Colombo, Democracy, Diaspora, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනාව : දෙමළ අභියෝගය

1331229537-thousands-of-tamils-protest-outside-the-un-geneva_1094661

ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වීමට පැමිනි ‘‘අපි දෙමළු’’ (නාන් තමිලර්) පක්ෂයේ නායන සෙබෙස්තියන් සීමන් මහතා වෙනුවෙනි. පොදු වශයෙන් මෙම ධාරාවට අයත් දෙමළ ඩයස්පෝරා පිරිස් ජිනීවා යෝජනාව සළකන්නේ ඊළාම් රාජ්‍යක් බිහිවීම වැළැක්වීමේ අධිරාජ්‍යවාදී සැලැස්මක් ලෙස ය.

සීමන් පිළිබඳ හැදින්වීමක් කළ දෙමළ ජනමාධ්‍යවේදියකු මට කියා සිටියේ ඔහු තමිල්නාඩුවෙහි විමල් වීරවංශ බවයි. ඒ ඔහු ගැලරියට කතා කිරීමට සමත් ජනප‍්‍රිය කථිකයකු නිසා ය. සීමන් ද අන්තවාදී අදහස මගින් ජනප‍්‍රිය වූවෙකි. වරක් කැනඩාවට ගොස් එහි ප‍්‍රසිද්ධ රුස්වීමක දී ‘‘යුද්ධයේ දි මරා දමන ලද සෑම දෙමළ දරුවකු වෙනුවෙන්ම සිංහල දරුවකු ඝාතනය කළ යුතුය’’ යැයි කියා සිටියේ ය. එම ප‍්‍රකාශය වෛර ප‍්‍රකාශයක් ලෙස අර්ථ කථනය කළ කැනේඩියානු ආණ්ඩුව ඔහු වහාම කැනඩාවෙන් පිටුවහල් කරන ලදී. කැනඩාවෙහි වෛර බස තහනම් ය.

පසුගිය මාර්තු 22වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වන ප්ලස් දෙ නැසියොන් ඉදිරිපිට කතා කරමින් සීමන් මහතා මෙසේ කීවේ ය: ‘‘ වසර අටකදී මා තමිල්නාඩුවේ මහ ඇමැති වෙනවා. එතකොට අපා ලංකාවේ තමිල් ඊළම හදනවා. එක්සත් ජාතින්ගේ ධජය සමඟ ඊළාම් කොඩියත් එවිට ළෙලදේවි. අද අපි මෙහි උද්ඝෝෂනය කරන විදිහට සිංහලයෝ උද්ඝෝෂනයකට ඇවිත් පැමිණිළි කරාවි ‘‘අපේ ස්ත‍්‍රීන් දූෂනය කරනවා, අපේ මිනිස්සු මරනවා’’ කියළ. එදාට අද මහින්ද සමරසිංහ මානව හිමිකම් කවුන්සිලයේ ඇවිදන් යන විදිහට ආඩම්බරයෙන් ඇවිදන් යන්නේ අපියි’’

(මෙවැනිම අන්තවාදී සාහසික ප‍්‍රකාශ කළ සිංහල දේශපානඥයෝ 1983 දී එය මහා පරිමාණයෙන්ම ක‍්‍රියාවටම නැගූහ. එවැන්නෝ තවමත් සිටිති.)

මේ කතාවෙන් වක‍්‍රාකාරව කියන්නේ වසර අටකදී තමිල් ඊළම පිහිටවු පසු සිංහල ස්ත‍්‍රීන් දූෂනය කරමින් සිංහල මිනිසුන් ඝාතනය කරන බව නොවේ ද? සීමන් මහතාට තම්ල් නාඩුවෙහි ජනප‍්‍රසාදයක් ඇතැයි මැතිවරණ ප‍්‍රතිපල වලින් නොපෙනුන ද ශ‍්‍රී ලංකාවේ මෙවැනිම අන්තවාදීන්්ට මෙන් මෙවැනි පිරිස්වලට ද තමිල්නාඩුවෙහි ද ප‍්‍රධාන පක්ෂවවලට බලපෑමේ හැකියාවක් තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයා අතර අති බහුතරය හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂ හෝ මෙම විකාර සහගත කතාවට අනුග‍්‍රහයක් නොදක්වනු ඇති බව සහතික ය.

එනමුත් විදේශ ගත දෙමළ ජනයාගෙන් සැදුම් ලත් ඩයස්පෝරාව තුළ නම් සීමන් වැනි අන්තවාදී මත දරන්නන්ට සැළකිය යුතු පිලිගැනීමක් තිබේ. ජිනීවාහි පැවැති රැස්වීමෙන් පසු ඩෙන්මාර්කයේ දී ද ජර්මනියේදී ද ඔහු වෙනුවෙන් මහජන රැස්වීම් සංවිධානය කෙරුණි. එම රැස්වීම්වලදීද ඔහු විසින් දක්වන ලද්දේ එවැනිම ආන්තික සහ ප‍්‍රචණ්ඩ අදහස් බව දකින්නට තිබේ.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාව දෙමළ ජනයාට සාධාරණයක් කරන්නේ යැයි පිළිගන්නා එකදු දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක්වත් නැත. පෙදු වශයෙන් ඔව්හු මෙම යෝජනාවට විවේචන දෙකක් ඉදිරිපත් කරති. පළමුවැන්න නම් යොජනාව ශ‍්‍රී ලංකාවෙහි යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරක යුද්ධයක් ලෙස අර්ථ කථනයය නොකිරීමයි. දෙවැන්න නම් යුද්ධයේ අවසන් අදියරෙහි සිදු වූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳව අන්තර් ජාතික පරික්ෂණයක් එය විසින් නිර්දේශ නොකිරීම යි. යෝජනාව විසින් ඇදහීම සහ ආගම අනුව කැරෙන විශම සැළකීමක් ශ‍්‍රී ලංකාවේ ඇති බව පිළිගැනුනද වාර්ගික පදනම මත කැරෙන විශම සැළකීම පිළිගෙන නැතිවීම ද එකී පිරිස් විසින් හේතු වශයෙන් දක්වති.

(ඇත්ත වශයෙන්ම නම් මෙවර ජීනීවා යෝජනාව වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ ද අප‍්‍රසිද්ධියේ ද ප‍්‍රබල වැඩ කොටසක් කරන ලද්දේ ශ‍්‍රී ලාංකික සිංහල සහ දෙමළ පිරිස් ය.)

මෙම පිරිස් අතුරින් සමහරෙක් මෙම යෝජනාව පිටුපස සිටි ප‍්‍රධාන දෙරට වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව සළකන්නේ සිය අරමුණ වළක්වන සතුරන් ලෙස ය. සමහරෙක් එම රටවල් සමඟ කටයුතු කරමින් ක‍්‍රමයෙන් සිය මතය කරා ඔවුන් රැගෙන ආ යුතු යැයි විශ්වාශ කරති. ප‍්‍රයෝගික වශයෙන් එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ දෙමළ ජනයාට පිළිගත හැකි දේශපාලන විසඳුමක් අපේක්ෂා කරන පිරිස් තවත් ධාරාවක් නියෝජනය කරති.

එසේ නමුත් වැඩි හඩක් ද බලයක් ද ඇති බව පෙනෙන්නේ එල්ටීටීඊ ධජ පතාක රැගෙන ප‍්‍රභාකරන්ගේ ජායාරූප ඔසවා ගනිමින් පෙළපාලි යමින් රැස්වීම් පවත්වන දේශපාලන ධාරාවට ය. අනෙක් කිසිදු දෙමළ ඩයස්පෝරා කණ්ඩායමකට පුළුල් මහජන රැස්වීම් පැවැත්වීමේ හැකියාවක් ඇති බවක් නොපෙනේ.(සෑම විටකම සාමන්‍ය ජනයා එකවරම ආකර්ෂනය වන්නේ මිනිසාගේ ප‍්‍රාථමික හැගීම් අමතන සහ අවධි කරවන දෙසට ය.)

තමිල්නාඩුවෙහි ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සහ ජිනීවා යෝජනාව අරභයා ඇති වූ උද්ඝෝෂන විසින් පෙන්නුම් කරන ලද්දේ ද මෙම අන්තික අදහස්වල බලපෑම යි. ඔව්හු යෝජනාව ගිනි දෙවියාට පුද කලා පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ගිනි තැබිය යුතු සංස්ථාවක් ලෙස සැළකූහ. දැන් අයෙක් කලපනා කරන්නේ මෙම ශිෂ්‍ය විරෝධතා තමිල්නාඩුවෙහි වසන්ත පිබිදීම බවට පත් වී එමගින් ශ‍්‍රී ලංකාවේ ද ඊළම කරා යා හැකි වනු ඇතැයි කියා ය. 2009 අප්‍රෙල් මැයි මාසයන්හි ලොව පුරා දෙමළ ඩයස්පෝරාව මෙයටත් වඩා දැවැන්ත උද්ඝෝෂන සංවිධානය කළහ. එසේ නමුත් යුද්ධාවසානයෙන් පසු එම උද්ඝෝෂන වියැකී ගියේ ය. යුද්දාවසානයෙන් පසු ලක්ෂ තුනක් දෙමළ ජනයා සරණගත කඳවුරුහි ගාල් කර තිබියදී එකී ඊළාම්වාදී ඩයස්පෝරා පිරිස් එතරම් උනන්දුක් දැක්වූයේ නැත. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ විශේෂයෙන්ම යුද්ධ කලාපයන්හි ජනයාගේ එදිනෙදා ජිවිතය පිලිබඳ ප‍්‍රශ්න මෙම අධිපති ධාරාව ගණනකට නොගන්නා තරම් ය.

මෙම තත්ත්වයෙහි ඇති විශේෂත්වය නම් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රායෝගික දෙමළ දේශපාලනය සමඟ මෙම බලවේගයන්ට එතරම් සබදතාවයක් හෝ ඒවාට කැමැත්තක් හෝ නොතිබීම යි. දෙමළ ජාතික සන්ධානය මෙම එල්ටීටීඊ ධජධාරී පිරිස් සළකන්නේ ඇමෙරිකාවට සහ ඉන්දියාවට යටත් වූ පාවා දෙන්නන් ලෙස ය. වෙනත් රැස්වීමකට සහායවීම පිනිස ජිනීවා නගරයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ ජේෂ්ඨ මංත‍්‍රිවරුන් දෙනෛකු වැටලූ එම පිරිස් ඔවුන්ට හිරිහැරකාරි ලෙස හැසිරුණූ බව ද වාර්තා විය. මෙම අන්තවාදී ප‍්‍රවණතාවයන් කොතරම් මතවාදී බලයක් පවත්වාගෙන යන්නේ ද යත් පසුගිය දිනයන්හි තමිල්නාඩුවේ දී බෞද්ධ ශික්ෂුන් දෙදෙනෙකුට අන්තවාදි පිරිස් විසින් පහර දීම හෙළා දැකීමට ධෛර්්‍ය තිබුනේ එකම දෙමළ ඩයස්පෝරා ධාරාවකට පමණි. සිංහල ස්ත‍්‍රීන් දූෂනය කිරීම සහ සිංහල මිනිසුන් මරා දැමීම පිළිබඳ නාන් තමිලර් නායක සිමන් මහතාගේ ගොජ වඩන ප‍්‍රකාශ කිසිදු දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් විසින්(අප‍්‍රසිද්ධියේ විවේචනය කරන නමුත්)මේ තාක් ප‍්‍රසිද්ධියේ හෙළා දැක නැත.

මේ අනුව ජිනීවා යෝජනාව ආශ‍්‍රයෙන් අපට දක්නට තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ භූමියේ ඇති දෙමළ දේශපාලනය එක දිසාවකට ද තමිල්නාඩුවෙහි සහ ඩයස්පෝරාවෙහි දෙමළ දේශපාලනය වෙනත් දිසාවකට ද හැරවී තිබෙන බවයි. මෙම බෙදීම ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලනය කරාද ගමන් නොකරනු ඇතියි නොසිතිය නොහැකි ය. ජීනීවා යෝජනාව විසින් ද අනුදැන ඇති ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ දුක්ගැනවිළි ආමන්ත‍්‍රනය කරන කෙටි කාලීන දේශපාලන විසඳුමක් සාක්ෂාත් කර ගැනීමට ඇති එක් ප‍්‍රධාන බාධාවක් බවට මෙම ගැටුම පත්වීමට ඉඩ තිබේ.

සමාජවාදය පිහිටුවන තුරු වැඩ කරන ජනයා බලා සිටිය යුතුය යන අධ‍්‍රානග‍්‍රාහී වාමංශික මතය මෙන්ම ඊළම පිහිටවෙන තුරු දෙමළ ජනයා බලා සිටිය යුතුය යන්න ප‍්‍රායෝගික යථාර්තයෙන් බොහෝ දුරස් මනෝරාජික සිතිවිල්ලකි. එවැන්නක ගැලී සිටීමට ඩයස්පොරාවට සහ තමිල්නාඩුවට හැකිය. නමුත් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට එවැනි සිහිනයකින් ඇතිවන සුගතියක් නැත.

@Image: tamilnetonline | ජිනීවා හි උද්ඝෝෂණය කරන දෙමළ විරෝධතාකරැවන්

Sunanda
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Desapriya