Democracy, Features, Governance, Human Rights, Jaffna, Politics and Governance

අප්‍රේල් නැඟිටීම | ”අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක..”

apr1971-1

අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

එමෙන්ම එදිනට ලංකාව පුරා සියලුම් පොලිස් ස්ථානවලට පහරදීමට අප සංවිධානය තීරණය කර තිබූ බව ද මා දැන සිටියෙමි. එම පහරදීම කලින් ලංකාවේ(එවකට ශ්‍රී ලංකාවක් තිබුනේ නැත) දේශපාලන බලය අප අතට ගැනීම, එතුලින් සියළු ලාංකිකයන්ට සමාන අයිතියක් සහිත සාධාරණ සමාජයක්(අප හිටි හැටියට සමාජවාදී) ගොඩ නැගීමේ අරමුණ මතයි.

එදින අප්‍රියල් 5, රාත්‍රියෙහි අපි යාපනය පොලිස් ස්ථානයට සහ බන්ධනාගාරයට අසාර්ථක ප්‍රහාරයක් එල්ල කළෙමු. යාපනය ලන්දේසී බලකොටුව තුල තිබූ යාපනය හිරගෙදරට පහර දුන් පිරිසෙන් මම ද එකෙකු වීමි. අපි ‘‘ගෙඩි’’ලෙසින් හැඳින්වූ අත් බෝම්බ(අපම තනා ගත්) වලින් පොලිස් සහ හමුදා කාණ්ඩ වලට පහර දෙමින් කොටු පවුරේ පසු දින එළිවෙන තුරු සටන් කළෙමු. රාත්‍රිය පුරාවට වෙඩි වරුෂාවක්. අප සොයුරන් ගණනාවක්ම තුවාල ලද අතර එවකට කැලනිය විශ්ව විද්‍යාල සිසු නායක විමල් වසන්ත සොයුරාත් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙක් වූ සුමනරත්න සොයුරාත් මිය ඇදුනේ ‘ලාංකීය විප්ලවයට ජයවේවා’ කියා හඬ නගමිනි. පසුදින උදෑසන වන විට ආයුධ රහිතව සිටි අපි, අපව වැටලූ හමුදාවන්ට දෑත් ඔසවා යටත් වීමු.

ඉතින් මේ අයුරින් මුලු දිවයින පුරාම අප්‍රේල් කැරලිකරුවන් අසාර්ථක පහරදීම් කල අතර පොලීසිය සහ හමුදාවන් විසින් අත් අඩංගුවට ගත් අප සොයුරු සොයුරියන් දහස් ගණනකට වධ දී මරා දමනු ලැබීය. 20,000 කට අධික ප්‍රමාණයක් හිරගෙවල් වල ලන ලදී.

කැලණිය විශ්ව විද්‍යාලය සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලය වටේට කටු කම්බි ගසා ඒවා හිර කඳවුරු බවට පත් කරනු ලැබුවේය. රටේ පාලකයින් සරසවි හිරගෙවල් බවට පෙරලනු ලබන්නේ ඔවුන් ‘හිරගෙවල්’ සරසවි වේවායි’ පැතූ නිසාවෙන් නොවෙති.

එදා අප්‍රේල් සිරකරුවන් වූ අපව රජය සහ ජනමාධ්‍ය හැඳින්වූයේ කැරලිකරුවන් කියා නොවේ. ‘ත්‍රස්තවාදීන්’ කියාය. ලංකාවේ එවකට ව්‍යවහාර වචන ගොන්නට මේ වචනය එදා අලුතින් එක් කරනු ලැබූ අතර එදා සිට අද වන තුරුම එම වචනය ලංකා ජන සමාජය ජප කරන මන්ත්‍රයක් බවට පත් වී ඇත.

එමෙන්ම එදා 1971-1977 දක්වා අපි සිරගෙවල් තුල ගාල් වී සිටි අවධියේම දෙමළ තරුණ කොටස් කඩින් කඩ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අපව ගාල් කර සිටි සිර ගෙවල්වලටම, යාපනය, බෝගම්බර, මැගසීන් වැනි, දමනු ලැබීය. මොවුන්ව නම් කරනු ලැබුවේද ‘ත්‍රස්තවාදීන්’ ලෙසිනි. මෙම දෙමල තරුණයින් බැංකු මංකොල්ල කෑම්, මිනී මැරීම්(දොරේ අප්පා) , සත්‍ය ග්‍රහ, කලු කොඩි දැමීම් ආදියට අත් අඩංගුවට ගෙන තිබූ අයයි. ත්‍රස්තවාදී ලේබලය ඇලවූ මොවුන්ගේ ද අරමුණු සහ ඉල්ලීම් දේශපාලන ඒවා විය.

-දෙමල භාෂාවට සම අයිතිය

– දෙමල ජනතාවට සමාන අයිතිය

– අධ්‍යාපනයේ කෙනෙහිලිකම් නැවැත්වීම(ධවල පත්‍රිකා) වැනි ඉල්ලීම් ඔවුන්ගේ ඉල්ලීම් විය.

ලංකාවේ වසර 450 කට වැඩි කලක් යටත් විජිතයක්ව පැවත 1948 නිදහස ලබා වසර 23 ක් ගෙවෙද්දී 1971 අරගලය මතුවන්නේ සිංහල තරුණ පරම්පරාවෙනි. සුදු අධිරාජ්‍යවාදීන් 48 බලය බාරදෙන ලාංකීය දේශපාලන ප්‍රභූන් බලය තම අතට ගත් දින සිටම රටේ අර්බුද ඉහලට යනවා මිස පැවති හෝ මතුවන ප්‍රශ්නවලට විසඳුම් දීමේ හැකියාවක් හෝ දැනුමක් තිබූ බවක් නොපෙන්වයි. අප්‍රියල් තරුණ නැගිටීම එහි අනිවාර්ය ප්‍රතිපලයක් බව මගේ වැටහීමයි.

අප සංවිධානය(ජ.වි.පෙ) එදා සම්පූර්ණයෙන්ම සිංහල තරුණ තරුණියන් ගෙන් සමන්විත එකකි. නමුත් ලාංකීය හමුදා සහ පොලීසි මේ අත්අඩංගුවට ගත් තරුණියන් ලිංගික බලහත්කාරකම් කර මරා දැමීය. තරුණයන්ට දහසක් වදදී මරා දමනු ලැබීය.

එදා අපි කතාකල සමාජ සාධාරණත්වය – සමාජ වාදී සමාජයක් – බිහිකිරීම අපේ අවංක උවමනාව විය.

මම අද 71 කැරැල්ල හඳුනාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලංකාවේ සිදුවන අරගලය එය බවයි. ඒත් එය ක්‍රියාත්මක කළ අප මේ අප ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බව දැන නොසිටියෙමු. මේ පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුය.

තරුණ තරුණියන්ට රැකියා, අධ්‍යාපන පහසුකම් ,ගොවීන්ට ඉඩම්, අධිරාජ්‍යවාදයට විනාශය, ජනතාවට විමුක්තිය. මේ අපේ එදා පෝස්ටර්වල සටන් පාඨ වේ. ඇත්තෙන්ම මේවා ඉතා සරල ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්ය.

එපමණක් නොව ජන වර්ගයන්ට සම අයිතිය, ස්ත්‍රීන්ට සම අයිතිය වැනි ඉතා සරල ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වත් අප ඉල්ලීම් අතරට එක් වී නොතිබුණි.

මේ අවදියේම දෙමල තරුණ තරුණියන්ගේ ඉල්ලීම් ද අප ඉල්ලීම් ද එකම පීඩනයකට එරෙහිව තම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා කරන ඉල්ලීම් වේ.

ලංකාවේ පාලක ප්‍රභූන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් රේණුවක දැනුමක් හෝ උවමනාවක් නොවීය. එයට හේතුව වන්නේ ඔවුන්ගේ සමාජ පසුබිම වැඩවසම් පංති සමාජ භාවිතාවක පැවතීමයි. අද ලංකා සමාජය පත් වී ඇති ඛේදවාචකය වටහා ගැනීමට නම් නිදහසින් බලය මාරුවන ලාංකීය ප්‍රභූන් ඔවුන්ගේ පන්ති සම්භවය විග්‍රහ කර ගත යුතුයි.

දකුණේ තරුණ කොටස් තම අයිතීන් සඳහා නැගිට සටන් කර ඇත. උතුරේ තරුණ කොටස් තම අයිතීන් සඳහා නැගිට සටන් කර ඇත. පාලක ප්‍රභූන් මේ දෙකොටසම ‘ත්‍රස්තවාදී’ලෙස හඳුන්වා සමූළඝාතනයට ලක් කරනු ලැබීය.

71 කැරළිකරුවන් වූ අපව ‘ත්‍රස්තවාදීන්’ ලෙස හැඳින්වීමට එරෙහිව අපි එදා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ හඬ අවදි කළ අතර ඉන් පසුව අපව නිල වශයෙන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීම නවතා දමනු ලැබීය.

අප සමග එකට හිර ගෙවල් තුල ගාල්කර සිටි දෙමල සටන් කාමීන් ගේ ඉල්ලීම් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් බව වටහා නොගත් ජ.වි.පෙ ද ඔවුන්ගේ අරගලයට වැරදි අර්ථකතනයක් දෙනු ලැබීය.

අපගේ ඉල්ලීම්ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඉල්ලීම් බව අපම වටහා නොගැනීම හේතුවෙන් අපි ඒවා සමාජවාදී ඉල්ලීම් ලෙස දුටුවෙමු. දෙමළ විමුක්තිකාමීන්ව එනිසාම අපි ද ත්‍රස්තවාදීන් ලෙස හැඳන්වීමු. මෙහි පසුකාලීන ප්‍රතිඵල ලෙස ජනතා විමුක්ති පෙරමුණ වැනි සන්විධාන තමන්ගේම දහ දහස් ගණන් සොයුරු සොයුරියන් වධයට පත් කොට මරා දමන ලද රජයේ හමුදා සහ පොලිස් භටයන් ‘ජාතිය ගලවා ගැනීමේ රණවිරුවන්’ලෙස විරුදාවලි නංවන්නේ මේ හමුදා දෙමළ තරුණ තරුණියන් මරා දැමීමට ආශිර්වාද කරමිනි. ‘ත්‍රස්තවාදීන්ට’ එරෙහිව සටන් වදින ‘රණවිරුවන්ට’ වීර සම්මානයෙන් පුද දී නිල් මානෙල් පළදවමිනි.

අප 71 දී වධයට ලක්කළ දහස් ගණන් මරා දමමින් අපට ‘ත්‍රස්තවාදී’ ලේබලය ඇල වූ වධක හමුදාවනට ‘රණවිරු’ සම්මාන දෙමින් අප වැනිම දෙමළ තරුණ තරුණියනට ත්‍රස්තවාදීන් යැයි ජනතා විමුක්ති පෙරමුණම හැදින්වීම කෙතරම් නම් ඛේදවාචකයක් ද?

නිදහසින් පසු ලංකාවේ – දැන් ශ්‍රී ලංකාවේ උතුරේ සහ දකුණේ වෙනසක් නොමැතිව තරුණ තරුණියන් ආයුධ අතට ගන්නේ ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස උපන් බැවින් ද? නැතින ම් පවතින පාලන බලය එහි ඇති නොහැකියාව එහි ඇති අගතිගාමී බව ඔවුන් එතැනට පත් කරනු ලබන්නේ ද? 69% ක් බෞද්ධයන් ජීවත්වන රටක රටතුල ඇතිවන දේශපාලන සමාජ ප්‍රශ්නවලදී හේතුව පැත්තකින් තබා ඵලයට විසඳුම් සෙවීම කුමන නම් දෛවයක සරදමක් ද?

[Image Credit:www.srilankaguardian.org]

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarchchi

@උපුටා ගැනීම – ලංකා නිව්ස් වෙබ්