ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද මහා පොදු සාධක මෙන්ම වෙනස්කම් ද තිබේ.
අමාත්‍ය සමරසිංහ වැනි රාජපක්ෂ පාලනයෙහි නිල ප‍්‍රකාශකයින් කියන්නේ මේ වනාහී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර් ජාතික මානව හිමිකම් ප‍්‍රජාව විසින් ක‍්‍රියාවට නගා ඇති ශ‍්‍රී ලංකාවේ ස්වරීයත්වය කෙළෙසන අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් බවය. එහි ජනප‍්‍රිය ප‍්‍රචාරකයින් කියන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ශ‍්‍රී ලංකාවට එරෙහි සහ ජනාධිපති රාජපක්ෂ ඇතුළු යුද්ධයට නායකත්වය දුන් දේශප්‍රෙමීන් අන්තර් ජාතික යුද අධිකරණය වෙත ගෙන යෑමේ මූලෝපායක් බවය.
එම ධාරාවෙහි ජනප‍්‍රිය කථිකයකු වන අමාත්‍ය මර්වින් සිල්වාට අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිටින්නේ වෛරක්කාර, හිත්පිත් නැති, කුහක, ඊර්ශාකාර පාදඩයින් පිරිසකි. (නෙත් එෆ්.එම් වාර්තාව) එවැනිම තවත් ජනප‍්‍රිය ප‍්‍රචාරකයකු වන අමාත්‍ය වීරවංශ මේ වනාහී ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා යුද අධිකරණයකට ගෙන යෑමට දැරෙන උත්සාහයක් බව කෙලින්ම කිය යි. (ඔහුගේම වෙබ් අඩවිය). බොහෝ විට ශ‍්‍රී ලංකාවෙහි වඩාම ප‍්‍රචලිත මතවාදය මෙය එනම් ජිනීවා යෝජනා යනු රටට සහ ජනාධිපතිට විරුද්ධ බටහිර කුමන්ත‍්‍රණයක් යන්න විය හැකි ය.
එක්තරා අන්දමකට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර් ජාතික මානව හිමිකම් මැදිහත්වීම් සම්බන්ධයෙන් ජවිපෙ දරන්නේ ද එවැනිම අදහසකි. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ මේ වනාහී මහින්ද රාජපක්ෂ ආන්ඩුව 2006 වසරේදී මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මහා මංඩලයේ දී ජන්දය දීමෙන් කරගත් ඉල්ලං කෑමක් බවය.
එහිම අනෙක් අන්තය වන මතයක් ද තිබේ. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් කොමිසම යනු රාජපක්ෂ ආන්ඩුවට වක‍්‍ර ලෙස උදව්කරමින් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට කිසිදු සෙතක් නොකරනු ඇති බටහිර බලවතුන් විසින් පාලනය කරන කතා සාප්පුවක් බවය. ජවිපෙන් කැඞී ගිය පෙරටුගාමී පක්ෂයට අනුව ජිනීවා මානව හිමිකම් කොමිසම විප්ලවවාදීන් නොබැසිය යුතු මඩ ගොහොරුවකි. මේ හා සමාන මත දරන විදෙස්ගත පිරිස් ද සිටිති. පිටුවහලේ සිටින ජනමාධ්‍යවේදියකු කියන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව කරන්නේ රඟ පෑමක් බව ය. යුද්ධයට සහාය දුන් ඇමෙරිකාව අද කරන්නේ සිය දේශපාලන උවමනාවක් ඉටු කරවා ගැනීම බව ද ඔහුගේ අදහස ය. (ටැමිල් වින් වෙබ් අඩවිය).
ටැමිල් නෙට් වෙබ් අඩවිය මෙන්ම ඒ හා සමාන්තර ඊළාම්වාදී දෙමළ දේශපාලන ධාරාවන් කියන්නේ ද ඒ හා සමානම කතාවකි. එම පිරිස් කියන්නේ ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා ඝාතනය කිරීමට උදව්කළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හෝ බටහිර රටවලින් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හෝ සහනයක්, විසදුමක් පැතීම අඥානකමක් බවය. එහි පළ කරන ලද එක් වාර්තාවකින් දැක්වෙන්නේ දකුණු ඉන්දියාවෙහි ඊළාම්වාදී ශිෂ්‍ය කන්ඩායමක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු යෝජනාවට ගිනි තබා එය සම්මත නොකළ යුතු බවට යෝජනාවක් සම්මත කළ බවයි. හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවී පිල්ලේ ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා අද මුහුණ දෙන තත්ත්වයට වගකිව යුතු ය. ඒ අතරම මෙම පිරිස් අතුරින් බොහෝ දෙනෙක් දෙමළ ජනයාට වෙනම රාජ්‍යක් ලබා ගැනීමට උදව් නොකිරීම ගැන ජාත්්‍යන්තර ප‍්‍රජාවට දෝශාරෝපනය කරති.
මෙම මත දරන තම්ල්නාඩුවේ සටන්කාමී ශිෂ්‍ය පිරිස් ඇමෙරිකානු යෝජනාවේ පිටපත් ගිනි තබා මෙම යෝජනාව වුඩකට නැති බැවින් සම්මත නොකළ යුතු යැයි කියා සිටියෝ ය. ඔවුන් කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනමත විචාරණයක් පවත්වා එහි ප‍්‍රතිපලය අනුව ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යක් ගොඩ නැගිය යුතු බව ය. ඔවුන්ට අනුව ජිනීවා මානව හිමිකම කවුන්සිලය යනු පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් කී පරිදි මඩ ගොහොරුවකි.
එක අතකට මෙම මතවාදී සහ දේශපාලන ධාරාවන් දෙක එක්නෙක ඌන පූරනය කරයි. මෙම යෝජනාව පුළුස්සා දැමියයුතු බව කෝණයන් දෙකකින් නමුත් දෙපිරිසම යෝජනා කරයි. මෙහි දෙවැනිව කී කන්ඩායම් සහ පුද්ගලයින් කල්පනා කරන්නේ මෙරට දෙමළ ජනයාට ලැබිය හැකි එකම විසඳුම ස්වාධින වෙනම රාජ්‍යයක් ලබා ගැනීම බවය. එය ලබා ගත හැකි ද නැත්ද යන්නට වඩා එම පිරිස් සළකනු ලබන්නේ මතවාදී ස්ථාවරයක වැදගත් කමයි. ප‍්‍රථම කී කන්ඩායම එනම් සිංහල ආධිපත්‍යවාදී රාජ්‍ය කන්ඩායම කල්පනා කරන්නේ ශ‍්‍රී ලංකාව මූලික වශයෙන් සිංහල බෞද්ධයින්ට අයත් රටක් බවත් අනෙක් ජන ප‍්‍රජාවන් දෙවැනි සහ තෙවැනි ගනයේ පුරවැසියන් ලෙස ජීවත් විය යුතු බවත් ය. එවැනි පිළිවෙතක් ශ‍්‍රී ලංකාවෙහි ක‍්‍රියාවට දැමීමෙන් ඇතිවන අහිත කර විපාක එම කන්ඩායම ගනන් ගන්නේ නැත.
එලෙස මෙම කුලකයන් දෙකම ආන්තික ස්ථාවර දරන බව අපට පෙනේ. දෙපිරිසම අද පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සොයනු වෙනුවට මතවාදී පාරිශුද්ධබව අගය කරයි.
මෙම අදහස් දෙකෙහි හරි වැරුද්ද බැලීම පිණිස එනම් මෙම මානව හිමිකම් කවුන්සිලයෙන් වැඩක් ඇත්ද නැත්ද බැලීම පිනිස අපට කෙටියෙන් මානව හිමිකම කවුන්සිලයට ඉදිරිපත්වීමට නියමිත යෝජනාවේ ඉල්ලීම් සළකා බැලිය හැකි ය. ඒ මෙසේ ය: (මෙය යෝජනාවෙහි ඍජු සහ නිල පරිවර්ථනයක් නොව බව සළකන්න).
1. මානව හිමිකම් පිළිබද එක්සත් ජාතින්ගේ මහකොමසාරිස්වරිය විසින් ශ‍්‍රි ලංකාවේ සහජිවනය සහ වගවීම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව සහ එහි නිර්දේශයන් ද විශේෂයෙන්ම සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවීම සඳහා වන නිර්දේශයත් පිළිගනියි.
2. එම වාර්තාවෙහි එන නිර්දේශයන් ක‍්‍රියාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකාන්ඩුව දිරිමත් කරයි.
3. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ සංවර්ධනාත්මක නිර්දේශ ඵලදායක ලෙස
ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී. එමෙන් ම, සියලූ ශ‍්‍රි ලාංකිකයන් වෙනුවෙන් යුක්තිය, සමානාත්මතාව, අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර් ජාතික මානුෂිය නීතිය කෙළෙසීම පිළිබඳ චෝදනා පරීක්ෂා කිරීම ද ඇතුළු වගවීම, සහ සහජීවනය ඇති කිරීමට අවශ්‍ය වන ස්වාධීන සහ විශ්වාසනීය ක‍්‍රියාමාර්ග ගැනීම පිනිස වූ නීතිමය අවශ්‍යතා ඉටු කරලීමට අත්‍යවශ සියලූ අතිරේක නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සඳහා කැපවන ලෙසත් ඉල්ලා සිටී.
4. එක්සත් ජාතීන්ගේ විශේෂ බලාධිකාරයන් සහිත නියෝජිතයින් සමඟ සහයෝගයෙන් ක‍්‍රියා කරන ලෙසත් ශ‍්‍රී ලංකාවට පැමින තොරතුරු සොයා බැලීමට ඔවුන්ට ඉඩ දෙන සේ දැනටමත් කර ඇති ඉල්ලීම්වලට නිල වශයෙන් ප‍්‍රතිචාර දක්වන ලෙසත් ලංකාන්ඩුව දිරිමත් කරයි. විශේෂයෙන්ම නීතිවේදීන් සහ විනිශ්චයකාරවරුන් ගේ ස්වාධිනත්වය පිළිබඳ විශේෂ නියෝජිතයන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්, ප‍්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ සහ රැුස්වීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිතයන්ට, නීතියට බැහැරින්, ක්ෂනිකවම හෝ අත්තනෝමතිකව කැරෙන ඝාතන පිළිබඳ විශේෂ නියෝජිතයන්ට, සුළුතර ප‍්‍රජාවන්ගේ අයිතීන් පිළිබඳ විශේෂ නියෝජිතයන්ට , බලහත්කාරී අතුරුදන්කිරීම් පිළිබඳ කාර්ය කණ්ඩායමට, ස්ත‍්‍රීන්ට එරෙහි විෂම සැළකිළි පිළිබඳ විශේෂ නියෝජිතයන්ට බාධාකිරීම්වලින් තොරව සිය කටයුතු කරගැනීම අවශ්‍ය ප‍්‍රවේශ මාර්ග සම්පාදනය කරන ලෙස මතුව ඇති දැඩි ඉල්ලීම්වලට විධිමත් ලෙස ප‍්‍රතිචාර දක්වන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
5. ඉහත පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රි ලංකා රජය සමග සාකච්ජාමය එකඟතාවයෙන් යුතුව අදාළ කාර්යයන් සදහා එක්සත් ජාතීන්ගේ විශේෂ බලාධිකාරය සහිත නියෝජිතයින්ගේ සේවය ද අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික ආධාර ද ශ‍්‍රී ලංකා ආන්ඩුවට ලබා දීම සදහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය දිරිගන්වයි.
6. එමෙන්ම යෝග්‍ය පරිදි අදාළ බලාධිකාරය සහිත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරීම් ද සහිතව මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාචික වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 24 වන සැසි වාරයට ද විස්තීර්ණ වාර්තාවක් 25වන සැසි වාරයට ද ඉදිරිපත් කරන ලෙසත් එකී 25 වන සැසිවාරයේ දී එම වාර්තා සම්බන්ධයෙන්ම වෙන් වූ විවාදයක් පැවැත්වෙන ලෙසත් ඉල්ලා සිටී.
ඉහත කී සමාජ දේශපාලන මතවාදයන් දෙකටම වෙනස්ව අන්තර් ජාතික ප‍්‍රජාව විසින් ලංකාන්ඩුවට කැරෙන මානව හිමිකම් තෙරපුම් නිසා තමන්ට ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියා කිරීමට අවකාශයක් විවිර වන බව කියූ වින්දිතයින්, මානව හිමිකම් ප‍්‍රජාවෙහි පිරිස් සහ දේශීය දේශපාලනඥයින් ගණනාවක්ම මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණයහ. 2012 වසරේහි දී සම්මත වූ යෝජනාව ද මෙවර කවුන්සිලය වෙත ඉදිරිපත් වන යෝජනාව ද එනයින් එම පිරිස් සළකනු ලැබූයේ ශ‍්‍රී ලංකාවේ සියළු ජන ප‍්‍රජාවන්ට කවර හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ලබා දෙන පියවරක් ලෙස ය. එමෙන්ම ලංකාන්ඩුවට මානව හිමිකම් තෙරපුමක් ඇති කිරීම කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් පවත්වා ගැනීමට ලැබෙන රුකුලක් බවය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය කේන්ද්‍ර කර ගනිමින් 2009 මැයි මාසයේ සිට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ අන්තර් ජාතික සංවාදයක් ගොඩ නොනැගුණේ නම් අද කුමන තත්ත්වයක් ඇති වන්නට තිබුණි ද? ශ‍්‍රී ලංකාව තුළ වත්මනෙහි දක්නට ඇති පුරවැසි පිබිදීම සඳහා අවකාශය නිර්මානය වීමට ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් දක්වන ලද මානව හිමිකම් තෙරපුම් දායක විය. රටින් බැහැරව සිට කැරෙන විප්ලවීය දේශණ වලට වඩා දහස් වාරයක් රටතුල සිට කැරෙන එක් ජනතා උද්ඝෝෂනයක් වටී.
අප තේරුම් ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යක් ශ‍්‍රී ලංකාවෙහි පිහිටුවීමට ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත් වීමක් පෙනෙන තෙක් මානයක දී සිදු නොවන බවය. එමෙන්ම ඒ සඳහා මැදිහත්වන්නැයි ජාත්්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටීමත් එසේ නොකරන්නේ යැයි අදෝනා/ ආක්‍රෝශ පරිභවයන් නැගීමත් විසදුමක් නොවන බවයි.
වෙනස සිදුවන්නේ ඇතුලතිනි. බාහිර සාධක ද්විතීයක ය. දෙන ලද ස්විශේෂ තත්ත්වයකදී පමනක් බාහිර සාධක මුල් තැනට පැමිණය හැකි ය. ශ‍්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නැත. එබැවින් අප කළ යුත්තේ බාහිර තෙරපුම් අභ්‍යන්තර ජනතා අරගලයට දයක කර ගත් හැක්කේ කෙසේ දැයි විමසා බැලීම මිස එය මඩ ගොහොරුවක් ලෙස, ව්‍යාජ රංගනයක් ලෙස හෝ ගිනි තැබිය යුතු කඩදාසියක් ලෙස අතහැර දැමීම නොවේ.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya