Colombo, Democracy, end of the War, Features, Human Rights, IDPs and Refugees, Peace and reconciliation

අපේක්ෂා හා ප‍්‍රතිසන්ධානය: ශ‍්‍රී ලංකාවේ ගැටුමෙහි තුවාල සුවකිරීම

යුද්ධයක් නොපැවතීම සාමය නොවේ: මේ කියමන අද ශ‍්‍රී ලංකාව විෂයයෙහි සත්‍යයකි.

srilanka_war_widows

රටේ සිවිල් යුද්ධය වසර හතරකට පෙර අවසන්ව තිබියදීත්, පාරවල් නැවත ගොඩනඟා තිබියදීත්, මානව හිමිකම් සුරැකීම දුර්වල වෙමින් පවතී. ගැටුමෙහි වින්දිතයන් ගේ පෞද්ගලික ශෝකාන්තයන්, සිදුවූ බව පිළිගැනීම හා ඒවාට යුක්තිය ඉටුකිරීම දැනටත් ඉතිරිව තිබේ. ප‍්‍රතිසන්ධානයකට අවශ්‍ය පරිසරය තවමත් නොපවතී.

ශ‍්‍රී ලාංකේය බලධාරීන්ට අර්ථසම්පන්න කි‍්‍රයාමාර්ගයක් උදෙසා බලපෑම් කිරීමේ මහඟු අවස්ථාවක්, සිය නව සැසිය ජිනීවාහි දී ආරම්භ කළ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබේ. එසේ කිරීමෙන් සියලූ ශ‍්‍රී ලාංකිකයන් සිත්හි දරාසිටින වගවීම හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ප‍්‍රාර්ථනයන් සුරැකීමට එය කටයුතු කළ යුතු ය. වරදට දඬුවම් නොලබා සිටීමේ වත්මන් සංස්කෘතිය අත්‍යවශ්‍යයෙන් ම අවසන් කළයුතු ය.

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ(LLRC) වාර්තාවෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ම හඳුනාගන්නා ලද නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීම ඉල්ලා සිටින සන්ධිස්ථානීය යෝජනාවක්, පසුගිය වසරේ කවුන්සිලය සම්මතකරගත්තා ය. අප ද අයත් වන සාමය සහ මානව හිමිකම් වෙනුවෙන් කැපවූ ස්වාධීන නායකයන් ගේ කණ්ඩායමක් වූ ‘දි එල්ඩර්ස්’ (වැඩිහිටියෝ) ඒ අවස්ථාවේ දී එම යෝජනාවට පූර්ණ සහයෝගය පළකළා ය. එය නිවැරැදි දිසාවට ගත් තීරණාත්මක පියවරක් විය.

අවාසනාවකට එතැන් පටන් සිදුවී ඇත්තේ ඉතා ම ස්වල්පයකි. කල්පවත්නා ප‍්‍රතිසන්ධානයක්, නීතියේ පාලනය පිළිගැනීම, මානව හිමිකම් සුරැකීම: අද මේ අත්‍යවශ්‍ය අරමුණු කිසිවක සාධනීය වර්ධනයක් ඇතැයි හැඟීමක් ඇතිකරගැනීම උගහට ය.

පෙබරවාරි 16 වැනිදා, ප‍්‍රමුඛ ගවේශණාත්මක මාධ්‍යවේදියකු වූ ෆරාස් ෂෞකට්අලී හට ඔහු ගේ නිවසේ දී වෙඩිතැබිණි. එය ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ප‍්‍රහාර එල්ලකිරීමේ කණගාටුදායක ප‍්‍රවණතාවේ අළුත් ම සිදුවීම පමණි. ජනවාරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරිය වූ ශිරාණී බණ්ඩාරණායක (මෙම තනතුර හෙබවූ පළමු කාන්තාව) දෝශාභියෝගයකින් ඉවත්කිරීම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය අශෝභන ලෙස නොසලකා හැරීමකි.

තවද LLRC නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමට කිසිදු අර්ථවත් කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති තරම් ය. නියමිත කාලසීමාවන් පසුපසට තල්ලූකොට ඇති අතර, ආණ්ඩුවේ ම කොටස් කලින් ප‍්‍රතිඥා ප‍්‍රතික්ෂේප කිරීම හෝ ඒවා දුර්වල කිරීම අරබයා තර්ජනය කරති.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා අනෙකුත් කැරලිකාරී කණ්ඩායම් විසින්, සිවිල් යුද්ධයේ අවසන් මාසවල දී සිදුකරණ ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර මානවවාදී නීතීන් කඩකිරීම් සම්බන්ධයෙන්, ස්වාධීන සහ විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් අරබයා, ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජය හා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් කරන ඉල්ලීම්වලට ද අපේ සහාය පළකරන්නෙමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ම 40,000ක පමණ සිවිල් ජනතාවක් ඝාතනයට ලක්වී තිබේ.

මානව හිමිකම් කවුන්සිලය මේ අවස්ථාවේ කි‍්‍රයාකිරීමට තෝරාගන්නා ආකාරය ජාත්‍යන්තර ප‍්‍රජාව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය කෙරෙහි ගැඹුරු බලපෑමක් සිදුකරනවා ඇත. මේ කාරණයේ දී අප පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ එය දැනට සැලසුම් කර ඇති පරිදි ශ‍්‍රී ලංකාව එහි 2013 – 15 කාලය සඳහා සභාපතිත්වයට නම්කිරීම පිළිබඳව ගැඹුරින් සිතාබලන ලෙස ය. මෙම භූමිකාවේ දී ශ‍්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් ගේ ද්විවාර්ෂික හමුව මේ වසරේ නොවැම්බර් මාසයේ දී සිය රටෙහි පවත්වනු ඇත.

තත්ත්වයේ යහපත් වර්ධනයක් සිදුනොවුවහොත් මෙම සමුළුව වර්ජනය කරන බවට කැනේඩියානු අගමැති ස්ටෙෆාන් හාපර් දැනටමත් තර්ජනය කර තිබේ. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව එලෙසින් ම කි‍්‍රයාකරන ලෙස එහි අගමැති ඩේවිඞ් කැමරන්ගෙන් ද ඉල්ලා ඇත.

’එල්ඩර්ස්’ (‘වැඩිහිටියන්’) වශයෙන් අප මෙම ඍජු ස්ථාවරය සාදරයෙන් පිළිගන්නා අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක කැපවීම් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස සාමය සහ නීතියේ ආධිපත්‍යය යන අංග නැවත සිහිපත් කරන්නෙමු.

තවමත් සංසන්ධනාත්මකව නව සංස්ථාපිතයක් වන 2006 දී එක්සත් ජාතීන් විසින් නිර්මාණය කරන ලද මානව හිමිකම් කවුන්සිලය තමන්ට සැසිවාරයෙන් සැසිවාරයට සිය සාර්ථකත්වය වර්ධනය කරගැනීමට හැකිබව අනිවාර්යයෙන් ප‍්‍රදර්ශනය කළ යුතු ය. පසුගිය සැසිවාරයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට බලාපොරොත්ත ලබාදුන්නේ නම් මෙවර සැසිවාරයේ දී වඩාත් ඉදිරියට ගොස් ඒ බලාපොරොත්තු ජීවමාන කළයුතු ය.

පසුගිය වසරේ තවත් අර්බුද ඇවිලිණි. ප‍්‍රකටව පෙනෙන උදාහරණ දෙකක් ලෙස සිරියාව සහ මාලී ගන්නේ නම් කවුන්සිලයේ න්‍යාය පත‍්‍රයෙහි ඒවා නිවැරැදි ව ඉහළින්ම ස්ථාන ගතවී තිබිණි. ශ‍්‍රී ලංකාව සම්බන්ධ කාරණය වෙනස් පරික්ෂාවක් සම්මුඛ කරවයි: ගෝලීය අවධානය වෙනතක හැරවී තිබෙන මොහොතක පවා ආණ්ඩුවල වගවීම රඳවා තබාගැනීමෙහි ලා කවුන්සිලයට ඇති හැකියාව ඉන් පරීක්ෂා කරනු ඇත.

ඩෙස්මන්ඩ් ටුටූ සහ මේරී රොබින්සන් | DESMOND TUTU & MARY ROBINSON

#Image Credit:www.colombotelegraph.com
______________________________________________________________________________________________________________

[ඩෙස්මන්ඞ් ටුටූ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූවෙකි. මාරී රොබින්සන් අයර්ලන්තයේ හිටපු ජනාධිපතිවරිය යි. දෙ දෙනා ම සාමය සාධාරණත්වය හා මානව හිමිකම් උදෙසා ක‍්‍රියාකරන ස්වාධීන නායකයන් ගේ කණ්ඩායමක් වන දි එල්ඩර්ස් (වැඩිහිටියෝ) හි සාමාජිකයෝ වෙති.) මෙම ලිපිය ඔවුන් විසින් Hope and reconciliation: Healing Sri Lanka’s wounds of conflict මැයෙන් ලියන ලදුව මාර්තු 11 වෙනිදා ‘ද ටෛම්ස් ඔෆ් ඉන්ඩියා’ පත්‍රයෙහි පළ විය]