමේ විපාක ය.
දේශීය වශයෙන් පවතින්නේ ඊටත් වඩා කළකිරීමක් බව අපි හැම දනිමු. රනිල් වික‍්‍රමසිංහ නැමැති මූඩියෙන් එම කළකිරීම වසා නොතිබුනේ නම් විපාක්ෂික දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්නට හොදටම ඉඩ තිබුණි. සතිපතා ඉංග‍්‍රිසියෙන් ලියැවෙමින් තිබී දැන් දැන් සිංහලට ද නැගෙමින් පවත්නා බොහෝ ගKනාවක් වන විමතික ලිපි ලේඛන විසින් පෙන්නුම් කරන්නේ ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් මෝදු වන කළකිරීමයි. සියල්ලටමක් වඩා එන්න එන්නම නිර්භය ලෙස සිය අයිතීන් වෙනුවෙන් හඬ අවධි කරවන දේශීය දෙමළ දේශපාලනය 2009 මැයි මාසයේ දී සිතන්තටවත් නොහැකි ව තිබූ ආහල්ලාදයකි.
2009 මැයි මාසයේ දී ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් විමතික අදහස් ප‍්‍රකාශ කිරීමට ශ‍්‍රී ලංකාවෙන් සිටියේ, බැහැර සිට නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත් සමීපතම ක‍්‍රියාකාරින් සහ ක‍්‍රියාකාරිනියන් දෙතුන් දෙනෙකු හැර, මා පමණකි.
අද බලන්න. අතුරුදහන්වු දරුවන් වෙනුවෙන් කතා කරන මාපියන්, සිය ජනයාගේ අයිතින් වෙනුවෙන් දෙමළ ජාතික සංධානයේ මංත‍්‍රීවරුන්, ආගමික පිරිස්, මානව හිමිකම් ක‍්‍රියාකාරීන් සහ කාරිනියන් නොබියව ජිනීවා පැමිණ කවුන්සිලයෙහි සරති. ආණ්ඩුවට අභියෝග කරති.
පාර හැදෙන්නේ ඇවිද යාමෙන් යැයි කියමනක් තිබේ. අපි ඇවිද යමින් පාර හදමු. එවිට පසුව එන්නන්නට අඩි පාරක් හෝ තිබෙනු ඇති. ජිනිවාහි පමණක් නොව අපේ ගෙන්දගම් පොළවේ ද අභියෝගය එය යි. යමු……
සුනන්ද දේශපි‍්‍රය | Sunanda Deshapriya