සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී
දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී
හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී
මුගුරින් තලා සයුරේ පා කර හැරුනී
මජං මජර මත පෙම වියැකුණාදෝ
ඉතිං සිතම ඉන් ආතුර වුණාදෝ
පතන් බිමක සිහිනෙන් වැළපුණාදෝ
විකල් නොවුණ මනසක් මෙහි තියේදෝ
බම්බලපිටිය වෙරළේ ගල් වැටිය මත
බැස යන හිරුට ගල් ගැසුවේ වැටෙන්න ද
ඈතට ගල් ගසන්නට අත දිගු නැතුව
ළත වෙන විටදි ඇසුණි ද දුම්රියේ හඬ
පෙමක් නොමැති ලොවකින් පෙම පැතු පවට
නුඹත් එකතු විය නෑයින් ගිය ලොවට
කමක් නැතෙයි කීමට බැරි මගෙ දිවට
ලුණුත් රසක්දැයි පහදන්නට හැකිද?
මංජුල වෙඩිවර්ධන
2009 නොවැ 05