‘‘තමන්ගේ අමුම අමු ප‍්‍රචාර සහ ප‍්‍රතික්ෂේප කිරීම් සිය දේශසීමාවෙන් පිටත දී , බොහෝ විට සිය ජන්ද දායක පදනමෙන් පිටත දී අලෙවි කළ නොහැකි බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. බොරුවක් කොපමණ සද්දයෙන් කීවත් කී වරක් පුනරුච්චාරනය කළත් විශවසනීයත්වයක් ඇති කරන්නේ නැත. අන්තර් ජාතික ප‍්‍රජාව දිනා ගැනීම උදෙසා විශ්වසනීයත්වය තීරණාත්මක බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. ආණ්ඩුව කළ යුත්තේ කල් තබා පැමිණෙන අනතුරු හැඟවීම් තේරුම් ගැනීම මිස ප‍්‍රකාශ කරන පණිවිඩකරුට වෙඩි තැබීම නොවේ.’’
මේ දිනයන්හි ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට අදාළව එම වචන අයත් වන්නේ තෙවසරකට පෙර ජිනීවාහි රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයා වූ හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලකට ය. කවරකු වුවත් තමන්ට ආවඩන ‘දේශපේ‍්‍රමී වීරයකු’ නොවේ නම් ‘ජාති ද්‍රෝහියෙකි’ යන සංකල්පය විසින් මෙහෙයවනු ලබන වත්මන් රාජ්‍ය – දේශපාලන කතිකාව යටතේ ආචාර්ය ජයතිලක රාජද්‍රෝහී දේශද්‍රෝහී පාවා දෙනෙකු බවට පත් කිරීමට මේ ප‍්‍රකාශය හොදටම ප‍්‍රමාණවත් ය.
වෙබ් අඩවි ගනනාවකම පලව ඇති උක්ත සඳහන සහිත ලිපියෙහි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුවේ කටයුතු සිදුවන්නේ මෙළෙස නම් රාජ්‍ය තාන්ත‍්‍රික කිළිනොච්චියක් හෝ සමහර විට ඊටත් වඩා රාජ්‍ය තාන්ත‍්‍රික නන්දි කඩාල් එකක් අභිමුව ශ‍්‍රී ලකාව සිටින්නට ඉඩ ඇති බවයි. ඉන් අදහස් කැරෙන්නේ පරාජය වුවහොත් අවසානයක් බවට පත් විය හැකි රාජ්‍ය තාන්ත‍්‍රික තෙරපුම්වලට ශ‍්‍රී ලංකාව ලක් වීමට ඉඩ ඇති බවයි.
එකළ ආචාර්ය ජයතිලක සමඟ ජිනීවා හි ආණ්ඩුවේ සටන මෙහෙය වූ තවත් ආචාර්යවරයකු වූයේ පත් කළ මංත‍්‍රී රාජීව විජේසිංහය. දැන් ඔහුට සවන් දෙමු.
‘‘උගත් පාඩම් කොමිසම (හමුදාවට) බාර වූ (නමුත් සොයා ගැනීමට නැති) සමහරකු ගැන පරීක්ෂා කළ යුතු යැයි නිර්දේශ කලේ ය. අප එම නිර්දේශ සම්බන්දයෙන් විශ්වසනිය සහ පාරදෘශය ලෙස කටයුතු කිරීමට අසමත්ව ඇත්තෙමු. ඒ වෙනුවට අප සෑම පරීක්ෂනයන්ම ද්‍රෝහීකමෙකැයි යන මානසිකත්වයේ හිර වී සිටිමු. එනයින් අප කරනුයේ ප‍්‍රතික්ෂේප කිරීම් පමනක්ය යන චෝදනාව කරන්නන්ගේ පහසු ගොදුරක් බවට පත්වෙමු’’ .. ‘ තව දුරටත් පරීක්ෂන අවශ්‍ය බවට උගත් පාලන කොමිසම ප‍්‍රකාශ කල … සිදුවීම් කෙරෙන් අප ඉවතට ගමන් කර ඇත්තෙමු’ …
උගත් පාඩම් කොමිසමේ ප‍්‍රධාන තේමාව වූ සංහිදියාව ගොඩ නැගීම සම්බන්දයෙන් ආචාර්ය විජේසිංහ, ඉහත උපුටනය ද ඇති සිය බ්ලොග් අඩවියෙහි කියන්නේ ජනාධිපතිවරයාගේ උපදේශකයින් ‘ඔහුට උපදෙස් දෙන්නේ සංහිදියාව ගැන අනෙක් අයට පැහැදිලි කිරීමට මිස ප‍්‍රායෝගික පියවර ගැනීමට නොවන බවයි’ … ‘සංහිදියාව කරා වන අපේ ගමනෙහි ප‍්‍රගතියක් සිදු නොවී ඇති තරම්’ යැයි ඔහු තව දුරටත් කිය යි.
මේ වනාහී තෙවසරකට පෙර රාජපක්ෂ ආණ්ඩුව ජාතික සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් අවංක නැතැයි කියා සිටි අප වැනි බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් දරැනු ප‍්‍රහාරයන් දියත් කළ ප‍්‍රධාන පෙළේ රාජපක්ෂ ප‍්‍රචාරකයින් දෙදෙනෙකු අද ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති අදහස් ය. ඒවාට අප විසින් අටුවා ලිවිය යුතු නැත.
එකළ සිට අද දක්වාම ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි ශ‍්‍රී ලංකාව නියෝජනය කරන අමාත්‍ය මහින්ද සමරසිංහ ජිනිවා නුවර සිට ආපසු පැමිණිමෙන් පසු මෙරට රූපවාහිනී නාලිකාවන්ට ප‍්‍රකාශ කර ඇත්තේ මෙවර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කැරෙන යෝජනාව රටට අහිතකර එකක් නොවන බවත් එබැවින් ඊට විරුද්ධ වීම අනවශ්‍ය බවත් ය.
එසේ නමුත් ඇත්ත කරුණ නම් මෙවර යෝජනාව විසින් අඩුම තරමින් පසුගිය මාර්තුවේ දී සම්මත කළ යෝජනාව පිළිපදින සේ ශ‍්‍රී ලංකාණ්ඩුවට බල කෙරනු ඇති බවයි.
එමෙන්ම පෙබරවාරි 27 වන දින මානව හිමිකම් කවුන්සිලයෙහි කතා කරමින් ඔහු කියා සිටියේ ඊට සහමුලින්ම වෙනස් කතාවකි. ඔහු මෙසේ කිවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට එල්ල වූ හදිසි තර්ජනයක් නැති මෙවැනි අවස්ථාවක ශ‍්‍රී ලංකාව ඉලක්ක කිරීම අසාධාරණය…ශ‍්‍රී ලංකාව මෙම පියවර ඉදිරිපත් කරන රටවල වාර්තාව ද එබැවින් ප‍්‍රශ්ණ කළ යුතු ය. උදාහරනයක් ලෙස 19/2 දරන (පසුගිය මාර්තු මාසයේ දී සම්මත කරන ලද) යෝජනාව වැනි ශ‍්‍රී ලංකාව ඉලක්ක කිරීම පිළිගත නොහැකි ය.’’
නමුත් දැන් පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුව වෙනත් තනුවක් ගායානා කරන බවයි. ඊට හේතුව පැහැදිළි ය. එනම් මෙවර ඉදිරිපත් වන යෝජනාව මත ජන්දයක් පැවැතිය හොත් පසුගිය වසරට වඩා දරුණූ පරාජයකට ශ‍්‍රී ලංකාණ්ඩුව ලක්වීමට ඇති ඉඩකඩ ය. තවත් වැදගත් හේතුවක් තිබේ. එනම් ඉන්දියාව ඉතා ඍජුව ලංකාණ්ඩුවට දී ඇති පණිවිඩය යි.
ඉන්දියානු විදේශ ඇමැති සල්මන් කුර්ෂිඞ්ගේ වචනයෙන් එය මෙසේ ය: ‘‘ඉන්දියානු ආණ්ඩුව ස්ථාවරයක් ගන්නවා. මේ වන විට මා ශ‍්‍රී ලංකාවේ මගේ තනතුර දරන විදේශ ඇමැතිවරයාට කියා තිබෙනවා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකජ්චා කරන ලෙස. ඔබ මානව හිමිකම් සම්බන්ධයෙන් ප‍්‍රගතියක් ලබා තිබේ නම් එය එක්සත් ජනපදයට පෙන්වා දී හැම දෙනාටම එකඟ විය හැකි යෝජනා කෙටුම්පතක් සකස් කරන්නයැයි මා කිව්වා.’’
අමාත්‍ය මහින්ද සමරසිංහ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ගල් පැලෙන බොරු ඇද බෑ බව ද දැන් බොහෝ තානාපති අංශ දන්නා බව පෙනේ. ඔහුගේ 2013 කතාවෙහි ඇත්තේ 2012 කතාවෙහි දී දුන් පොරොන්දු බව ශ‍්‍රී ලංකවේ සිවිල් සමාජය විසින් ප‍්‍රසිද්ධ කරන ලද වාර්තාවක් පෙන්වා දුන්නේ ය.
උදාහරණයක් වශයෙන් සමරසිංහ කිවේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තරව විතැන් වු සරණාගතයින් නැති බවයි. එනමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවෙහි තවමත් ලක්ෂයකට ආසන්න සරණාගත පිරිසක් සිටින අතර නැගෙනහිර පළාතෙහි සරණාගත කඳවුරු ගණනාවක් ද තිබේ. උතුරෙහි ජන ජිවිතයට කිසිදු හමුදා මැදිහත් වීමක් නැතැයි ඔහු මානව හිමිකම් කවුන්සිලයට කී නමුත් එවැනි මැදිහත්වීම් නිරන්තරයෙන් කැරෙන බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී තිබේ. උතුරෙහි හමුදා භට සංඛ්‍යාව බොහෝ දුරටම අඩුකර ඇතැයි ද ඔහු කී නමුත් සංඛ්‍යා ලේඛන මගින් එය තහවුරු කිරීමට ඔහු අසමත් විය. අධි ආරක්ෂිත කලාප, යුද කලාපයෙහි ඉඩම් හිමිකම් පිළිබඳව, එල්ටීටීඊ සැකකාර රුදවියන් පිළිබඳව ඔහු කවුන්සිලයට කීවේ අර්ධ සත්‍යයන් ය.
එමෙන්ම ‘ද සෝෂල් ආර්කිටෙක්’(සමාජ සැළසුම්කරු) නම් ජනමත විචාරණ සංවිධානයක් විසින් සිය සමීක්ෂනයක ප‍්‍රතිඵල ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ අඩුම වශයෙන් උතුරු නැගෙනහිර සියයට 25ක් පවුල්හි අයකු හෝ ඊට වැඩි ගනනාවක් අතුරුදහන් වී ඇති බවයි. උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් වූ උපදේශන සේවාවන් ලබා දීම සහමුලින්ම වාගේ(සියයට 88ක්) අසාර්ථක වී ඇති බව ද එම වාර්ථාව පෙන්වා දුන්නේ ය. තවත් කැපී පෙනෙන කරුණක් වන්නේ සියයට 80කට වැඩි අවස්ථාවන්හිදී දෙමළ බසින් කරන ලද පොලිස් පැමිණිළි වාර්තා කර ගන්නා ලද්දේ සිංහල බසින් බවයි.
කිළිනොච්වියෙහි සෙන්චොලෙයි නම් ළමා නිවාසයකට හෙළන ලද ගුවන් හමුදා බෝම්බ නිසා බාලිකාවන් 60 දෙනෙකු පමණ මියගිය ස්ථානයෙහි ඉදිකර තිබූ සිහිවටනය විනාශ කළ ආරක්ෂක හමුදා දැන් එතැන බුදු පිළිමයක් ඉදිකර තිබෙන බව එවැනි තවත් වාර්තාවක සඳහන් වෙයි. මෙවැනි පියවරයන් මගින් ගොඩ නැගෙන සහජීවනය කුමක්ද යන්නට අමාත්‍ය සමරසිංහ පිළිතුරු දුන්නේ ද නැත.
තමන් අන්තර් ජාතික ප‍්‍රජාවට එක් මුහුණක් පෙන්වන අතර රටතුල යුද්ධවාදී මර්දනය පවත්වා ගෙන යන බව රාජපක්ෂ ආණ්ඩුව පසුගිය 05 දා වවුනියාවේ දී පෙන්නුම් කළේ ලෝකයම ජිනීවාහි සිට ලංකාව ගැන ඇස ගසා ගෙන සිටිය දී ය. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පෙත්සමක් බාර දීමට පැමිණෙමින් සිටි අතුරුදහන් වුවන්ගේ පවුල් සාමාජික සාමාජිකාවන් 1000කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් මගින් පැය කිහිපයකට රඳවා තබා ගත් රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට කොළඹ ඒමට බැරි වනසේ බස් රථ බිය ගන්වා ආපසු යැවූයේ කලඑළියේම සරම උස්සා මුහණ පිසදා ගන්නා ලෙසිනි.
කෙටියෙන් කිවහොත් රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටන්නේ උත්සන්න වන උභතෝකෝටිකයන්ටය. එක් අතෙකට එයට සිය අධිකාරිවාදී පාලනය පවත්වා ගැනීමට නම් එන්න එන්නම නැගී එන මහා ජන විරෝධයන් සහ පිරිහෙන ජනප‍්‍රියත්වය හමූයේ රට තුල මර්දනය ඉහළ නැංවීම අත්‍යවශය ය. අනෙක් අතට ඇමෙරිකාව සහ ඉන්දියාවෙහි එකඟතාවයෙන් යුරෝපීය සංගමය ඇතුළු බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ද බොහෝ සංවර්ධනය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ද විසින් ද්වි පාර්ශවීය මෙන්ම බහු පාර්ශවීය තලයන්හි දී ඉදිරිපත් කරන මානව හිමිකම් අභියෝගයන්ට මුහුණ දිය යුතු ය.
එය දැන් සිටින්නේ අන්තර් ජාතික තලයෙහි සන්ධානගත වීමේ අද්දරකය. ඉන්දියාව විසින් ප‍්‍රසිද්ධියේ ම කියා ඇත්තේ අන්තර් ජාතික තලයෙහි සම්මුතිකාමී ප‍්‍රවිශ්ඨයක් ඇති කර ගන්නා ලෙස ය. පෙනෙන්ට ඇති පරිදි රාජපක්ෂ පාලනයේ පැවැත්ම සඳහා දැන් එවැනි පසු බැසීමක් සහ සම්මුතියක් අත්‍යවශය.
අනෙත් අතට පසුගිය මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ට සහ ඇමෙරිකානු යෝජනාවට එරෙහිව කොළඹ දෙදරවූ රාජපක්ෂ පාලනයේ යුදවාදී සහ අන්තවාදී බලවේග එවැනි ප‍්‍රවිශ්ඨයකට ඉඩ දෙනු ඇත්දැයි තවම කිව නොහැකි ය. කිසිදු බාහිර බලවේගයකට හිස නොනමන බවට නිදහස් දිනයේ දී පාරම් බෑ මහින් ද රාජපක්ෂටම එම අභියෝගයකි. රට අභ්‍යන්තරයේ මර්දනකාරි පාලනයක් පවත්වා ගනිමින් අන්තර් ජාතික තලයෙහි මානව හිමිකම් අරභයා සම්මුතිකාමී වීමට ප‍්‍රයත්න දැරීම අන් රට වල සිදුව ඇති පරිදි අවසානයේ දී රට අභ්‍යන්තරයෙහි ද සම්මුතිකාමී ගතිකත්වයක් ඇති කරනු ඇත් ද? යුදවාදී අන්තවාදී බලවේග එවැනි වෙනසකට ඉඩ දෙනු ඇතියි විශ්වාශ කිරීම තවම දුෂ්කරය.
එසේ නමුත් මේ ප‍්‍රතිවිරොධයෙන් ගැලවීම රාජපක්ෂ පාලනයට එන්න එන්නම දුෂ්කර වනු ඇති බව නම් නොඅනුමානය.
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya